ගොවියා ව්‍යවසායකයකු කළ මහවැලි සංස්කෘතිය | සිළුමිණ

ගොවියා ව්‍යවසායකයකු කළ මහවැලි සංස්කෘතිය

මහවැලියට ආවේණික සංස්කෘතීයක් බිහිවූයේ මීට අවුරුදු ගණනකට පෙරය. රටේ විදුලි බල අවශ්‍යතාව මුල් කරගෙන ගොඩනැඟුණ මේ ක්‍රමවේදය මහවැලි ජනපද බිහිවීමට හේතු විය. මහවැලිය ජල පෝෂිත ප්‍රදේශයක් වීමත් සමඟ එහි පදිංචි වූ ජනපදිකයෝ මහවැලි වැසියෝ වූහ. මහවැලි ජනපදිකයන් බිහි කිරීමේ මූලික අරමුණ වූයේ කෘෂිකර්මය නඟා සිටුවීම වුවත් ඔවුන්ට සංස්කෘතික, අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ඇති කරමින් ජීවන තත්ත්වය උසස් කිරීම මේ වන විට සිදු වේ. මහවැලි ජනපදිකයන් පදිංචි කිරීමත් සමඟ ඔවුන්ට ආවේණික ක්‍රමවේද බිහි කිරීම ද රජයේ අභිප්‍රාය විය. මේ අනුව සංගීතය, නැටුම්, සහ අනෙකුත් අංශවලින් ගොවි දරුවෝ ඉදිරියට පැමිණියහ. මහවැලි ජනපද බිහි වීමත් සමඟ සමාජීය විප්ලවයක් රටේ ඇති විය. එයට හේතුව මහවැලියට ආවේණික සංස්කෘතියක් බිහිවීමයි.

මහවැලිය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය විදුලි බල අවශ්‍යතාව සපුරාලීම වුවත්, ඉන් සුඛිත මුදිත වූයේ වියළි කලාපය පමණක් නොව ලංකාවේ තෙත් කලාපයට ද මෙහි ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි විය.

මේ අනුව ශ්‍රී ලංකාවේ විදුලි ධාරිතාවෙන් මෙගොවොට් 800-900ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට මහවැලියට හැකි විය. ඇති වූ ජනපද මහවැලි ඒ, බී, සී, ඩී, වශයෙන් වෙන් වී මත් සමඟ මේ කලාපවලට ආවේණික විවිධ භෝග ද ඇති විය. මේ අනුව ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික බෝග විවිධාංගීකරණයක් ඇති විය. මේ අනුව මිරිස් වටානා, ටොම් ජර්සි අඹ , ගර්කීන්, ලූනු වැනි භෝගද මහවැලි ගොවියෝ වගා කළහ. මහවැලි ගොවියෝ විවිධ බෝල වගා කිරීම පමණක් නොව විවිධාකාර කෘෂිකාර්මික අත්හදා බැලීම් සඳහා ද යොමු වූහ.

මහවැලි විමර්ෂා, මහවැලි ප්‍රජා ගුවන්විදුලි වැනි සන්නිවේදන මාර්ග ඔස්සේ මහවැලි ක්ෂේත්‍රය නව නිපුණතා ජනතාවට දැන ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ ගොවි බිම් ප්‍රමාණයෙන් වැඩි ගොවි බිම් ප්‍රමාණයක් අයත් වන්නේ මහවැලියටය. මේ නිසාම ගොවි පුහුණු වැඩසටහන් නව බෝග හඳුන්වාදීම්, වෙළෙඳ පොළ සොයා දීම් වැනි කාර්යයන් ද මහවැලි ගොවියන් වෙනුවෙන් සිදු විය. ගොවි පියවරුන්ගේ මාවතේ යාමට බොහෝ ගොවි දරුවෝ අකමැති වූහ.

එයට හේතුව වූයේ ගොවිතැනට වෘත්තීමය පිළිගැනීමක් නොමැති වීමයි. මේ නිසා ගොවි දරුවන්ට ගොවිතැන කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට සිදුවිය.

මහවැලි දැනුම මිනුම, මහවැලි දරුවන්ගේ සංස්කෘතික වැඩ සටහන්, මහවැලි දරුවන් සඳහා ශිෂ්‍යත්ව දීමේ වැඩසටහන් මේ නිසාම ක්‍රියාත්මක විය. ගොවිතැන යනු හුදෙක් වෙහෙස මහන්සි වීමම පමණක් නොව ඉන් ඔබ්බට ගිය සංස්කෘතික ක්‍රියාදාමයක් බව දරු දැරියන්ට ඒත්තු ගැන්වීමට හැකි වූයේ ඒ නිසාය.

කෘෂිකර්මය යනු වෙහෙස මහන්සි වී බත සැපයීම පමණක්ම ද? මේ අනුව ගොවිතැනට ලැබෙන පිළිගැනීම කෙබඳු ආකාරද? ඉන් ජන ජීවිතයට අරුතක් තිබේද යන්න පිළිබඳ බොහෝ මත ගොවි දරුවන් අතර ගොඩනැඟුණි. කෙසේ වුවත් ආකල්පීය වෙනසක් ඇති කිරීම එතරම් පහසු නොවුණත් එය ඇති කිරීම කෘෂිකාර්මික රටක් වන අපේ රටේ අනාගත අවශ්‍යතාව වෙනුවෙන්ම සිදු විය යුතුය. මේ නිසාම ගරු ජනාධිපති තුමා මහවැලි අමැතිව සිටියෙදී මහවැලි දරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් මාලාවක් පටන් ගැනුණි. මහවැලි ජනපදිකයන් කෙරෙහි මීට වඩා වැඩි ප්‍රමුඛතාවක් දිය යුතු බවද ඒ තුමා වටහා ගත්තේය. මහවැලිය යනු රටේ ජීවන උල්පත බව ඒ තුමා දැඩිව විශ්වාස කළේය. එයට හේතුව ඒ තුමා මහවැලි ජනපදිකයකු ලෙස ලබා ඇති අත්දැකීම්ය.

මහවැලිය නිසා කෘෂි ආර්ථිකයක් බිහි විය. මේ නිසා ඇති වූයේ සමාජ විප්ලවයකි. සාමාන්‍ය ගොවියකුට නොවන ස්ථානයක් මහවැලි ගොවියා ට හිමි විය.

කෘෂි බිමක් සැලැසුම් කිරීමේදී රටේ ආර්ථික පෝෂණය කරනුයේ කෙලෙසක ද ? යහපත් ව්‍යවසායකු බිහිවනුයේ කෙලෙසකද? යන්න පිළිබඳ දිගුකාලීන සැලැසුමක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවක් ඇති විය. මේ නිසාම මේ ප්‍රදේශයට අනන්‍ය වූ සංස්කෘතියක් බිහි විය. මේ බිහිවීම නිසා ගොවි දරුවන් ගොවිබිම් කෙරෙහි තිබූ ආකල්ප වෙනස් විය.

තාරුණ්‍යයේ පසුවන ගොවි දරුවන් ගොවි බිමට සම්බන්ධ කරගන්නේ කෙසේද? විශ්වවිද්‍යාල දැනුමෙන් ඔවුන් දැනුම්වත් කර නැවත ඔහුගේ දැනුම ගොවි බිම කෙරෙහි සංකේන්ද්‍රණය කරන්නේ කෙසේ ද යන වැඩ පිළිවෙළ ක්‍රමානූ කූල විය.

මේ නිසා මහවැලි ගොවියා හුදෙක් ගොවියෙක් පමණක් නොව දැවැන්ත ව්‍යවසායෙක් ද විය. එපමණක් නොව කෘෂි ක්ෂේත්‍ර පිළිබඳ අත්හදා බලන්නෙක් ද විය. මේ නිසා මහවැලි ගොවි බිම්වලින් නව සංස්කෘතියක් බිහි විය.

මහවැලි සංස්කෘතිය රටේ ජනතාවට පමණක් නොව ලොවට බලපෑමක් ඇති වන අයුරින් ව්‍යාප්ත කිරීමට මහවැලි ගොවියන්ට හැකි විය. මේ නිසා මහවැලි මහගොවියා මෙන්ම මහවැලි ක්‍රීඩා වැඩසටහන්, මහවැලි කලාමංගල්‍යයන් බිහිවිය. කෘෂිකර්මයේ ඇති කර්කෂක බව ජනතාවට නොදැනිණි. කෘෂිකර්මය හා බැඳුණු සංස්කෘතික තෙතමන මතුවීම ඊට හේතු විණි. මහවැලි ගොවියා ආධ්‍යාත්මිකව නැඟෙන්නටද ඒ සංස්කෘතික තෙතමන හේතු විණි.

මහවැලි දරුවන් වෙනුවෙන් වාර්ෂිකව පැවත්වෙන සංස්කෘක කලා මංගල්‍ය ඒ ආධ්‍යාත්මික පිබිදීම සාර කරන්නට විණි. මෙවර සංස්කෘතික කලා මංගල්‍ය වෙනුවෙන් දක්ෂ දරුවෝ විශාල පිරිසක් නෙළුම් පොකුණට සේන්දු වූහ. හුදෙක් ගොවි දරුවෙක් පමණක් නොව ඔහුද රටට අවශ්‍ය දක්ෂයෙකු බව මේ කලා මංගල්‍යයන් පැහැදිලිවම නිරූපණය විය.

මහවැලි සංස්කෘතිය මහවැලි ගොවිජනපදවලට පමණක් සීමා වූ සංස්කෘතියක් නොව මුළු රටේම විහිදී ගිය සංස්කෘතියක් බව තහවුරු වන්නේ එහි ඵලරටම භුක්ති විඳිනා බැවිනි. මේ සංස්කෘතික විප්ලවය පෙර, කෘෂිකර්මයට පමණක් සීමා වූ ගොවි දරුවෝ තමන්ගේ හෙට දවස පැහැපත් බව දුටුවේ නැත. එබැවින් ජීවිතය ගැන කල්පනා කළේ පසුගාමීවයි.

එහෙත් වත්මනෙහි මහවැලිය කේන්ද්‍ර කරගත් නව ප්‍රවේශය නිසා එම සමාජීය පසුබෑම වෙනස් විය. මේ නිසා කලා රසයෙන් පිරිපුන් සංස්කෘතික හැඟීමක් ඇති ගොවි දරුවන් පිරිසක් මහවැලි කලාපවලින් වර්තමානයෙහි බිහි වෙමින් සිටී.

{සාකච්ඡාවක් ඇසුරෙනි.}

 අරුණ ප්‍රසාද් ලේකම්ගේ

මහවැලි ෙක්න්ද්‍ර‍ෙය් අධ්‍යක්ෂ

Comments