
රුවන්වැල්ලේ පහළගම ලෙවන්ගම කලාභූෂණ ලේකමලාගේ ධර්මදාස මහත්මා පරම්පරා නර්තනය 1959 දී ලංකා ගාන්ධර්ව අවසාන විභාගයට ඉදිරිපත් වී දැනුම ප්‍රගුණ කර ගත්තේය. 1977 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නර්තන ගුරුවරයකු වශයෙන් පත්වීම ලබා පාසැල් 5ක සේවය කර 1998 දී විශ්‍රාම ගියේය. මෙතුමා සතර කෝරලේ අල්ගම කපු පරම්පරාවකට අයත් ජෝන් කපුමහතාගේ ගෝලයකු වූ ලෙවන්ගම ලියනගේ ඒබ්‍රම් සිංඤෝ ගේ පුත්‍රයකි. ධර්‍මදාසමයා මොහු තම පියාගෙන් හා කේ. මේලිස් සිංඤෝ ගෙන් නැටුම් හා බෙර වාදනය ද ඉගෙන එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා ගාන්ධර්ව විභාගයට පෙනී සට ඉන් සාමාර්ථය ලැබීය. ප්‍රදේශයේ ගම්මඩු දොලොස් පන්දම් කෙහොඹ කංකාරී ශාන්ති කර්ම ඇඳුරන්ට සහාය දෙමින් ඔවුන්ගේ ද ආභාෂය ලබා ගනිමින් 1971 දී අමිතිරිගල ඩබ්ලිව්.ඒ. සෝමවතී තරුණිය සමඟ විවාහ විය. මොහුගේ පරම බලාපොරොත්තුව තමා දැනුම ලැබූ නර්තන කලාව තම දරුවන්ට උරුම කර දීමටය. නමුත් ඔහුට ලැබුණේ ගැහැනු දරුවන්ය.
නර්තන කලාව මේ වන විට උරුම වී සිටියේ එක් ජන කොටසකි. මෙම නර්තන කලාව සෑම ජන කොටසකට ම රස විඳිය හැකි පරිදි සැකසීමට දැඩි අරමුණක් අධිටන් කරගත් ඔහු ලෙවන්ගම ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ “පැරකුම්” නමින් කලායතනයක් 1987 දී ඇරැඹීය. බේදයකින් තොරව පළාතේ දරු දැරියන්ට උඩරට නැටුම් පිළිබඳ පුහුණුවක් ලබාදීමේ පරම චේතනාවෙනි. මේ කලායතනයෙන් පුහුණුව ලැබූ ශිල්ප ශිල්පිනියන් ජාතික තරුණ සේවා සභාව යුද හමුදා හා පොලිස් නර්තන කණ්ඩායම්වල සේවයේ යෙදී ඇත. සංස්කෘතික අංශ මඟින් හා අමාත්‍යාංශ මට්ටමින් පැවැත්වූ තරගවලට ශිෂ්‍යයින් ශිෂ්‍යාවන් ඉදිරිපත් කරමින් විවිධ ජයග්‍රහණ ලබා ඇත. විදෙස් සංචාරය කර නර්තන ඉදිරිපත් කර ඇත. මෙම ආයතනයේ උඩරට නැටුම් පිළිබඳ පුහුණුව ලැබූ සිසුන් හය දෙනකුට වෙස් තැබීමේ උත්සවයක් පවත්වා සිදුකරන ලදී.
ගැහැනු දරුවන් හතර දෙනා ම දුව පනින වයසේ සිටි දියණියන් රංගායතනයේ සිට ක්‍රමයෙන් නර්තනයට හිත් යොමුවීම ඔහුගේ සතුටට හේතුවිය. මට පුතුන් නැති උනත් දූ වරුන්ගෙන් ඒ අඩුව පිරවීමට අදිටන් කර ගත්තේය. ඒ අතර එතුමාට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නාට්‍යාචාර්යවරයකු ලෙස පත්වීම 1977 දී ලැබිණ. නාපාවල විද්‍යාලය, ලෙවන්ගම සුමනතිස්ස විද්‍යාලය හි සේවය කරද්දි ගිරාගම සෞන්දර්ය විද්‍යාලයේ වසර දෙකක පුහුණුව ලැබ රත්නපුර වලගම්බා විද්‍යාලය, චැන්දල ශ්‍රි වික්‍රම විද්‍යාලය හා රුවන්වැල්ලේ ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලයේ සේවය කරමින් 1998 ද විශ්‍රාම ලැබීය. ඊට මාස කීපයකට පෙර තම වැඩිමල් දියණිය ගේ පුත් රවිදු අංජන ඒකනායක මුණුපරාට තම නර්තන ශිල්පය ලබාදී උත්සව මධ්‍යයේ වෙස් ගන්වන ලදී.
ප්‍රතිභාපූර්ණ හෙළ නර්තන කලාවේ අතීත ශ්‍රී විභූතීන් ප්‍රතිනිර්මාණය කිරීමට ඉවහල් වන සේ දැක්වූ ප්‍රතිභාසම්පන්න නිර්මාණාත්මක දායකත්වය උදෙසා ධර්‍මදාස මහතාට පූර්ණ රාජ්‍ය හරසර දක්වමින් “ඛලා භූෂණ රාජ්‍ය සම්මානය” දෙදහස් නවය වසරේදී පිදුම් ලැබීය. මේ ආකාරයෙන් රාජ්‍ය හරසර ඇතිව නිර්මාණාත්මක නර්තනයට රාජ්‍ය ගෞරව සම්මාන රැසක් ද සමරුපලක රැසක් ද මෙතුමා ලබාගෙන ඇත. ධර්මදාස මහතා නර්තන කලාවට කොපමණ ආදරයක් දැක්වූවාදැයි කියතොත් සිවු දෙනාටම තම නර්තන දායාදය පිරිනැමීය. ඒවාගේ ම දියණියන් සිවුදෙනා ම නර්තනයෙන් ජයගත්හ. තවත් විශේෂ කරුණක් නම් තම දියණියන් වියපත් වී විවාහ වයසට පැමිණි කල තම බෑනණුවන්ගේ එක් සුදුසුකමක් නර්තනකලාවේ යෙදීමය. මේ ආකාරයේ නර්තනයේ යෙදෙන බෑනණුවන් සිවු දෙනෙක් ලැබුණි. ඔවුන් ද පියාගේ පැතුම ඉටු කළහ.
තව විශේෂ කරුණක් පෙන්වා දිය යුතුය. එය ඔහුගේ දියණියන් සිවුදෙනා ගැනය. පළමු දියණි එල්. සාගරිකා නිශාන්ති කුමාරි දැනට ඉඹුලාන ශ්‍රී සේන විද්‍යාලයේ නාට්‍යාචාරිනිය වේ. ඇගේ ස්වාමියා ද මේ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි. නර්තනය කර ඇත. උසස් පෙළ නර්තන විෂය උසස් ලෙස සමත්ව කැලණි විශ්ව විද්‍යාලයෙන් ‘විශේෂ ශාස්ත්‍රවේදි ලලිත කලා උපාධිය හිමිකරගෙන ඇත. ජනීජන ප්‍රසාධීන ලලිත කනා විභූෂණ සම්මානය ද ආචාර්ය දිරිය මාතා සම්මානයද පිදුම් ලබා ඇත. ඊ.ඇම්.ඩබ්ලිව්. ඒකනායක තම ස්වාමියාද තම පුතුද නර්තන කලාවට එක් කළේ නර්තන කලාව ජීවිතය ජය ගැනීමට රුකුලක් වන නිසාය.
දෙවන දියණිය එල්. ධම්මිකා මානෙල් කුමාරි උසස් පෙළ නර්තන විෂය සමත්ව බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් ඩිප්ලෝමාව ලබා යුද හමුදා නර්තන සේවයට ගොස් ලංකා පොලිස් නර්තන කණ්ඩායමේ අරුණ නිශාන්ත සමඟ විවාහ විය.
තුන්වන දියණිය ද උසස්පෙළ නර්තන විෂයය උසස් ලෙස සමත්ව බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් ඩිප්ලෝමා ලබා ප්‍රදේශයේ දරු දැරින්ට නර්තන අධ්‍යාපනය ලබා දෙන්නීය.
සිවුවන දියණිය එල් මාදවී දමයන්ති උසස් පෙළ නර්තනයට උසස් ප්‍රතිඵල ලබා යුද හමුදා නර්තන කණ්ඩායමේ සේවය කරයි. ඔහුගේ ස්වාමියා ද එම නර්තන කණ්ඩායමේ සේවය කරයි. ඔහු ඩබ්ලිව්. සිසිර කුමාරය.
ධර්මදාස මහතා අප අතරින් 2017.09.09 දින වෙන්වී ගියේය. නමුත් ඔහු නර්තන කලාව ගිලිහී යන්නට ඉඩ දුන්නේ නැත. ඔහුට නර්තනයෙන් තොර ලොවක් තිබුණේ ද නැත. රුවන්වැල්ල, අවිස්සාවේල්ල, වරකාපොළ, කෑගල්ල, අතර යම් උත්සවයක් ඇද්ද ඒවා වර්ණවත් කරන්නේ මෙතුමාගේ ගෝළ බාලයෝය. ඉතාම නිහතමානී ජීවිතයක් ගත කළ මොහු ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යලයේ යම් රාජ්‍ය තරගයකට දරුවන් ඉදිරිපත් කරයිද, දියණියට සහායවෙමින් එය මැරෙන තුරා ඉටු කළේය. මෙතුමා අවංකය. නිහතමානීය. ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට එඩිතරය. පරම්පරා තුනකින් තමා වෙත පැවරුණ නර්තන කලාව බෙර වාදනයේ දැනුම තම දියණියන් සිවු දෙනාට බෙදා දුන්නේ ද ඔවුන‍්ගේ සැමියන් නර්තන කලාවේ නිරත වූවන් සොයා දුන්නේද, මේ නර්තන කලාව බෙරවාදනය කිසිවකුටත් සොරා ගත නොහැකි නිසාය. ඔවුන් එය පණ මෙන් රැක ගන්නා බවට විශ්වාසය තහවුරු කළ නිසාය. මෙතුමාගේ අභාවය ගැන පළාත් වාසීන් සෝක වුවද මෙතුමාගේ දක්ෂතා සමාජය තුළ තබා යෑම ගැන ප්‍රීති වීය. මේ කලා සූරීන්ට අපිද නිවන් සුව පතමු.