ගත්කරු ලය­නල් ලොකු­ලි­යන | සිළුමිණ

ගත්කරු ලය­නල් ලොකු­ලි­යන

මනා පෞරුෂයකින් හෙබි ලයනල් ලොකුලියන නමැති වියත් ගත්කරුවාණන් අද සිටියා නම් මැයි මස 30 වන දිනට ඔහුට සියවැනි උපන් දිනය සමරන්නට තිබිණ. එහෙත් ඔහු වියෝවී දැනට වසර 32 ක් නිමාව ගොස් ඇත. “නාමේ නොදිරනා, කුණුකය දිරණා, අරුමෙකි ශෝබා සංසාරේ” යන යථාර්ථය සනාථ කරමින් ලොකුලියන මහතානන්ගේ අතීත මතක සටහන් අවදි කරවන්නට අපට කිසිඳු ආයාසයක් ගත යුතු නොවීය.

1917 මැයි මස 30 වන දින මොරටුවේදී මොලොව එළිය දුටු ඔහු සිංහල ප්‍රාථමික අධ්‍යාපනයට අත්පොත් තැබුවේ කළුතර ඥානෝදය විදුහලෙනි. ඔහු ඉංග්‍රීසි ප්‍රාථමික අධ්‍යාපනය මොරටුවේ වේල්ස් කුමාර විදුහලෙන් ලබාගත්තේය. ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කළුතර හෝලික්‍රොස් විදුහලෙනි. එවකට ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවෙහි බොදු බැතියට එතරම් ඉඩක් නොලැබුණි. වෙසක් පුන් පොහෝදාටත් පාසල් යාම අනිවාර්යය විය. කුඩා ලයනල්ට මෙය දරාගත නොහැකි විය. ඔහු පන්තියේ අනෙක් යහළුවන් කැටුව වෙසක් දිනයේදී පාසල් යෑමෙන් වැළකුණි. ඊට ඔහු දඬුවම් ලැබීය. ඔහුට ගැහැනු පාසලේ වසරක පමණ කාලයක් ඉගෙනීමට සිදුවිය. පසු අවුරුද්දේ සිට ඔහු මොරටුවේ ශාන්ත සෙබෙස්තියන් විදුහලෙහි අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය. ඔහුගේ බුද්ධිමය දස්කම් මතුවූයේ ඒ අවධියේය. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග‍යේදී ඔහු සිංහල භාෂා විෂයට මුළු ලංකාවෙන්ම පළමුවෙනියා වීමත් සමග ඔහුගේ භාෂා ඥානය මුලින්ම හෙළිදරව් විය. වයස අවුරුදු 17 දීම ඔහු සිලෝන් යුනිවර්සිටි කොලීජියට (Ceylon University College Affiliated to London University)ඇතුළු විය. එහිදී ඔහු තුළ වූ බුද්ධිමය කුසලතා දිගින් දිගටම ඉස්මතු වුණි. විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර අවසානයේදීම පාලි භාෂාවට පෙන්වූ අසාමාන්‍ය දක්ෂතාව හේතුවෙන් ඔහු දානියෙල් ප්‍රනාන්දු වෛද්‍යසේකර ත්‍යාගය දිනාගත්තේය. තවද 1935 දී විශ්වවිද්‍යාලයෙන් ඔහුට පෙරදිග භාෂා (Oriental Languages)ශිෂ්‍යත්වය වසර තුනක් සඳහා ලැබුණි.

ඔහුගේ භාෂාමය කුසලතාව හඳුනාගත් තම ගුරුවරයා වූ මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා විසින් එවකට තම හොඳම ශිෂ්‍යා ලෙස ලයනලයන්ට සලකන ලදී. පසුකලකදී මහාචාර්ය මලලසේකර ශබ්දකෝෂයේ දෙවන සංස්කරණයට, මහාචාර්ය ලොකුලියන මහතා තෝරාගත්තේ ඒ බව සනාථ කරමිනි.

ලොකුලියන ලයනලයන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයේ සමකාලිනයෙකි. ලයනලයන් සමග විශ්වවිද්‍යාලයීය සිංහල සංගමය පිහිටවූ ආකාරය සරච්චන්ද්‍රයන් ඔහුගේ එක ග්‍රන්ථයක සඳහන් කොට තිබුණි. විශ්වවිද්‍යලයීය ඉගෙනීම කරන අතරතුරම පාලි හා සංස්කෘත භාෂාවන්ට ඇති ඇල්ම නිසාම ඔහු වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝධය පිරිවෙනෙහි වසර 04 ක්ම එම භාෂා ප්‍රගුණ කළේය.

1938 දී ඔහු B.A.London(ගෞරව) උපාධිය අවසන් කළේ තම පන්තියේ පළමු තැන ද අත්කර ගනිමිනි. එහි ප්‍රතිඵලයක් වහයෙන් ඔහුට 1938 දීම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ Ph D උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් ලැබුණි. එවිට ඔහුට අවුරුදු 21 පිරුණා පමණි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේදී ඔහුට ලොව ප්‍රචලිත ආචාර්ය ඩබ්. ස්ටීඩ් හා සී. ආර්. රයිලන්ඩ් කථිකාචාර්යවරුන් යටතේ අධ්‍යයනය කිරීමට වාසනාව ලැබුණි. නමුත් 1939 දී දෙවන මහා ලෝක සංග්‍රාමය ඇතිවීමත් සමග ලංකාව බලා ඒමට සිදුවිය. එම ශිෂ්‍යත්වය දින නියමයක් නොමැතිව දීර්ඝ කළ ද තම දෙමව්පියන්ගෙන් නැවත ලන්ඩනය බලා යාමට ඔහුට අවසරය නොලැබුණි.

ඔහුගේ රැකියාව ආරම්භ වූයේ ලන්ඩනයේදීමය. 1939 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ Matriculation Examiner ලෙස ඔහු තම ජීවිකාව අරඹන ලදී.

ලංකාවට ආ සැණින්ම ඔහුට බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයේ උප විදුහල්පති තනතුර පිරිනමන ලදී. 1940 දී ඔහුට අම්බලන්ගොඩ සිද්ධාර්ථ කාන්තා ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති පදවිය ලැබුනේ අවුරු 23 ක තරුණයෙකු කාලයේදීය. මේ අවධියේ දිනක් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමට ඔහුට ආරාධනාවක් ලැබුණි. එහිදී පාසල් නාට්‍යයක් රඟ දක්වමින් සිටි චාලට් නැමති හුරුබුහුටි රූමත් ශිෂ්‍යාව කෙරෙහි ඔහුට සිත් ඇදී ගියේය. කාලයාගේ අවෑමෙන් තරුණ ලොකුලියන මහතා චාලට් ශිෂ්‍යාව තම පෙම්වතිය ලෙස තෝරා ගත්තේ දෙපාර්ශවයේම කැමැත්ත අනුවය. දැනට 90 වන වියෙහි පසුවන චාලට් ලොකුලියන මහත්මිය ඔවුන් අතර වූ සොඳුරු අතීතය හා ගත කළ දීප්තිමත් දිවිය තවමත් සතුටින් මතකයට නගයි.

ඔහු තමාට තිබූ ඉල්ලුම නිසා රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක්ව යන්නේ මේ කාලයේදීය. එකල ඔහුගේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ ක්‍රිස්ටි වීරමන්ත්‍රී මහතා පසුකාලීනව ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවිය ඉසිළුවේය.

1944 දී තරුණ ලයනලයන් හා චාලට් (චාරුලතා) මෙ‍ෙණවිය අතර සරණ මංගල්‍යය කෙරුණි. ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ ඔවුහු පිරිමි දරුවන් 05 දෙනෙකුත් ගැහැනු දරුවන් 05 දෙනෙකුත් ලබා ඉත සිතින් දරු සැප වින්දහ.

සී. ඩබ්. ඩබ්. කන්නංගර ඇමතිතුමා විසින් මධ්‍ය මහා විද්‍යාල සංලක්පය ගෙන ආවේ වර්ෂ 1944 දී පමණය. තවත් ප්‍රථම පන්තියේ විදුහල්පතිවරුන් කිහිපදෙනෙක් සමග මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම පිණිස පුරෝගාමී වන ලෙස ලොකුලියන මහතාට ඇරයුම් ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුවිසින් නුගවෙල, කළුතර, කුලියාපිටිය, හික්කඩුව හා වාද්දූව මධ්‍ය මහා විද්‍යාල නගා සිටුවීමට අධිපති හැටියට ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරන ලදී. ඉන් බිහිවුණු රජයේ උසස් නිලධාරිහු හා අමාත්‍ය මණ්ඩල ලේකම්වරු ඊට සාක්ෂි දැරූහ. ලොකුලියන මහතාගෙන් වන සේවය ඇගයීමට ලක් කරමින් 1947 දී අධ්‍යාපන පරීක්ෂණ (Education Research) ශිෂ්‍යත්වයක් සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයට ඒමට ඔහුට වරම් ලැබුණි. වසර දෙකක පමණ කාලයක් වික්ටෝරියා හා ටැස්මේනියා ප්‍රාන්තවල ද නවසීලන්තයේදී අධ්‍යාපන ක්‍රම ගැන ඔහු පරීක්ෂණ කරන ලදී. ලංකාවට පැමිණි ඔහු බුද්ධි පරීක්ෂණ, ශිෂ්‍යත්ව විභාග, බහුවරණ ප්‍රශ්න, මානසික අතින් දුබල අයට ඉගාන්වීම් ක්‍රම ආදී සංකල්ප ගණනාවක් හඳුන්වාදෙන ලදී.

ගත් කතුවරයකු වීමේ රුචිකත්වය ඔහුට එක්වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරමින් සිටියදීමය. විවිධ විෂයන්වල පොත්පත් සියයකට අධික ගණනක් ඔහු අතින් ලියැවුණි. විශේෂත්වය වූයේ සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකින්ම එක හා සමාන ලෙස ඔහුට ලිවීමට තිබූ හැකියාවයි. සිංහල සාහිත්‍යය, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, සාමාන්‍ය විද්‍යාව, බුදු දහම, ගණිතය, ශබ්දකෝෂ, ලිංගික අධයාපනය ආදී සෑම ක්ෂේත්‍රයකම පොත් ඔහු අතින් ලියැවුණි. කුමාරෝදය 7, 8 සහ 9, පන්සිය පනස් ජාතකය, ගුත්තිල පැරදියේ වග, සිංහල භාෂාද්වාරය ආදී පොත් රැසක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් පොත් ලෙස නිර්දේශ වූ අතර කිහිප වරක්ම මුද්‍රණය විය.

එංගලන්තයෙන් ලක්දිවට පැමිණීමෙන් ඔහුගේ විශාල වෙනස්කමක් සිදුවුණි. කුමාරතුංග මුනිදසුන්ගේ බස අසා ඊට වශීවුණ ඔහු හෙළ හවුලට එක්වුණි. තමා මෙතෙක් ඇඳ සිටි දිග කලිසම ඉවත දමා ජාතික ඇඳුමට බැස්සේය. ඉක්බිති රැයිපියෙල් තෙන්නකෝන්, අලව් ඉසි සැබි හෙළ, අරිසෙන් අහුබුදු ආදී හෙළයන් රැසක් තම සොහොයුරන් සේ ඇසුරු කළ ලොකුලියන ලයනලයන් කුමරතුංගයන්ගේ සුබස සඟරාවට නිතරම ලිපි ලියන්නෙක් විය.

ලංකා ගුවන්විදුලි සේවයේ චිත්‍රානන්ද අබේසේකර මහතා සමග ඔහු කළ ග්‍රාමීය සේවය එකළ ජනප්‍රිය වැඩසටහනක් වුණි.

ඔහු තම පොත්පත් සියල්ලම එළිදැක්වූයේ එම්. ඩී. ගුණසේන සමාගම මගිනි. ඔහුගේ දස්කම් හා හැකියාවන් දුටු ගුණසේන පවුලෙන් ඔහුට තම සමාගමට එක්වීමට ආරාධනයක් ලැබුණි. ඒ අනුව රජයේ සේවයෙන් කලින්ම විශ්‍රාම ගෙන ගුණසේන සමාගමේ ප්‍රධාන සංස්කාරක හා ප්‍රකාශන කළමනාකාර ධුරය ඔහු භාරගත්තේය. වසර 14ක් එහි සේවය කර පොත් 3000 කට වඩා සංස්කරණයට, සෝදුපත් බැලීමට තම ජීවිතය කැප කළේය. ඉහළම ප්‍රමිතියකින් දොරට වඩින පොත් බලා තමා ඉන් ඉමහත් සතුටක් ලැබුවේය. නව කර්තෘවරයින් ගණනාවක් ද බිහිවීමට මෙය ඉවහල් විය.

ගුණසේන සමාගමෙන් විශ්‍රාම ලැබීමෙන් පසු සිංහල ශබ්දකෝෂය, සිංහල විශ්වකෝෂය යන ආයතනවල බාහිර සංස්කාරකවරයෙකු වශයෙන් ද කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළේය.

ඔහුගේ අවසාන කාලය මහා පිරිත් පොත ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමෙහි ලා කැප වුණි. ඔහු දැයෙන් සමුගත්තේ පිරිත් පොතෙහි සොදුපත් බලමින් සිටි අවධියේය. සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ එම පොත මුද්‍රණය කොට නොමිලේ බෙදාදීමට ගුණසේකර පදනම දායක විය.

1985 නොවැම්බර් 02 දා ඔහු දැයෙන් සමුගත්තේ විශාල දැනුම් සම්භාරයක් අපට ඉතිරි කරමිනි.

 

Comments