දිවි සයුරෙන් දිය දෝතක් කියවා නැතැයි මා කියන්නේ ලජ්ජාවෙනි. එය ඇත්තටම සීගිරි ගොස් නැතැයි වැනි කතාවකි. ඒ නිසාම මා පසුගිය දිනෙක ගොඩගේ පොත්හලට ගියේ ම මාගම් තෙන්නකෝන් මහතාගේ ‘දිවිසයුරෙන් දිය දෝතක් ’ගැනීමටය. මා ඉල්ලූ වහාම පොත මට ලැබිණි. මම කියවා නැතත් ඒ පොත දැක ඇත්තෙමි. දුටුවනම ඒ පොත මා දැක ඇති පොතට වඩා කුඩා බව මට දැණිනි. හොඳින් බැලූ විට එය‘දිවිසයුරෙන් දිය දෝතක් 2’ බව පෙණිනි. පළමු කොටස මුද්‍රණයේ නැත. ඉහත මාතෘකා පාඨය ඒ වෙනුවෙනි. එහි නැවත මුද්‍රණයක් වුවමනාකර තිබේ.
කෙසේවුවත් දිවිසයුරෙන් දිය දෝතක් දෙක තුළින් මම ඒකේ අඩුව තරමක් පිරිමසා ගතිමි. එහි එක්තරා අපූරු කතාවක් මගේ හිතට තදින් ම වැදිණි. මිතුරෙකුට ද එය කියූ පසුව ඔහුගේ හිතට ද එය තදින්ම වැදුණු බව පෙණිනි. මගේ එම මිතුරා සිංහල පොත් නොකියවන්නෙකි. ඉංග්‍රිසි පොත් ම වර්ණනා කරන්නෙකි. ඒ නිසා ම මා ඒ කතා වඔහුට වැඩියෙන් ම කීවේ ඔහුව සිංහල පොත් ද කියවීමට පෙලඹවීමේ අටියෙනි. මාගම් තෙන්නකෝන් මහතා දිය දෝතක් දෙක කොටසේ එක් තැනක මෙවැන්නක් කියයි.
‘පෘතුගීසීන්ගෙන් අපට කතෝලික ආගම ලැබුණා’
ඒ කතාව හරි බව පැහැදිලිය. බුදුදහම ළඟට ලංකාවේ වැදගත්ම ආගමක් බවට පත්ව ඇති කතෝලික ආගම ගෙන ආවේ පෘතුගීසීන්ය.
ඉන් පසුව මාගම් තෙන්නකෝන් මහතා ලන්දේසීන් ගැන කියයි.
රෝම ලන්දේසි නීතිය අපට ලැබුණේ ලන්දේසීන්ගෙනි.
යුක්තිය අයුක්තිය ගැන පමණක් නොව පව පින ද තීරණය කරගැනීම ද හෘදය සාක්ෂිය තීරණය කරගැනීම ද සාධාරණය අසාධාරණය තීරණය කරගැනීම ද හිත සනසා ගැනීමට ද හිතේ මානයට හා අභිමානයට ද යොදාගන්නා නීති ක්‍රමය අපට ලැබුණේ ලන්දේසීන්ගෙනි.
ඉන් පසුව මාගම් තෙන්නකෝන් ඉංග්‍රීසීන් ගැනකියයි.
‘ඉංග්‍රීසීන් අපට ඒමොකක්වත් දුන්නේ නෑ. ඉංග්‍රීසීන් අපට දීලා ගියේ ක්‍රිකට්’
මගේ ඇස් ඇරුණේ ඒ කතාවටය. මෙහි දී මාගම් තෙන්නකෝන් අන්‍යාකාරයකින් කියන්නේ ක්‍රිකට් අපට ආගමක් වි ඇති බවක් නොවේද? කෙසේ වුවත් මට ක්‍රිකට්වලට වඩා රසවත් පොතක් කෙසේ හෝ ලැබිණි. ඒ මාගම් තෙන්නකෝන් මහතා ලියූ දිවි සයුරෙන් දිය දෝතක් පොතයි.
කෙසේ වුවත් මාගම් තෙන්නකෝන් මහතා ක්‍රිකට් ගැන පමණක් නොව සර් අයිවර් ජෙනිංස් හා පේරාදෙණිය සරසවිය ගැන ද කියයි. ඒ මහතා ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුල්ම උපාධිධාරී කණ්ඩායම්වලට අයත් වන්නෙකි.
අප සිතන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය දැමුවේ ආර්ථික විද්‍යාව, සංස්කෘත භාෂාව, සිංහල, ඉංග්‍රීසි, භූගෝලය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ආදිය ඉගැන්වීමට පමණක් බවය. එහෙත් බාල්නැටීම හා හැඳි ගෑරුප්පුවෙන් කෝසස් කෑමට ඉගැන්වීම ද සර් අයිවර් ජෙනිංස් මහතාගේ ප්‍රධාන අරමුණක් ව තිබුණු බවක් මාගම් තෙන්නකෝන් මහතා හඟවයි. මේ රටේ උගතුන්ට තිබුණු ලොකුම අඩුව බාල් නැටීමට හා හැඳි ගෑරුප්පුවලින් කෑමට නොදැන සිටීමය වැනි හැඟීමක් අයිවර් ජෙනිංස් තුළ තිබුණා වැන්න. මේ ගැන කීමේ දී ඇත්තටම මම මාගම් තෙන්නකෝන් මහතා තරම් නිර්භීත නොවෙමි. ඔබ ම දිවි සයුරෙන් දෙක කියවීම වඩා හොඳය.
ඒ කෙසේ වුවත් එදා උගත්තු උපාධියට අමතරව බාල් නැටීම ද ඉගෙන ගත්හ. එයට වශි වූහ. එයට යටත් වූහ. සුද්දාගේ කඩුවට මෙන් ම හැඳි ගෑරුප්පුවලට ද අවනත වූහ. එහෙත් අදනම් කැම්පස්වල බාල් නටන්නට ඉඩක් නැත. හැඳි ගෑරුප්පු ද නැත. ඒ නිසා සරසවි ශිෂ්‍යයෝ සැමදාම මහ පාරවල්වල බාල් නටති. හැඳි ගෑරුප්පුවලට වහල් වූවන් නැතත් ඊටත් වඩා මාක්ස් ලෙනින් යන පද දෙකට වහල් වුවන් ඕනෑ තරම් සිටිති. අයිවර් ජෙනිංස්ට වැර දී නැත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විවෘත කරන අවදියේ දී මිහිබට සුරපුරක් මෙන් සියලූ සැප පහසුකම්වලින් අනූන විය. සුවිසල් ගොඩනැගිලිවලින් ආඪ්‍ය විය. කෑම බීම සියල්ල සුපිරි මට්ටමක පැවතිණි. පරිසරය ගැන කිව මනා නැත. එහෙත් මාගම් තෙන්නකෝන් මහතා කියන්නේ ඉගෙනීමටනම් එතරම් ම සැපපහසුකම් අවශ්‍ය ද යන්නයි. භාරතයේ ශාන්ති නිකේතනය ආදී විද්‍යාස්ථාන සැප පහසුකම්වලින් ආඪය නොවූවත් බිහිකරන ලද උගතුන් විද්වතුන් ප්‍රමාණය අපමණය. පේරාදෙණියට මෙතරම් වියදමක් නොදරා කල්පනා කර වියදම් කළා නම් එම මුදලින් ඊට වඩා රටේ අධ්‍යාපනයට යහපතක් කරන්නට තිබූ බවක් මාගම් තෙන්නකෝන් මහතාගේ පොතේ පැවසෙන බවක් හැඟේ. එහෙත් ඒ මට්ටමට නොහැදුවානම් බාල් නටන්නටනම් උගන්නන්නට බැරිය.
මේ ගැන තවත් කිවහැකි වුවත් මට මාගම් තෙන්නකෝන් මහතාට තරම් කොන්දක් නැත. නුවණක් ද නැත. එනම් මා මේ පොත අර්ථ නිරූපණය කරන්නට යෑමේ දී ගැටලු මතු විය හැකිය. වඩා හොඳ ඔබම කියවා බැලීමය. කෙසේ හෝ පහත දැක්වෙන්නේ එතුමාගේ කෘතියෙන් ‘දියදෝතකි’.
‘ජෙනින්ස්ට වුවමනා වී තිබුණේ ඉංග්‍රීසි ගැති මානසිකත්වයට ද හැදියාවට ද හුරු කළ සුළු පිරිසක් සරසවියෙන් රටට යවා රට ඔවුන්ගේ චිරකාලීන ගොදුරු බිමක් කර ගැනීමටය.’
අද සරසවිවල එතරම් ඉංග්‍රීසි නැත. ඉංග්‍රීසි වෙනුවට බොහෝ සරසවි සිසුන් තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්නේ මාක්ස්වාදී සංකල්ප හා වචනවලිනි. එනම් අද ඔවුන් යුරෝපයට හා සුද්දන්ට ඇති තමන්ගේ නෑකම පෙන්වන්නේ ඉංග්‍රීසියෙන් නොව මාක්ස්වාදයෙනි. මෙය මාක්ස්වාදයේ හෝ ඉංග්‍රිසිවල වරදක් නොව අප විසින් ඒ දෙකම යොදා ගෙන ඇති ආකාරයේ වරදයි. එලෙස ම මාගම් තෙන්නකෝන් මහතාගේ කෘතිය ද හරි ආකාරයෙන් යොදා ගත හොත් ඉන් අපට බොහෝ දේ ඉගෙනගත හැකිය.