නොහ­ඬන් සූරි­ය­කාන්තා | සිළුමිණ

නොහ­ඬන් සූරි­ය­කාන්තා

‘අපේ දෑස’, ‘අපේ හිත’, අපේ හදවත’ යැයි උජාරුවෙන් කියාගත්තත් මේ කිසිවක් අපට ඕනෑ හැටියට හසුරුවා ගන්නට, නම්මා ගන්නට අපට බැරි ය. මෙසේ කී තරමින් ඒ කියන දෙය හරියට ම තේරුම් ගැනීම ද පහසු නැත. මේ අප්‍රභංශය අතැඹුලක් බවට පත්වන්නේ මෙවැනි ගීතයක් ඇසෙන විට ය.

‘දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී

ඔබ එනවා

සිත සිර-කර ගමි ඔබට නොඑන්නට සිතුවිල්ලක් වී

ඔබ එනවා.’

දෑස් පියාගත්තත් අපට සිහින දකින්නට සිදුවෙයි. අපගේ සිතින් කිසිවකු බැහැර කළේ යැයි සිතුවත් ඒ තැනැත්තා සිතට පිවිසෙන්නේ අනවසරයෙනි. සිත චමත්කාරයෙන් පුරවන මේ ගීතය බැලූ බැල්මට ම පෙනී යන්නේ ආදරවන්තියකගේ වියෝ ගීතයක් ලෙස ය. එහෙත් ආදරවන්තියක් වූවත් නොවූවත් වියෝගයක් සිදු වී තිබුණත්, නොතිබුණත් සියලූ ශ්‍රාවකයෝ (ඇතැම්විට වයස් භේදයකින් පවා තොර ව) මේ ගීතයෙන් රසවත් වෙති. පේ‍්‍රම වියෝගයක් පිළිබඳ කිසි දු අත්දැකීමකින් තොර වූවනට වුව ද මේ ගීතය අසන විට හැඟෙන්නේ, දැනෙන්නේ තමා පරාජිත පේ‍්‍රමයකින් හුදෙකලා වී සිටින ආකාරයයි. ගීතයේ ආශ්චර්යය නම් එයයි.

මේ අපූරු පදවැල දයා ද අල්විස්ගේ බව (පුණ්‍යා කත්‍රිආරච්චිගේ හඬින්) ගීතය ඇසූ මුල් දිනවල දී මා දැන සිටියේ නැත. ඊට පසුව මා සිතා සිටියේ එය පේ‍්‍රමකීර්ති ද අල්විස්ගේ පදවැලකි යි කියා ය. ගේය පද රචනයෙහි ලා වැඩි දස්කම්, විස්කම් දක්වා ඇත්තේ ප්‍රේමකීර්ති ද? දයා ද? යන තේරුමක් නැති ප්‍රශ්නය මගෙ සිතට උණා ආවේ මෙය දයා ද අල්විස්ගේ රචනයක් බව දැනගත් දවසේ ය. තවමත් දයා ද අල්විස් ලියූ ගීත ඇසෙන විට මට හැඟී-දැනී යන්නේ ෙප්‍ර්මකීර්තිගේ ආකර්ෂණීය ගීත ශ්‍රවණය කිරීමේ දී දැනෙන සීතල සුවයට වඩා අඩු සිසිලසක් නම් නොවේ.

ඇගේ ගේය පදරචනා කරළියට ගෙනඑමින් ‘නිමාවක් නොවන ඇරඹුමක්’ නම් වූ කෘතියක් ප්‍රකාශයට පත්කිරීම සඳහා මලින්ද සුදර්ශන සහෘදයා ඉදිරිපත් වී ඇත. ‘නිමාවක් නොවන ඇරඹුමක්’ (දයාවියකගේ ගී මතක) පොත පසුගිය දා (ඔක්තෝබර් 3) කලඑළි දුටුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී ය. මේ උත්සවයේ කැපී පෙනුණු එක් කරුණක් ලෙස අප දුටුවේ කැපී පෙනෙන්නට කිසිදු උත්සාහයක් නොගත් මලින්ද සුදර්ශනගේ භූමිකාව ය. පොත සංස්කරණය කරමින් උත්සව කටයුතු සංවිධානය කළේ ද ඔහු ය. පොතේ එන ඔහුගේ සැකසුම් සටහන ඉතා කෙටි ය. පොත කලඑළි ගැන්වූ අවස්ථාවේ වැදගත් සියල්ල අවධානයට ලක්කරමින් මුත් ඔහු කළ ස්තූති කතාව සඳහා වැයවූයේ විනාඩි පහකට ආසන්න ඉතා කෙටි කාලයකි.

දයා ද අල්විස්ගේ මනමෝහනීය ගීතකලාව පිළිබඳ පෞද්ගලික කතාවක් ද මේ සමඟ ම මට කියන්නට තිබේ. ඇගේ එක් ගීතයක චමත්කාරය කොතරම් ගැඹුරින් මගේ සිතට කාවැදී තිබුණේ ද යත් 1967 වසරේ දී ඇය ලියූ (ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගැයූ) කඳුළු අතරට සිනා රැළිවෙමි - විඩාවට සෙවණක් වෙමී, ජීවිතේ පොත පුරා ලියැවෙන - ආදරේ කවියක් වෙමී’ යනුවෙන් ඇරඹෙන ඇගේ කුළුදුල් ගීතය, නොතකා හරින්නට මගේ කුළුදුල් නවකතාව වන ‘බලන් කඩතුරා හැර දෑසේ’ ලියද් දී මට ද නොහැකි වී තිබේ. (එය පළවූයේ 1977 වසරේ දී ය.) අනියම්, ආධ්‍යාත්මික පේ‍්‍රමයක් පාදක ව ලියැවුණු ඒ නවකතාවට මේ ගීතයේ පදවැල් කිහිපයක් එක්කරගන්නට මා පෙළඹී ඇත්තේ ගීතයත්, නවකතාවත් අතර වූ කුමක්දෝ සහසබඳතාවක් ආකස්මික ව හැඟීයන්නට ඇති නිසා ය. මේ චමත්කාරය බෙහෙවින් ම හැඟුණේ දැනුණේ එදා යෞවනයට ය. චමත්කාරය යන්නෙහි නියම අරුත කෙනෙකුට ලේසියෙන් පැහැදිලි කරදීම ද පහසු නැත.

ආතර් ෂොපෙන්හවර් නම් වූ ජර්මානු දාර්ශනිකයා දිනක් උද්‍යානයක මල්ගොමු දෙස බලමින් දැහැන්ගත ව මෙන් සිටිය දී එතැනට පැමිණි උද්‍යාන පාලකයා ‘මොනව ද ඔය ඔතන කරන්නේ’ යි ඇසුවේ ලූ. අන්දමන්ද වූ දාර්ශනකියා උයන්පල්ලාට පිළිතුරු දී ඇත්තේ ‘අනේ ඒක දැනගන්න මට පුළුවං වුනා නං’ කියා ය. දයා ද අල්විස්ගේ ගීත අසද් දී ශ්‍රාවකයා තුළ මෙන් ම ඒ රචනා බිහිකරද් දී ඇය තුළ ද තිබෙන්නට ඇතැයි අපට සිතෙන්නේ මේ ස්වභාවයයි. කිසිම නිර්මාණකරුවකුට නිර්මාණයේ උපත පිළිබඳ නොවරදිනසුලූ නිර්වචනයක් සැපයීම එතරම් පහසු විය හැකි නැත. හදිසියේ කෙටූ විදුලියක් මෙන් සිතට නැගුණු අදහසක්, භාවයක් වචන බවට පත්කිරීමේ දී ඊට තුඩුදුන් හේතුකාරණා ටක්කෙට ම ලැයිස්තුගත කිරීම අසීරු ය. වඩාත් අපහසු වන්නේ බොහෝ කාලයකට පසු ව ඒ ගැන වගඋත්තර බැඳීම ය. ෂොපෙන්හවර් නම් වූ දාර්ශනිකයා මුහුණ පෑ ඇබැද්දියට බොහෝ නිර්මාණකරුවන් මුහුණ දෙන්නේ ඒ නිසා ය. සිතන තරම් ලේසි පහසු නොවන නිර්මාණ බීජයේ උත්පත්ති කතාව ගළපාගැනීමේ ගැටලූවට දයා ද අල්විස් නම් වූ ප්‍රතිභාපූර්ණ රචිකාවත් මැදි වූයේ දැයි සැකසාංකාවක් උපන්නේ ඇය ලියූ, අබේවර්ධන බාලසූරිය සහ ඉන්ද්‍රානි බෝගොඩ ගැයූ ‘නොහඬන් සූරියකාන්තා’ ගීතයේ උපත පිළිබඳ ඇගේ නිර්වචනය දුටු මොහොතේ ය. එහි දී නිකමට වාගේ අපට සිතුණේ රචිකාව නොකී කතාවකුත් එතැන ඇත්තේ දැයි කියා. (මෙවැනි ප්‍රශ්නයක් එදා උත්සව අවස්ථාවේ දී දිලීප අබේසේකර ද මතු කළ බවක් ද අපට මතක තිබේ.) දයා කියන ආකාරයට මේ අපූරු ගීතය උපත ලබා ඇත්තේ පුංචි කාලේ ඇගේ කෙස් කැරලිවල අවුල් කඩද් දී අම්මා කියා දුන් කතන්දරයක් නිසා ය. එහෙත් ඉන් ඔබ්බට ගිය යෞවනයේ ප්‍රහර්ෂයක්, ප්‍රේමයේ චමත්කාරයක් ඊට මුසු ව නැද්දැයි අපට සිතෙයි.

සූරිය නාමෙන් නම ලදිමී - සූරිය වත මෙන් රුව ලදිමී

සූරිය පැහැයෙන් සළු ලදිමී - සූරිය කුමරුනි ඔබ පතමී

සදාතනික කලා නිර්මාණ, අමරණීය සාහිත්‍ය කෘති, චිරාත්කාලීන ගේය පද රචනා සියල්ල එසේ දීර්ඝකාලීන ව පැවතී ඇත්තේ එක්වීමේ ආනන්දය නිසා නොව වෙන්වීමේ වේදනාව නිසා ය. රාධ-ක්‍රිෂ්ණා හෝ රොමියෝ-ජුලියට් තරමට සාලිය-අශෝකමාලා ෙප්‍ර්ම අන්දරය අප සසල කරවීමට සමත් නොවූයේ එය එක්වීමකින් නිමාව දකින නිසා වීමට පුළුවන. ලියෝ තොල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’ සහ ගුස්ටාව් ෆ්ලෝබෙයාගේ ‘එමා බෝවාරි’ කෘති සම්බන්ධයෙන් කියන්ට ඇත්තේ ද මේ කතාව ම ය. දයා ද අල්විස්ගේ ගේය පද රචනා සදානුස්මරණීය වන්නේ අඳුරු පැහැති දීප්තිමත් සායමක් පරිද්දෙන් ඒවායේ විසිරී-පැතිරී ශේෂ ව පවතින විරහ වේදනාව නිසා ම ය. ඊට ද හේතුවන්නට ඇත්තේ රචිකාවගේ අත්දැකීම් බාහුල්‍යයම විය හැකි ය.

කිසි දු හැලහැප්පීමකින් තොරව ඍජු රේඛාවක් ඔස්සේ ගලායන ඒකාකාරී ජීවිතයකට සිහිවටන ශේෂ වන්නේ නැත. කලකට පෙර මේ රටේ ජීවත්වූ බහුතරයක් ස්ත්‍රීන්ගේ (තරුණියන්ගේ) ජීවිත වෙනස්කම්වලට භාජනය වූයේ කලාතුරකිනි. පතිකුලයට පිවිසි ඒ අතැම් තරුණියක මහලු වී මියෙන තුරු ම බොහෝවිට ජීවත් වූයේ එක ම ගමේ හෝ එක ම නගරයේ ය. ඇය විසූ නිවහනේ උළුවහු, දොරජනේල පවා ඇගේ මරණය දක්වා ම පැවතුණේ ඇය විවාපත් ව කුලගෙට පැමිණි දා තිබූ ආකාරයට ම ය. ඇගේ ඇඳුම් ඇඟලුම් රඳවාගෙන සිටි අල්මාරිය ඇගේ ජීවිත කාලය මුළුල්ලේ ම එක තැන ඝනීභූත ව පැවතුණේ ය. අප දන්නා තරමින් දයා ද අල්විස්ගේ ජීවිතය ගෙවී ගියේ මේ ආකාරයට ඒකාකාරී ව, නිසංසල ව නොවේ. එය බොහෝ වෙනස්කම්වලින් යුතුව වරින් වර අලූත් වූවකි. වියෝවේදනා ඇගේ ජීවිතයට පිවිසුණේ ආශිර්වාදාත්මක ව දැයි සිතන්නට තරම් අප සැහැසි නොවන මුත් එය එසේ සිදු වූයේ සිංහල ගීත සාහිත්‍යයේ වාසනාවට ද යන ප්‍රශ්නයෙන් පැනයන්නට නම් අප අපොහොසත් ය. මින් අදහස් වන්නේ දයා ප්‍රතිනිර්මාණය කර ඇත්තේ තමාගේ අත්දැකීම් පමණකි ය යන්න නොවේ. පොදු අත්දැකීමක් බවට පත්ව ඇති ඇගේ ගීත බොහෝ ය.

‘මහාමෙරක් ලෙස ඔබ ගැන සිතුවේ

වැලිකැටයක් මෙනි ඔබ මා ගැන සිතුවේ’

නිර්මලා රණතුංගගේ ආකර්ෂණීය හඬින් ගැයෙන මේ ගීතයේ අත්දැකීම දයා ද අල්විස්ට පමණක් සීමාවූවක් නොවේ. මේ වූ කලී සමස්ත ස්ත්‍රීසංහතියේ ම පොදු අත්දැකීම ය. අපේ කාලයේ ජීවත් වූ සෑම තරුණියක තුළ ම පාහේ පිරිමියා (සැමියා හෝ පෙම්වතා) පිළිබඳ මෙවැනි රිදුම්දෙනුසුලූ මතකයන් ශේෂ ව තිබූ බව, අද දවසේ දී ඒ වැඩිදෙනෙකුගෙන් ඇසුවහොත් දැනගත හැකිවනු ඇත. මේ තත්ත්වය උද්ගත වූයේ යුග ජීවිතයේ දී බිරිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පිරිමිකමට මදිකමකි යි බහුතර පිරිමින් සිතූ නිසා ද විය හැකි ය. කෙසේ වෙතත් ‘ප්‍රේමය’ යනු පුදසුනක තබා සුවඳදුම් ඇල්ලීමට තරම් පූජනීය වූවකි යි සිතන්නට එකළ සිටි තරුණියන්ට උත්තේජනය සැපයුවේ ද මේ කන්කලු ගීත සාහිත්‍යයම ය.

‘ළා සඳ එළියේ - නා පෙති හැළිලා

නාමල් සුවඳයි විහිදෙන්නේ.

නා පෙති සිඹලා - තරු එළි නිවලා

සඳවත සැතපෙයි මල් යහනේ.

ඔබේ දෙපා මත හිස රඳවන්නම්

පළමු වතාවට හිමිසඳුනේ.’

නිරංජලා සරෝජිනී ගැයූ මේ ගීතය නිරංජලාගේ විවාහයේ මුවදොර අසල දී තමා ලියුවේ, යුගදිවිය හා මධුසමය උපකල්පනය කරමිනි යි දයා කියයි. මේ ගීතයේ අරුත මේ වන විට සංකල්පීය වෙනසකට බඳුන් ව ඇතැයි බොහෝ දෙනා කියති.

නූතන තරුණියකට මෙවැනි මධුසමයක වලංගුභාවය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැ‍ඟෙන්නේ ද එහෙයිනි. ගැහැනිය, පිරිමියාගේ පාද නමස්කාර කළ යුතු ද යන්න මෙකළ බොහෝ විට නැ‍ඟෙන ප්‍රශ්නයකි. මේ සියලූ ප්‍රශ්නවලට සරිලන එක ම උත්තරයක් සොයා සපයා ගැනීම පහසු නැත. කෙසේ වුව ද ඒ කාලේ තරුණියන් මේ කාලේ තරුණියන් තරමට ම දේවල් දැන ගෙන සිටියේ නැත. විද්‍යාවේ, තාක්ෂණයේ මහිමයෙන් බොහෝ දේ නිරාවරණය වෙමින් පවතින මෙකළ ස්ත්‍රී-පුරුෂ භාවයට, විවාහයට, මෙන් ම ප්‍රේමයට ද සැපයී ඇති නව අර්ථකථන බොහෝ ය.

අද වන විට පේ‍්‍රමය හෝ විවාහය හිමිකරගෙන ඇත්තේ එදාට වඩා වෙනස් වටිනාකම් ය. එහෙත් ජීවිතය සුන්දර වන්නේ, සිත පිනායන්නේ ලෝකයේ අභිරහස්, අභිරහස් ලෙසින් ම පැවතුණ විට දී යැයි අදහසක් පළකර ඇත්තේ ඉන්දියානු චින්තකයකු වූ භගවාන් ශ්‍රී රජ්නිශ් හෙවත් ඕෂෝ ය. කෙසේ වුව ද ඒ යුගයේ යුවතියකට මධුසමය, මධුසමයක් ම වූ බව නම් නිබොරු ය.

එසේ වූයේ සතුට දීර්ඝකාලීන ව රඳවා තබාගන්නා මුක්කුව වන්නේ පරිත්‍යාගය ම වන බව ඇය දැන සිටි නිසා ද නොවේ. ඇගේ ඒ සොඳුරු මනෝභාවයන් සුමට ලෙස මුවහත් කර දුන්නේ දයා ද අල්විස්ලාගේ ගීත සාහිත්‍යය ම ය. අද වන විට මේ ආකල්ප සංකල්ප යල්පැන ගොස් ඇතැයි නූතනයකු කීවත් තවමත් සුපිරි තරු බිහිවන්නේ මෙවැනි ගීත ගායනා ඔස්සේ ය. එහෙයින් දයා ද අල්විස්ලා අදටත් වලංගු ය. ‘දැං ඉතිං අපේ කාලේ ඉවරයි’ කියා සිතා ඇය නිහඬ වන්නට හදද් දී නිහඬ ව සිටින්නට අපට නොහැකි වන්නේ ද ඒ නිසා ය. මිනිස් හදවතේ හැඩය, වර්ණය අදත් එදා වාගේ ම ය. අද පායන්නේත් එදා පැයූ සූර්යයා ම ය. ඉතිං අප ආදරණීය දයාට මෙසේ කියන්නේ ඒ නිසා ය.

නොහඬන් සූරියකාන්තා. නොතැවෙන් සූරියකාන්තා.

 

Comments