
'සරණාගත' යන නාමය සහිත මිනිසුන් සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් පැවතුණද ඒ ඉතිහාසය වෙනස් වන්නේ මීට වසර කිහිපයකට පෙර සිටය. මෙහිදී එකවරම ඉතිහාසයේ පෙර නුවූ විරූ අන්දමින් මහා මිනිස් ගංගාවන් ලෝකයේ නොයෙක් කලාපවල සිට යුරෝපයට සහ උතුරු ඇමරිකාව කරා සංක්‍රමණය වන්නට විය. සරණාගතයන් යනු අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක් බවට පත් වන්නේ එතැන් සිටය.
එක්වරම අතිවිශාල සරණාගතයන් සංඛ්‍යාවක් බිහි වීමට හේතු කිහිපයක්ම හඳුනාගත හැකිය. ලෝකයේ බොහෝ රටවල යුද්ධ ඇති වීම ඉන් ප්‍රධාන සාධකයකි. ඒ අතරින්ද අරාබි වසන්තය හේතුවෙන් යුද ගිනි ඇවිළී ගිය රටවලට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. රටවල් දේශපාලන සහ ආර්ථික අතින් අස්ථාවර වීම මෙන්ම තවත් රටවල ජනතාව සාර්ථක, සාමකාමි ස්ථාවර ජීවිත ගත කිරීමද ලෝකයේ ජනතාව අතුරින් සැලකිය යුතු පිරිසක් සරණාගතයන් බවට පත් කිරීමට හේතු සාධක විය. ලෝකයේ කවරදාකටත් වඩා ආගම මුල් කරගනිමින් අරගල ඇති වීමද සාමාන්‍ය ජීවිත ගත කළ ජනතාව මහත් රාශියක් සරණාගතයන් බවට ඇදදැමීමට හේතු විය.
මෙවැනි හේතු පදනම් කරගනිමින් ලොව පුරා බොහෝ රටවල ජනතාව සාමකාමී ලෙස මෙන්ම සුඛෝපභෝගිව ජීවත් වීමට අවස්ථාව ලැබේයැයි සිතෙන රටවල් කරා සංක්‍රමණය වීම ආරම්භ කර තිබේ. මේ සරණාගත සංක්‍රමණ නොයෙක් ගැටලුවලට හේතු සාධක වී ඇත. එහෙත් ඒ ගැටලුවල ප්‍රධාන බලපෑම එල්ල වී ඇත්තේ සරණාගතයන්ගේ අවසාන නැවතුම්පොළවල් බවට පත් වී ඇති ධනවත් රටවලට වීමද විශේෂයකි. ත්‍රස්තවාදය ඒ අතරින් ප්‍රධාන ගැටලුවකි. පසුගිය කාලය පුරා සරණාගතයන් සමඟ පැමිණි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට යුරෝපය මුහුණ දුන් අන්දම ඒ සඳහා හොඳම උදාහරණයයි. ඉන් පසු සමාජීය ගැටලුද ඇති වෙමින් පවතින බව පැහැදිලි වී තිබේ. ජන සමාජය අතරට සංස්කෘතිය සහ ආර්ථික තත්ත්වය අතින් දරුණු වෙනස්කම් සහිත ජනතාව මහත් රාශියක් එක්වර කඩාවැදීමෙන් සමාජීය සමබරතාව බිඳවැටීමේ අර්බුදයකට මේ අතුරින් ඇතැම් රටවල් මුහුණ පා තිබේ. මේ හේතුවෙන් තවත් සුළු ජන කණ්ඩායම් බිහි වීම මෙන්ම විරැකියාව ඇති වීමට තවත් ගැටලු ලෙස හඳුනාගත හැකිය.
එමෙන්ම රටවල් දේශපාලන වශයෙන් නොයෙක් හැලහැප්පීම්වලට ලක් කිරීමටද සරණාගතයන්ට හැකි වී තිබේ. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන පොරොන්දු දැක්විය හැකිය. ඔහු බලයට පැමිණීම පෙර මුස්ලිම් ජාතිකයන්ට අමෙරිකාවට පැමිණීමට ඉඩ ලබා නොදෙන බවට පොරොන්දු ලබා දෙමින් අමෙරිකානු ජාතිකත්වය හුවා දැක්වූයේය. මේ සියලු සිද්ධින් අතර සරණාගත ප්‍රවණතාව තවදුරටත් අඩුවක් නොමැතිවම ක්‍රියාත්මකය. හෙට දවසේදී එය කුමන හැඩතලයක් ගනු ඇතිද යන්න අනාවැකි කීමට නොහැකිය.