බහු විවාහයට පාර කපන ග්‍රහ බලය | Page 3 | සිළුමිණ

බහු විවාහයට පාර කපන ග්‍රහ බලය

එක විවාහයකින්, සතුටින් හෝ අසතුටින් කාලය ගෙවන අය සිටින අතර, විවාහ කිහිපයක් නීත්‍යානුකූලව හෝ නීතියට බාහිරව පවත්වාගෙන යන අය ද සමාජයේ වෙති.

මේ සියල්ල කේන්දරයේ සඳහන්ව තිබේ.

ජන්ම පත්‍රයේ රාශි 12ක් තිබෙන අතර එක රාශියක අංශක තිහකි.

මුළු රාශි 12 අංශක 360ක් වේ. රාශි 30කින් යුත් කොටස නැවත අංක 05ට - ළදරු - ළමා - තරුණ- මහලු - මළ ආදී වශයෙන් වෙන්කොට තරුණ අවස්ථාව හිමි ග්‍රහයාගේ හැසිරීම හොඳ හෝ නරක ඉතා පැහැදිලිව දර්ශනය කරනු ලැබේ.

ප්‍රධාන ආලෝක ග්‍රහයා වූ රවි - මේෂ ලග්න හිමියන්ගේ 07 වැන්න වූ තුලාවේ නීච වේ. මේ පිහිටීම ඇති අයකුට ගුරුගේ හෝ සිකුරුගේ සහ‍යෝගය නොලැබුණු අවස්ථාවේ 07 වැන්නේ - තුලා බලය අසමඟිය උදා කළ හැක. පළමුව, පෞද්ගලික කරුණු අහළ පහළ අය සමඟ සාකච්ඡා කරනු ඇත.

සුළු දෙය බොහෝ දුර ගොස් එකිනෙකා නුරුස්සනු ඇත. එයට පසු තමා ප්‍රියකරන වචන ඇති - හෝ තමා සතුටු වන ඇඳුම් අඳින ඇස - කන- නාසය- දිව- කය - මනස ප්‍රිය උපදවන අයකු සමඟ ආශ්‍රය අරඹා වෙනත් විවාහයකට මඟ සාදා ගනී. පසුගිය වසර කිහිපයක ජන්ම පත්‍ර පරීක්ෂාවේදී මෙය පැහැදිලි කර ඇත.

දෙදෙනාම එකම නැකතේ නිසා විවාහ වී අසාර්ථක වූ අය මා ළඟට පැමිණ ඇත. එසේ වීම පුදුමයක් නොවේ. ඒ අවස්ථාවේ දී ස්ත්‍රිය නැකතේ පසු පාදයක වන අතර පුරුෂයා පෙර පාදයක විය යුතුය. දෙදෙනාම එකම නැකතේ පාද දෙ‍කක වී චන්ද්‍රරාශිය එකක් වී නම් සමඟිය, සතුට ඇති වේ.

ජන්ම නැකත එකම වූ අවස්ථාවේ නැකත් 27ක් ශුභ ලෙස ජ්‍යොතිෂ විද්‍යාවේ පිළිගෙන ඇත්තේ රෙහෙන - අද - පුෂ- මා - හත- සුවන - උත්‍රපුටප- රේවතීයක අටය. විවාහ කාරක සිකුරු කන්‍යා රාශිගතව, අටපතිට හතපති පෙනෙන අය බහු විවාහ ප්‍රිය කරන බව පෙනේ. හතපති සිකුරු කුජ- ධනු - මීන- මිථුන- කන්‍යා රාශි ගත වීමට ද විවාහ වූ අය නොරුස්සන - අන්‍ය අය ප්‍රිය කරන බව සමහර ජන්ම පත්‍රවල දැක තිබේ.

හත් වැන්නේ ග්‍රහයකු සිටින අතර සිකුරු වෙනත් ග්‍රහයින් සමඟ සංයෝග වූ අවස්ථාවල - එම සයෝග වූ ග්‍රහයින් සංඛ්‍යා පමණට වෙනත් අය සම්බන්ධවනු පෙනේ. කිහිප විටක් විවාහ වූ කිහිපදෙනෙකුගේ ජන්ම පත්‍ර මා දැක ඇත.

මකර කුම්භ ලග්න අධිපති -පළමු රාශියෙ සිටින අතර සිකුරු නීචව හතට දර්ශනය වේ නම් අනියම් නොගැළපෙන සම්බන්ධකම් ප්‍රිය කරනු නොඅනුමානය. දෙක පති - හතපති - එකොළහපති නීචව සිටින අතර නීච සිකුරුට හත පෙනෙන අවස්ථාවල හොඳ නොහොඳ වටහා ගැනීම ගුණ අගුණ දැනගැනීම වැඩිහිටි අවවාද පිළිගැනීම නොකරන බව පෙනේ.

මෙවැනි ජන්ම පත්‍ර ඇති අය ළමා කාලයෙ සිට දිනපතා මස් - මාළු - බිත්තරවලින් වැළකී රාත්‍රි 8-9 අතර බුදුන් වැඳ කරණීය මෙත්ත සූත්‍රය ශබ්ද නඟා කියා දිනකට මිනිත්තු පහළොවක් මෛත්‍රී භාවනාව කරන්න. එයට පසු ශ්‍රී විෂ්ණු ප්‍රමුඛ දේව මණ්ඩලයට සියලුම ග්‍රහයින්ට පිං දෙන්න.

පසළොස්වක පෝය දින තමන්ගේ නිර්මාංස දවල් ආහාරය ඉතාම දුර්වල දුප්පත් අයකුට දෙන්න. රාත්‍රී නියමිත වේලාවට කරණීය මෙත්තය (හැකිනම් සිංහල කවි) කියා මෛත්‍රී භාවනාවෙන් පසු දවසේ කළ සියලු පිං දෙවියන්ට - ග්‍රහයින්ට අනුමෝදන් කරන්න.

මෙසේ කර ග්‍රහ අපල අවම කර ගත් අය කිහිප දෙනකු මා වෙත ලියා එවා තිබේ. විශේෂයෙන් නිර්මාංස අයට මත්පැන් - මත්කුඩු භාවිතා නොකරන අයට හැකි හැම අවස්ථාවක මුසාවෙන් තොරව කථා කිරීම නිසා ග්‍රහ අපල අඩුවෙන බව, ඕනෑම අවස්ථාවකට පහසුවෙන් මුහුණ පෑ හැකි බව වර්ෂ කිහිපයක දී මා දැක තිබේ.

 

 

Comments