
ළමයින්ගේ ආරක්ෂාව හා සුබ සාධනය වෙනුවෙන් ළමයින්ගේ වටිනාකම සමාජයට අවබෝධ කර දීම උදෙසා ළමුන් වෙනුවෙන් වෙන් කළ දිනය අදයි.
ලෝකයේ වටිනාම වස්තුව ළමයින්ය. මිනිසා හය හතර තේරෙන අවධියේ සිට අතපය වාරුව පවතින තාක් ධනය ඉපයීමට මෙන්ම, බලය පැතිරවීමට ද උත්සාහ දරයි. තමන් උපයන ධනය වර්තමානයට මෙන් ම අනාගතයට ද පාවිච්චි කිරීම සඳහා බැංකුවල තැන්පත් කරන අතර ධනය යොදාගෙන තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සාහ දරයි. කෙසේ වෙතත් ධනය තුළින් කුමන අවශ්‍යතා මිනිසා ඉටු කර ගත්ත ද ආදරය, සෙනෙහ, කරුණාව තමන් වෙත ලබා ගැනීමට, ධනය වැය කිරීමෙන් පමණක් හැකියාවක් නොමැති බව සමාජ අත්දැකීම් විසින් සනාථ කෙරේ. මිනිසාගේ ආදරය, කරුණාව සහ සෙනෙහස තැන්පත් කිරීමට වාණිජ බැංකුවක් නැතත් මේ ලොව එවැනි කටයුත්තක් කර ගැනීමට ඇති එකම බැංකුව තම දරුවන්ය. වැඩිහිටියන්ගේ ආදරය, කරුණාව, මෛත්‍රිය මෙන් ම ඔවුන් පතුරුවන ද්වේශය, වෛරය, නරක හැසිරීම්, අපගාමී චර්යාවන් ද ළමා හදවතේ බැංකුවක මෙන් තැන්පත් කළ හැකිය. තමන් වැඩිහිටියන් වශයෙන් සමාජ හිතකාමී දේ දරුවන්ගේ හදවත් තුළ තැන්පත් කළොත් වාණිජ බැංකුව මෙන් පොලියක් සමඟ තැන්පත් කළ දෑ කවදා හෝ තමන්ගේ පිහිටට ලබා ගත හැකිය. මානව වර්ගයාට අහිතකර දෑ දරුවන්ගේ හිත් තුළ තැන්පත් කරනු ලැබූ විට එය ද වාණිජ බැංකුවක් මෙන් දරුවන්ගේ හදවත් බැංකුවේ තැන්පත් වී පොලියක් සමඟ නිරතුරුවම වැඩිහිටියන්ට ලැබේ. වැඩිහිටියන් නොසලකන දරුවන් නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
එසේම ලෝක උරුමය තැන්පත් කරන මහා භාණ්ඩාගාරය ද ළමා ලෝකයයි. ලෝකයේ පැවැත්ම උදෙසා කරනු ලබන සියලු ආයෝජන කළ යුත්තේ ළමා ලෝකය තුළයි. ළමා ලෝකය එතරම් බලවත් බව බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ “පුත්තා වස්තු මනුස්සානං” යනුවෙන් සඳහන් කර ඇත්තේ මිනිසුන්ට ඇති එකම සම්පත දරුවන් බවටයි. මෙවැනි උතුම් වස්තුවක් රැක ගැනීමේ පරම අයිතිය වර්තමානය සතුය. අතීතයේ අමිහිරි සිදුවීම් සැලකිල්ලට ගෙන අනාගතයේ එවැනි සිදුවීම් සිදු නොවීමට වර්තමානය සකස් කිරීම, සියලු ජනයාගේ පරම යුතුකම විය යුතුය. නොඑසේනම් රට ජාතියට ඇති ආදරය ඇල්ම තමන් තුළින් ඉවත් කර ගැනීම යහපතකි.
මෙවන් වටිනා සම්පතක් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් සමාජයට කතිකාවතක් ගොඩ නැඟීමට අවස්ථාව සලසා දුන් දිනය ළමයින්ගේ දිනයයි. එකී දිනය විවිධ රටවල ඒ ඒ ජන සමාජයන් විසින් තීන්දු කර සමරනු ලබයි.
ළමා ලෝකයේ උන්නතිය උදෙසා මුලින් ම රෝස ඉරු දිනය (Rose Sunday) ලෙස 1859 වර්ෂයේ ජූනි මස දෙවන ඉරු දින ආචාර්ය චාල්ස් ලෙනාඩ් පියතුමා විසින් නම් කර තිබිණි. අනතුරුව ජූනි මස දෙවන ඉරු දින මල් ඉරු දින (Flower Sunday) ලෙස පසුව නම් කරමින් ලෝ පුරා විවිධ උත්සව සංවිධානය කර තිබිණි.
තුර්කි රජය විසින් මුලින්ම ළමා දිනය 1929 අප්‍රේල් 23 සමරන ලද නමුත්, 1923 වර්ෂයේ සිටම තුර්කි රජය විසින් ළමා දිනය සමරනු ලැබේ. තුර්කි රජයේ එවකට ජනාධිපතිව සිටි මුස්තාපා කේමල් අතාතුක් (Mustafa Kemal Ataturk) මහතා විසින් 1931 සිට ළමා දිනය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන උත්සවයක් සේ නම් කරන ලදී. එදින තුර්කි රජයේ නිවාඩු දිනයක් ලෙස ද නම් කරනු ලැබීම ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය.
ජපානය ඔවුන්ගේ ළමා දිනය වාර්ෂිකව සමරනු ලබන්නේ සෑම වර්ෂයකම මැයි මස 05 වන දිනයි. එදින ද ජාතික නිවාඩු දිනයක් වේ. මෙක්සිකෝව 1925 සිට වාර්ෂිකව අප්‍රේල් මස 30 වන දින ළමා දිනය සමරයි. එදින ද රජයේ නිවාඩු දිනයක් වන අතර එදින චාරිත්‍ර විධි ක්‍රියාත්මක කළ යුතු දිනයක් ලෙස නම් කර ඇත. චීනය සෑම අවුරුද්දකම ජුනි මස පළමු වැනි දින “ජාතියේ අනාගත භාරකාරයා” ලෙස ළමා දිනය සමරයි.
ඉන්දියාව විසින් නොවැම්බර් මස 14 දින ළමා දිනය සමරනු ලබයි. ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රී ජවහර් ලාල් නේරු තුමාගේ උපන් දිනය පදනම් කර ගෙන මෙම දිනය යොදා ගෙන ඇත. ළමා සුබසාධනය හා ළමුන්ට හිතකර වූ විවිධ වැඩ සටහන් සමස්ත ඉන්දියාව පුරාම ක්‍රියාත්මක වන දිනය වන ළමා දිනය 1954 වර්ෂයේ සිට සැමරෙයි. මෙම ළමා දිනය මුලින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරනු ලැබුවේ වී. කේ. ක්‍රිෂ්ණ මෙනන් (V. K. Krishna menon) මහතා විසිනි.
කැනඩාව, නවසීලන්තය, එක්සත් රාජධානිය විශ්ව ළමා දිනය ලෙස සමරනු ලබන්නේ නොවැම්බර් 20 දිනයි. ඔක්තෝබර් මස 04 වන සතියේ බදාදා දිනය ඕස්ට්‍රේලියාව විසින් ළමා දිනය ලෙස සමරනු ලැබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ඇතුළත් වූයේ 1990 සැප්තැම්බර් 02 දින සිටයි. ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, සුබ සාධනය ප්‍රවර්ධනය කිරීමත් තේමා කරමින් ශ්‍රී ලංකාවේ ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් මස 01 දිනයි. ඒ 1991 වර්ෂයේ සිටයි.
1995 වර්ෂයේ සිට නීති රීති හඳුන්වා දී ළමුන් වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ද පිහිටුවා, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂක අධිකාරිය හා කම්කරු අමාත්‍යාංශයේ ළමා ශ්‍රමිකයින් පිළිබඳ සොයා බැලීමේ ඒකකයක්, මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය ස්ථාපිත කොට ඇත්තේය.
රජයක් වශයෙන් ළමුන් සුරක්ෂිත කිරීමට කෙතරම් උත්සාහ දැරුවත් රටක ජනතාවට ද තම දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් විශාල වගකීම් කොටසක් පැවරී ඇති බව සිහිපත් කළ යුතුය.
පහත් සඳහන් අපරාධමය දත්ත සහ රථවාහන අනතුරු සම්බන්ධ දත්ත විශ්ලේෂණයේදී ළමා පරපුරට වන හානිය මෙන්ම සමාජයේ පුරවැසියන් වන අප සියලු දෙනා හට ඇති අභියෝග මොනවාද යන්න මනාව පැහැදිලි වනු ඇත.
පසුගිය වර්ෂ කීපය තුළ බලන කල ශ්‍රී ලාංකේය සමාජයේ ළමුන්ට එරෙහිව සිදු කරන ලද අපයෝජන (Child Abuse) මෙන් ම ළමුන් අතරේ කර ගන්නා වූ ළමා අපචාර (Child delinquency) කෙරෙහි මඳක් අවධානය යොමු කර බැලිය යුතු යැයි හැඟේ.
2014 වර්ෂයේ සිට 2017 ජුනි මස 30 වන දින දක්වා වූ කාල පරාසය තුළ සිදු වූ අපරාධ, විශ්ලේෂණාත්මකව සසඳන කල 2014 වර්ෂයේ ළමා මරණ 29 ද, 2015 වර්ෂයේ 20 ද 2016 වර්ෂයේ 23 ද 2017 වර්ෂයේ ජූලි 31 වන දින දක්වා කාලය තුළ 13 ද වශයෙන් වාර්තා වී ඇත. බරපතළ තුවාල සිදුකිරීම් 2014 වර්ෂයේ 277 ද, 2015 වර්ෂයේ 278 ද, 2016 වර්ෂයේ 270 ද, 2017 වර්ෂයේ ජූලි 31 වන දින දක්වා 48 ද වශයෙන් වාර්තා වී ඇත. ස්ත්‍රී දූෂණ ඇතුළු බරපතළ ලිංගික අපයෝජන 2014 වර්ෂයේ 374 ද, 2015 වර්ෂයේ 333 ද 2016 වර්ෂයේ 312 ද 2017 වර්ෂයේ ජුලි 31 දින දක්වා 149 ද වාර්තා වී ඇත.
ළමා ලිංගික අතවර 2014 වර්ෂයේ 1250 ද, 2015 වර්ෂයේ 1487 ද 2016 වර්ෂයේ 1361 ද 2017 වර්ෂයේ ජූලි 31 වන දින දක්වා 657 ද වශයෙන් වාර්තා වී ඇත. ළමුන්ට පහර දී තුවාල සිදු කිරීම 2014 වර්ෂයේ 483 ද, 2015 වර්ෂයේ 464 ද 2016 වර්ෂයේ 538 ද 2017 වර්ෂයේ ජුලි 31 වන දින දක්වා 285 ද වශයෙන් වාර්තා වී ඇත. දරුවන්ගේ ලෝකයට බලපාන සමීපතමයන්, වැඩිහිටියන් වන කාන්තාවන් ඝාතනය කිරීම් 2014 වර්ෂයේ 88 ද, 2015 වර්ෂයේ 80 ද 2016 වර්ෂයේ 81 ද 2017 වර්ෂයේ ජුලි 31 වන දින දක්වා 48 ද වශයෙන් වාර්තා වී ඇත. එමෙන්ම මෙකී වර්ෂ 03 මාස 07 ක කාලය ඇතුළත ස්ත්‍රී දූෂණ 1023 ක් සහ ළමුන්ට පහර දී තුවාල සිදු කිරීම් 1770ක් ද වාර්තා වී ඇත.
ළමයින්ට සිද්ධ වන අපරාධවලින් පමණක් නොව, ඔවුන් පීඩාවට පත් කරන තවත් කරුණක් වන්නේ රිය අනතුරුවලින් වැඩිහිටියන් දෙමවුපියන්, සහෝදර සහෝදරියන්, ජීවිතය හැර යාමයි. 2014 වර්ෂයේ මාරක රිය අනතුරු 2260ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 2440 කි. 2015 වර්ෂයේ මාරක රිය අනතුරු 2600ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 2816 කි. 2016 වර්ෂයේ මාරක රිය අනතුරු 2837ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 3003 කි. 2017 වර්ෂයේ ජුලි 31 වන දින දක්වා මාරක රිය අනතුරු 1419ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 1510 කි.
මේ අනතුරු බහුල වීමට ඍජුවම වගකිව යුතු රියදුරන් වයස අවුරුදු 21ත් 35ත් අතර කාණ්ඩයේ පසු වන්නන් වන අතර සවස 6.00ත් 8.00ත් අතර කාලය අනතුරු බහුල වේලාව ලෙස ද හඳුනාගෙන ඇත. මෙම අනතුරුවලින් වයස මාස 01 සිට අවුරුදු 20 දක්වා මියගිය අයගේ සංඛ්‍යාව 2014 වර්ෂයේ 261ක්ද, 2015 වර්ෂයේ 288ක්ද, 2016 වර්ෂයේ 298ක්ද වේ. පසුගිය වර්ෂ තුන හමාරක කාලය තුළ රථවාහන අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 9769 කි. මෙම පිරිස ශ්‍රී ලංකාවේ ශ්‍රම හමුදාවේ සාමාජිකයින් වන අතර ඔවුන් දරුවන්ගේ දෙමාපියන්, සහෝදර, සහෝදරියන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වර්තමානය වන විට ඩිජිටල් තාක්ෂණික මෙවලම් භාවිතය නිසා ළමුන්ට එරෙහිව සිදු වන අපරාධ සැලකිල්ලට ගත් කල මත්ද්‍රව්‍ය භාවිතය ද ළමුන් අතරේ නව මුහුණුවරකින් ව්‍යාප්ත වීමට ඉඩකඩ සැලසී ඇත.
මෙවැනි වාතාවරණයක් හමුවේ ශ්‍රී ලාංකේය ජන සමාජයට දරුවන්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය වෙනුවෙන් පැවරී ඇති වගකීම සුළුපටු නොවේ. ළමුන්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය වෙනුවෙන් දිව තුවාල වන තරමේ ගැඹුරු තේමාවන් සොයා යනවාට වඩා සරල සියුම් සංකල්පයක් තුළින් ළමා ලොව සුරක්ෂිත කිරීමට වැඩිහිටියන් පෙළ ගැස්සිය යුතු බව ළමුන්ගේ දිනයේ අප සියලු දෙනාම සිත්හි තබා ගත යුතුය. උදාහරණයක් ලෙස අපේ රටේ වාහනවල දුම්පානයට එරෙහිව ගෙන ගිය සරල වදන් පෙළ, ජාතික ධනය වැය නොකොට ප්‍රවාහන සේවාවන් තුළ දුම්බීම තහනම් කිරීමට සමත් විය. එය රජයකට තනිවම කළ හැක්කක් නොවේ. සියල්ලන්ගේම සහාය අවශ්‍ය වේ.
80, 90 දශකයේ බස් රථයකට ගොඩ වූ විට අපට ප්‍රථමයෙන්ම දක්නට ලැබෙන වදන් පෙළ “බස් රථය තුළ දුම් බීමට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත” සහ “බස් රථය තුළ දුම්බීම තහනම්ය” යන උපදේශයයි. 90 දශකයේ අග භාගය වන විට ලංකාවේ බස් රථවල දුම් බොන අය සොයා ගැනීමට, අපහසු විය. අද වන විට කලාතුරකින්වත් බස් රථයක දුම් බොන අයෙක්, ඈත දුෂ්කර ගම්මානයකවත් දැකගන්නට නම් නැත.
මිනිසා අතීතයේදී තම දරුවන් මෙන් අන් අයගේ දරුවන් ද සුරක්ෂිතව බලා ගත් හෙයින් සමාජය තුළ භේද බින්න භාවයක් අඩු වී සමාජ අනුකලනය (Social Integration) වර්ධනය වී සාමකාමී සමාජයක් නිර්මාණය වී තිබිණි. නැවතත් එවැනි ම සමාජ වටපිටාවක් අප හට ගොඩනඟා ගැනීමට හොඳම උදාහරණය සතුන්ගේ පැටවුන් වෙනත් අය ආරක්ෂා කරන්නා සේම අපගේ දරුවන් ද ආරක්ෂා කර ගැනීමට සමාජ කතිකාවතක් ගොඩනඟා ගැනීමයි. මෙවර ලෝක ළමා දිනයේදීවත් එය සිදු වන්නේ නම් ඉදිරි වසරට තේමාවක් නිර්මාණය කිරීම අවශ්‍ය නොවේ.
බස් රථවල දුම් බීමට විරුද්ධ වීමට අයිතියක් ඇත. පුංචි පවුල රත්තරන්, වැනි වැකි තුළින් අභියෝග ජය ගත්තා සේම “තම දරුවන් මෙන් අන් අයගේ දරුවන් සුරකිමු” යන සියුම් සංකල්පය සමාජගත කිරීම තුළින් ළමා ලෝකය සුරක්ෂිත කිරීමට හැකියාව ඇති බව ලෝක ළමා දිනයේ අප සිහි තබා ගත යුතුය.
ඩබ්ලිව්. එස්. ප්‍රියංකර ද සිල්වා
සමාජීය විද්‍යාපති, පොලිස් අධිකාරි,
අධ්‍යක්ෂ, ප්‍රජා පොලිස් කොට්ඨාසය