ලාස් වේගාස්: අත්‍යන්ත ප්‍රමෝදයේ අවසානය | සිළුමිණ

ලාස් වේගාස්: අත්‍යන්ත ප්‍රමෝදයේ අවසානය

ප්‍රමෝදය උතුරා ගිය ජීවිතයක යළි යළිත් තමා පිනවීමට කළ යුතු අන් කිසිවක් නොමැති තැන කුමක් කිරීමට මිනිසා පෙලඹේද? ලාස් වේගාස් කුවේරයන්ගේ නගරයෙන් පසුගියදා ඇසුණු මරළතෝනි ඊට පිළිතුර සපයා දුන්නේය.

මිනිස් ජීවිතය සැකසී ඇත්තේ ආශාව හඹා යෑම ඔස්සේය. මිනිසාගේ පැවැත්ම ගලා යන්නේද අතෘප්තිය මතිනි. අතෘප්තිය තෘප්තිමත් කරගැනීමට ගන්නා වෑයමට අපි දියුණුව, සංවර්ධනය, ශිෂ්ටාචාරය මේ ආදි බොහෝ අර්ථකථන ලබා දෙන්නෙමු. එහෙත් මේ සෑම අවස්ථාවකදීම සිදු වී ඇත්තේ හිස්තැනක් පිරවීමට යෑමෙන් පියවරක් ඉදිරියට යෑමය.

ලාස් වේගාස් යනු මේ හිස්තැන පිර‍වීමේ අලුත්ම මුහුණුවරය. මේ නගරයේ වෙසෙන්නට හැකියාව ඇත්තේ ධන කුවේරයන්ටය. මෙහි විනෝද වීමට පැමිණෙන්නෝද ධන කුවේරයෝමය. ලාස් වේගාස්වලට එළිවීමක් නැත. රෑ වීමක් නැත. ඇත්තේ විනෝදය පමණක්මය. එහෙත් ඒ මේ නගරයේ සේවය කරන දුප්පතුන්ට නොව එහි රැ‍ඳෙමින් සල්ලි වීසි කරන ධනවතුන්ටය.

හැටහතර හැවිරිදි ස්ටෙපාන් පැඩොක්ද එවැනි ධනවතෙකි; බිලියනපතියෙකි. ජීවිත ඉතිහාසයේ කිසිදු කඩතොල්ලක් නැති අහිංසකයෙකි. එහෙත් ඔහු අවසානයේ තම මරණය වෙනුවෙන් වෙනස්ම මාර්ගයක් තෝරාගන්නේය.

ඔහු සංවිධානය කරන මරාගෙන මැරෙන නාටකයද සාමාන්‍ය මිනිසකුට රඟ දැක්විය නොහැක්කකි. මේ සඳහා ඔහු නගරයේ අතිශයින් සුඛෝපභෝගී හෝටලයක මිල අධික කාමරයක් තෝරාගන්නේය. මේ කාමරය ඔහු පුරවන්නේ ගිනි අවි සහ උණ්ඩවලිනි. අමතරව ඔහු එය කැමරාවලින්ද පුරවා දමන්නේය. වාර්තා වී ඇති පරිදි ඔහු කාමරය පුරා ගිනි අවි විසිතුනකුත් කැමරා හැටකුත් අටවා තබන්නේය. මේ අතරින් ගිනි අවි දොළහක් ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමට සකස් කර තිබෙන්නේය.

රාත්‍රිය එළඹුණු පසු ස්ටෙපාන් තම රංගනය අරඹන්නේය. ඔහු උණ්ඩ මුදාහරින්නේ දුම්රියපොළක සිටින පොදු ප්‍රවාහන සේවයක ගමන් ගන්නා සාමාන්‍ය මඟීන්ට හෝ ක්‍රීඩා පිටියක නරඹන්නන් වෙත හෝ නොවේය. ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ප්‍රමෝදයෙන් උතුරා යමින් සිටින මිනිසුන් මහත් රාශියකි. වීඩියෝ දර්ශන අනුව උණ්ඩ වැදී ඇතැමුන් මියගොස් බිම වැටුණද තවත් බොහෝ දෙනා ඒ බව වටහාගන්නේ තවත් කාලය ගත වී ගිය පසුය. අත්විඳිමින් සිටි ප්‍රමෝදය එතරම්ය.

මේ මිය යෑම් මෙන්ම මරා දැමීම්ද මිනිස් මනස ඉල්ලා සිටින ප්‍රමෝදයේ උච්චතම අවස්ථාවෙන් පසු ඇති වන හිස්තැන ඛණ්ඩාංකගත කර පෙන්වන්නේය.

පනස් අට දෙනකු මිය යන තුරු, පන්සීයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබන තුරු ස්ටෙපාන් තම ගිනි අවි ක්‍රියාත්මක කරවන්නේය. ඉන් පසු පොලීසිය හමුවේ ඔහුද උණ්ඩයක ගොදුරක් වන්නේය. මිනිස් මනස තරම් සංකීර්ණ දෙයක් ලොවේ තවත් නැතැයි මිනිසාම පවසන්නේය.

Comments