ලෝක බලවතකුගේ භුමිකාව සඳහා චීනයේ නව ගමන් මඟ | සිළුමිණ

ලෝක බලවතකුගේ භුමිකාව සඳහා චීනයේ නව ගමන් මඟ

“අපට ලෝකයේ බල කේන්ද්‍රස්ථානය බවට පත්වීමටත් එතුළින් මනුෂ්‍ය වර්ගයාට සේවය කිරීමටත් කාලය එළඹ තිබෙනවා“ - චීන ජනාධිපති ෂී ජින් පින්

චීනයේ වසර 5කට වරක් පැවැත්වෙන කමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනය බෙයිංජි අගනුවරදී බදාදා ආරම්භ වූයේ ජනාධිපති ෂී ජින් පින් චීන කමියුනිස්ට් පක්ෂය නව යුගයකට එළඹෙන බව තේමා කරමින් සිදුකළ පැය තුනක ඓතිහාසික දේශනය කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුකර ගනිමිනි. මහජන චීනයේ පාලන තත්ත්‍රය මෙහෙයවන දෙදහසකට අධික කමියුනිස්ට් පක්ෂ රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජාතික සම්මේලනයේ මුලික අරමුණ ඉදිරි පස් වසරක කාලය සඳහා නායකත්වය දරන කණ්ඩායම පිළිබඳ ඒකමතික තීරණයකට එළඹීමයි.

වත්මන් ජනාධිපති ෂී ජින් පින් හට තවත් වසර 5ක ධුරකාලයක් පදවිය දැරීමට ඉඩකඩ තිබෙන බැවින් මෙවර සම්මේලනයේදි පාලන වෙනසක් පිළිබඳ කිසිදු ගැටලුවක් ඉස්මතු නොවන අතරම සිදුවන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලක පන්තියේ ඉදිරි සැලසුම් සමාලෝචනය කර ඉදිරි ධුර කාලය සඳහා අනුමැතිය ලබා දීමයි.

මෙවර සමුළුවේදි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා මුල්පෙළේ සාමාජිකත්වයට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ ජනාධිපති ෂී ජින් පින් සඳහන් කළ පරිදිම චීනය ලෝකයේ බල කේන්ද්‍රස්ථානය වෙත යොමුකිරීමයි. පසුගාමී රටක් හා දැඩි කොමියුනිස්ට් පාලන තන්ත්‍රයක් සහිත රාජ්‍යයක තත්ත්වයේ සිට ලෝක බලවතෙකුගේ තත්ත්වය උදාකරගැනීම සඳහා මහජන චීනය දැඩි කැපවීම් මැද දිගු ගමනක් පැමිණ තිබේ. එහි ඉදිරි ගමන් මගෙහි ප්‍රධාන සැලසුම් ලෙස වසර 2050 ඉලක්ක කරගත් සමාජවාදි නව්‍යකරන දෙවැදෑරුම් වැඩපිළිවෙලක් යටතේ ආර්ථික හා පාරිසරික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමත් ලෝකයට වඩාත් විවෘතවීම හා විදෙස් ආයෝජකයන් තවදුරටත් ආකර්ෂණය කරගැනීමත් මෙහිදි පෙන්වා දී තිබේ.

ලෝකයේ වඩාත්ම අවධානය යොමු වී ඇත්තේ මහජන චීනය ලෝක බලවතෙකුගේ තත්ත්වය අත්කරගෙන ඇතැයි යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයයි. එමෙන්ම එය නව ලෝක රටාවක් සඳහා නායකත්වය දීමට චීනයේ ඇති අභිලාෂය පෙන්නුම් කිරිමක් ලෙසද සැළකේ. වර්තමානය වන විට චීනයට මේ සඳහා හිතකර වාතාවරණයක් ගෝලිය තලය තුල නිර්මාණය වී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය ආර්ථික සහයෝගිතාවයෙන් බැහැර වෙද්දි බ්‍රිතාන්‍යය බ්‍රික්සිට් සංකල්පය තුලින් එක්සත් යුරෝපා දේශපාලනික හා ආර්ථික සහයෝගිතාවට පිටුපාද්දි හා දක්ෂිණාංශික බලවේග බටහිර ලෝකයේ ක්‍රියාත්මක වීමෙන් මෙතෙක් ලොව බල කේන්ද්‍රය බවට පත්ව ඇති බටහිර ආධිපත්‍යය ගෝලීය විස්තාරණයෙන් මිදී වඩාත් ඇතුළාන්තයට ගමන් කරද්දි ඇතිවන ගෝලීය බල රික්තකය පිරවීම සඳහා විකල්පයක් අවශ්‍යව තිබේ. බටහිර ලෝකය මේ ගමන් මගින් ඉතා ඉක්මනින් ආපසු හැරීමට ඉඩකඩ තිබෙන මුත් විකල්ප බලවේගයක වර්ධනයට එම කාල සීමාව ඉතා තීරණාත්මක වේ. මෙය ඉතා හොඳින් අවබෝධ කරගත් ලෝක නායකයෙකි චීන ජනාධිපති ෂි ජින් පින්.

මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේ තුං සහ වත්මන් චීනයේ ආර්ථික බලවේගයේ නිර්මාතෘ ලෙස සැළකෙන ඩෙං ෂියා ඔ පෙං ගෙන් පසු වඩාත් විධිමත් දර්ශනයක් චීනය සඳහා හඳුන්වා දුන් නායකයා ලෙස ෂී ජින් පින් දැනටමත් ගෝලිය වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇත. නව ලෝක ආර්ථික සහයෝගිතා නායකත්වයක් නිර්මාණය කිරිමට අවශ්‍ය අන්තර්ජාතික වැඩපිළිවෙල සිය මුල් පස් අවුරුදු ධුරකාලය තුළදී ඔහු විසින් හඳුන්වා දී තිබේ.

මේ වසර මුල භාගයේදී රටවල් 57ක නායකයන් බෙයිජිං අගනුවරට රැස්කරවු ඔහු නව ගෝලීය ආර්ථික වැඩපිළිවෙලක හවුල්කරුවන් වීමට ඇරයුම් කළේය. එය මෑත කාලීනව එක් රටක් විසින් එළිදක්වනු ලැබු විශාලතම ගෝලිය ආර්ථික සහයෝගිතා හා ආයෝජන ව්‍යාපෘති ජාලයයි. 2014 වසරේ හඳුන්වා දුන් එක මාවතක් එක තීරයක් සංකල්පය ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

චීනය මේ ආකාරයෙන් ආසියානු කලාපය යුරෝපයට ආර්ථිකමය වශයෙන් බද්ධ කිරිමෙන් ලබාගන්නා සුපිරි තත්ත්වය දුර තියා අවබෝධකරගත් හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ආසියානු හා ශාන්තිකර කලාපයේ චීනය සම්බන්ධයෙන් ගැටලු සහගත ආකල්ප පවතින හා අමෙරිකාවට වඩාත් ලැදි රාජ්‍යයන් එක්කර ගනිමින් ශාන්තිකර කලාපීය ආර්ථික සහයෝගිතා සම්මුතිය ප්‍රකාශයට පත් කළේ සෘජුවම චීනයට අභියෝගයක් එල්ල කරමිනි. ඒ තුළින් ජපානය වැනි චීනය සමග සෘජු අභියෝගයක සිටින රටවල් එක පෙළකට ගෙන ආසියානු කලාපය තුළම චීනයට අභියෝගයක් නිර්මාණය කිරිම අපේක්ෂිත විය.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වු වහාම එම ශාන්තිකර සහයෝගිතා සම්මුතියෙන් බැහැර වීම නිසා ඊට සම්බන්ධව සිටි ආර්ථික බලවතුන්ද අතරමං වු අතර චීනයට ඒ තුලින් විශාල ශක්තියක් ලැබිණ. ජනාධිපති ෂි ජින් පින්ගේ සංකල්පයක් වු එක මාවතක් එක තීරයක් වැඩපිළිවෙල ආසියා ශාන්තිකර කලාපය පදනම් කරගනිමින් මධ්‍යම ආසියාව ඔස්සේ යුරෝපය හා අප්‍රිකාව වෙත යොමුකිරිමට දැන් චීනයට පහසුවෙන් ඉඩකඩ ලැබී තිබේ.

ඒ සඳහා බටහිර ලෝකයට අභියෝග කරන යුරෝපා බලවතා වන රුසියාවද එක්ව සිටීම චීනය ලැබු ජයග්‍රහණයකි. එමෙන්ම ආසියානු කලාපයේ චීන විරෝධි රාජ්‍යයන් වෙතද සහයෝගිතාවයේ දෑත පුළුල් කිරිමට චීනය උත්සුක වී සිටී. උදාහරණයක් ලෙස ඉන්දියාවද බලවත් රාජ්‍යයක් සේ සළකා එක මාවතක් එක තිරයක් වැඩපිළිවෙළට එක්වන ලෙසට ඉල්ලා සිටීම පෙන්වා දිය හැක.

ඉන්දියාව තවමත් ඒ සම්බන්ධයෙන් විරෝධාකල්පයක පසුවුවද ඉන්දු චීන අර්බුද බරපතල ගැටුම්කාරිත්වයකින් තොරව විසඳා ගැනිමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා චීන ජනාධිපති ෂී ජින් පින් උත්සුක වීම එක්තරා ආකාරයක කලාපීය වශයෙන් සුබවාදි ලක්ෂණයකි. මෑත භාගයේ ඇතිවු ඉන්දු චීන දේශසිමා ගැටුම නිරාකරණය කරගැනිමට හැකිවුයේ නායක දෙපළගේ මැදිහත් වීමෙන් අනුගමනය කෙරුණු කඩිනම් වැඩපිළිවෙලක් තුළිනි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්තනෝමතිකව හැසිරෙමින් දිගින් දිගටම ගෝලිය සහයෝගිතාවන්ට පයින් ගසමින් වලං කඩයට පිවිසි වෘෂභ භූමිකාව නිරූපනය කරද්දි එහි වාසිය ග්‍රහනය කරගැනීමට චීනය ගෙන යන වැඩපිළිවෙල වර්තමානයේ ඉතා පැහැදිළිව දක්නට ලැබේ.

ගෝලීය දේශගුණික වෙනස්කම්වලින් ලෝකය බේරාගැනීමේ අවසන් වැඩපිළිවෙල ලෙස සැළකෙන පැරිස් සම්මුතියෙන් ඉවත් වෙමින් ගෝලිය දේශගුණික විපර්යාස යනු හුදෙක් මතවාදයක් පමණක් යැයි පවසමින් වැඩි වැඩියෙන් ගල් අගුරු දහනය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානුවන් පොළඹවද්දි චීනය ප්‍රකාශ කළේ තමන් දිගින් දිගටම පැරිස් සම්මුතිය තුළ රැඳී සිටින බවයි.

එපමණක් නොව එම සම්මුතියට ගරුකරමින් ගෝලීය වශයෙන් පරිසරය සුරැකීමට කැපවන බවටද චීනය ප්‍රතිඥා දෙයි. ජනාධිපති ෂී ජින් පින් පසුගිය බදාදා කළ දේශනයේදි පැහැදිලිව කියා සිටියේ ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන්ද සංවර්ධනය උදාකරගැනීම චීනයේ අනාගත ගමන්මගෙහි මුලික සංදිස්ථානයක් බවයි. චීනය ලොව ප්‍රධානතම පරිසර දුෂණ කාරක රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ එරට මහා කාර්මිකකරණ ක්‍රියාවලියත් සමගයි.

පසුගිය වසරේදී ඔක්සිජන් බෝතල් පවා ආනයනය කිරිමට චීනයට සිදුවිය. බෙයිංජි ඔලිම්පික් තරගාවලිය පවත්වද්දි වායුවේ තත්ත්වය ගැන විශේෂයෙන් සැළකිල්ල යොමුකරමින් කර්මාන්ත එම කලාපයෙන් ඉවත් කිරීමට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කළේය. පාරිසරික ආරක්ෂණ ක්‍රියාවලියෙන් බැහැරව හුදෙක් කාර්මික හා ආර්ථික වාසි පමණක් කෙරෙහි අවධානය යොමු කිරිම අනාගතයේ ප්‍රායෝගික නොවන බව චීනය අවබෝධ කරගෙන තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. මේ තුලින් චීනය සිදුකරන්නේ ලෝකය තුල තමන් ලබාගැනීමට අපේක්ෂිත බලවතෙකුගේ තත්ත්වය තවදුරටත් තහවුරු කරගැනීමකි.

ලෝක බලවතා වන අමෙරිකාව ට්‍රම්ප් මතවාදයන් යටතේ මිත්‍ර රාජ්‍ය සමග පවා මතබේද ඇති කරගනී. බටහිර බල ආධිපත්‍යයේ ප්‍රධාන පාර්ශවකරුවා වන යුරෝපය සමග පවා අමෙරිකාව ට්‍රම්ප් පාලනය යටතේ මත­‍ෙභ්ද ගොඩනගාගෙන තිබේ. පැරිස් ගිවිසුම, සංක්‍රමණික ප්‍රශ්නය, හා රුසියානු සබඳතා මේ ආකාරයෙන් මතභේදාත්මක තත්ත්වයන් නිර්මාණය වී ඇති ක්ෂේත්‍ර අතර වෙයි. එහෙත් චීනය මෙහිදි අනුගමනය කරන්නේ වෙනස් පිළිවෙතකි. අනෙක් බලවත් රාජ්‍යයන්ගේ අවධානයට ලක් නොවු අප්‍රිකානු ලතින් අමෙරිකානු හා මධ්‍යම ආසියානු රටවල් වෙත චීනය අවතිර්ණ වි සිටී.

එම රටවල ප්‍රධාන ආයෝජකයාගේ භූමිකාව චීනය විසින් නිරූපනය කරනු ලැබේ. මේ හරහා දැනටමත් චීනය තම අන්තර්ජාතික සබදතා ජාලය ඉතා පුළුල් වශයෙන් ශක්තිමත් කරගෙන ඇත. මෙය ලෝක බලවතා වන අමෙරිකාවට එල්ල කෙරෙන තවත් අභියෝගයකි. එමෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයෙන්ද අමෙරිකාවට සම වීමට තරම් චීනය ශක්තිමත් නොවුවද ඉතා ප්‍රබල වර්ධනයක් එම ක්ෂේත්‍රයෙන්ද පෙන්නුම් කිරිමට සමත්ව තිබේ.

චීන ජනාධිපතිවරයා පෙන්වා දෙන ආකාරයට චීනය මේ ජයග්‍රහණ අත්කරගෙන ඇත්තේ එරටටම ආවේණික වු සමාජවාදී පාලන ක්‍රමවේදය තුළින් බවයි. මේ නිසා අනාගතයේද චීනය සමාජවාදී රාජ්‍යයක් ලෙසම පවතිනු ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කරයි. මේ අනුව පැහැදිළි වන්නේ ගෝලීය බලවතෙකුගේ භූමිකාව තුල පවා සමාජවාදි රටාවෙන් බැහැර නොවීමට චීනය පෙළඹී සිටින බවයි.

 

Comments

“ ලෝක බලවතකුගේ භුමිකාව සඳහා චීනයේ නව ගමන් මඟ“ චීනයේ ජීවත්වී ඉගෙනුම ලබා පැමිණි මා මෙයට වඩා සාර්ථක ලිපියක් ඔබ වෙත යොමු කළා. එරට නව ආර්ථික උපයාමාර්ගික සංචාරක ව්‍යාපාරය, එක් මාවතක් හා එක් තිරයක් සහ අපරට අනුගමනය කළයුතු මග පිළිබදවයි ඒ. මම ඒ ගැන කණගාටුවෙමි.

පිටු