අන්ත­ර්ජා­තික විරෝ­ධය මැද මෝදු වන බෙදු­ම්වා­දය | සිළුමිණ

අන්ත­ර්ජා­තික විරෝ­ධය මැද මෝදු වන බෙදු­ම්වා­දය

ජනමත විචාරණයක් පවත්වා ජයග්‍රහණය කළ පමණකින් කුර්දිස්තානයට හෝ කැටලෝනියාවට නිදහස් රාජ්‍ය බවට පත්විය හැකිද? එය එතරම් පහසු නොවේ. පළමුව කුර්දිස්තානය සැළකූ කල එය කලාපීය යුද්ධයක ආරම්භයකි. නිදහස් කුර්දිස්ථානයක් බිහිවීම වැළැක්වීම සඳහා තුර්කිය, ඉරාකය හා ඉරානය අත්වැල් බැඳගෙන සිටී. එබැවින් නිදහස් ව්‍යාපාරය කුර්දිස්ථානයට එරෙහි යුද ක්‍රියාමාර්ගයක් හා සම්බාධක අතර දෝලනය වන ඉතා භයානක ප්‍රතිඵල රැසක් සඳහා මං පාදයි. දැනටමත් එහි මුලික ලක්ෂණ කුර්දිස්ථානයේ අසල්වැසි රටවල් වෙතින් විද්‍යාමාන වේ.

“යම් සංස්කෘතියක් තුළදී බෙදුම්වාදය යනු ඉතා හිතකර ව්‍යාපාරයකි. එහෙත් එය දේශපාලනික හා ආර්ථික ක්ෂේත්‍රයන් තුළදී ඉතා විනාශකාරි ව්‍යාපාරයක් වන්නේය.“ - නෝත්‍රෝප් ෆ්‍රයේ ( කැනේඩියානු සාහිත්‍ය විචාරක හා න්‍යායාචාර්ය)

ස්පාඤ්ඤ රජය එරට වඩාත්ම සමෘද්ධිමත් ප්‍රාන්තය වන කැටලෝනියාව වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ බෙදුම්වාදි ක්‍රියාවලිය වැළැක්වීම සදහා දැඩි පියවර ගැනීමට සැරසී සිටී. අනෙක් පසින් ඉරාකය එරට උතුරුදිග කුර්දිස්තාන ප්‍රදේශය වෙනම රාජ්‍යයක් බවට පත්වීම වළක්වාලීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි. මේ අතර ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්කර ස්වාධින රටක් බවට පත්කිරීමේ උත්සාහය කිසිදා අත් නොහරින බවත් 2021 වසර උදාවීමට ප්‍රථම බෙදුම්වාදි ජනමත විචාරණයක් පවත්වන බවත් ස්කොට්ලන්තයේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටර්ජන් අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරයි. කැටලෝනියාව නිදහස ප්‍රකාශ කිරීම ගැන කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ බෙදුම්වාදි කණ්ඩායම් උද්දාමයට පත්ව සිටිති. කැටලෝනියා බෙදුම්වාදයට එරෙහිව ස්පාඤ්ඤ රජය ගන්නා වු ක්‍රියාමාර්ගවලට එරෙහිව කැනඩා ක්විබෙක් බෙදුම්වාදීහු උද්ඝෝෂණ පැවැත්වුහ. මේ වනවිට බෙදුම්වාදය සඳහා ජනතාව පෙළගැස්වු නායකයන් ඒ සඳහා පැවැත්වු ජනමතවිචාරණයෙන්් ලබාගත් ජනවරම ක්‍රියාත්මක කිරිමට නොහැකිව අසරණ වී ඇත්තේ මධ්‍යම රජයන් සතු ව්‍යවස්ථාමය බලතල හා විදෙස් සබඳතා ශක්තිය හමුවේ බෙදුම්වාදි තීරණ ක්‍රියාත්මක කිරිමට නොහැකි වාතාවරණයකට මුහුණ දෙමිනි. පසුගිය අඟහරුවාදා වනවිට නිදහස් රටක් ප්‍රකාශයට පත්කරන බව කී කැටලෝනියානු ප්‍රාන්ත පාලනය අද වනවිට ඒ ගැන ස්පාඤ්ඤ රජය සමඟ සාකච්ඡා කරන බව කියා සිටී. ඉරාකයේ කුර්දිස්තාන පාලනය තම බෙදුම්වාදය නිසා පත්ව ඇත්තේ ඊටත් අවදානම් තත්ත්වයකටයි.

අද වනවිට ලෝකය බහුල වශයෙන් කතාකරන මාතෘකාවක් වන්නේ ස්පාඤ්ඤය කැඩීයයිද යන්නයි. එසේත් නැත්නම් මෙය සිවිල් යුද්ධයකින් අවසන් වන්නේද යන්නයි. බෙදුම්වාදය වැළැක්විම සදහා අවශ්‍යනම් හමුදා බලය යෙදවීමට පවා සුදානම් බව ස්පාඤ්ඤ රජය ප්‍රකාශ කර තිබේ. ඉරාකයේ තත්ත්වය මීටත් වඩා භයානකය. ඉරාක රජය පවසා ඇත්තේ කුර්දිස්තානය නමින් වෙනම රාජ්‍යයක් බිහිවන්නේ නම් එය දරුණු හා දිගුකාලීන සිවිල් යුද්ධයක ආරම්භය බවයි.

සැප්තැම්බර් 25 වෙනිදා ඉරාකයේ උතුරුදිග කොටසේ පිහිටි කුර්දි නමින් හැදින්වෙන ජනවර්ගය අතිමහත් බහුතරයකින් සමන්විත වු කුර්දිස්තාන ප්‍රාන්තයේ ජනමත විචාරණයක් පැවැත්වින. එහි අරමුණ වුයේ කුර්දිස්ථානය ඉරාකයෙන් වෙන්වී ස්වාධින රටක් බවට පත්කිරිම සදහා ජනමතයක් ලබාගැනීමයි. ජනමතවිචාරණයේ ප්‍රතිඵල අනුව ජනතාවගෙන් 90%කට අධික සංඛ්‍යාවක් නිදහස් කුර්දිස්ථාන රාජ්‍යයක් බිහිවීම සදහා අනුමැතිය පලකිරිමයි. කුර්දි යනු මැදපෙරදිග කලාපයේ තුර්කියේ සිට ඉරානය දක්වා වු කලාපයේ විසිරී සිටින ජනකොටසකි. සංඛ්‍යාත්මකව ඔවුහු කෝටි තුනත් හතර හමාරත් අතර වෙතැයි ගණන් බලා තිබේ. වැඩිම කුර්දි ජන සංඛ්‍යාවක් එනම් කෝටි එකහමාරත් දෙකත් අතර සංඛ්‍යාවක් තුර්කියේ ජීවත් වෙති. තුර්කියේ කුර්දිවරුන් වෙනම රාජ්‍යයක් සදහා කුර්දිස්තාන් හමුදාව හෙවත් පී.කේ.කේ යන කෙටි නමින් හැදින්වෙන ගරිල්ලා ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර අබ්දුල්ලා ඔචලාන් නැමැත්තාගේ නායකත්වය යටතේ 1984 වසරේ සිට මේ දක්වා ඔවුන් තුර්කි රජයට එරෙහිව ගෙන යන සන්නද්ධ සටන් ව්‍යාපාරය නිසා මියගිය සංඛ්‍යාව හතලිස්දහස ඉක්මවයි. ඉරාකයේ හිටපු පාලක සදාම් හුසේන්ද අයෝමය හස්තයකින් කුර්දි ජනකොටස මැඩපැවැත්වුවෙකි. කුර්දි සටන්කරුවන්ට පහරදිම සදහා තුර්කි හමුදාවට ඉරාකයට ඇතුළුවිමට පවා සදාම් හුසේන්ගේ ආශිර්වාදය හිමිවිය. එහෙත් 2003 අමෙරිකානු ආක්‍රමණයෙන් පසු බිහිවු නව ඉරාකයයේ කුර්දි ජාතින්ට උතුරු ඉරාකයේ බලය හිමිවු අතර කලාපිය කුර්දිවරු තුර්කියේ සටන් ව්‍යාපාරය වෙනුවට උතුරු ඉරාකයේ කුර්දි පාලනය ශක්තිමත් කිරිම සදහා තම සහය ලබාදුන්හ. එහි අවසන් ප්‍රතිඵලය වුයේ උතුරු ඉරාකයේ නිදහස් කුර්දිස්තානයක් සදහා ජනමතයක් ලබාගැනීමේ ජන්ද විමසීමයි.

මෙහි ප්‍රතිඵලය යුද ගැටුම් බහුල මැදපෙරදිග කලාපයේ අලුත් ගැටුමක ආරම්භයකි. කුර්දිස්ථානය නමින් නිදහස් කුර්දි ජන රාජ්‍යයක් බිහිවීම වැළැක්විමට ඉරාක රජය පමණක් නොව තුර්කිය හා ඉරානය යන රටවල්ද දිවි හිමියෙන් කැපවී සිටී. මේ හරහා කුර්දිවරුන්ට එරෙහි නව මර්දනයක් හා තහංචි දියත්වීමේ අවදානමක් පවතී. උදාහරණයක් වශයෙන් ඉරාක තුර්කි තෙල් නල මාර්ග පද්ධතියට කුර්දිස්තානය සම්බන්ධ නොකිරිමටත් එම ප්‍රදේශය සමග සියලු ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමටත් ඉරාකය පියවර ගෙන තිබේ. ඉරානයද එම ක්‍රියාමාර්ගවලට සහය දක්වමින් ඉරාකයේ කුර්දිස්තානය සමග ගුවන් සබඳතා කපා හැර ඇත. තුර්කිය ඊටත් එහා යමින් දැඩි ආර්ථික තහංචි ක්‍රියාත්මක කිරිමටත් නිදහස් ව්‍යාපාරය වැළැක්විම සදහා හමුදා බලය යෙදවීමටත් සූදානමින් සිටී. ඒ ඉරාකය තුළ නිදහස් කුර්දිස්ථානයක් බිහිවුව හොත් තුර්කියේ දේශසීමාව ආශ්‍රිත කුර්දි ජනයා බහුල ප්‍රදේශ එම නිදහස් රාජ්‍යයට සම්බන්ධ වනු ඇතැයි පවතින සැකය හේතුවෙනි. පවතින අනතුරුදායක තත්ත්වය අවබෝධ කරගත් කුර්දිස්තාන බෙදුම්වාදි ප්‍රාන්ත පාලනය මේ වනවිට ඉල්ලා ඇත්තේ තමන් සාකච්ඡා සදහා සුදානම් බවයි. එබැවින් කුර්දිස්තානයට එරෙහිව පෙළගස්වා ඇති ව්‍යවස්ථාමය, හමුදාමය, හා ආර්ථිකමය ක්‍රියාමාර්ග බලාත්මක නොකරන ලෙසත්, තම ජනතා අභිලාෂය ගැන සාකච්ඡා කරන ලෙසත් ඉරාක රජයෙන් ඉල්ලා තිබේ.

දෙවැනි ආන්දෝලනාත්මක නිදහස් ජනමත විචාරණය යුරෝපා සංගමයේ බලවතකු වන ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ පැවැත්විණ. ඒ කැටලෝනියාව නිදහස් රටක් බවට පත්කිරිමට ජනමතයක් ලබාගැනිම සදහාය. ඔක්තෝබර් පළවෙනිදා පැවති ඡන්ද විමසීමෙන් කැටලෝනියානු ජනයා ( ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන්) 90% කට අධික සංඛ්‍යාවක් කැටලෝනියාව නිදහස් රටක් විය යුතුය යනුවෙන් ජන්දය ප්‍රකාශ කළහ. ස්පාඤ්ඤ රජය මුලසිටම ඊට විරුද්ධත්වය පළ ක‍ෙළ්ය. පොලිස් බලය යොදා ජනමතවිචාරණය කඩාකප්පල් කිරිමටත් ඡන්දපොළවල් බලහත්කාරයෙන් වසා දැමීමටත් ස්පාඤ්ඤ රජය පියවර ගත්තේය. ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාජෝයි භටයන් 4000ක අතිරේක පොලිස් බළඇණියක් ජනමත විචාරණයට පෙර කැටලෝනියාවට යැවීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඡන්ද දිනයේ 800කට අධික පිරිසක් පොලිසිය හා පැවති ගැටුම්වලින් තුවාල ලැබුහ. ස්පාඤ්ඤ රජය ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියද යළි අවධාරණය කළේ කිසි විටෙකත් කැටලෝනියාවට නිදහස් රටක් වීමට ඉඩ නොදෙන බවයි.

ජනමත විචාරණයක් පවත්වා ජයග්‍රහණය කළ පමණකින් කුර්දිස්තානයට හෝ කැටලෝනියාවට නිදහස් රාජ්‍ය බවට පත්විය හැකිද? එය එතරම් පහසු නොවේ. පළමුව කුර්දිස්ථානය සැලකූ කල එය කලාපීය යුද්ධයක ආරම්භයකි. නිදහස් කුර්දිස්තානයක් බිහිවීම වැළැක්වීම සදහා තුර්කිය, ඉරාකය හා ඉරානය අත්වැල් බැදගෙන සිටී. එබැවින් නිදහස් ව්‍යාපාරය කුර්දිස්තානයට එරෙහි යුද ක්‍රියාමාර්ගයක් හා සම්බාධක අතර දෝලනය වන ඉතා භයානක ප්‍රතිඵල රැසක් සඳහා මං පාදයි. දැනටමත් එහි මුලික ලක්ෂණ කුර්දිස්තානයේ අසල්වැසි රටවල් වෙතින් විද්‍යාමාන වේ. එවැනි තර්ජනයක් හමුවේ ළදරු රාජ්‍යයකට කොතරම් ශක්තිමත් පැවැත්මක් ඇද්ද යන්න ප්‍රශ්නයක් මතු වේ. ඊළගට මේ ආකාරයෙන් බිහිවන කැරලිකාර රටවල් මුහුණ දෙන මූලික හා තීරණාත්මක සාධකය වන්නේ අන්තර්ජාතික ප්‍රජාව විසින් මේ ඵය නිදහස් රටක් ලෙස පිළිගනු ලැබීමය. එය අන්තර්ජාතික නීතිය හා අන්තර්ජාතික සබඳතා යන ක්ෂේත්‍ර දෙක තුළින්ම න්‍යායයන් සහිතවම පැහැදිලි කර තිබීමයි. අන්තර්ජාතික නීතියට අනුව යම් භූමි ප්‍රදේශයක් රටක් ලෙස පිළිගැන්මට අවශ්‍ය මුලික සාධකය අන්තර්ජාතික වශයෙන් එය රටක් ලෙස පිළිගනු ලැබිමයි. සරලව කිවහොත් ස්වාධීන රටක් ලෝක ප්‍රජාව විසින් රටක් ලෙස පිළිගත යුතුය. එසේ නොවන තාක් කල් එය ලෝකය හමුවේ බිම් ප්‍රදේශයක් මිස රටක් නොවේ. එමෙන්ම අන්තර්ජාතික නීතියට අනුව කිසියම් රටක් තවත් අලුතෙන් බිහි වූ රටක් පිළිගෙන තවත් ටික කලෙකින් එම පිළිගැනීම ඉවත් කරගැනිමට නොහැකිය. පසුකාලීනව විරුද්ධ වුවත් එම පිළිගැන්ම ඉල්ලා අස්කරගත නොහැකිය. රටක පිළිගැනීම සදාකාලිකය. දැන් මේ න්‍යාය කැටලෝනියාවට හෝ කුර්දිසතානයට ආදේශ කර බැලීමේදී පෙනී යන්නේ දැනට ලොව කිසිදු රටක් මේ රාජ්‍යයන් පිළිගැනිමට සුදානම් නොමැති බවය. අමෙරිකාව දැනටමත් මේවා ස්වාධින රාජ්‍යයන් වනු දැකීමට සුදානම් නොමැති බව දන්වා තිබේ. චීනය ප්‍රකාශ කර ඇත්තෙ තමන්ද මේ රාජ්‍යයන් පිළිගන්නේ නැති බවයි.

අන්තර්ජාතික පිළිගැනීමට අනුව වර්තමානයේ පවතින නිදහස් රැල්ල භයානක ප්‍රතිළුල ගෙන එන්නකි. එය ලොව රටවල් ගණනාවක් අස්ථාවර කිරීමේ තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. මෙ‍ෙලස බිහිවන කුඩා රටවල් දරුණු කොන්කිරීම් හා වෙනත් ගැටලු ඔස්සේ බලවත් රටවල රූකඩ බවට පත්වීමේ ඉඩකඩ පෙන්නුම් කරයි. එමෙන්ම අතීතයේ පැවැති පෞර රාජ්‍ය මෙන් යුරෝපය පුරා බිහිවන කුඩා කුඩා රාජ්‍ය එකිනෙකාට හා කලින් ඒවා අයත්ව තිබු මහා රාජ්‍යයට අභියෝග කරමින් ගැටුම් ඇතිකරගැනිමේ ඉඩප්‍රස්තා බහුල වන අතර එමගින් ගෝලිය ආරක්ෂක, දේශපාලනික හා ආර්ථිකමය වශයෙන් අස්ථාවර බවක් නිර්මාණය කරන්නකි. සම්පත් හිගකම නිසා මේ රාජ්‍ය මුල්‍ය සම්පත් පිළිබද ගැටලුවලට මුහුණ පෑමේ අවදානමක් පවතී. එසේම මහා රාජ්‍යයන් වෙතින් එල්ල වන සම්බාධක හා කොන්කිරීම් නිසා ඒවා හුදෙකලා වීමේ අවදානමක් පවතී. මේ සියල්ල සලකා බලන විට නිදහස ලබාගැනීමේ අභිලාෂය පැවතුනද මෙවැනි ක්ෂුද්‍ර රාජ්‍යයන් යථාර්ථවාදී ද යන ගැටලුව වන්නේය. බලවත් රාජ්‍යයක එනම් බොහෝ විට අමෙරිකාවේ හා අනෙකුත් ප්‍රධාන රටවල ආශිර්වාදය නැත්නම් එවැනි රටකට පැවැතීමේ ඉඩකඩ පවා අහිමි වන්නේය. මෑත භාගයේ ලොව බිහිවුනු කොසොවෝ, නැගෙනහිර තිමෝරය හා දකුණු සුඩානය වැනි රටවල් මහා රාජ්‍යයන්හි අභිලාෂය හා ආශිර්වාදය මත ඔවුන්ගේම මැදිහත්වීමෙන් නිර්මාණය කරනු ලැබු ඒවා වෙයි. එහෙත් ඒවා බිහිවි වසර කිහිපයක් ගතව ඇතත් මේ දක්වා පසුගාමි රාජ්‍යයන්හි තත්ත්වයෙන් මිදී නැත. එය අවධානය යොමුකළ යුතු යථාර්ථයකි. එමෙන්ම කැටලෝනියාවේ හා කුර්දිස්තානයේ ගමන්මග අනුව යමින් කිසියම් දිනෙක නිදහස ප්‍රකාශ කිරිමට මහා බ්‍රිතාන්‍යය, ස්කොට්ලන්තය, හා කැනඩාවේ ක්විබෙක්, වැනි ප්‍රාන්ත රාජ්‍ය පෙළ ගැසී සිටි. එහෙත් ප්‍රධාන රාජ්‍ය සතු බලය යෙදවීමේ නීත්‍යනුකූල ඒකාධිකාරිත්වය හමුවේ ඉන් කැඩී යන නව රාජ්‍යයට මුහුණ දීමට සිදුවන අහිතකර ප්‍රතිඵල හා ඛේදවාචකයන් නිදහසින් ලබන උද්දාමයට වඩා වැඩි හානිකර තත්ත්වයක් ගෙන දෙනු ඇත. 

Comments