
කලකිරියාගම ජෝන් සෙබස්තියන් හැන්දෙන් ගෑරුප්පුවෙන් වුව කොස් ඇට සමඟ ආඳා මාලු කෑමට රුසියෙකි. එහෙත් සුප් බොන්නට ගිය ඕනෑම මොහොතක ඔහු එය ඇඟ පුරා ඉහිරවා ගන්නේ ඔහුටම ආවේණික ශෛලියකිනි. කෙම්මුර දිනවල ගමේ සියලු දෙනා දේවස්ථානයට ගොස් දේව මෙහෙයට සහභාගී වන මුත් එවිට ජෝන් සෙබස්තියන් දේවාලය ඉදිරිපිට වූ පිට්ටනි කෑල්ලේ කාටත් පෙනෙන ලෙස තනිවම පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි. ආගම ධර්මය සහ සමයාන්තර සාමයික දර්ශනවාද පිළිබඳව ඔහුට කෙතරම් දැනුමක් තිබුණේදැයි කිවහොත් දේවස්ථානයේ ස්වාමිට පවා ඔහු අසන ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි තත්ත්වයක් තිබුණේ ලු .
ඔහු කොල්ලා කාලයේ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකුව සිටියදී එක් සිකුරාදාවක සියලු දෙනා දේව පූජාවට සහභාගීවී සිටියදී ජෝන් සෙබස්තියන් පමණක් ඒ ඉදිරිපිට තනිවම පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටීම පිළිබඳව උරණ වූ ගමේ ජ්‍යෙෂ්ඨ පුරවැසියා වූ විශ්‍රාමික ගම්සභාපති විල්සන් සංසුන් ගමනින් ඔහු වෙත සමීපව මෙසේ ඇසීය. ''සියලු දෙනා දේවස්ථානය තුළ එකට එක්ව සිටියදී ඔබ පමණක් ඇයි තනිවම ? ''ගම්පතියාගේ මුහුණවත් නොබැලූ ජෝන් සෙබස්තියන් පාපන්දුවට වැරෙන් පා පහරක් ගැසූ අතර එය ගුවනේ පාවී ගොස් පිට්ටනියේ කෙළවරක පතිත වනවාත් සමඟම ඔහු ගම්පති විල්සන්ගේ ගේ මුහුණ දෙස බලා සෙල්ලක්කාර සිනාවක් පෑවේය.
''අන්න දැක්කද සර් දෙවියන් වහන්සේ බොහොම ප්‍රිය කරනවා ෆුට් බෝල් සෙල්ලමට .. ඉතිං මං උන්නාන්සේ සතුටට පත්වෙන දෙයක් තමා මේ කරන්නේ .. " යි ඔහු කීවේය. ''ඔබ කොහොමද දන්නේ උන් වහන්සේ ෆුට්බෝල් ක්‍රීඩාවට ප්‍රිය කරනවාය කියලා .. ?'' යි ගම්පතියා වඩාත් ඉවසිලිමත් ස්වරූපයක් ආරූඪ කැර ගනිමින් ඇසුවේය. '' සමාවෙන්න ඕනේ සර් ..ඔබතුමා මට ඉඩක් දෙනව නං මට ඒක් ඔප්පු කරන්න පුළුවන් '' යි ජෝන් සෙබස්තියන් වහා ඊට උත්තර බැන්දේ අභියෝගාත්මක අභිනයකිනි.
''හොදයි එහෙනං ඔප්පූ කරමු බලන්න .'' යි ගම්පතියා ද ඊට නොදෙවෙනි අභියෝගාත්මක ස්වරයකින් කීවේය. ''දැං ඔබතුමාට පේනව නේද පිට්ටනිය එහා කෙළවරේ තියෙන ෆුට් බෝලේ .. අන්න ඒ බෝලේ කොයි මොහොතක හරි මේ පැත්තට ඉබේටම ඉගිලිලා එනවා ... ඒ කියන්නේ දෙයියෝ එහා පැත්තේ ඉඳං .. මේ පැත්තට එන්න බෝලයට පයින් ගහනවා .. '' යි ඔහු දෙඇස් ලොකු කොට නළල රැළි ගන්වමින් කී අතර ඒ ඇසූ ගම්පතියාගේද දෙනෙත් පුළුල්ව නළල රැළි ගැන්විණි.
ඒ සමඟම වහා හඬ අවදි කළ ජෝන් සෙබස්තියන් ; '' සර් දැං කොච්චර කාලයක් තිස්සේ මේ දේවස්ථානයට එනවද ? '' යි නිකමට මෙන් ඇසූ අතර ' අපොයි මං දැං අවුරුදු තිහ හතළිහක ඉදං එනවනේ ' යි ගම්පතියා කීය. '' ඒ කියන්නේ සර්ට ලොකු විශ්වාසයක් භක්තියක් තියෙනවයි කියන එක නේ ..? '' යි ළෙංගතු ස්වරයෙන් කී ජෝන් සෙබස්තියන් ඒ හාම තවදුරටත් සුහදශීලී ස්වරයකින් හඬ අවදි කරමින් මෙසේ ඇසූවේය.
''ඒ කියන්නේ සර්ගේ විශ්වාසය අවුරුදු තිහ හතළිහක් තරම් බලගතු එකක් නේ ? '' ඒ ප්‍රශ්නයෙන් තමා ප්‍රසාදයට පත් වූ බැව් නොසැඟවූ ගම්පති විල්සන් ; '' මං විතරක් නෙවෙයි ළමයෝ අපේ හත්මුතු පරම්පරාවම එහෙමයි'' කීවේ බැරෑරුම් ස්වරූපයකිනි. '' හොඳමයි සර් එහෙනං මං ටාර් ගාලා කඩේට දුවලා එන්නං''මොකෝ අම්මා මට සල්ලි දුන්නා මාලු රාත්තලක් ගේන්න කියලා '' යි කී ජෝන් සෙබස්තියන් නික්ම යෑමට සැරසුණේය. '' එතකොට කෝ ළමයො අර ඔප්පු කරනවයි කිව්ව කතාව ? ''යි ගම්පති විල්සන් ගෝරනාඩුවක් අරඹන ස්වරූපයෙන් උස් හඩින් ඇසුවේය.
'' ආ වෙනදාට නං බෝලේ එහා පැත්තට ගිය සැණින් මේ පැත්තට එනවා ... සමහරදාට නං වරුවක් හමාරක් විතර යන වෙලාවලුත් තියෙනවා .. සමහරදාට එන්නෙම නෑ .. ඒක ඉතිං දෙයියංගේ කැමැත්ත තමා .. '' යි සැහැල්ලුවෙන් කී ජෝන් සෙබස්තියන් හිතාමතාම ගම්පතියා වෙතින් පියවර කිහිපයක් දුරින් සිට ගත්තේය. එයින් නොසන්සුන් වූ ගම්පති විල්සන් '' තමුං මා එක්කලා කොලොප්පමක් පටන් ගත්තද .. ? '' යි කෝපයෙන් දත්කූරූ කමින් කෑගැසුවේය. ඒ අතර පිට්ටනිය අනෙක් කෙළවරේ ගමන් කරමින් සිටි කිසිවකු විසින් එහි වැටී තිබූ පාපන්දුවට වේගවත් පා පහරක් ගැසූයෙන් බෝලය ගුවනේ ඉගිලී අවුත් ඔවුන් දෙදෙනා අතර මැදට වැටිණි.
විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙන ගනිමින් සිටියදී ජෝන් සෙබස්තියන් එහි අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධියට පත්ව සිටියේ අත්ලේ රේඛා සහ මුහුණ බලා ටක්කෙටම නිවරදිව පේන කියන්නා වූ අධිමානසික බලයක් ඇත්තෙකු ලෙසිනි. ලෙඩ රෝග හදිසි අනතුරු සොරකම් විභාග ජය රැකියා සහ විවාහය ආදී වශයෙන් ඔහු කෙනකුට අනාවැකියක් කීවොත් එය වැරදී ගියේ කලාතුරකිනි. එහෙත් ඔහු හස්ත රේඛා ශාස්ත්‍රය හෝ දේහ ලක්ෂණ ශාස්ත්‍රය ගැන හෝ කිසිවක් දැන නොසිටියා පමණක් නොව අහම්බෙන්වත් ඒ පිළිබද වූ පොතක් පතක් වත් දැක තිබුණේ නැත.
තම ගමන් බිමන් සඳහා අලුත්ම යතුරු පැදියක් මිලට ගත යුතු යැයි මතු වූ තදබල ආශාවක් සිත තුළ පැලපදියම්ව හොල්මන් කරන්නට වීම නිසා ඔහු මුදලක් ණයට ගැනීමට මාර්ගයක් සෙවු නමුත් එය දිගින් දිගටම ව්‍යර්ථ වූයෙන් අපේක්ෂාභංගත්වයට පත්ව සිටියේ ය. අවසානයේ පහසු ගෙවීමේ ක්‍රමයට යතුරු පැදි අලෙවි කරන ස්ථානයක් පිළිබදව ඔහුට දැන ගන්නට ලැබීණි. එහි කළමනාකාරවරිය වූ ඈන් ද සිල්වා මෝස්තර නිරූපිකාවක ලෙස තරමක් ජන්ප්‍රියත්වයට පත්වෙමින් සිටි සුරූපිනියක් වූවාය.
යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍රයන් පිළිබදව කිසිවක් විශ්වාස නොකළ ඕ එවැනි සාස්තරකරුවන් වනාහී උපන් ගෙයි බොරුකාරයන් ලෙස දුටු එහෙත් තම ජීවිතයේ කාමභෝගී ඉලක්ක පසුපස අතිධාවනකාරී ලෙස දුවමින් වුන් විජිගීෂාවෙන් පෙළෙන්නියක විය. ජෝන් සෙබස්තියන් වැනි කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පුද්ගලයකුට කෙසේ වත් ලීසිං ක්‍රමයට යතුරු පැදියක් ලබාදීමට හැකියාවක් නැති බැව් හොඳාකාරව දැන සිටි ඇය ඒ බැව් නොපෙන්වා මේ තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මැඩවිය යුතු යැයි සිතා ඔහු සමඟ ඇනුම්පද වචන ක්‍රීඩාව ආරම්භ කෙළේ විශ්වවිද්‍යාලය ද ඇයට නොරුස්සන තැනක් වූ නිසාවෙනි.
දෙදෙනාගේ කෙටි එහෙත් සියුම් එදිරිවාදී වචන හුවමාරුව අවසානයේ අත්ලේ හස්ත රේඛා දක්වා වූ පටු කොරිඩෝවක සිරවිණි. '' ආ හා ඔබට ස්ථිර රැකියාවක් නෑ ... ඒත් මේ ගන්න ණය ගෙවන්න හදන්නේ අත බලා සාස්තර කියලා උපයන මුදලින් කියලා කිව්වම මට නං හිනා වෙන්නත් අමතක වෙනවා මිස්ටර් ... '' යි මෙහිදී ජෝන් සෙබස්තියන්ගේ අත බලා පේන කීම නිර්දය අවඥාවට ලක් කරමින් කතා කළ ඇය ඔබ බොරුකාරයෙක් යැයි ඔහුගේ මුහුණටම කීවාය. '' හොදයි එහෙනම් අපි ඔට්ටුවක් අල්ලමු.
මගේ අනාවැකිය බොරු වුණොත් මං ඔබට 10, 000 ක් දෙනවා. මගේ අනාවැකිය හරි ගියොත් ඔබ මට 10,000 ක් දෙන්න ඕනේ... හරිද ? '' යි කියමින් කෝපය සහ ලැජ්ජාව පාලනය කැර ගත් ඔහු එක එල්ලේ ඇගේ දෑස් දෙස බලා සිටියේ ය. ''දහදාහක් ...! ම් ම් ම් ලොකු මුදලක් .. ඔබ වැනි කෙනකුගෙන් මට ඒ තරම් මුදලක් ගන්න හිත දෙන්නේ නෑ ... නමුත් ඔබට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ඔන්න මං ඔට්ටුව බාර ගන්නවා .. '' යි ඇය ආවේගශීලීව කීවාය. '' හොදයි මෙන්න මේකයි මගේ අනාවැකිය තව දවස් තුනකට පසුව ඔබේ දකුණු පියයුරේ වෙරළු ගෙඩියක් තරම් ගෙඩියක් මතුවෙනවා .. හතරවැනි දවසේ ඒ වගේම ගෙඩියක් වම් පියයුරේත් හට ගන්නවා. හත්වැනි දවස වෙත්දී ඔබේ පියයුරු දෙකම නිල්පාට වෙනවා '' යි කී ජෝන් සෙබස්තියන් ඈ දෙස නොබලාම පිටව ආවේය.
ජෝන් සෙබස්තියන් කී පරිදි තුන්වැනි දිනයේදී තම සිරුර පිරික්සා බැලූ ඈන් ද සිල්වා තම සිනහව මැඩ ගත්තේ දත් අතර තොල්පට විකා ගනිමිනි. ඒ විකාර රූපී අනාවැකිය සිහිපත්වන වාරයක් පාසා තමා තුළ හටගන්නා මහා සිනහව කෙසේ නම් පාලනය කැර ගත යුතුද යන විනෝදමත් සෙයියාවෙන් කාලය ගත කළ ඇය එකී දින හත පුරාම තම සිරුර පිරික්සා බලමින් එහි කිසිදු වෙනසක් සිදු වී නැති බැව් පසක් කොට ගෙන සතුටු වූවාය. හත්වැනි දිනයේදී ජෝන් සෙබස්තියන් ඇය හමුවට පැමිණියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ සිඩ්නි තෝමස් සමඟය.
ඔවුන් දෙදෙනා විසින් ඈන්ගේ උඩුකය පිරික්සනු ලැබූ අතර එහි කිසිදු වෙනසක් සිදු වී නැති බැව් තමා පිළිගන්නා බව කී ජෝන් සෙබස්තියන් පොරොන්දුව පරිදි ඇයට 10.000 ක් දී ඇගේ මුහුණවත් නොබලා යුහුසුලුව තෝමස් සමග පාරට පැන්නේය. තම රථයට නැගි තෝමස් බ්‍රීෆ් කේසය විවෘත කොට ඉවතට ගත් මුදල් මිටියක් ජෝන් සෙබස්තියන්ට දුන් අතර එහි 20.000 ක් විය. ''තව දින හතක් ඇතුළත ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ඈන් ද සිල්වාගේ ඇඳුම් ගලවන බවට'' ජෝන් සෙබස්තියන් විසින් සිඩ්නි තෝමස් සමඟ ඔට්ටුවක් අල්ලා තිබිණි. 18.000 කට අලුත්ම කවසාකි CC 250 යතුරු පැදියක් අත්පිට මුදලට ගත් ජෝන් සෙබස්තියන් අතේ ඇති ඉතිරි මුදල් හමාර වෙන තෙක් රටපුරා සවාරී ගැසුවේය.
විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කිරීමට පෙර පොලීස් සේවයට බැඳුණු ඔහු රාජකාරිය කරන අතරතුර තම සරසවි මිතුරන් ලවා සටහන් ගෙන්වාගෙන ඒවා පාඩම් කොට අවසානයේදී උපාධිය ද දිනා ගත්තෙන් සහකාර පොලිස් සුපිරින්ටන්ඩන් ලෙස උසස්වීමක් ලබා තමා උපන් ප්‍රදේශය වූ කලකිරියාගමටම පැමිණියේ ය. දිනක් ඔහු රාජකාරී කරමින් සිටියදී පුරා විද්‍යා රක්ෂිතයක නිධන් හාරමින් සිටි වයෝවෘද්ධ පූසාරි පෙනුමක් ඇති අයෙකු ඇතුළු තවත් පුද්ගලයන් සිව්දෙනකු අත් අඩංගුවට ගත්තේය.
ඔවුන් සතුව තිබූ නිධන් වදුලු පුස්කොළ පොතක් ද ගජමුතු තුනක් ද වාලම්පුරියක් ද සමග පූසාරියා පමණක් අත හැර අනෙක් පුද්ගලයන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කළ ජෝන් සෙබස්තියන් සතියක් හමාරක් නිසොල්මනේ වුන්නේය. පූසාරියාගෙන් වචනයක් ගැනීම ඉබි කටුවෙන් ලොම් ගලවා ගැනීම වැනි නිරර්ථක වෑයමක් බැව් ඔහුට මනාව වැටහිණි. එසේ නම් ගැලවිය යුත්තේ ඉබි කටුවම බව පසක් කළ හෙතෙම නොපමාව ඒ සඳහා උත්සුක විය. මේ අතර ගමේ අමුතු දේවල් සිදුවන්නට පටන් ගත්තේය. ඇතැම් තැනෙක මහ රෑ යාමේ ගොවීන්ගේ භවබෝග සම්පත් විනාශ කර තිබිණි.
තවත් තැනෙක හරකුන් සහ බල්ලන් අභිරහස් ලෙස මිය ගොසිනි. සමහර ගෙවල්වලට මැදියම් රැයේ ගල් ප්‍රහාර එල්ල විය. මේ ගුප්ත භීතිය ගම්මානය පුරා පැතිරෙන්නට වීමත් සමඟම ගොම්මන් කලුවර වැටීමෙන් පසු කිසිවකුත් තම නිවෙස්වලින් එළියට බැස්සේ නැත. උද්ගත වූ තත්ත්වය හමුවේ ගමේ ප්‍රධානීන් සහ පොලිස් සුපිරින්ටන්ඩන් අතර වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ගමට සෙත්පතා මහා යාගයක් කළ යුතු බැව් තීරණය කෙරිණ. ගොවීන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ඒ සඳහා මුදල් එකතු කෙරිණි.
නියමිත දින සියලුම ගම්වැසියන් යාග භූමියට රැස්වූ අතර බෙර ගසමින් ද දුම්මල දවමින් ද එකී කටයුතු සිදුවෙමින් තිබියදී ගම්මානයේ සියලු ගෙවල් පාලුවට ගොස් තිබුණේය. ඒ අතරතුර මධ්‍යම රාත්‍රීයේදී කිසිවකුටත් නොපෙනී පුරා විද්‍යා රක්ෂිතයට ගිය ජෝන් සෙබස්තියන් සහ පූසාරියා කිසිදු කරදරයකින් තොරව නිධානය පාදා ගත්තේය. එහි වූයේ අඩි හතක් දිග අඩි තුනක් පළල මහපත ගල් ඇඳකි. එහෙත් ඔවුන් දෙදෙනාට ඊට අතවත් තැබීමට නොහැකි වූයේ සන්නද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වටකර ගනු ලැබූ හෙයිනි.
තරු පටි සහ නිල ඇදුම් ගැලවී ගොස් ජෝන් සෙබස්තියන් සිරකරුවකු ලෙස බන්ධනාගාරයට ගියේය. ඉන් පසුව ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට නොලැබිණි. දසකයට පමණ පසු උදා වූ එක් සිකුරාදාවක කලකිරියාගම දේවාලය ඉදිරිපිට වූ පිට්ටනියේ මැදිවිය ඉක්ම වූ සන්නාසියකු බඳු වයසට වඩා අකලට වැහැරී ගිය බවක් පෙන්වූ උමතු පහේ පුද්ගලයකු තනිවම සෙල්ලම් කරමින් සිටියේය. දේවස්ථානයට යනෙන ගම්වැසියන් සමඟ බලෙන් මෙන් සිනහවෙන් විරිත්තමින් සිටි හෙතෙම '' අන්න දැක්කද සර් දෙවියන් වහන්සේ බොහොම ප්‍රිය කරනවා ෆුට් බෝල් සෙල්ලමට .. ඉතිං මං උන්නාන්සේ සතුටට පත්වෙන දෙයක් තමා මේ කරන්නේ .. '' යි කියමින් ඔහු විසින් සිතින් මවා ගනු ලැබූ පාපන්දුවකට පයින් ගසමින් පිට්ටනිය පුරා දුවමින් සිටියේය.