හැරල්ඩ් හේරත් සහ එම්.ඩී.එච්. ජයවර්ධන | සිළුමිණ

හැරල්ඩ් හේරත් සහ එම්.ඩී.එච්. ජයවර්ධන

පොල් කර්මාන්ත සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු ‍ෙකළේ පොල් ත්‍රිකෝණයේ හැදී වැඩී දේශපාලනයට පිවිසි හැරල්ඩ් හේරත් මහතා ය.

නළුවෙකු මෙන් මනා රූප සම්පත්තියකින් හෙබි හැරල්ඩ් හේරත් මහතාගේ බිරිය නම් සිංහල සිනමාවේ මුල් යුගයේ ප්‍රකට නිළියකි. අයේෂා වීරකෝන් නම් අද පසුව ග්වෙන් හේරත් නම් ව‍ූවා ය. සාහිත්‍ය, මෙන් ම ක්‍රීඩා පිළිබඳව ද ලියනු ලබන ඇගේ ඉංග්‍රීසි ලිපි නිතර පුවත්පත්හි පළවේ.

දැනට මව්බිමේ සේවය කරන නන්දන තෙන්නකෝන් සහ මගේ තවත් ප්‍රවෘත්ති දඩබිමක් වූයේ ඔහුගේ අමාත්‍යාංශයයි. එකල එම අමාත්‍යාංශය පිහිටියේ දැනට ගිනි නිවන හමුදාව පිහිටුවා ඇති ස්ථානය ඉදිරිපිට පැරණි ගොඩනැගිල්ලේ දෙවන මාලයේ ය.

පුහු ආටෝප විරහිත හැරල්ඩ් හේරත් මහතා වැඩි සද්ද බද්ද නැතිවම රාජකාරි කටයුතු කෙළේ ය. එහෙත් ඔහු අපට වටිනා ප්‍රවෘත්ති දුන්නේ ය. ඔහු හමුවන දිනට අප දෙදෙනාම ඉල්ලා සිටියේ සිල්ලර ප්‍රවෘත්ති නොව ලොකු ලීඩ් ප්‍රවෘත්තිමය. ඔහු ද ඇතැම් විට ලීඩ් ප්‍රවෘත්ති මවා දුන්නේ ය.

ලංකාවේ පොල් කර්මාන්තය දියුණු කිරීමට නම් දේශීය පොල් පාරිභෝජනය අඩු කළ යුතු යැයි කී ඔහු පොල් පොහොර භාවිතා නොකිරීම අස්වැන්න අඩ‍ුවීමට හේතුවකැයි ද කීය. මේ කතා දෙකම අගනා ප්‍රවෘත්ති නමුත් මීට වඩා අගනා කතාවක් නැද්දැයි නන්දන ඇසුවේ ය. මදක් කල්පනා කරමින් සිටි ඇමැතිවරයා එහෙම නං ලියනවා. පොහොර නොදමන පොල් ඉඩම් ආණ්ඩුවට ගන්නවා කියලා බය නැතුව ලියනවා මම ඕක කිව්ව කියලා යැයි දිනක ඔහු අතේ රෝලක් මවා දුන්නේය. අපිදු එය බය සැක නැතිව ලීවෙමු.

මේ කතාව පසුවදා පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළවීමත් සමඟ පොල් ඉඩම් හිමියෝ ද දේශපාලනඥයෝ ද කලබල වූහ. පෞද්ගලික අංශයේ දේ රාජ්‍ය සන්තක කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය නොවේ. එහෙයින් ආණ්ඩුව ආර්ථිකව වෙනත් දිසාවක් කරා යොමු වන බවට දේශපාලන විශාරදයෝ ද මත පළ කළහ. දින තුන හතරක් තුළ මේ පුවත ආණ්ඩුවට බරපතළ හිසරුදාවක් බවට පත් විය.

කැබිනට් රැස්වීමේ දී මේ ගැන සාකච්ඡා කරන බවට කතා පැතිර යද්දී, ලංකා සමසමාජ පක්ෂයේ නායකයකු ද මේ ප්‍රවෘත්තිය පිළිබඳව විමසා සිටි බව ප්‍රවෘත්ති කර්තෘවරයා මහත් විමතියෙන් මෙන් කියා සිටියේ තව තවත් මෙවැනි ප්‍රවෘත්ති අවශ්‍ය බව නොකියා කියමිනි.

“මේ අතරතුර නන්දනත්, මමත් හැරල්ඩ් හේරත් ඇමැතිවරයා හමුවීමට ගියේ සිදුවන දේ ගැන විපරම් කිරීමට ය. “සේරමල කලබල වෙලා. මගේ ආසනය අවට ආසනවලත් පොල් ඉඩම් කාරයො අමනාප වෙලා. තමුසෙලා දෙන්න බය වෙන්ඩ එපා. ඔහොම දෙයක් කිව්වෙ නෑ කියල මං කියන්නෙ නැහැ.” ඇමැතිවරයා ස්ථිර ස්වරයෙන් කීවේ ය.

දින ගණනකින් අවුල විසඳිණි. නිසරු පොල් ඉඩම් රජයේ තාවකාලික පාලනයට ගෙන, පොහොර යොදා සශ්‍රීක කර නැවත අයිතිකරුවනට බාර දෙන බවත්, මේ සඳහා පොල් කර්මාන්ත අමාත්‍යාංශයට වැය වන මුදල් ණයකරයක් ලෙස සලකන බවත්, කිසිදු අයුරකින් ඉඩම් අයිතිය රජය සතු කර නොගන්නා බවත්, කියැවෙන නිවේදනයත් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලදී.

හැරල්ඩ් හේරත් මහතා ආණ්ඩුවේ ප්‍රකාශකයා ලෙස ද කටයුතු කෙළේය. කොල්ලුපිටියේ ග්‍රාමෝදය කාර්යාලය එදා සඳහා යොදා ගන්නා ලදී.

හැරල්ඩ් හේරත් මහතාගේ ආසනය නාත්තන්ඩියයි. නාත්තන්ඩියට කිට්ටු ධීවර ආරාවුලක් ගැන එදින මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරන ලදී. තමා කිසිදු පාර්ශ්වයක පැත්ත නොගෙන සිටින බව කියමින් හේරත් මහතා පිළිතුරු දුන්නේ ය. එයට තමාගේ සම්බන්ධයක් නැති බව ද ඔහු කීවේ ය.

නාත්තන්ඩිය හිටපු මන්ත්‍රීවරයා මෙන් ම කතානායක ද වූ සර් ඇල්බට් එ‍ෆ් පීරිස් මහතාගේ නම ද මෙතන දී කියැවිණි. හැරල්ඩ් හේරත් මහතා සිය දේශපාලන ගුරුවරයකු ලෙස සැලකුවේ ද ඇල්බට් එෆ් පීරිස් මහතා ය.

“ඇල්බට් එෆ් පීරිස් මහත්තයා දැන් ජීවතුන් අතර නැහැ. එතරම් වැදගත් මහත්තයකුගෙ නම දෙපිරිසකගෙ පටලැවිල්ලකට ගාවගන්න එපා‍. පත්තර වාර්තා කාරයො ගැන මං දන්නවා. ලියන්ඩ දෙයක් නැත්තං කන්ද කෙන්ද කරනවා. ඔය ධීවරයො නත්තලට යාළුවෙයි. මට ඔයගොල්ලන්ගෙ ඡන්දෙ ලැබුණත් එකයි. නොලැබුණත් එකයි. ඔයගොල්ල බය නැතුව ලියන්න මං ඔහොම කිව්ව කියල” හැරල්ඩ් හේරත් වැරෙන් කීවත් ඔහු ද ධීවර නියෝජනය සහිත ප්‍රදේශයක මන්ත්‍රීවරයෙකි.

අධිකරණ ඇමැතිවරයා ලෙසත් විදේශ ඇමැතිවරයා ලෙසත් හැරල්ඩ් හේරත් මහතා පසුකලෙක ක්‍රියා කළේ ය‍.

එක්සත් ජාතික පක්ෂයේ එම්.ඩී.එච්. ජයවර්ධන මහතා ද කියන්නට තිබෙන දේ මුහුණටම කියූ දේශපාලනඥයෙකි. මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ නීතිවේදියකු වුව ද, පාදුක්කේ සිය නිවසේ විසුවේ කොටු කොටු සරමකින් හා කරත්ත බැනියමකින් සැරසී ‍හද්දා ගැමියකු ලෙසිනි. එහෙත් මහජන රැස්වීමකට යනවිට අංගසම්ප‍ූර්ණ යු‍‍රෝපීය ඇඳුමින් සැරසුණේය.

සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ යුගයේ උපත්පාලනයට දිරිදෙන බවට ඔහුට චෝදනා එල්ල විය. රටේ ආර්ථිකයට ‍ඔරොත්තු දෙන පරිදි ජනගහණය පාලනය කළ යුතුය යන මතයේ පිහිටා ඔහු කටයුතු කළ ද ‘දේශපාලන සතුරෝ’ එම්.ඩී.එච්. විවේචනය කෙළේ මේ පිළිවෙත නිසා ය.

කොට්ටාව ප්‍රදේශයේ රැස්වීමක දී ඔහුගේ මේ උපත් පාලන ප්‍රතිපත්තියට එරෙහිව පිරිසක් ප්‍රශ්න ඇසූහ. මෙන්න මේ ගොල්ලන්ගේ අම්මලට තාත්තලට උපත් පාලන බේත් දුන්න නම් මේ වගේ කරදරකාරයෝ පහළ වෙන්නේ නැහැ” යයි එම්.ඩී.එච්. පිළිතුරු දීම සමඟ සියලු පීරිස් නිහඬ වූහ.

එම්.ඩී.එච්. ජයවර්ධනට දේශපාලනය එපා ව‍ූයේ ද මේ කෙළින් කතා කිරීම නිසා යැයි කෙනකුට තර්ක කරන්නට පිළිවන.‍

එජාප ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ‍රොනී ද මැල් මහතා වැවිලි කර්මාන්ත අංශය නංවාලීම සඳහා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ එම්.ඩී.එච්. ගේ දෝෂ දර්ශනයට ලක්විය. මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ අයවැය යෝජනාවලට හාස්‍යයෙන් පිළිතුරු දුන් එම්.ඩී.එච්. තමා පෙරදින රාත්‍රි දුටු හීනයක් පිළිබඳව කතා කරන බව කියමින් රජයේ වැවිලි කර්මාන්ත දියුණු කිරීමේ යෝජනාවලිය විවේචනයට ලක් ‍ෙකළේ ය. එදා ඔහු වැවිලි ඇමැතිවරයාය. බ්‍රැඩ්මන් වීරකෝන් ලේකම්වරයා ය.

මේ කතාවෙන් ආණ්ඩුව බලවත් අසීරුතාවකට ද පත්විය. ජේ.ආර්. ජයවර්ධන මහතා රාජ්‍ය නායකයා ලෙස මෙම අසීරුතාවට මුහුණ දුන්නේ එම්.ඩී.එච්. ජයවර්ධන මහතාට අසනීප ගතියක් තිබෙන ‍බවත්, වහාම ඔහුට ප්‍රතිකාර අවශ්‍යව තිබෙන බවත් කියමිනි. එම්.ඩී.එච්. පාර්ලිමේන්තුවේ දී බෝම්බයක් ගැසූ බව එක් පුවත්පතක පළවිය.

කෙසේ හෝ මේ අවුල කැබිනට් සාමූහිකත්වය කඩ කිරීම කැයි නිර්වචනය කිරීමත්, සමඟ එම්.ඩී.එච්. සිය වැවිලි කර්මාන්ත ඇමැති තනතුරෙන් ඉල්ලා අස්විය. (කොළඹ ලංකා විශ්ව විද්‍යාල කොලිජියෙන් ආර්ථික විද්‍යා උපාධිය ලත් එම්.ඩී.එච්. විදේශ ගතව උසස් අධ්‍යාපනය ලබා 1947 ලංකාවට පැමිණ එක්සත් ජාතික පක්ෂයට බැඳී 1952 හොරණ ආසනයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට පත්වූවෙකි.

හිමිදිරියේ බස්තමක් ද රැගෙන පාදුක්ක හොරණ පාර දිගේ හෝ පාදුක්ක ඉංගිරිය පාර දිගේ ඇවිද යන එම්.ඩී.එච්. ජයවර්ධන ඒ යන එන ගමන් කුඩා ළමයිනට රසකැවිලි බෙදා දුන් අන්දම ගැන තවමත් පාදුක්කවාසීහු කතා බහ කරති.

එම්.ඩී.එච්. පත්තරකාරයන්ට ද හිතවත් පුද්ගලයෙකි. ඕනෑම දුරබැහැරක දී ඔහු පත්තරකලාවේදීන්ට සිය බෙන්ස් රියට ගොඩ වදින ලෙස ඇරයුම් කෙළේ ය. ඔවුන් පත්තර කන්තෝරුව අසලටම ගෙනැවිත් ඇරලීමට ද කාරුණික වූ නමුත් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වුණේ නැත. 

Comments