ඔක්තෝබර් මාසය පොත - පත කියවීමේ මාසය ලෙස හැඳින්වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අද්‍යතන සමාජය දෙසට නෙත් යොමුකරන විට පාසල් පරිශ්‍රයේ සිට විශ්වවිද්‍යාල ක්ෂේත්‍ර දක්වා පොත් පරිශීලනය කරන බවක් නොවේ. පොත් පරිශීලනය වෙනුවට, ආදේශ කරන්නේ ‘ෆේස් බුක්’, ‘ඉන්ටර්නෙට්’, ‘රූපවාහිනි නාලිකා’ ආදියයි. මේ අංශ පරිශීලනයෙන් පුද්ගලයාගේ ප්‍රඥාව ප්‍රවර්ධනීය තලයකට පිවිසෙන්නේ නැත.
‘කියවීම සම්පූර්ණ මිනිසෙක් කරයි’ (Reading make a full man) යනුවෙන් කියුමක් ඇත. ලෝකයේ විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයේ පහළ වූ වියතුන්, යතිවරුන්, දාර්ශනිකයන්, චින්තකයන්, නවකතාකරුවන්, නවකතාකාරියන්, කෙටිකතාකරුවන්, කෙටිකතාකාරියන්, ලේඛකයන්, ලේඛිකාවන් බිහිවූයේ පොත් පරිශීලනයෙනි.
නිරන්තරයෙන් ම, අනවරතයෙන් ම පොත් පරිශීලනය කළ යුතුය. අද්‍යතන සමාජයේ පාසල් සිසු - සිසුවියන් ද, විශ්වවිද්‍යාල පද්ධතියේ සිසු - සිසුවියන් ද පොත් පරිශීලනය කරන බවක් නොපෙනේ.
පාසල් පද්ධතියේ පන්ති කාමරවල පොත් අල්මාරියක් තිබුණු බව අපි දුටුවෙමු. එහෙත් අද්‍යතන අවදියේ එබඳු තත්ත්වයක් මතුවන්නේ නැත. තම දරුවන්ට මසකට එක පොත බැගින්ගෙනත් දීමට මවුපියන් වගබලා ගත යුතුය. මෙසේ පොත් ගෙනත්දීම මත දරුවන්ගේ කාමරයේ පොත් රාක්කයක්, පොත් අල්මාරියක් නිරන්තරයෙන් ම නිර්මාණය වන්නේය. එහෙත් අද්‍යතන අවධියේ මෙබඳු තත්ත්වයක් මතු වන්නේ ද.
අග්නිදිග ආසියාවේ විශාල තම පොත්ගුල ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ය. එහෙත් විවිධ විෂය යටතේ ඇති පොත් ගොන්න සරසවි සිසු - සිසුවියන් පරිශීලනය කරන්නේ ද. මහාචාර්ය සුචරිත ගම්ලත් පැවැසුවේ පේරාදෙණිය පොත්ගුල පරිශීලනය කරන්නේ සරසවි සිසු - සිසුවියන් නොව ‘කාවුන්ය” යන්නයි.
සිසු - සිසුවියන් විශ්ව විද්‍යාලයට පිවිසෙන්නේ හිස් අසම්පූර්ණ අය ලෙස ය. එහෙත් එයින් පිටවන්නේ පූර්ණ අය ලෙස යි. මන්ද යත් පොත් පරිශීලනයෙන් ලබන ඥානය හේතුකොටගෙන භාෂා ඥානය - විෂය ඥානය - පරිචය, ප්‍රාගුන්‍ය යන අංශ කෙරෙහි පුද්ගලයා වර්ධනීය තලයකට පත්විය යුතුය. එවන් තත්ත්වයක් මතුවන්නේ පොත් පරිශීලනයෙනි.
විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙරාතුව දේශීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ මහගත්කරු හෙවත් කොග්ගල ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහ පාසල් ගියේ 5 වැනි ශ්‍රේණිය දක්වා ය. ගාල්ලේ බොනවිස්වා විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල ප්‍රාඥයා බවට පත්වූයේ විශ්ව සාහිත්‍යයේ විවිධ විෂය යටතේ පොත් පරිශීලනය කිරීමෙනි.
මාර්ටින් වික්‍රමසිංහගේ නාවල නිවෙසේ මහා පොත්ගුලක් තිබුණි. එම පොත්ගුලේ පොත් 15,000 ක් තිබුණි. පොත් පරිශීලනයෙන් ලබන භාෂාත්මක ඥානය හේතුකොටගෙන රසාත්මක භාෂා ඥානයක් ඇති වන්නේය. මාර්ටින් වික්‍රමසිංහගේ භාෂා ඥානය මෙයට හොඳ ම නිදසුනකි.
ලංකාවේ ඉංග්‍රීසි පාලන සමයේ දිසාපතිවරයකු ලෙස සේවය කළ ලෙනාඩ් වුල්ෆ් ගේ බිරිය වූ වර්ජීනියා වුල්ෆ් කිසි ම දිනක පාසල් ගිය කෙනකු නොවේ. ඇයට ස්වකීය පියා කියවීම උදෙසා පොත් දිනපතා ම ගෙනත් දෙන ලදි. මේ තත්ත්වය මත වර්ජීනියා වුල්ෆ්ගේ නිවෙසේ පොත්ගුලේ පොත් 15,000 ක් තිබුණු බව හෙළිවෙයි.
පොත් පරිශීලනයෙන් ලත් පරිචය මත නවකතාවේ සෞන්දර්යවාදි රීතියක් නිර්මාණය කෙළේ වර්ජීනියා වුල්ෆ් නමැති නවකතාකාරියයි.
විශ්ව සාහිත්‍යයේ මහා ලේඛකයන්, නවකතාකරුවන්, කෙටිකතාකරුවන් බවට පත්වූයේ පොත් පරිශීලනයෙනි. නිතර ම පොත් පරිශීලනය කිරීම හේතුකොටගෙන ස්වකීය ප්‍රඥාව විවිධ පැතිකඩාශ්‍රිතව විහිදවීමට ශක්තියක් ඇතිවිය. පොත් පරිශීලනය නොවීමෙන් එබඳු තත්ත්වයක් මතු වන්නේ නැත.
තෝමස් හාඩි නමැති මහා නවකතාකරුවා නිතර ම පොතක් පරිශීලනය කරන්නට ඉටාගත්තේය. මැක්සිම් ගෝර්කි රාත්‍රියේ සිට එළිවනතුරු පොත් පරිශීලනය කරන්නට ඉටාගත්තේ ය. ප්‍රංසයේ මහා නවකතාකරුවකු වූ ‘වික්ටර් හියුගෝ’ යන යන තැන පොතක් රැගෙන ගොස් පරිශීලනය කරන්නට ඉටාගත්තේය. පොතක් පරිශීලනය කරන්නට නොලැබුනොත් එය මහත් අඩුවක් ලෙසයි වික්ටර් හියුගෝ සැලකුවේ.
පොත් සමුදාය පරිශීලනයෙන් තමන්ගේ ප්‍රඥාව වර්ධනීය තලයකට සේන්දුවීමත් සමඟ ම තමන් නොදැනුවත්ව ම තම නිවෙසේ මහා පොත් ගුලක් නිර්මාණය වන්නේ ය. මෙය කොතරම් ආඩම්බරයට හේතුභූත වන්නක්ද? එමෙන් ම පරමාදර්ශි ක්‍රියාවකි.
අද්‍යතන අවධියේ පාසල් පරිශ්‍රයේ සිසු දරුවන්ට ගුරුවරු පොත් පරිශීලනය කරන්නට පරිශ්‍රයක් සකසන බවක් නොපෙනේ. අප පාසල් යන අවදියේ අපට ඉගැන්වූ ගුරුවරු පොත් පරිශීලනය කරන්නට මං පාදවන ලදි. එයට සමගාමීව පුවත් පත්වල සාරගර්භ ලිපි ද පරිශීලනයට ගෙනත් දෙන ලදි. එහෙත් අද්‍යතන අවදියේ එබඳු තත්ත්වයක් උදා වී තිබෙන්නේ ද.
තමන් සමීපයේ පවතින පොත් පුන පුනා පරිශීලනය කරන්නට හැකියාවක් ඇත. එහෙත් ෆේස් බුක් ආශ්‍රයෙන් එබඳු තත්ත්වයක් උදාවන්නේ නැත. පොත් යනු පුද්ගලයාගේ කලණ මිතුරෙකි.
මානව ගුණාංග බොහෝ චරිතවලින් ගිලිහී ගොස් ඇති බව පෙනේ. ඥානාභිවර්ධනයට බලපාන පොත් පරිශීලනය හේතුවෙන් සමාජය යහමඟට යන්නේ නිරායාසයෙනි. පුද්ගල ඥාන ශක්තිය උත්ප්‍රේරණීය තලයකට රැගෙන යන්නේ පොත් කියවීමෙනි.
ප්‍රාඥත්වයට පත් අයගේ දැනුම වර්ධනීය තලයකට පිවිසුණේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් නොව පොත් පරිශීලනයෙනි. භාෂා ඥානය නිවැරැදි මාර්ගයකට පිවිසවන්නට හේතුභූතවන්නේත් පොත් පරිශීලනායාශ්‍රිතභාවය මතය. මෙය අප මනාව තේරුම්ගත යුතුය.
රටේ ආර්ථිකාභිවර්ධනයට බලපාන්නේ විවිධ පැතිකඩාශ්‍රිතව නිර්මාණ ශක්තිය විහිදවීම මතය. මෙවන් තත්ත්වයක් ජනිතවන්නේ පොත් පරිශීලනයෙන් ලබන ඥානය මතය. පොත් කියවන්නන්ගේ ප්‍රමාණය දිනෙන් දින පහළට යාම නොව ඉහළට යාමට මං පෙත්, ක්‍රමවේද ජනිත කිරීමට කාලයයි මේ.