සිංහල නැකත් කලාවේ අසිරිය | සිළුමිණ

සිංහල නැකත් කලාවේ අසිරිය

අති රමණීය වූ වනස්පති වෘක්ෂලතාවන්ගෙන් ගහණ වූ මහ වනය පශු පක්ෂීන්ගේ රජ දහනකි. වනස්පති වෘක්ෂයන්ගේ සිසිල ලබමින් සුන්දර ගල්තලාවන් අතරින් සිහින් හඬ නංවමින් ගලා බසින ගංගා දේවිය සිත් පැහැර ගන්නීය. ගල්තලාව අසලින් අහසට නැඟුණ අතුපතර විහිදී ගිය රුක් සෙවණ යට හැඩකාර මොනරු රඟදෙන අපූරුව මනස්කාන්තය. සිය පිල් මඬල විහිදුවමින් රඟදෙන මොණරාගේ දර්ශනයෙන් දියකාවෙකු තුළ උපන්නේ ඊර්ෂ්‍යා පරවශ හැඟීමකි. දියකාවා ද මොනරා පරාජය කරනු රිසියෙන් හෝ ජලය මත කරන අමුතු රැඟුමක් ඇරඹීය. සූර්ය දිව්‍යරාජයා ද මේ අපූරු රංගනය බලන්නාක් සේ සිය ආලෝකය විහිදුවමින් නැගෙනහිර ක්ෂිතිජයෙන් උදා වන්නේ ය. අවට පරිසරය ශාන්තය. අද්භූත ජනකය. දෙදෙනාගේ ම රංගනය ද මනරම් ය.

ගත වනුයේ සුළු මොහොතකි. දියකාවා ගල් තලාව මත නැඟුණ මොනරාට පහර දෙන අටියෙන් දෝ ගල මතට වැදිණි. මොනරා වහ වහා ගසෙහි දෙබලකට නැග ගත්තේ නැටුම හමාර කරමින්දෝ සිතේ, නැත. ඌ දෙබල මත සිටිමින් ද රංගනයක යෙදෙන්ට වෙර දරනවා සේ ය. දියකාවා නම් සටනකට එන සෙයක් පෙනෙනුයේ ගත වූ නිමේෂය තුළ වූ මොණරා සිටි දෙබල මතට කරණම් ගැසූ නිසාවෙනි. මොනරා වහා ගස මුදුනට වන් හ. දියකාවා වහා පසුපස හඹාවිත් ගස මුදුනේ සිටි මොනරා සමඟ ද්වන්ධ යුද්ධයකට එළඹී ය. අවසානයේ දෙදෙනා ම වැටී නසිති.

මේ ඔබට හෙළිකළේ අතිශය පුරාණ හෙළ නැකත් ක්‍රමයකි. ඒ පිළිබඳව තොටගමුවේ රහල් හිමියෝ මෙසේ පවසති.

සමනොළ සිරිපා තඹුරු

ගොවියන් හට කීවොත් සරු

සිව්නැකතින් නොයන් සරු

කියාලන්න නොම ඉසුරු

 

බරණ ගණිත තෙමේ එය මෙසේ පවසන්නට යෙදෙනුයේ පූර්ණකගේ මැණික් සූදුව උපමා කොටගෙන ය.

 

මැණිකක් ගන්නට යුද්දෙට යන්නේ

මැණික් ගන්න රජු සූදු කෙළින්නේ

පූර්ණකයි රජු පරදා ලන්නේ

සිංහල දඬුමරණය පවසන්නේ

 

දැන් ඔබට මෙකී නැකත් ශාස්ත්‍රයේ නම පැහැදිලිය. එය සිංහල දඬුමරණය නමින් ගැනෙනු ඇත. ඉදින් මෙකී නැකැත් ශාස්ත්‍රය තවදුරටත් මේ පොළොවේ අක්ලිෂ්ටව පිරිසිදුව පවත්නා සෙයක් නො පෙනෙන්නේ නොවේ. එය ජ්‍යොතිෂය ළැදි ඔබට උගත හැකිය. අධ්‍යයනය කොට විමසා ඵල නෙළිය හැකිය. එහෙයින් යමක් ඉගැනීමට පළමුව ඊට ආශාවක් ඇතිවිය යුතු ය. හෝ අවශ්‍යතාවක් ඇතිවිය යුතු බැවින් පළමුව එහි අරමුණ පූර්ණ කරනු වස් මෙහි ඵලදායකත්වය විස්තර කරන්නෙමු. දෙවනුව එහි ක්‍රියාකාරීත්වය සීමාවන් තුළ සිට පැහැදිලි කෙරෙනු ඇත. මේ කවරකටත් වඩා මෙහි අරුත විමසීම පළමුවෙන් ම සිදුවිය යුතු බැවින් ඊට අවධානය යොමු කරනු වටී.

 

සිංහල දඬුමරණය

සිංහල දඬුමරණයෙහි පිවිසුම් දොරටුව ඉන්දියාව යැයි සිතන විද්වතුන් කිසිවෙකුට සිංහල දඬුමරණය තරම් ශාස්ත්‍රයක් ලොව අන්තැනකින් සොයා ගැනීමට නොහැකි වන්නේ මුත් ඊට සමාන න්‍යාය පද්ධතීන් සොයා ගැනීමට නම් හැකියාව ලැබෙනු ඇත. “දඬුකඳ” ඔබට හුරුපුරුදු නැතත් එය තවමත් අපට අමුතු වස්තුවක් නොවන හෙයින් දඬුකඳ යැයි කී සැණින් එකල “දඬුකඳේ ගහනවා” යන්න හෝ එකල දඬුකඳ මතකයට නැගෙනු ඇත. මෙවැනි දඬුකඳකට පවා “මර” වැටෙන හෙයින් එයට දඬුමරණ නාමය යෙදේ.

එසේ ම මෙහි මොනරෙකු හා දියකාවෙකු අතර සිදු වන සටනක් විස්තර කෙරෙන හෙයින් එයට “දඬුමොනරය” යන නාමය ද ඇත. දණ්ඩ යන පදය ද ඒ ඒ තැන්හි ඒ ඒ අදහසින් යෙදේ. කෝටුවක් ද දඬුවකි. එය ඇසුරු කොට තවත් දණ්ඩක් බිඳෙනු ඇත. සටන් කලාවේ රිටි සටන් ඊට නිදසුනකි.

පරිඝ දණ්ඩ ඔබ අසා ඇත. ඒ හා සමාන අග්නි දණ්ඩ බොහෝ දෙනෙකු අසා නැතත් රාහු සහ කේතු අක්ෂය අග්නි දණ්ඩ සේ අවබෝධ කරගත යුතු ය. ඉදින් මෙහි නාමය තවදුරටත් විමසන්නේ නම් ලොව ඇති සියලු විෂය ක්ෂේත්‍රයන් එය හෙවත් මෙකී සිංහල දඬුමරනයෙන් පෝෂණය කළ හැකි බව දත හැකිය.

සිංහල දඬුමරනයෙහි ඵලදායකත්වය ලොව විද්‍යාවන් කිහිපාකාරයකින් බෙදා දක්වන්නට යෙදුනත් රාවණාකෘත මේරු තන්ත්රය නම් සම්භාවනීය ග්‍රන්ථයට අනුව මහා විද්‍යා, ක්ෂුද්‍ර විද්‍යා හා මෝක්ෂ විද්‍යා යන විද්‍යාත්‍රයට හසු නොවන කිසිදු විද්‍යාවක් ලොව නැති බව මෙහි දී දක්වමි. මෙකී ත්‍රිවිද්‍යාව පිළිබඳ ව සියලු කටයුතුවල දී උක්ත දඬුමරනය උපකාර වන අතර නූතනයේ අප භාවිත කරන සෞඛ්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, මානසික විද්‍යාව ආදී සියලු විද්‍යාවන් මෙකී ත්‍රිවිද්‍යාවන් තුළ අන්තර්ගත වන බව ඔබට අවබෝධ වන්නට නම් මෙකී විද්‍යාත්‍රය පිළිබඳව සඳහන් සංක්ෂිප්තව හෝ කරුළණු ඉදිරිපත් කළ යුතු ය.

 

විද්‍යාව

පෙරදිග සහ අපරදිග යැයි ප්‍රකට විද්‍යාව දෙයාකාරය. එහි අපරදිග විද්‍යාව හුදු භෞතික ක්ෂේත්‍රයන් හි ක්‍රිකාරිත්වය සහ ගෝචරය මත නිපදවා ඇති අතර පෙරදිග විද්‍යාව සිය අභ්‍යන්තරය ඇසුරින් සොයා ගත් දැනුම මත ඉපිද ඇත. වර්තමානය වන විට නවීන යැයි කියන අපරදිග විද්‍යාවද පෙරදිග විද්‍යාව ම ඇසුරු කරන බව නොපෙනෙන්නේ ම නොවේ.

 

I. ප්‍රබල න්‍යෂ්ටික බලය

II. දුබල න්‍යෂ්ටික බලය

III. විද්‍යුත් චුම්බක බලය

IV. ගුරුත්වාකර්ෂණ බලය

 

යනුවෙන් ප්‍රධාන ශක්ති හතරක සැරිසැරීම විද්‍යාව යටතේ විමසනු ලබන අතර මේ ශක්ති සතරට හසු නොවන අතිරේක ශක්තියක් ඇති බවත් එය අවකාශ බලය නම් වන බවත් ආතර් සී ක්ලාක් මහතා හෙළිදරව් කොට ඇත. ඉදින් නූතන ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙළිවනුයේ එය ම නොවේදැයි විමසීම ප්‍රඥාගෝචරය.

ස්වකීය බඹයක් පමණ සිරුර විමසීමේ ක්‍රියාවලිය ඵල දැරීමෙන් සාක්ෂාත් කරගත් ප්‍රතිඵලයක් වශයෙන් අපරදිග විද්‍යාව ඉපිද ඇති අතර එය ද චතුර්විධය.

I. ආකර්ශණ

II. විකර්ෂණ

III. සංකර්ෂණ

IV. සංප්‍රකර්ෂණ

මෙහි කියන ආකර්ෂණ හා විකර්ෂණ ක්‍රියාවලියේ ම අවස්ථා පෙර කී නූතන විද්‍යාවේ චතුර් අංගයම ප්‍රකාශවත් කරනු ලබන බව නුවණින් විමසීමේ දී පෙනී යනු ඇත. සංකර්ෂණ හා සංප්‍රකර්ෂණ ශක්තීහු කර්මය හා වෙසෙසින් බැඳී සිටියේ ය. එබැවින් එය මෙහි මාතෘකා කර සාකච්ඡා නොවන්නේ ය. මෙහි කියන ආකර්ශණ, විකර්ශන, සංකර්ෂණ සහ සංප්‍රකර්ශන යන චතුර් ශක්තියෙන් යුතු පෙරදිග විද්‍යාව ම පෙරකියන ලද මයාවිද්‍යා ආදී විද්‍යාත්‍රයට අයත් වන්නේ ය.

පෙරදිග හා අපරදිග විද්‍යාවන් තුළ තවත් වෙනසක්

ලෝක නිර්මාණවාදය පෙරදිග ද අපරදිග ද පවතින්නේ ය. එහෙත් ඉංග්‍රීසියට ගිය GOD පදය සහ පෙරදිග තිබූ නිර්මාණවාදයට වඩා වෙනස් ය. GOD යන පදය ගරු කළාහු සියල්ල කළ හැකි එක් අයෙකු වේ යැයි විශ්වාස කළ හ. එහෙත් එම පදය නිපදවාගෙන ඇත්තේ පෙරදිග එන උත්පාද - ස්ථිති - භංග යන අවස්ථාත්‍රය මුල් කොටගෙන බව ඔබ මෙතෙක් නොසිතන්නට ඇත. GENARATOR - OPERATOR – DISTROYER යන වදන්වල මුලකුරු ගෙන GOD යන පදය නිපදවා ඇත. මේ ත්‍රිශක්ති පිළිබඳ කතාව ද සුවිශේෂය.

පෙරදිග විද්‍යාවේ උන්නතිය ඇති කරන ලද මෙහි සාකච්ඡා වනුයේ සත්ත්ව - රජස් - තමස් යන ගුණත්‍රය ය.

වාත, පිත්ත, සෙම, ඉඩා පිංගලා, සුෂුම්නා යන සංකල්ප බටහිර මනෝ විද්‍යාව එදා ගෝචර නොවුනු එහෙත් අද අද ගෝචර වන නොපෙනෙන ශක්ති ගලනයන් ය. අප මාතෘකාව සිංහල දඬුමරණයේ ඵලදායකත්වයයි. එය සියල් විද්‍යාවන්ට ඵලදායක බැව් කී හෙයින් මාතෘකා විණි.. ඉදිරියට මහා විද්‍යාවන් සහ ඵලදායකත්වය ගැන ද සාකච්ඡා කරමු.

 

Comments