ආචාර්ය ප්‍රේම­සිරි කේම­දාස සිනමා සංගීත සංවාද | සිළුමිණ

ආචාර්ය ප්‍රේම­සිරි කේම­දාස සිනමා සංගීත සංවාද

සාමුහික කලාවක් ලෙස පවතින සිනමාවේ හැම කෙනෙකුගේම තියෙන සංවාදයට සංගීතයෙන් චින්තනයක් ගොඩ නගනවා. ඒ ඔස්සේ හිතන්න පුළුවන් තැනකට ප්‍රේක්ෂකයා ගෙනියනවා. තාත්තා සිනමා සංගීතයට ආවේ හැමෝම වෙනස් වෙන්න ඕනි නිසා මම වෙනස් වෙන්න ඕනි කියන තැනින් නෙමෙයි. ඒ වෙනස ගෙනාවෙ වෙනස් කරන්න ඕනි කියන අදහසිනුත් නෙමෙයි. තාත්තා හැම මොහොතකම රූපයෙන් ඉල්ලා සිටින්නේ මොකක් ද ඒ ඉල්ලා සිටින දේ මම කොහොමද තවත් තැනකට ගේන්නේ කියන අදහස ඇතුව චිත්‍රපට සංගීතය සකස් කළා.

මහ මුහුද, නුඹ හරි අපූරූ ගීත කියන චලන රූපයක්. මතක ද? බටනළාවකුත් අතේ තියාගෙන නුඹ දිහා බලාගෙන නුඹට ඇහුණ්කන් දුන් ආදරණීය මිනිසෙක්. වෙරළත හිඳ බටනළාවේ හඬින් නුඹත් එක්ක කතා කළා. ඔහුගේ කතා අසා නුඹ නොනැවතී ගී ගැයුවා. නුඹ ගැයූ ගීතයේ රිද්මයෙන් මුළු ලෝකෙටම ඔහු ‘සංගීතය’ ගෙන ගියා. ඇත්තමයි! මහ මුහුද නුඹේ ගැඹුරු රිද්මයට, මිනිස් හිත්වල ගැහෙන රිද්මය අපූරුවට ඔහු එකතු කළා. ජීවිතය පේන චිත්‍රපටි තුළ ඒ රිද්මය තාලයට හමනවා. ඒ සුළං මත සුවහසක් මිනිස්සුගේ ජීවිතය තියෙනවා. අන්ධකාර සමාජයක නිහඬ වූ සත්‍යයේ කටහඬක දෝංකාරයත් ඒ තුළින් ඇහෙනවා. මේ පොළොව ඒ ගැන දන්නවා. ඉතිං හදවත් ගැහෙනවා.මහ මුහුද ගී කියනවා. සංගීතය ඇහෙනවා. ඔහු ඉන්නවා.

මේ ගෙවෙන ඔක්තෝ­්බරයයි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස නම් මහා ගාන්ධර්වයාණන් නොනික්මී නික්මී ගියේ ද මින් නව වසරකට පෙර ඔක්තෝ­්බරයේ සීතල දවසක. එනම්, 2008 ඔක්තෝ­්බර් 24 වන දින හෞතික කායෙන් ඔහු මෙලොවින් නික්මුණ ද ඔහු ඉතිරි කළ සංගීතය, මේ මොහොතෙත් නින්නාද දෙනු ඇත. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනමා සංගීතය පිළිබඳ ගයත්‍රී කේමදාසයන් සිය කටහඬ මෙසේ අවදි කරයි.

“සිනමා මාධ්‍යයේදි තාත්තා හැම වෙලාවෙම උස්සාහ කළේ අපිව පේන දෙයින් එහා තැනකට ගිහිල්ලා තියන්න. චිත්‍රපටයේදි ගීතයෙන් විතරක් නෙමෙයි සංගීතයෙනුත් ගේන්න හැදුවේ, කුමක් ද රූපයෙන් ඉල්ලන්නේ, රූපයෙන් ඉල්ලන දෙයින් අපට පෙනෙන්නේ කුමක් ද? එහි අපට නොපෙනෙන්නේ කුමක් ද? තව අවුරුදු සීයයකින් මිනිස්සුන්ට වෙනස් තැනක ඉඳගෙන ඒ දිහා බලන්න පුළුවන් ද? එහිදී ඔවුන්ට වෙනස් වෙනස් අර්ථකතනවලට යන්න පුළුවන්ද ? ඒ සඳහා සංගීතයෙන් මතුවිය යුත්තේ කුමක්ද? කියන කාරණයයි. සිනමා සංගීතය ගැන ඔහු නිතරම කියූ දෙයක් තමයි,

“සිනමාවේ රිද්මය ජාත්‍යාන්තරයි. එය වෙන වෙනම ජාතියකට, වර්ගයකට, තලයකට, වෙන් කරලා බෑ. ඒ වගේම සංගීතයත් විශ්ව භාෂාවක්. ඒ විශ්ව භාෂාවෙන් සිනමාවේ රිද්මය සමග මැනවින් ගැලපූ විට සාර්ථක සිනමා පසුබිම් සංගීතයක් බිහි වේවි”(ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, නවලිය 1990 පෙබ. 19).

තාත්තා හැම වෙලාවෙම ඒ කියූ දේ තුළ හිටියා. ඒ ඔස්සේ නිර්මාණය කළ ගීත තුළිනුත්, කට හඬවල් තුළිනුත් , හැමෝටම සාධාරණයක් වෙන විදිහට සිනමා සංගීතය පෙළ ගැස්සුවා.

සාමුහික කලාවක් ලෙස පවතින සිනමාවේ හැම කෙනෙකුගේම තියෙන සංවාදයට සංගීතයෙන් චින්තනයක් ගොඩ නගනවා. ඒ ඔස්සේ හිතන්න පුළුවන් තැනකට ප්‍රේක්ෂකයාව ගෙනියනවා.

තාත්තා සිනමා සංගීතයට ආවේ හැමෝම වෙනස් වෙන්න ඕනි නිසා මම වෙනස් වෙන්න ඕනි කියන තැනින් නෙමෙයි. ඒ වෙනස ගෙනාවෙ වෙනස් කරන්න ඕනි කියන අදහසිනුත් නෙමෙයි. තාත්තා හැම මොහොතකම රූපයෙන් ඉල්ලා සිටින්නේ මොකක් ද ඒ ඉල්ලා සිටින දේ මම කොහොමද තවත් තැනකට ගේන්නේ කියන අදහස ඇතුව චිත්‍රපට සංගීතය සකස් කළා. ඒ ඔස්සෙයි චිත්‍රපටයෙන් චිත්‍රපටයට සංගීතයේ වෙනසක් ගොඩනැගෙන්නේ.

එහෙම නැතුව සිනමාව අන්තර්ජාතිකයි කිව්ව පළියට අපි වයලින් ගහපු ගමන් ඒක අන්තර්ජාතික වෙන්නේවත්, අපි බෙර ගහපු ගමන් දේශීය වෙන්නෙවත් නෑ. ඒ දේ හොඳින්ම පැහැදිලි වෙනවා ඔහුගේ චිත්‍රපට සංගීත නිර්මාණ දිහා බැලුවහම. චිත්‍රපට සංගීතය වගේම චිත්‍රපට ගීතය ගත්තත් හංසවිලක් චිත්‍රපටයේ හෙමින් සැරේ පියා විදා ගීතයත්, බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා ගීතය ,ලොකුම හිනාව චිත්‍රපටයේ පරණ කෝට්, ගීතය ගත්තත්, වාසනා චිත්‍රපටයේ පොකුරු පොකුරු ගීතය ගත්තත්, සිරි මැදුරේ එන මිනිසා ගීතය ගත්තත්, ඒ හැම එකක්ම සුවිශේෂයි.

එයට හේතුවක් වෙන්නෙ අධ්‍යක්ෂකවරයාගෙන් අධ්‍යක්ෂකවරයාට, චිත්‍රපටයෙන් චිත්‍රපටයට, කටහඬින් කටහඬට, රූපයෙන් රූපයට ඉල්ලපු අන්තර්ගතය ඔහු සංගීතය තුළින් දෙනවා. ඒකයි තාත්තගේ චිත්‍රපට සංගීතයෙත් චිත්‍රපට ගීතවලත් තියෙන සුවිශේෂත්වය.”‍

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතය සැපයූ හංසවිලක් චිත්‍රපටය සහ තුන්වෙනි යාමය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක චිත්‍රපට නිර්මාණකරණයේදී කේමදාස මාස්ටර් සමග ලැබූ අත්දැකීම් පිළිබඳ සිය මතකය මෙසේ අවදි කරයි.

මාස්ටර අපි හඳුනන්නේ සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙකු විදිහට. සිංහල සිනමාවේ දී හැට හැත්තෑව දශකයේ තමයි එතුමගේ සංගීතය, චිත්‍රපටි තුළින් අහන්න දකින්න ලැබෙන්නේ. මගේ විශ්වාසයේ තියෙන්නේ සංධ්වනි සංගීතය පිළිබඳ අපේ අවධානය යොමුකරගත් චිත්‍රපටවලින් ප්‍රේමසිරි කේමදාස සිනමා සංගීතය පෝෂණය කරද්දී, අපිට ඊට පෙර අහන්න ලැබුණු 1967 සත්සමුදුර චිත්‍රපටයේ ගීතය සෝමදාස ඇල්විටිගල සංගීතය නිර්මාණය කළ ‘සිනිදු සුදුමුදු තලාවේ’ ගීතය. එම ගීත මගින් චිත්‍රපටය ඇතු‍ෙළ් සංධ්වනි සංගීතයකට නොදෙවෙනි සංගීතයක් ඇල්විටිගලයන් සපයනවා.

එම වකවානුවෙන් පස්සේ තමයි ප්‍රේමසිරි කේමදාසයන් අතින්, සැනසුම කොතැනද, සීතල වතුර වැනි චිත්‍රපට සඳහා නිර්මාණය කළ ගීත අපට අහන්න ලැබෙන්නේ. ඉන් අනතුරුව අපගේ මතකයන් තුළ තැන්පත් වුණු ඔහුගේ සංගීත ක්‍රියාවලියේ විශිෂ්ටතම තැන තමයි අහස්ගව්ව සහ හන්තානේ කතාව චිත්‍රපට සංගීතය. එහි කූටප්‍රාප්තිය ලෙස හඳුන්වන්න පුළුවන් සර් ලෙස්ටර් ජෙම්ස් පීර්ස්ගේ ගොළු හදවත චිත්‍රපටය. ඊට පස්සේ වකවානුවක නිධානය චිත්‍රපටය.

මේ චිත්‍රපටවලදී ප්‍රේමසිරි කේමදාසයන් එතෙක් පැවති චිත්‍රපට පසුබිම් සංගීත ආර සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමු කළා. සිනමා සංගීතය තිබුණු තැනින් වෙනත් තැනකට යොමු කරන්න ඔහු පුරෝගාමියෙක් වුණා. එය අපිට හඳුන්වා දෙන්න පුළුවන් එවකට හිටපු සංගීතඥයන්ට වැඩිය පර්යේෂණාත්මක නිර්මාණ කාර්යයක් විදිහට. ඒ කියන්නේ එක චිත්‍රපටයකින් අනෙක් චිත්‍රපටය යන කොට මුල් චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ ඔහු කියන එක අපට දැනෙන්නෙ නෑ. ඊළඟ චිත්‍රපටයට යනකොට. නමුත් ඔහුගේ සංගීත අනන්‍යයතාව ඉතා ප්‍රබලව ඒ හැම චිත්‍රපටයක් තුළින්ම එළියට ආවා. ඒක සිනමා සංගීතය ඇතුළේ අපට දැනෙන්න පටන් ගත්තා.

ඔහු සර් ලෙස්ටර් ජේම්ස් පීර්ස් සිනමාවේදීයගේ ගොළු හදවත, නිධානය චිත්‍රපටවලට සැපයූ සංගීතය ඉතා ප්‍රබල ලෙස අපට අසන්නට ලැබුණා. ඒ වගේම රූප මාධ්‍ය ප්‍රබල තැනකට ගෙන එන්නට එතුමාගේ සංගීත නිර්මාණ ක්‍රියාවලිය සමත් වුණා. රූපය පමණක් තිබුණු තැනකට තමයි ඔහු මේ සංගීතය එකතු කළේ. ඊට පසු වකවානු ගැන කතා කළ හොත් ඒ විශිෂ්ටත්වය පරයා එතුමා පසුකර යන්නට කිසිවෙක්ට ඒ හැකියාව ලැබුණේ නෑ.

සිනමාවේ මගේ ප්‍රථම චිත්‍රපටය වෙන්නේ හංසවිලක් චිත්‍රපටයයි. මාස්ටර් ගැන කලින් සඳහන් කළ කරුණු මට අවබෝධ වුණු නිසයි, මගේ ප්‍රථම චිත්‍රපටය සඳහා සංගීතය අධ්‍යක්ෂණය කරන්න ප්‍රේමසිරි කේමදාස මා තෝරා ගන්නේ.

එම කාල වකවානුව තුළ ඔහු සංගීතයවත් කළ කේ .ඒ ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂවරයගේ ජනක සහා මංජු චිත්‍රපටයේ ගීතත්, ටී.අර්ජුන් කමලනාත් අධ්‍යක්ෂවරයගේ වසන්තයේ දවසක් චිත්‍රපටයේ ගීතත් ප්‍රබල ලෙස මහ ජනතාව අතර ජනප්‍රිය වුණා. හැබැයි ඒ ජනප්‍රිය ගීතවලට වඩා හාත්පසින්ම වෙනස් සිනමා ගීත තමයි ඔහු අතින් නිර්මාණය වුණේ හංසවිලක් චිත්‍රපටය සඳහා. එම චිත්‍රපටයේ ‘හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්’, ‘සඳුන් සිහින මණ්ඩපයේ ප්‍රාර්ථනා පියා සලයි’ සහා ‘සෙනෙහස පුපුරා සිහිනය මියයයි’ යන ගීත තුනක් අන්තර්ගත වෙනවා. ඒකට එකඟ වෙච්ච එක ගීතයක් වශයෙන් මම හඳුනාගන්න කැමතියි ‘හෙමින් සැරේ පියා පියාවිදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් කියන ගීතය’.

මගේ ඇහෙන් මං රූප තමයි මුලින්ම හොයලා දුන්නේ. අපි මුලින්ම හංසවිලක් චිත්‍රපටයේ තිබුණු ගීත පටිගත කළා. ඉන් පසුව තමයි චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළේ. පටිගත කළ ගීත වාදනය කිරීමෙන් අනතුරුව තමයි නළුවන් වුණු අපේ අභිනයන් සකස් කළේ. අභිනය සකස් කිරීමට ඒ ගීත පිටුවහල් වුණා. ඇත්ත වශයෙන්ම හංසවිලක් චිත්‍රපටයේ හෙමින් සැරේ පියා විදා ගීතය ප්‍රේක්ෂකයාට ඇහෙන්නේ ප්‍රේක්ෂකයා කිසිසේත් බලාපොරොත්තු නොවුණු අනපේක්ෂිත මොහොතක. චිත්‍රපටයේ සිදුවීමක් සිද්ධවෙනවා. ඒ අවස්ථාවේ චරිත සංවාද දෙබස් කියනවා. ඒත් එක්කම ගීතය පසුබිමෙන් ඇහෙන්න පටන් ගන්නවා.

නිශ්ශංක: මං මෙතන ඉඳන් ඇත්ත කියන්නම්, ඉන්ස්පැක්ටර්! නොකිව්වත් මට කියන්න සිද්ධවෙයි. මම නිශ්ශංක වීරසිංහ. මම බැඳලා මට ළමයි දෙන්නෙක් ඉන්නවා. එයා මිරැන්ඩා රණවීර, එයත් බැඳලා, එයාට එක බබෙක් ඉන්නවා. අපි දෙන්නගෙම දරුවො වෙනුවෙන්...

හෙමින් සැරේ පියා විදා.

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්....

පලා ඇවිත් සිතුම් සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන

සිඟිති සුකොමල රුවෙන් සරසන

විලක් නම් එය විලක් වුව මැන

නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී

සිහින නිම්නය සුපුෂ්පිත වෙයි.

සිහින් හඬකින් මහද අමතයි

මුදා හැරදා පවුරු සිරි යහනේ

(1980,හංසවිලක් චිත්‍රපටය)

ගායනය: ටී.එම් ජයරත්න, සුනිලා අබේසේකර

පද රචනය: ආචාර්ය ධර්මසේන පතිරාජ

මේ අවස්ථාවේ සිදුවීමත් සමග ගීතය ප්‍රේක්ෂකයාට ග්‍රහණය කිරීමට සැළැස්වීමෙන් ඒ ගීතය ප්‍රෙක්ෂකයා අතර දැවැත්ත මතක සටහනක් තැන්පත් කරනවා. ගීතය පසුබිමෙන් වාදනය වුණාට චරිත ඒ ගීතයේ වචන කියමින් ගීතය භාවාත්මකව රඟපාන්නෙ නෑ. ඒ නිසාම සංගීතය සහා ගීතය මගින් එම අවස්ථවේ සිදුවීමේ පවතින තීව්‍ර බව ඉස්මතු වෙනවා.

හංසවිලක් චිත්‍රපටය සඳහා සංගීතය සැපයුවා කියලා දැන් අපි කතා කළාට එවකට පැවති සිනමා සම්මාන උළෙලවලදී හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානයක් කේමදාස මාස්ටර්ට හම්බවුණේ නෑ. අද ඒ චිත්‍රපටිය ගැන කතා කළාට ඒ මොහොතේ හංසවිලක් චිත්‍රපටියේ සංගීතයට සම්මානයක් නොලැබීම අසාධාරණයි කියන්නවත් කවුරුත් හිටියේ නෑ. ශ්‍රී ලාංකේය සිනමා සංගීතය තුළ හංසවිලක් චිත්‍රපටිය සඳහාත් තුන්වෙනි යාමය චිත්‍රපටය සඳහාත් කේමදාසයන්ට අනිවාර්යෙන්ම හිමිවිය යුතු තැනක් තියෙනවා.

Comments