
දශක හයක කාලයක් පුරාවට ලාංකේය වේදිකාවට, ලේඛනයට, සාහිත්‍යයට මෙන්ම රංගනයට පෙම්බැඳි මේ කලාකාමී මිනිසා එසේත් නොමැතිනම් කෘතහස්ත නීතිවේදියා සිය දිවිසැරියේ අනේකවිධ වූ සංසිද්ධීන් අද ‘පැහැසර හමුව’ වෙනුවෙන් පෙළගස්වයි. දශක තුනක් නොරට විසුව ද ඔහු අද අපේ රටේ අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගධරයකු, ලේඛකයකු, ග්‍රන්ථ කර්තෘවරයකු, නාට්‍යවේදියකු මෙන්ම නීතිවේදියකු ද වන නාෙමල් වීරමුනි ශූරින්ය.
උපන් දිනය?
1934 අගෝස්තු 31
උපන් ගම?
අහුන්ගල්ල, මිද්දරමුල්ල
උප්පැන්නයේ නම?
තිස්ස නාමෙල් ද සිල්වා
දෙමවුපියන්?
ජෝන් ද සිල්වා මගේ පියා. මව සුවන් වීරමුණි
මූලික අධ්‍යාපනය?
ගල්වෙහෙර ප්‍රාථමික පාසල 4 ශ්‍රේණියට යන තෙක්.
ඉන් පසුව?
මාව පාසලෙන් අස්කළා ළමයෙකුට ගහලා.
ඔබ චණ්ඩියෙක්?
අනේ නෑ!
එහෙනම්?
පැරැණි සාහිත්‍ය ග්‍රන්ථයක කවියක කෑල්ලක් අල්ලගෙන පාසල් මිතුරන් මට උසුළු විසුළු කළා.
ඔබට කේන්ති ගියා?
ඔව්! පෑනට දාන තීන්ත බෝතලය අතේ තිබුණා. මම එක්කෙනෙකුට ඒකෙන් පහර දුන්නා. පාසලෙන් අස්කරන්න ඒකයි හේතුව.
පසුව පාසල් ගියේ?
අවුරුද්දක් පමණ පාසල් ගියේ නෑ. කට්ටි පැන පැන හිටියා.
නෑ! මම අහන්නේ ඔබේ ඊළඟ පාසල?
නෑදෑකමට ඈතින් මට මාම වෙන කෙනෙක් හිටියා ඔහු වැඩ කළේ කච්චේරියේ. ඔහුව ගාල්ලට මාරු කළා. ඔහු මාව එක්කගෙන ගිහින් ගාල්ලෙ පාසලකට දැම්මා.
එතකොට සහෝදර සහෝදරියන්?
හිටියා! ඒ අක්කයි නංගියි ආ... එකක් කිව යුතුයි අපට තාත්තා නැතිවෙන්නේ මට අවුරුදු හතරක් පමණ වයසේදී.
සියලු බර අම්මගේ කරපිට පැටවුණා?
මගේ අම්මගේ අයියා අමරපුර මහ නිකායේ මහනායක වතුරේගම ඥානෝභාෂ මාහිමිපාණන් වහන්සේ මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කළා.
ගාල්ලේ පාසල් අධ්‍යාපනය?
ඉතාමත් කෙටි කාලයයි.
ඒත් රණ්ඩුවක් ද?
නෑ! නෑ!! ඒ මාම නැවත මාරු කළා. ඒ රත්නපුරයට ඔහු මාව රත්නපුර ශාන්ත ලුසියා විද්‍යාලයට ඇතුළු කළා.
එහි අධ්‍යාපනය කොහොම ද?
එය ඉංග්‍රීසි මාධ්‍ය පාසලක්. සිංහලෙන් කතා කළොත් දඩ ගහනවා. මා නැවතිලා හිටියේ තෙන්නකෝන් වලව්වෙයි. ඒ කියන්නේ සුරංගනි එල්ලාවල මහත්මියගේ මහ ගෙදරයි.
මම ඇහුවේ අධ්‍යාපනය ගැන?
එහිදී මා ජ්‍යෙෂ්ඨ පාඨශාලා පත්‍ර විභාගය ඉහළින්ම සමත් වුණා. ඒ වුණත්...
ඇයි ඒ වුණත් කිව්වෙ?
මේ පාසලේ අධ්‍යාපනය ලබන කාලේ මගේ අම්මා නැතිවුණා. ඒ 1950 ජූනි 30 එතකොට අම්මට අවුරුදු 43 යි.
ඉන් පසුව?
නායක හාමුදුරුවොත් ඩැනියෙල් මාමත් ඇහුව දැන් ඔබ මොකද කරන්නේ කියලා මා කිව්වා වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා.
උසස් පෙළ කරන්න ඔබ කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළු වෙනවා?
ඔව්! එතකොට තිබුණේ විශ්ව විද්‍යාල ප්‍රවේශය විභාගයයි.
ඔබ සමත්වුණා?
නෑ! පළමුවර මම අසමත් දෙවන වරයි මා ඉහළින්ම සමත් වෙන්නෙ. මා එතකොට ක්‍රීඩා - සාහිත්‍ය කටයුතු ආදියෙන් ඉදිරියට ඇවිත් හිටියා පුවත්පත්වලට ලිපි පවා ලිව්වා.
මොනවද එම පුවත්පත්?
දිනමිණ සිළුමිණ
ඔබේ පළමු ලිපිය පළවුණේ?
පසු කලෙක අමාත්‍යවරයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා සංස්කරණය කළ ‘දින දින’ සඟරාවෙයි.
ඔබ වේදිකාවට පෙම් බඳින්න පටන්ගන්නෙ?
මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක්ව සිටියදියි වේදිකාවට අවතීර්ණය වෙන්නෙ.
ඒ කොහොම ද?
මා එහිදී මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්’ නාට්‍යය සඳහා තෝරා ගනු ලබනවා.
එවකට ඔබේ සමකාලිනයන්?
‘රත්තරන්’ නාට්‍යයේ මගේ අම්මට රඟපෑවේ සෝමලතා සුබසිංහයන්.
ඔබේ පළමු නාට්‍යය?
එය නිර්මාණය වෙන්නෙත් විශ්ව විද්‍යාල අවදියේ.
නම?
‘ගොළු බිරිඳ’ එය ප්‍රංශ නාට්‍යයක්. මහාචාර්ය විමල් දිසානායක පරිවර්තනය කළා.
එය රට වටා ප්‍රදර්ශනයට අවස්ථාව ලැබෙනවා?
ඔව්! එය රට වටා පෙන්වන්නේ ‘මුහුදු යන්නෝ’ කියන නාට්‍යයත් එක්කයි.
විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය නිම කළාම?
මා සමඟ තවත් තිදෙනෙක් රත්නපුරේ ශ්‍රී සුමන විද්‍යාලයේ ඉගැන්නුවා. එහිදී මා නාට්‍යයක් කළා.
එය ?
‘කාසි රටෙන්’ කියලා එය සංගීතවත් කළේ ‘අයිවෝ ඩෙනිස්’. ඉන් පසුව කළා ‘විරූප රූප’ කියන නාට්‍යය. ඒ 1963 දී.
ඔබට අනාගත සහකාරිය හමුවන්නෙ?
අපෝ... ඒ නාලන්දාවේ ඉගෙන ගන්න කාලේ.
එතරම් හිරිමල් යෞවනයේදී?
ඔව්... අප ඥාතින්.
කොහොමද හමුවීම?
මා නාලන්දාවේ ඉගෙනගන්න කාලේ නැවතිලා හිටියේ නාලන්දාවේ ඉදිරිපිට අපේ ඥාති ගෙදරක. එතකොට මාලිනිලාගෙත් ඥාති නිසා ඒ අය එහේට එනවා.
එතනයි හමුවීම?
අපි දුප්පත් ඥාති. මාලිනිලා පොහොසත් ඥාති.
ඒ කිව්වෙ?
මට සල්ලි තිබුණේ නෑ. මාලිනිගෙ තාත්තා ‘හයිකෝට් ජජ්’ (මහාධිකරණ විනිසුරුවරයෙක්) කෙනෙක්.
ඇය පාසල් ගියේ?
කොළඹ විශාඛාවට පසුව ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවට. අන්තිමට කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයට.
ඇයත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවා?
නෑ.
ඒ ඇයි?
මා නිසා ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. ඒ සඳහා අද ද මා හදවතින් කම්පා වෙනවා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ඔබ රත්නපුරේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරන කාලයේදී විවාහ වෙනවා?
ඔව්! මට ඒ සඳහා මුදල් තිබුණේ නෑ. මාලිනිගේ අයියගෙන් ණයට මුදල් අරගෙන මඟුල් මුද්දක් හදාගත්තා. (ඒ මුදුව පැලඳ තිබෙන ඇඟිල්ල පෙන්වමින් සිනාසෙයි...)
විවාහ වෙලා පදිංචි වුණේ රත්නපුරේ?
නෑ... කළුතර.
ඔබේ බිරිය වේදිකාවට එන්නෙ?
අපි බැඳලා ලොකු දරුවා ලැබෙන්න කුසට මාස හතයි මගේ ‘ගොළු බිරිඳ’ නාට්‍යය කළුතර නගර ශාලාවේ පෙන්වීමට තිබුණා. එදා ප්‍රධාන නිළියට එන්න ලැබුණේ නෑ.
ඉතින්?
හරිම ප්‍රශ්නයක් තමයි. මාව බේරගත්තෙ මාලිනි ඇය ඒ චරිතය කරන්න බාරගත්තා. මාලිනිගේ වේදිකා ගමනය ඇරැඹුම එයයි.
ඊට පසුව ඔබේ ජීවිත ගමන...?
රත්නපුරේ ගුරු වෘත්තියෙන් මා ඉවත් වෙනවා. අසූහය වතාවක් කොළඹ ආවත් මගේ රැකියාව එක නිලධාරියෙක් හරස් වී ස්ථිර කළේ නෑ.
ඔබ ඊට පසුව කළුතර තිස්ස විද්‍යාලයේ ටික කලක් උගන්වනවා?
ඔව්! පසුව මා එයිනුත් ඉවත් වී 1964 දී නීති විද්‍යාලයට ඇතුළු වුණා.
එහි ජිවිතය?
මගේ සමකාලීනයන් වූයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා. වත්මන් විදේශ ඇමැති තිලක් මාරපන. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම, දේශපාලන පක්ෂ නායකයකු වූ හරිස්චන්ද්‍ර විජයතුංග වගේ අය...
නීති විද්‍යාලයෙන් පස්සෙ?
මා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සේවයට එක් වෙනවා. ඉන් පසුවයි මා එංගලන්තයට යන්නේ ඒ 1973 දී.
එහිදී නීති වෘත්තියේ යෙදෙන ගමන් නාට්‍යයත් කළා?
ඔව්! එහි මා කළ ඉංග්‍රීසි නාට්‍යයේ 48 දෙනකු රඟපෑවා.
ඔබ නැවත මවු රටට එන්නේ 2002 වසරේ. එදා - මෙදාතුර වේදිකාවේ සිදුව තිබෙන වෙනස ඔබට දැනෙන්නේ කොහොම ද?
අපේ රටේ නාට්‍ය කලාව අද විනාශ වෙලා. හරියට මීතොටමුල්ලේ කුණු ගොඩ වගේ. අද නාට්‍යවල ඇත්තේ බොලඳ සිනහව පමණයි.
සියලුම නාට්‍යකරුවන් හා නාට්‍යය ගැන ද ඔබ කියන්නෙ?
නෑ... හොඳ නාට්‍යකරුවන් කීප දෙනෙකු පමණක් ඉන්නවා. රාජිත දිසානායක, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි වගේ අය.
එදා වේදිකාවට - සිනමාවට තිබූ ආකර්ෂණය ටෙලි නාට්‍ය වෙත නැඹුරු වෙලා කිව්වොත්...
කොහේද හොඳ ටෙලි නාට්‍යයක් තිබෙන්නේ. විශේෂයෙන් විදේශ ටෙලි නාට්‍යවලට හඬ කවා ප්‍රදර්ශනය කිරිම නිසා අපේ ටෙලි නාට්‍යය කලාව ඉවර වෙලා. අද තිබෙන්නේ වල්මත් වුණු සමාජයක්.
ඇයි ඔබ එසේ කියන්නෙ?
මා ලෝකයේ හැම රටකම වගේ ඇවිදලා තිබෙන මිනිහෙක්. නමුත් අපේ රටේ තරම් ජංගම දුරකථන කනේ ගහගෙන ඉන්න ජාතියක් මා ලෝකයේ කොහේවත් දැක නෑ.
මෙහි කෙළවර?
මා දන්නෙ නෑ.
මෙය වෙනස් කළ යුතුයි නේද?
ඔව්! පළමුවෙන් පටන්ගත යුත්තේ රූපවාහිනි නාළිකාවල ප්‍රදර්ශනය කරන වෙළෙඳ දැන්වීම්වලින් මේ දැන්වීම් කොයිතරම් මිථ්‍යාව සමාජගත කරනව ද කියලා විමසිලිමත්ව බලන්න... අපි දරුවන් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි.