වේදි­කාවේ රඟ­පෑ­මට වඩා මහ­පාරේ රඟ­පෑම වාසි­දා­ය­කය | සිළුමිණ

වේදි­කාවේ රඟ­පෑ­මට වඩා මහ­පාරේ රඟ­පෑම වාසි­දා­ය­කය

පරාක්‍රමබාහු රජ්ජුරුවන් කව්සිළුමිණේ මුල්ම කවියෙන් ඇසුවේ අනුන්ගේ දොස්ම පෙනෙන්නේ තමන්ගේ දොස් නොපෙනෙන්නේ ඇයි ද කියාය. පරාක්‍රමබාහු, රජකෙනෙකුටත් වඩා ඉතා අවංක අහිංසක ලේඛකයකු බව ද ඉන් හෙළි වෙයි. පරාක්‍රමබාහු රජ්ජුරුවන් එසේ කීවත් මා දැන් සැරසෙන්නේ අනුන්ගේ දොස් දැකීමටය. එයට හේතුව මා පරාක්‍රමබාහු මෙන් රජතුමෙකු නොවීම නොව පරාක්‍රමබාහු මෙන් ලේඛකයකු නොවීමය.

ඇස්දෙක ඇත්තේ පිටත පෙනෙන පරිදිය. එනම් ඒ ඇස්දෙකට අනුන් මිස තමන් නොපෙනේ. ඒ නිසා ඒ ඇස් දෙක පිටතට යවා අනුන් වෙත වෙනුවට තමන් වෙත හරවා තමන් දෙස තමන්ගේ දොස් දෙස බලන්න යැයි පරාක්‍රමබාහු කිවිවරයාණෝ පැවසූහ. එසේ වුවත් නැවතත් මා කියන්නේ මා උත්සාහ කරන්නේ එතුමන් අනුදත් මාවත යෑමට නොවන බවය. මම අනුන්ගේ දොසක් දැකීමට දැන් උත්සාහ කරමි. අනුන්ගේ කියන්නේ නළුවන්ගේ දොසක් දැකීමට උත්සාහ කරමි. නළුවන්ගේ දොස් දැකීමට යාමේ දී සමහරවිට මගේ දොසක් ද අනාවරණය වීමට ඉඩ ඇත. මක්නිසාද යත් තමන් මඩ ගා නොගෙන අනුන්ට මඩ ගැසීමට නොහැකි බැවිනි. අප මෙන් නොව මඩ අපට වඩා සාධාරණ වීම එයට හේතුව විය හැකිය. නොඑසේ නම් අනුන්ට මඩ ගැසීම උදෙසා හෝ මඩ සමඟ ආශ්‍රයේ දී තමන්ගේ ද මඩ ගෑවීම වැළැක්වීමට නොහැකි බැවිනි. ඒ අනුව අපේ කැමැත්තෙන් නොවූවත් පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනය අන්‍ය ආකාරයකින් ඉෂ්ටවීමට ඉඩ ඇත.

නළුවෙකුට සාමාන්‍යයෙන් කිරීමට සිදුවන්නේ වෙනත් චරිතයක් රඟපෑමටය. වෙනත් කිසියම් චරිතයකට පණ පෙවීමටය. මෙහි දී අපට නළුවා නොපෙනේ. චරිතය පමණක් පෙනේ. එනම් පරසතුමල් චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකාට වඩා බොනී මහත්තයා ප්‍රබලය. අපට ගාමිණී ෆොන්සේකා නොපෙනේ. බොනී මහත්තයා පෙනේ. නළුවෙකුගේ කෞශල්‍යය එයයි. තමන් නොවන අන්‍යයකු බවට පත්වීමට හැකියාව ඇති තැනැත්තාට අවශ්‍ය නම් නළුවායැයි කිවහැකිය. නාට්‍ය කලාව සිනමා කලාව පමණක් නොව ටෙලිනාට්‍ය කලාව ද රැඳීපවතින්නේ නළු නිළියන්ගේ මේ හැකියාව මතය. මෙය කලාවේ දී ඉතා යහපත්ය. එහෙත් කලාවෙන් පිටත දී නම් යහපත් නොවේ. කුමක් ද? තමන් නොවන අන්‍යයයකු මෙන්පෙනී සිටීමය.

එහෙත් අවාසනාවකට නළු නිළියෝ බොහෝ දෙනෙක් කලාවෙන් පිටත දී ද තමන්ගේ මේ හැකියාව භාවිත කිරීමට පෙලඹී සිටිති. කුමක් ද? තමන් නොවන අන්‍යයකු මෙන් පෙනී සිටීමය.

නළුවෙකුට නිළියකට තමන්ගේ ජීවිතය තුළ දී බොහෝ විටඅත්දකින්නට ලැබෙනදෙයක් ඇත. එනම් තමන්ගේ රංගනය මිනිසුන් ඇත්ත මෙන් විශ්වාස කරන්නේය යන්නයි. තමන් පික්පොකට් කරුවෙකුගේ චරිතය රඟපෑ විට මිනිසුන්ට පෙනෙන්නේ තමාට ද වඩා පික්පොකට් කරුවෙකුය යන්න නළුවාට වැටහේ. එනම් තමා පිළිබඳ ඇත්ත නොව තමා ඉරියව්වලින් වචනවලින් මුහුණේ මස් පිඬුවලින් හඬින් ප්‍රකාශ කරන දෙය ඇත්ත යැයි පිළිගැනීමට සාමාන්‍ය මිනිසුන් සූදානම් බව ඔහුට පෙනේ. දැනේ. පිළිගැනීමට පමණක් නොව තමාගේ චරිතයට වඩා තමන් රඟපාන චරිතයට මිනිසුන් ප්‍රිය කරන බව ද ඔහුට දැනේ. ඔහුට වරදින්නේ එතනදීය. නැනිතම් ඔහුට හරියන්නේ එතනදීය. එනම් තමන්ගේ චරිතයට වඩා වෙනත් චරිත රඟපෑමට ඔහු ප්‍රියකරන්නට පටන් ගනියි. එය කැමරාව ඉදිරිපිට දී වරදක් නොවේ වින්දනයකි. වේදිකාවක් මත දී වරදක් නොව ආශ්චර්යයක් වේ. එහෙත් කැමරාව ඉදිරිපිට ද නොව වේදිකාව මත ද නොව සාමාන්‍ය තැනක දී තවත් මිනිසෙකු ඉදිරිපිට තමා නොව වෙනත් චරිතයක් රඟපාන විට එය වරදක් නොවේ යැයි කිව නොහැක.

එහෙත් මෙහි දී නළුවා තවත් මුළාවක වැටෙයි. සමහර විට එය කැමැත්තෙන් වැටෙන මුළාවක් යැයි කිව හැකිය. එනම් තමන් කෙනකු ඉස්සරහ බොරුවට රඟපාන දෙය එය බලා සිටින්නා ඇත්තක් යැයි විශ්වාස කරන නිසා තමන් ද එය ඇත්තක් යැයි විශ්වාස කිරීම වැරැද්දක් නොවන බවය. මෙවන් නළුවෝ නිළියෝ බොහෝ සේ සිටිති. එනම් තමන් කරන්නේ බොරුවක් බව දනියි. එහෙත් ඒ බොරුව තමාගේ ඇස් ඉදිරියේ සිටින්නා ඇත්තක් සේ සලකන බව පෙනේ. ඒ නිසා තමන් ද එය ඇත්තක් යැයි සැලකීම නිවැරදිය යන්නයි.

බොහෝ නළු නිළියෝ නැති අහිංසක කමක් රඟපාති. නැති සාධාරණත්වයක් රගපාති. ඔවුන්ගේ රඟපෑමේ දක්ෂකම නිසා ම ඒ නැති දෙය අපට පෙනෙන්නේ ඇති දෙයක් ලෙසිනි. ඔවුහු නැති අසරණකමක් පෙන්වූවත් අපට පෙනෙන්නේ එය ඇති අසරණ කමක් සේ ය. කැමරාව ඉදිරිපිට පමණක් රඟපෑමෙන් පටන් ගන්නා බොහෝ නළු නිළියෝ සෑම මොහොතකම සෑම තැනක දී ම සියල්ලන් ඉදිරියේ ම රඟපාන්නන් බවට පත්වෙති. සමහරවිට මුදල් හෝ වෙනත් අරමුණක් උදෙසා රඟපාති. එය නළුකම කෙලෙසීමකි. නළුකම කලාවකි. සම්ප්‍රදායකි. එහෙත් සාමාන්‍ය ජීවිතයේ දී අන් අයකු මුළා කිරීම උදෙසා එය භාවිත කිරීම කලාව නොවේ. එහෙත් දැන හෝ නොදැන බොහෝ අය මේ භාවිතාවට හුරුවෙති.

ඇත්තටම කැමරාව ඉදිරියේ රඟපෑමට වඩා සැබෑ ජීවිතයේ දී රඟපෑමෙන් පහසුවෙන් මුදල් හම්බ කරගැනීමට හැකිය. ඉතාම දක්ෂ නළු නිළියෝ චිත්‍රපට හෝ නාට්‍ය රඟගපෑම්වලට වඩා වෙනත් රඟපෑම්වලට යොමුව ඇත්තේ ඒනිසාය. එනම් චිත්‍රපට දහයකින් හම්බ කරන මුදල ඔහුට සමහරවිට එක පැය භාගයකින් තවත් අයකු ඉදිරියේ කරනු ලබන බොරු රඟපෑමකින් උපයා ගත හැකිය. නළුකමෙන් පිවිස වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යන ඇතැම් අයගේ අරුමය එයයි.

එහෙත් මෙහි තවත් කතාවක් ද තිබේ. එනම් ඉතාම දක්ෂ නළු නිළියන් කවදාවත් නාට්‍ය වේදිකාව මතට හෝ සිනමා කැමරාව ඉදිරියට නොඑන බවයි. කෙළින්ම ඔවුහු‘ජනතා වේදිකාවම’තෝරා ගනිති. එනම් දේශපාලනයට පිවිසෙති. නැතිනම් ව්‍යාපාරවලට පිවිසෙති. ඔවුහු ව්‍යාජ චරිත පෙන්වමින් උපයන්නෝ වෙති. ව්‍යාජ දේශප්‍රේමීත්වයක් රඟපෑම ව්‍යාජ ප්‍රජාතන්ත්‍රී භාවයක් රඟපෑම ආදී වශයෙන් මෙය පවතියි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ දී වසවිස සහිත නිෂ්පාදනයක් ඉතා පෝෂ්‍යදායී නිෂ්පාදයක් සේ ජනතාවට හඳුන්වාදෙන ව්‍යාපාරිකයෝ සිටිති. එය ඒත්තු යන සේ පවසති. එය ඇත්ත නොව රඟපෑමේ කුසලතාවයි. ඇතැම් හෝටල් මුදලාලිලා අපිරිසිදු කෑම වසාගෙන සිටින්නේ පියකරු සිනාවකින් හා කනට මී පැණි වක්කරන කතා බහෙනි. ජනතාව ලෙඩුන් කරන නිෂ්පාදන අලෙවි කරන ඇතැම් ව්‍යාපාරිකයන් සමඟ කරන පෞද්ගලික කතා බහක දී අපට හිතෙන්නේ ඔවුන් කොතරම් අවංක ගුණයහපත් මිනිසුන් ද යන්නයි. කෙසේ හෝ මේ විස්තරයේ එක වරදක් පමණක් ඇත. එනම් මෙය මුලින් කිව් පරිදි අනුන්ගේ වැරදි දැකීමක් පමණක් වීමයි. ලේඛකයෙකුට ලිවීමෙන් අනුන් මුළා කළ නොහැකි ද? එය ලිවීමේ දී අප වැනි ලේඛකයන් අතින් ද සිදු නොවේද? එය එසේ විය හැකිය. එහෙත් රංගනය පිළිබඳ මා ලියා ඇතිදේ පිළිබඳ ඇත්ත නැත්ත සිතාගැනීම සම්බන්ධයෙන් එයින් එතරම් බලපෑමක් සිදු වේ යැයි මට සිතෙන්නේ නැත. පරාක්‍රමබාහු කිවිවර රජතුමාණන් තරම් නොවුණත් මාත්යම් තරමක් හෝ ලිවීමේ දී අවංකයැයි මම සිතමි. එය මා ගැන කීමටත් වඩා අවංක ව ලියූ ලේඛකයන්ට උපහාරයක් දැක්වීමකි. ඇත්ත මිහිපිටින් තුරන්වීම වැළැක්වීම ලේඛකයින්ගේ ප්‍රමුඛ තම වගකීම වේ. එම කාර්යයට උර දුන් පරාක්‍රමබාහු රජතුමා වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයෝ සිටිති. තවත් බොහෝ ශ්‍රේෂ්ඨ ලේඛකයෝ සිටිති. ඒ අනුව මෙහි දී නළුවන්ට යම් වරදක් සිදුව ඇත්නම් එය මගෙන් නළුවන්ට නිළියන්ට සිදුව ඇති වරදකට ද වඩා පරක්‍රමබාහු රජතුමා ඇතුළු ලේඛකයන් අනුදත් ඇත්ත පැවසීම නමැති ලේඛක සම්ප්‍රදායේ වරදක් යැයි කීමට කැමැත්තෙමි.

 

Comments