
මරදානේ ටවර් රඟහල නවීකරණය කිරීමට 1977 බලයට පත් ආණ්ඩුව ක්‍රියා කෙළේ ය. එම ආණ්ඩුවේ දෙවන නායකත්වය හෙවත් උපනායක තනතුරු දැරූ ආර්. ප්‍රේමදාස මහතා එහිලා නායකත්වය ගත්තේ ය.
නවීකරණය කිරීමෙන් පසු ඒ සඳහා වෙනමම පාලනාධිකාරියක් ද ස්ථාපිත කරන ලදුව එහි ප්‍රධානියා බවට පත් කරන ලද්දේ ඒ.ජේ. රණසිංහ මහතා ය. පසුකලෙක ඔහු රජයේ ප්‍රවෘත්ති අංශය හා ප්‍රචාරක කටයුතු පිළිබඳ ප්‍රධානියා බවට පත් විය.
දවස නිවසේ සිනමා ප්‍රවෘත්ති ආවරණය කෙළේ ඒ.ජේ. ද සොයිසා මහතා ය. සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසුණු සොයිසා මහතා සිංහල සිනමාවට සම්බන්ධ පුද්ගලයෙකි. ජනප්‍රිය පැරැණි ගීතයක් වූ ‘තරු පායන ආකාසේ’ යන ගීතය ඔහු විසින් රචනා කරන ලද්දකි.
ටවර් රඟහල පිළිබඳ අප්‍රකට තොරතුරු සොයා ගැනීමට ඒ.ජේ. රණසිංහ මහතාට අවශ්‍යව තිබෙන බව දිනක් ඔහු මට කීවේ ය. පුවත්පත් අතිරේකයකට සහ 1979 මාර්තු 2 වැනිදා ටවර් හලේදී පැවැත්වෙන නාට්‍ය සංදර්ශනයක දී මුද්‍රණය කිරීමට නියමිත සමරුවකට ද මේ තොරතුරු ඇතුළත් කරන බව සොයිසා මහතා තවදුරටත් කීවේ ය. පසුවදා රණසිංහ මහතා හමුවීමට අපි දෙදෙනාම ගියෙමු. රණසිංහ මහතා නාට්‍ය පිළිබඳව මගේ දැකීම පරීක්ෂා කෙළේ ය.
1966 තරම අමල් බිසෝ නම් නාට්‍යයක් නිෂ්පාදනය කෙළේ එස්. බී. රත්නායක මහතා විසිනි. මෙහි අමල් බිසෝ චරිතය රඟපෑවේ මාලනී ෆොන්සේකා ය. යක්ෂයාගේ චරිතය චන්ද්‍ර ශ්‍රී රණසිංහ ය. බෙර වාදනය සන්දෝරිස් ජයන්තය. නැටුම් මිණිපුර රත්නසේකර ය. සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි. මේ නාට්‍යයට මම ද සම්බන්ධවීමි. එසේම ආචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ සක්කාය දිට්ඨි නාට්‍ය ඇතුළු සෙසු කලා කටයුතුවලට ද සම්මාදම් වීමි. මේ බව කියත්ම රණසිංහ මහතා සම්මුඛ පරීක්ෂණය නවත්වා එසැනින් මා සමත් කෙළේ ය. ටවර් හෝල් පිළිබඳ කරුණු සෙවීම ද බාර කෙළේ ය.
පිටකොටුව, මරදාන සහ කොටුවේ පැරැණි තොරතුරු දන්නා පුද්ගලයෝ රාශියක් එකල ජීවත්වූහ. ඔවුන් අතර ව්‍යාපාරිකයෝ ද වූහ. කුමාර වීදියේ සේමගේ සමාගමය එවැනි එක් ස්ථානයකි.
සේමගේ සමාගමයේ ප්‍රධානියා වූ කුමාර් දේව ශ්‍රී සේමගේ මහතා සමඟ අපේ පවුලේ ව්‍යාපාරික සබඳතා තිබුණි. ඒ මහතා හමුව ටවර් රඟහල ගැන විමසූවිට ඔහු පැවසුවේ ටවර් රඟහලට පෙර පුෂ්ප ශාලාව නමින් හැඳින්වූ තවත් නාට්‍ය ශාලාවක් වූ බවත්, කුමාර වීදියට මායිම්ව එය පිහිටි බව අසා ඇති බවත් ය. මේ හැර පිටකොටුවේ තවත් තොරතුරු දන්නා කෙනෙක් නම් මකීම් හජ්ජියාර්ය. කිසිදු ජාති ආගම් බේදයක් නොසැලකූ ඔහු ඕනෑම කෙනකුගේ දුකට පිහිට වූ සත් පුරුෂයකි.
මකීම් හජ්ජියාර්ගෙන් ටවර් රඟහල ගැන තොරතුරු ඇසූ විට ඔහු කීවේ ජින්තුපිටියේ මුරුගන් සිනමා ශාලාව පිහිටි බිමේ පැරැණි නූර්ති ශාලාවක් තිබූ බවත්, එය ටකරන් තහඩුවලින් ආවරණය කර තිබූ බව වැඩිහිටියන්ගෙන් අසා ඇති බවත් ය.
ටවර් රඟහලට නුදුරුව නැෂනල් ස්පෙයාර් පාට්ස් නම් වෙළෙඳ සලකි. ඔහු ද මරදාන අවට සෑහෙන කලක් ගත කළ කෙනෙකි. නැෂනල් මුදලාලි නමින් හැඳින්වෙන ඔහුගේ නම ගුණතිලකය. උඩහමුල්ල දුම්රිය පොළ පාරේ පිහිටි නිවස සොයා ගොස් අවශ්‍යතාව පැවසූවිට ඔහු ඉතා සතුටුව තමාට ද සිනමාහල් අයිති බව කීවේ ය.
කේක් කෑල්ලක් සහ කිරි තේ කෝප්පයක් පිළිගැන්වූ ඔහු මරදාන අවට තොරතුරු රාශියක් කියා දුන්නේ ය. ඔහු කී අන්දමට ටවර් රඟහල ඉදිකළ හෙන්දිරික් මුදලාලි දෙමටගොඩ පදිංචිව සිටියේ යැයි ඔහු අසා ඇත. එසේ ම පැසෙන්ජර් යුනියන් හෝටලය නමින් වූ ව්‍යාපාරයක් ද ඔහුට අයත් ව තිබූ මම අසා ඇතැයි ගුණතිලක මහතා කීවේ ය. එය තනි ව්‍යාපාරයක් නොව හවුල් ව්‍යාපාරයකි.
ටවර් රඟහලේ ඇති ඔරලෝසු කණුව මහා බ්‍රිතාන්‍යයේ ටවර් හෝල්හි අනුරුවකැයි ද ඒ මහතා තවදුරටත් කීවේ ය.
ටවර් හෝල් ගොඩනැඟිල්ල විවෘත කරන ලද්දේ මැකලම් ආණ්ඩුකාරයා විසින් යැයි ද ප්‍රථමයෙන් එහි රඟ දැක්වූයේ පණ්ඩුකාභය නාට්‍ය යැයි ද ගුණතිලක මහතා කීවේ ය.
ආචාර්ය ඩී.වී. හපුආරච්චි මහතා 1978 ලියන ලද ටවර් රඟහල පිළිබඳ ලිපියකින් පවසන්නේ 1911 දෙසැම්බර් 16 වැනිදා රඟහල විවෘත කරන ලද බවයි. තවත් මූලාශ්‍රයකට අනුව එම උත්සවයට පැමිණි හෙන්රි මැකලම් ආණ්ඩුකාරයා පිළිගනු ලැබුවේ චාල්ස් ඩයස් විසිනි. නීතිඥ ජෝන් ද සිල්වාගේ ප්‍රධාන තරග කරුවා වූ නීතිඥ චාල්ස් ඩයස් විවාහ කර ගත්තේ හෙන්දිරික් මුදලාලිගේ දියණියකි. හෙන්රික් මුදලාලි යනු ටවර් රඟහල අයිතිකරු ය.
ජෝන් ද සිල්වා, ඊ.ඒ. අබේසේකර, සිරිසේන විමලවීර යන එහි නාට්‍ය ඉදිරිපත් කළ තවත් කලාකරුවෝ ය. ඊ.සී. බී. විජේසිංහ ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙකි. එසේම නාට්‍ය ශිල්පියෙකි. ඔහු ද ජෝන් ද සිල්වා නාට්‍ය නරඹා ඇත්තෙකි.
ෙශ්ක්ස්පියර් ගේ නාට්‍ය ටවර් රඟහලේ වේදිකා ගත කිරීමේ දී වූ රසවත් සිද්ධි දෙකක් ඔහු මතකයට නඟයි.
“එක සිද්ධියක් රෝමියෝ ජුලියට් නාට්‍යයේදී ය. රෝමියෝ ජුලියට්ගේ මුහුණ සිපගන්නා අවස්ථාව දැක්වෙන විට රසිකයෝ නොසන්සුන් වූහ. මොහොතකින් වේදිකාවට කෙසෙල් ලෙල්ලක් වැටුණි. අනතුරුව තව තවත් ලොකු දේවල් වේදිකාවට පතිත වීම ඇරැඹිණ. ඉක්බිති සියල්ලෝ සතුටින් විසිර ගියහ” යි විජේසිංහ සන්ඩේ ඔබ්සෝවර් පත්‍රයට ලියා ඇත.
අනෙක් සිද්ධිය ඔතෙලෝ නාට්‍යය රඟ දැක්වීමේදී ඇති වූවකි. ඔතලේ නාට්‍යයේ කැසියෝ සහ ඉයාගෝ අතර ඇතිවන දෙබසකි.
“නම්බුව මගේ නම්බුව යැයි නළුවා මහ හඬින් කෑගසන අවස්ථාවක් එහි විය.
නම්බුව...
මගේ...
නම්බුව යැයි වේගයෙන් කියත්ම එක් නරඹන්නෙක් නම්බුව තොගේ බම්බුව යැයි කියමින් කෑගැසු බව විජේසිංහ සිය ලිපියේ සඳහන් කරයි. මේ ලිපිය 1980 මැයි 25 සන්ඩේ ඔබ්සෝවර් පුවත්පත් පළවී තිබේ.
හෙන්දිරික් මුදලාලිගේ නමට සෙනෙවිරත්න අප්පුහාමි යන කොටසක් ද වේ.
දිනක් ටවර් රඟහලට පැමිණි ඔහුට නාට්‍යයක් නරඹනු නොහැකිව ළතැවෙන ළමයකු දක්නට ලැබුණි. නාට්‍යය නරඹන්නට ශත 10 ක් අවශ්‍ය නමුත් තම ළඟ ඇත්තේ ශත 5 ක් යැයි මේ ළමයා හෙන්දිරික් අප්පුහාමිට කීවේ ය. හෙන්දිරික් අප්පුහාමි මුදලාලි වහා සිය පොකැට්ටුවෙන් සත 5 ක් රැගෙන ළමයාට දී නාට්‍යය බලන්නැයි කීය.
මේ සිදුවීම බලා සිටි කෙනෙක් මුදලාලිගේ සත්ගුණවත් භාවය ගැන ස්තුති කළේ ය. මගේ සත පහ දුන්නෙ නැත්නම් ඒකා ගාව තිබෙන ශත 5 අරගන්නේ කොහොමදැයි හෙන්දිරික් සෙනෙවිරත්න මුදලාලි එවිට ප්‍රශ්න කර ඇත. මේ කතාව මා අසා ඇත.
ටවර් හෝල් රඟහල පිහිටි භූමිය කොළඹ මහ නගර සභාවෙන් හෙන්දිරික් මුදලාලි විසින් මිල දී ගෙන තිබෙන්නේ රුපියල් 50 කට ය. ඔහුගේ මරණයෙන් පසු ටවර් රඟහල සහ භූමිය කේ. ගුණරත්නම් සහ එස්. සෙල්ල මුත්තු සිවනාදන් යන ව්‍යාපාරිකයන් දෙදෙනාට විකුණා ඇත්තේ රුපියල් 1,25,000 කට ය.
කේ. ගුණරත්නම් සිනමාස් සමාගමය මගින් මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධ වූ අතර සෙල්ලමුත්තු සමාගම පිටකොටුවේ සුප්‍රකට රෙදිපිළි වෙළෙඳ ආයතනයකි.
ටවර් රඟහලට පෙර නූර්ති රඟදැක්වූ ස්ථාන පිළිබඳව ආචාර්ය ඩී.වී. හපුආරච්චි විමර්ශනයක් කර ඇත. සී. දොන් බස්තියන් කොටුවේ ස්ථානයක සිය නූර්ති රඟදැක්වූ බවත්, ජෝන් ද සිල්වා සිය නාට්‍ය සඳහා නාට්‍ය ශාලාවක් ඉදිකිරීමට උත්සාහ කළත් මුදල් හිඟකම නිසා එම උත්සාහය අතහැර දැමූ බවත් හපුආරච්චි මහතා 1978 ලියූ ලිපියක සඳහන් වේ.