
දී ම හෙවත් දානය අමාරු දෙයකි. එහෙත් මේ අමාරු දෙය බොහෝ අය අමාරුවෙන් හෝ කරති. ඒ එය උතුම් වැඩක් වශයෙන් සැලකෙන බැවිනි.
කෙසේ වුවත් මේ දානය හෙවත් පරිත්‍යාගය සම්බන්ධයෙන් වුව ද විවිධ අය විවිධ මතාන්තර අදහස් ඇති කරගනිති. එනම් දානය හෝ දීම සම්බන්ධයෙන් වුව ද මිනිසුන් අතර එක් මතයක් නැත. එනම් මිනිසුන් දෙන්නේ විවිධ ක්‍රමවලටය. නැතිනම් මිනිසුන් දෙන්නේ විවිධ අපේක්ෂාවෙන් යුතුව බව ද කිව හැකිය.
කෙසේ වුවද යමක් දිය යුත්තේ යමක් අපේක්ෂාවෙන් නොවේ යැයි කියමනක් ඇත. එනම් යමක් අපේක්ෂාවෙන් යමක් දෙන විට එය දීමක් නොව ගනුදෙනුවක් වේ. ගනුදෙනුවක් වුව ද බොහෝ අය එය දානයක් හෝ දීමක් වශයෙන් සිතති. ඒ අනුව ඔවුහු එමගින් එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු වට්ටවති. එකක් දානයකින් අත්වන කුසලය අත් වේ. අනෙක් අතට එමගින් ගනුදෙනුවකින් සිදුවන ලාභය අත් වේ. බොහෝ බුද්ධිමත් මිනිස්සු බොහෝ විට ක්‍රියාකරන්නේ මෙසේ බුද්ධිමත් ආකාරයෙනි. නැතිනම් මෙවන් තාර්කික තක්සේරු මත ඔවුහු ක්‍රියාකාරී වෙති.
ඇතැමෙකු දෙන්නේ නොඑසේ නම් පරිත්‍යාග කරන්නේ තමන්ගේ පක්ෂයේ අරමුදලට හෝ වැඩකටයුතුවලට පමණි. ඔවුන් එය සලකන්නේ රටේ යහපත උදෙසා තමන් කරනු ලබන මහා පරිත්‍යාගයක් දායකත්වයක් හා පුන්‍යකර්මයක් වශයෙනි. එනම් රට වෙනස් කිරීම උදෙසා තමන්ගේ දායකත්වය වශයෙනි. හොර හිඟන්නන්ට මුදල් නොදෙන බව ඔවුහු ආඩම්බරයෙන් පවසති. හිඟන්නන්ට සල්ලි දෙන අයට ද සිනාසෙති. හිඟාකෑම ව්‍යාපාරයක් බව ද පවසති. හිඟන්නන් තනි තනිව හිඟාකෑවාට එම හිඟන්නන් අයිති මුදලාලිලා සිටින බව ද හිඟාකෑම ව්‍යාපාරයක් බව ද ඔවුහු කියති. කෙසේ වුවද තමන්ගේ දේශපාලන පක්ෂය ව්‍යාපාරයක් යැයි ඔහුට සිතෙන්නේ නැත. තමන් ද සම්බන්ධ ව්‍යාපාරයක් යැයි ඔහුට සිතෙන්නේ නැත. ඒ නිසා පිවිතුරු සිතින් වෙනත් දානයක් නො දී තමන්ගේ පක්ෂයට හෝ කණ්ඩායමට ආධාර කරයි. මෙය තමා විසින් තමාටම දෙනු ලබන දානයක් බව ඔහුට සිතෙන්නේ නැත. ඒ ඔහුගේ දාන චේතනාව එතරම් ම උදාර නිසාය.
තවත් අය වියදම් කරන්නේ ගෑණු ළමයින් වෙනුවෙන් පමණි. එයිනුත් ඇහැට කනට පෙනෙන ගැහැණුන් හා තරුණයන් වෙනුවෙන් පමණි. එවන් අය ඔවුන්ට පෙනෙන්නේ ලෝකයේ සිටින අහිංසක ම ගැහැණු ළමයින් වශයෙනි. ඒ අනුව තමන්ගේ වියදම් ලෝකයේ අහිංසකත්වය පවත්වාගැනීම උදෙසා කරනු ලබන පරිත්‍යාගයන් වශයෙන් ඔවුන්ට සිතේ. ඒ අනුව ඔවුහු ලෝකයේ යහපත උදෙසා රූමත් ගැහැණු වෙනුවෙන් නිර්ලෝභීව වියදම් කරති.
තවත් අය ආධාර කරන්නේ පන්සල් පල්ලි ආදියට පමණි. එයිනුත් තමන්ගේ නම ලොකුවට ගසා ගැනීමට ඉඩ ලැබෙන තැන්වලට පමණි. එසේ හෝ ආගම ධර්මය වෙනුවෙන් වියපැහැදම් කිරීම පුණ්‍යකර්මයකි. කෙසේ වුව ද එහි ද ප්‍රභේද පවතී. පුළුවන් තරම් ගොඩනැගිලි පන්සල් භූමියේ ඉදිකිරීම උදෙසා මුදල් පරිත්‍යාගක කිරීම ඇතැම් ධනවතුන්ගේ සිරිතයි. මේ නිසා අද ඇතැම් පන්සල් කොන්ක්‍රීට් වනාන්තර වී තිබේ. අනෙක් අතට ආධාර ලැබෙන විට ලැබෙන්නේ ලොකු පන්සල්වලටමය. බත් ඇති තැනටම කොසුත් යන්න සනාථ කරමින් ගමේ ගොඬේ පොඩි පන්සල් එසේ ම පවතිද් දී දිව්‍යමාළිගා වැනි පන්සල් ද තැනින් තැන එකවර පැන නගී. ඒ සැදැහැබර දායකයන්ගේ ආශ්චර්යමත් දාන චේතනාවන් හේතුවෙනි. එනම් ඇතැම් පින්වතුන්ට පොඩි පන්සලකට උපකාර කිරීමට හිතෙන්නේ ම නැත. පොඩි පන්සල් පෙනෙන්නේ ම නැත. කෙසේ හෝ ලොකු හෝ පොඩි හෝ විහාරස්ථානයකට දායක වීම නම් පුණ්‍යකර්මයක්ය. කෙසේවුවත් මා කියන්නේ එහි දී වුව ද අදහස්වල යම් යම් වෙනස්කම් තිබිය යුතු බවය.
ඇතැම් අය තමන්ට පරිත්‍යාග කරගනිති. තමන් වෙනුවෙන් තමන්ට ම කියවිය යුතු පොත් පරිත්‍යාග කරගනිති. තමන් වෙනුවෙන් තමන්ට ම ලස්සණ ඇඳුම් පරිත්‍යාග කරගනිති. තමන් වැනි බුද්ධිමතෙකු නැති නිසා තමන්ට කළ හැකි ලොකුම පරිත්‍යාගය තමා තුළ සිටින එම බුද්ධිමතා වෙනුවෙන් හැකිතරම් හොඳ පොත් අරන් දීම යැයි ඇතැම් අහිංසක තරුණයෙක් සිතයි. ලෝකයේ සිටින ලස්සනම යුවතිය තමන් හෙයින් එම තරුණිය වෙනුවෙන් හැකි තරම් ලස්සන ඇඳුම් මේකප් සහ හෙයාර් ස්ටයිල් ලබාදීම තමාට කළ හැකි ලොකුම පරිත්‍යාගය යැයි තරුණියකට සිතී ඒ අනුව කටයුතු කරයි. සමහර විට අනුන්ගේ දේවල් පවා තමන් වෙනුවෙන් පරිත්‍යාග කරගැනීම ද සිදු වේ. නළුවකු තමන්ට හොඳට රඟපෑමට හැකි නිසා වෙනත් නළුවෙකුට වුව ද හිමිවෙන්නට තිබුණු චරිතයක් තමන්ට ගැනීමට උත්සුක වන්නේ ඒ නිසාය. මේ පරිත්‍යාගය ලෝකයේ වැඩි දියුණුව හා උන්නතිය උදෙසා අනුන්ගේ දේ හෝ තමන් වෙත පරිත්‍යාග කරගැනීම යැයි කිව හැකිය. මා දානය දීම හෙවත් පරිත්‍යාගය ඉතා විවිධ යැයි මුලින් ම කීවේ ඒ නිසාය.
ඇතැම් අය දානය දෙන්නේ මුදල් හෝ ද්‍රව්‍යමය දේ නොවේ. එයිට වඩා වටිනා දෙයක් දීම සඳහා ඔවුන් සතු වේ. ඒ අදහස් අවවාද හා උපදෙස්ය. එහි දී නම් ඔවුන් තරම් නිර්ලෝභී වෙනත් කිසිවකු හෝ නැත. ඇතැම් අය නම් අවවාද දීමෙන් ම සෑහීමකට පත් වෙති. එහෙත් තවත් අය තමන් ලබාදෙන අවවාද උපදෙස් වෙනුවෙන් ගාස්තුවක් නැතිනම් ප්‍රතිඅගැයීමක් බලාපොරොත්තු වෙති. කෙසේවුවත් ඔවුන්ට ලැබෙන දෙය කොතරම් වුවත් එයට වඩා අවවාදයේ වටිනාකම වැඩි නිසා මෙහි දී ඔවුන් අතින් අනිවාර්යෙන් ම දානයක් දීමක් නොඑසේනම් පරිත්‍යාගයක් සිදුවෙයි.
කෙසේ වුවත් උතුමන් වෙතින් ලැබෙන අදහස් නම් දානය බොහෝවිට ධනවතුන් වෙතින් ලැබෙන ද්‍රව්‍යමය දානයට වඩා උතුම් වේ. එහෙත් ගැටළුව වන්නේ අදහස් නැති ඇතැම් ධනවතුන් ද උපදෙස් හා අවවාද දීමට ඉදිරිපත් වීමය. එය ඔවුන්ගේ ධනය රැකගැනීමේ එක් උපක්‍රමයකි. එනම් පිහිටඉල්ලා එන අයට අවවාද හා උපදෙස් පමණක් දීමය. එහි දී ඔවුහු නිර්ලෝභී වෙති. එනම් ධනයට ඉන් බලපෑමක් නොවන බැවිනි. දානය හා දීම විවිධයි විෂමයි කියා කිව හැක්කේ මේ නිසාය.
කෙසේ හෝ මේ සියල්ලෙන් ලියන මට මෙන් ම කියැවූ ඔබට ද එක් දෙයක් පැහැදිලි වන්නට ඇතැයි සිතමි. එනම් දීම හෙවත් දානය කොතරම් අසීරු ද යන්නයි. අපට දානය හෙවත් පරිත්‍යාගය කොතරම් මග හැරී යන්නේ ද යන්නයි. අපේ බොහෝ දීම් නැතිනම් පරිත්‍යාගයක් ගනුදෙනු පමණක් වේ. එසේ කරන ගනුදෙනු උදෙසා අපි පින් ද බලාපොරොත්තු වෙමු.
අප බොහෝ දේ ඉගෙනගෙන ඇතත් දානය ඉගෙනගෙන නැත. අප බොහෝ දේ දැන සිටියත් අපි දානය නොදැන සිටිමු. ඒ නිසා අප කරන බොහෝ දේ අපි දානය යයි අර්ථ දක්වා ගනිමු. එය මෝඩකම ද විය හැකිය. නැතිනම් එයටත් වඩා ලෝභය ද විය හැකිය. කෙසේවුවත් දෙකෙන්ම සිදුවන්නේ එක දෙයකි. එනම් දානය මගහැරී යාමය. අපේ ජීවිත හිස් වී ඇත්තේ ඒ නිසාය. අප හිස්වන්නේ දීම නිසා නොව නොදීම නිසාය. අපට පිරුණු මිනිසුන් වීමට හැක්කේ නොදීමෙන් නොව දීමෙනි. එහෙත් අපට අවශ්‍ය නොපිරුණු මිනිසුන් ව සිටිමින් හෝ හැකිතරම් දේ රැස්කරගැනීමටය. අපේ දානය ද අපේ රැස්කරගැනීමේ උත්සාහයේ එක් කොටසක් පමණි.