
දීර්ඝ කාලයක් තිස්සේ දැඩි විවේචනයට ලක් වෙමින් පවත්නා 5 ශිෂ්‍යත්ව විභාගය මේ අවුරුද්දේ දී ද පැවැත්විණි. එහි ප්‍රතිඵල ඔක්තෝ්බර් 5 වන දින නිකුත් කරන බව සඳහන්වේ. එයට ශිෂ්‍යයෝ 356728 දෙනෙක් පෙනී සිටියහ. 5 ශිෂ්‍යත්ව විභාගය, විභාග හා අධ්‍යාපන මූලධර්මවලට එකඟ නොවේ යැයි ද එය ළමුන්ගේ කායික හා මානසික වර්ධනයට බෙහෙවින් හානිකර යැ’යි ද විවිධ පර්යේෂණ (Kamala peiris & Senarath; Raja Gunawardhana; Dr. Dimuthu & Dr. Kapila) මගින් අනාවරණය කර ඇත. මෙම විභාගයෙන් සාමාජීය වශයෙන් ළමුන්ට ද දෙමවුපියන්ට ද සිදුවන කරදරය තේරුම් ගැනීමට පර්යේෂණ අවශ්‍ය නැත.
සමහර අයගේ අදහස නම් ‘මෙම විභාගය අහෝසි කළ යුතුය’ යන්නයි. එහෙත්, වඩා හොඳ පාසලකට ඇතුළු කිරීමටත්, මූල්‍යාධාරයක් ලබා දී මටත් සුදුස්සන් තේරීම සඳහා මෙතරම් යෝග්‍ය වෙනත් නිර්ණායකයක් සොයා ගෙන නොමැති හෙයින් මෙම විභාගය අහෝසි කළ නොහැකි ය. එහෙත් මෙම විභාගයේ ඇති දෝෂ භංග කොට ළමයින් ද දෙමවුපියන් අධ්‍යාපනඥයන් ද සෑහීමකට පත් කළ හැකි විකල්ප තිබිය හැකි ය. මවිසින් ඉදිරිපත් කරන එවැනි විකල්ප යෝජනාව වන්නේ “දැනට පස් වන ශ්‍රේණියේ දී පවත්වන ශිෂ්‍යත්ව විභාගය හයවන ශ්‍රේණියේ දී පැවැත්වීම සුදුසුවේ” යන්නයි.
මෙම යෝජනාව අදාළ ගැටලුවට හොඳ විසඳුමක් වන්නේ කෙසේ දැ’යි මෙතැන් සිට සාකච්ඡා කරමු. හය වන ශ්‍රේණියේ දී විභාගය පවත්වන්නේ නම්, ශිෂ්‍යයා තවත් අවුරුද්දකින් කායික හා මානසික පරිණතියකට පත්ව සිටිනු ඇත. එවිට විභාගයට මුහුණ දීමේ දී ද පසුව ද්විතීයික පාසලකට යෑමේදී ද ඇතිවන දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය හැකියාව වර්ධනය වී පවතිනු ඇත. හත් වන ශ්‍රේණියට ප්‍රවේශ වන ශිෂ්‍යයා නව යෞවන වයසේ පසුවන්නෙකි. මගේ යෝජනාව වන්නේ තව අවුරුද්දක් ළමා කාලයේ සුන්දරත්වය විඳීමට ඉඩදී නව යෞවන වයසට එළැඹි පසු විභාගයට සුදානම් කරන ලෙසයි.
තවද හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන විට නම් ශිෂ්‍යයා විභාගයකින් පරීක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් ඥානයක් ද ලබා සිටිනු ඇත.
හය වන ශ්‍රේණියේ දී විභාගයට පෙනී සිටින ළමයා විභාගයේ අරමුණු හා එහි ස්වභාවය ගැන අවබෝධයකින්, වැඩි සූදානමකින්, වැටහීමකින් හා ප්‍රමාණවත් පෞරුෂයකින් යුතුව විභාගයට පෙනී සිටිනු ඇත.
මගේ යෝජනාවෙන් ශිෂ්‍යත්ව විභාග ගැටලුවට පිළියමක් සැපයෙනවා පමණක් නොවේ. තවත් ගැටලු කීපයකට විසඳුම් ලැබෙනවා ඇත. ඒ මොනවාදැයි දැන් බලමු.
“දැනට පවත්වාගෙන යන ව්‍යාකූල ප්‍රාථමික පාසල් ව්‍යුහය යාවත්කාලීන කර ගැනීමට හැකිවීම’ එක් විසඳුමකි. එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ හා චීනයේ ද තවත් බොහෝ රටවල ද ප්‍රාථමික අධ්‍යාපන තලය අවුරුදු හයකින් යුක්තය. (6 වන ශ්‍රේණිය ප්‍රාථමික තලයට අයත්ය) ශ්‍රී ලංකාවේ මේ කාලය අවුරුදු පහකි. එංගලන්තයේ පන්ති හයක් ම බෙදා ඇත්තේ Key Stages දෙකකට පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ පන්ති පහක් පමණක් ප්‍රධාන අවධි තුනකට ම බෙදාගෙන ඇත. 1998 දී කළ ශ්‍රී ලංකාවේ මෙම බෙදීම තාක්ෂණික වශයෙන් ද වැරදි වේ. ප්‍රධාන අවධිය ශ්‍රේණි දෙකකින් ද ප්‍රධාන අවධිය 2 ශ්‍රේණි දෙකකින් ද යුක්ත නමුත් ප්‍රධාන අවධිය 3 සමන්විත වන්නේ එක් ශ්‍රේණියකින් පමණි. (එංගලන්තයේ හැම Key Stage එකක්ම අවම වශයෙන් පන්ති දෙකකින් යුක්තය) ශ්‍රී ලංකාවේ ප්‍රාථමික තලය ප්‍රධාන අවධි තුනකින් යුක්තය යන ව්‍යවහාරය ද වැරදි ය. එහි ඇත්තේ ප්‍රධාන අවධි දෙකක් හා එක ශ්‍රේණියකි. තවද ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ප්‍රධාන අවධි දෙකකට (3, 4, 5 ශ්‍රේණි) අයත් ශ්‍රේණිවලින් වීම ද තර්කානුකූල නොවන කාරණයකි.
ප්‍රධාන අවධිවලට බෙදීමේ අභිමතාර්ථ ද (1998 දී) දෝෂ සහිත ය.
එහි තුන්වන ප්‍රධාන අවධිය වෙන්කර ඇත්තේ ‘අසුන්ගත වැඩ බහුල කිරීමට ය.’ මෙම අභිමතාර්ථය මුළු ප්‍රාථමික අධ්‍යාපනයම හෑල්ලුවට පත් කිරීමකි. තවද ශිෂ්‍යත්ව විභාගයේදී වඩාත් මැනෙන්නේ මේ පරමාර්ථය පෙර දැරි කරගත් 5 වන ශ්‍රේණිය ඇසුරෙන් ය.
එසේ ම මේ ප්‍රධාන අවධි ක්‍රියාත්මක වන්නක් ද නොවේ. ජාතික අධ්‍යාපන ආයතනය, විෂය නිර්දේශ, ගුරු අත්පොත් සකසන්නේත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පෙළ පොත් නිකුත් කරන්නේ විභාග දෙපාර්තමේන්තුව විභාගය පවත්වන්නේත් පාසල් වාර විභාග පවත්වන්නේත් ශ්‍රේණිවලට මිස ප්‍රධාන අවධිවලට නොවේ.
වර්තමාන පාසල් ව්‍යුහයේ කනිෂ්ඨ අවධිය 6 – 9 ශ්‍රේණි හතරකින් යුක්තය. එය දීර්ඝතම අවධියයි. මගේ යෝජනාව අනුව 6 වන ශ්‍රේණිය ප්‍රාථමික තලයට ගත් කළ සමබර තර්කානුකූල අලංකාරවත් ව්‍යුහයක් පෙනෙනු ඇත. එවිට සම්පූර්ණ ව්‍යුහය මෙසේය.
පූර්ව ප්‍රාථමික තලය - 1 – 3 ශ්‍රේණි 3
පශ්චාත් ප්‍රාථමික තලය - 4 -6 ශ්‍රේණි 3
කනිෂ්ඨ තලය - 7 – 9 ශ්‍රේණි 3
කනිෂ්ඨ ද්විතීයික තලය - 10 – 11 ශ්‍රේණි 2
ජ්‍යෙෂ්ඨ ද්විතීයික තලය - 12 – 13 ශ්‍රේණි 2
මගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට විෂය නිර්දේශවල ගුරු අත්පොත්හි පෙළ පොත්හි වෙනසක් අනවශ්‍ය වේ. විභාගයේද වෙනසක් අනවශ්‍ය වේ.
මගේ යෝජනාව අනුව පිළියම් සොයාගත හැකි තවත් බරපතළ ප්‍රශ්නයක් වන්නේ සිසුන් ද්විතියික පාසලට ඇතුළත් කිරීම පිළිබඳ ගැටලුවයි. මගේ යෝජනාව අනුව සිසුන් ඇතුළත් කරන්නේ හයවන හයවන ශ්‍රේණියට නොව හත් වන ශ්‍රේණියටයි. එමගින් අවස්ථාව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව 100% කින් වර්ධනය කළ හැකි ය. දැනට “මේ අවස්ථාව ලැබෙන ශිෂ්‍ය සංඛ්‍යාව පෙනී සිටි අයගෙන් 10% කටත් වඩා අඩු ය.” (Raja) සිසුන් ඇතුළත් කිරීමේ ගැටලුවට මෙයට වඩා හොඳ විකල්පයක් ඇතැ’යි සිතිය නොහැකි තරම් ය. එසේ ම ශිෂ්‍යත්ව විභාගයට මෙයට වඩා හොඳ Type – 3 පාසල් 3933 න් වැඩි හරියක් 5 වන ශ්‍රේණිය තෙක් ගෙන්වන පාසල්ය. මේ පාසල්වලින් හැදෙන ශිෂ්‍ය සංඛ්‍යාව එම පාසලේ ම තබාගෙන තවත් අවුරුද්දක ඵලදායි අධ්‍යාපනයක් ලබාදීමට මං පෑදේ.
එසේ ම එම පාසල් හයවන ශ්‍රේණිය තෙක් දීර්ඝ වන හෙයින් දැනට අපතේ යන ගොඩනැගිලි හා අනෙකුත් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකිවේ. උපාධිධාරි ගුරුවරුන්ගේ සේවය ද ලබා ගෙන එම පාසල් ශක්තිමත් කොට ගුණාත්මක ප්‍රාථමික අධ්‍යාපනයක් ලබාදිය හැකි ය. තවද කුඩා පාසල් වැසී යාමේ තර්ජනයට ද මගේ යෝජනාව මුහුණ දෙනු ඇත.
මේ මගින් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ‘ළඟම පාසල හොඳම පාසල වේ’ යන සංකල්පය වඩාත් ශක්තිමත් වනු ඇත.
ඒ.එම්.එස්. ජයවීර
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ
විෂයමාලා අංශයේ හිටපු අධ්‍යක්ෂ