මීමු­රේට තව­ල­මක් | සිළුමිණ

මීමු­රේට තව­ල­මක්

තමන්ට, සතා-සීපාවට, ගහට-කොළට, ගොවිතැනට ඕනෑ කරන වතුර හොයාගන්න ක්‍රමයක් අපේ ගම්වල මිනිස්සු දැනගෙන හිටියා. වැව් හැදුවේ, ඒ වැව් එකිනෙක යා වෙන විදිහට ඇළ මාර්ග හදලා එල්ලංගාවල් හැදුවේ ඒ දැනුමෙන්. යටත්විජිත බලපෑම නිසාත් ගම්වල තිබුණු අධ්‍යාපනය බිඳවැටීම නිසාත් දැන් ඒ දැනුම අපෙන් ඈත් වෙලා. ඒ මදිවට දැන් අපි හැමෝම සල්ලි පස්සේ දුවන අය බවටත් පත් වෙලා. සල්ලි හොයන ක්‍රමයක් විදිහට දැන් අපේ බොහෝ අය තේරුම් අරගෙන ඉන්නේ ගම්වලින් පිටට ගිහිල්ලා කන්තෝරු රස්සාවක් හොයාගන්න-එක. දැන් තියෙන අධ්‍යාපනය ලිපිකරුවන් හදන-එකක් හින්දා ඊට වඩා දෙයක් කරන දැනුමක් අපිට ඇත්තෙත් නෑ. ඉතින් හැමදාම හොඳින් මැදගත්ත ඇඳුමක් ඇඳගෙන, බත් මුලකුත් බැඳගෙන රස්සාවලට යන්න අපි පුරුදු වෙලා.

සල්ලි කියන්නේ නරක දෙයක් නෙවෙයි. සුදත්ත සිටුතුමා ජේතවනාරාමය හදලා බුදු රජාණන් වහන්සේට පූජා කරන්න සිව් පණස් කෝටියක් ධනය වියදම් කළා කියලා අපි අහලා කියවලා තියෙනවා. අදටත් අපේ ගම්වල පන්සල් විහාර හදන්නේ දායක-කාරකාදීන් කරන ධන පරිත්‍යාගවලින්. සිංහල අපේ ජාතික ආගමික පුනරුද කටයුතු වෙනුවෙන් වෙහෙසෙන අයත් බොහෝ වෙලාවට ඉවරයක් නැතුව ආඩපාලි කියන්නේ තමන්ගේ කටයුතු කරගෙන යන්න වුවමනා කරන ධන සම්පත් නැතුව අතරමං වෙලා ඉන්න හින්දා. දැන් තියෙන ආර්ථික ක්‍රමය ඇතුළේම තමයි මේ හැම දෙයක්ම අපිට කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ගේ ධනයෙන් පන්සල් විහාර හදනවා වගේම තමයි ජාතියක් විදිහට කරන්න ඕනෑ මහ වැඩවලට කරගහන්න පුළුවන් වෙන්නේත්. ඒ හින්දා මොන දේ කරන්නත් මිනිස්සුන් ගේ ආර්ථිකය ගොඩදාන්න ක්‍රමයක් හොයාගන්න ඕනෑ කියන-එක අපි හැමෝම තේරුම්ගන්න ඕන.

අපේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න ආණ්ඩුවට බෑ. අපේ හැම වැඩක්ම ආණ්ඩුවට පවරන්න ඕනෑත් නෑ. ගමේ අපි ආණ්ඩුවට බදු ගෙවලා ඒ සල්ලි නිලධාරි තන්ත්‍රයක් හරහා වියදම් කරවලා ගමේ වැඩ කරවාගන්න-එක වටේ යන මහා විකාර වැඩක්. අපිට කරගන්න බැරි වැඩ ආණ්ඩුව ලව්වා කරවාගන්න එක හරි. ඒ වෙනුවෙන් නම් ඉතින් ආණ්ඩුවට බදු ගෙවන්නත් සිද්ධ වෙනවා. ඒත් හැම වැඩකටම ආණ්ඩුව ගාවගන්නේ ඇයි?

මෙහෙම කිව්වාට වැව් හදනවා වගේ වැඩ කරන්න දැන් අපිට හයියක් නෑ කියලා කාට හරි කියන්න පුළුවන්. ඉතින් ඒ ශක්තිය අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් වැව, ඒ වටා තියෙන පරිසර පද්ධතිය, අපේ නිෂ්පාදන දැන් තියෙන ආර්ථික ක්‍රමයත් එක්ක යම් ආකාරයකින් හරි ගළපාගන්න පුළුවන් නම් අපිට බැරිකමක් නෑ ගමේ වැඩ කරන්න වුවමනා ශක්තිය උපදවාගන්

මේ වැඩේට ඕනෑ කරන්නේ සමස්තයක් විදිහට ගම, ගමේ මිනිස්සු, ගමේ සම්පත් දායක කරගන්න පුළුවන් ක්‍රමයක් සැලසුම් කරගන්න-එක. පොත් පත් පාඩම් කරලා, විභාග පාස් කරපු අයටත් පුළුවන් මේ දේවල් සැලසුම් කරගන්න උදව් කරන්න. ඒ අය ඉංග්‍රීසිත් දන්නවා. සුද්දාගේ භාෂාවෙන් සිනර්ජි කියන්නේ පද්ධතියක කොටස් එකට එකතු වුණාම සිද්ධ වෙන දේට. පද්ධතියේ එක එක කොටස් වෙන වෙනම තියෙද්දී ලබා දෙන දේට වැඩි දෙයක් සමස්තයක් විදිහට ඒවා එකතු කළාම ඒවාට ලබාදෙන්න පුළුවන්. ඊළඟට, සුද්දාගේ භාෂාවෙන් 'සිම්බයොසිස්' කියලා කියන්නේ එකිනෙකා මත රැ‍ඳෙමින්, එකිනෙකාට සහාය වෙමින් ජීවත් වෙන වැඩේට. සුද්දෝ තව පදයක් හදලා තියෙනවා 'ඉන්ඩස්ට්‍රියල් එකොලොජි' කියලා. ඒ පදයේ තේරුම තමයි පාරිසරික පද්ධතියක් වගේ සමස්තයක් හැදෙන විදිහට කර්මාන්ත සැලසුම් කරන-එක. එතකොට කර්මාන්ත පවතින්නේ දාමයක් විදිහට. ඒ වගේ දාමයක් ඇතුළේ එක කර්මාන්තයක අපද්‍රව්‍ය තවත් කර්මාන්තයකට මූලද්‍රව්‍යයක් වෙන්න පුළුවන්.

මෙහෙම ක්‍රමයක් තමයි ඉස්සර අපේ ගම්වල තිබුණේ. කමක් නෑ. දැන් අපි ඒකත් සුද්දගෙන්ම ඉගෙනගනිමු. කාගෙන් ඉගෙනගත්තත් කමක් නෑ වැඩේ කෙරෙනවා නම්. ඉතින් ගම්වල ප්‍රජා සංවර්ධන කටයුතු අපිට සැලසුම් කරගන්න පුළුවන් මේ සිනර්ජි, සිම්බයොසිස්, ඉන්ඩස්ට්‍රියල් එකොලොජි කියන මූලධර්ම තුන උඩ පදනම් වෙලා. ඒ වගේම 'ප්‍රඩක්ට් - සර්විස් සිස්ටම්' කියලා තවත් සංකල්පයක් තියෙනවා. ඒකට ගමේ නිපදවන දේවල් - ඒ කියන්නේ භාණ්ඩ හා සේවා - ඇතුළත්. ඒ වගේම, ඒ වැඩවලට දායක වෙන පිරිස් ඇතුළත්. ඒ වැඩවලට වුවමනා කරන යටිතල පහසුකම් ඇතුළත්. සම්පත්, ශිල්ප-ශාස්ත්‍ර, මූල්‍ය පහසුකම්, වෙ‍ළෙඳ ක්‍රම වගේ දේවලුත් ඇතුළත්. ඉතින් සමස්තයක් විදිහට සලකලා ගමක ප්‍රජා සංවර්ධන වැඩක් සැලසුම් කරනවා නම් මේ හැම දෙයක් ගැනම හිතන්න ඕනෑ. ඒ වගේම, ගමේ සංස්කෘතිය, අනන්‍යතාව ගැනත් හිතන්න ඕනෑ.

ගම්වල ප්‍රජා සංවර්ධන වැඩවලට දායක වන පිරිස්වල නම් අඩුවක් නෑ. ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, විවිධ සංවිධාන විතරක් නෙවෙයි රාජ්‍ය නොවන සංවිධාන කියලා හඳුන්වාගන්න අයත් මේ වැඩවලට සම්බන්ධ වෙනවා. ඒත් එකෙක් කරන වැඩේ අනිත් එකා දන්නේ නෑ. මේ හැම සංවිධානයකටම අයිති නෝනලා මහත්තුරු ඉවරයක් නැතිව දේශනාත් පවත්වනවා. ඒ දේශනා අහගෙන හිටියාට පස්සේ යමක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් මිනිස්සු ඒවාට ගිහිල්ලා නිදි කිර-කිරා ඉන්නවා. බො‍හෝ වෙලාවට ඒ බලාපොරොත්තු කඩ වෙන්නෙත් නෑ.

ඉතින් සමහර පවුල්වලට මහණ මැෂින් ලැබිලා. තවත් සමහර පවුල්වලට ගඩොළු කපන යන්ත්‍ර ලැබිලා. ඉවරයක් නෑ! ඊට පස්සේ හැමෝම ඒ විදිහට ලැබිච්ච දේවල් ගෙවල්වල ගිහිල්ලා තියාගන්නවා. හුඟක් අය මහණ මැෂින් තියාගන්නේ දුවලා දීග යන වෙලාවට දෙන්න. අනෙක් ලැබිච්ච දේවල් නම් එක එක තැන්වල දාලා තියලා දිරලා යනවා. සමහර වෙලාවට පොඩි එවුන් ඒවා සෙල්ලමට ගන්නවා. ඒවායේ කෑලි-බෑලි වෙන වැඩවලට ගන්න සිද්ධ වන වෙලාවලුත් තියෙනවා.

ඇයි මේ විදිහට කණාපල්ලම් ගහන්නේ? මෙහෙම නැතුව මෙයට පෙර ලිපියෙන් කියපු විදිහට මේ හැම දෙයක්ම ගමේ හදාගන්න සභාවක් මුල් කරගෙන සැලසුම් කරගන්න බැරිද? ඒ සැලසුම් කිරිල්ලට මේ ලිපියෙන් කියපු සිනර්ජි, සිම්බයොසිස්, ඉන්ඩස්ට්‍රියල් එකොලොජි, ප්‍රඩක්ට්-සර්විස් සිස්ටම් කියන කරුණුත් සම්බන්ධ කරගන්නත් පුළුවන්. මේ කාරණා ගැන මේ ලේඛකයා ඉගෙනගත්තේ ඕස්ට්‍රියාවේ වියනා විශ්වවිද්‍යාලයත්, ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයත් චීනයේ රන්මින් විශ්වවිද්‍යාලය එක්ක එකතු වෙලා කරපු පර්යේෂණයකට අදාළ ලිපි ලේඛනවලින්. චීනයේ යුන්-නාන් සහ ච-චියං කියන පළාත්වල තමයි මේ පර්යේෂණ කටයුත්ත කරලා තිබුණේ.

මේ ක්‍රමය අනුගමනය කරලා අපිට අපේ එක ගමක් හරි හදාගන්න බැරිකමක් නෑ. ඉතින් මේ ගැන හිතන බොහෝ වෙලාවට මේ ලේඛකයාගේ මතකයට එන තැනක් තමයි අපේ මීමුරේ ගම්මානය. මීමුරේ ගම යම් පමණකට හරි රැකිලා තිබුණේ ඒ ගමට යන එක පිටස්තර අයට පහසු කටයුත්තක් නොවිච්ච හින්දා. ඉස්සර නම් හුන්නස්ගිරියේ ඉඳලා ලූල්වත්තට ගිහිල්ලා, එතැන ඉඳලා කිලෝ මීටර් දාහතරක් විතර පයින් ගියාම තමයි මීමුරේට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කාලේ මීමුරේට බඩු ගෙනිච්චේ තවලම්වලින්.

ඒත් මෑතක ඉඳලා මීමුරේ පිටස්තර බිස්නස්කාරයන්ගේ ගොදුරක් බවට පත් වෙලා. ඇඩ්වෙන්චර් කෑම්ප් හදන කොළඹ සමාගම් ඒ වැඩෙන් යමක් ගරාගෙන ගමේ මිනිස්සුන්ට මොනවා හරි රොඩු බොඩු ටිකක් විසි කරනවා. ඊට වඩා නරකද ඒ ගමේ කෙරෙන මේ සංචාරක කටයුතුවලට වුවමනා කරන භාණ්ඩ හා සේවා සපයන වැඩේ මීමුරේ මිනිස්සුම එකතු වෙලා හදාගත්ත සමාගමකට පවරගන්න-එක? හුන්නස්ගිරියේ ඉඳලා වෑන්-එකක ගාල් කරගෙන මීමුරේට මිනිස්සු ගෙනියන්නේ නැතුව ලූල්වත්තේ ඉඳලා පරණ විදිහටම ඒ ගමන යන්න සලස්වලා දෙන්න බැරිද? වාහනේකින් මීමුරේට යන-එකේ තියෙන ඇඩ්වෙන්චර්-එක මොකක්ද? දැන් මේ වාහන සෙල්ලම හින්දා මීමුරේට යන මිනිස්සු තමන්ට වුවමනා කරන බඩු මුට්ටු ගන්නෙත් හුන්නස්ගිරියෙන්; ඊළඟට යන පිරිසේ සීමාවකුත් නෑ. ඒ විදිහට චාරයක් නැතුව ගමට යන පිරිස් හින්දා සිද්ධ වන විනාශයත් සුළු-පටු නෑ.

ඉතින් මීමුරේ ගම ආපහු ඒ ගමේ මිනිස්සුන්ටම භාර දෙන්න ඕනෑ කාලේ ඇවිල්ලා. තමන්ගේ අනන්‍යතාවත්, සංස්කෘතියත්, පරිසරයත් රැකගෙන යමක් හම්බ කරගන්න විදිහ මීමුරේ ගමේ මිනිස්සුන්ට කියලා දුන්නාම හොඳටම ඇති. 

 

Comments