කුඩා ඇඟිල්ලේ තුඩ උල් වේ නම් ඇය නැටුමට හපනියකි | සිළුමිණ

කුඩා ඇඟිල්ලේ තුඩ උල් වේ නම් ඇය නැටුමට හපනියකි

සුළැඟිල්ල අයත් වන්නේ බුධ ග්‍රහයාටය. බුධ බුද්ධියට අධිපතියා වේ. මේ කුඩා ඇඟිල්ල මිනිසාගේ බුද්ධිය පිළිබඳ කියාපාන්නකි.

සුළැඟිල්ලේ මුල පුරුකේ සිට මැද පුරුක දක්වා කෙලින් රේඛාවක් විහිදී ගිය තැනැත්තා නොබියව සබකෝලයෙන් තොරව ඕනෑම ස්ථානයක කතා කරයි. මුල් පුරුකෙන් පටන්ගෙන කෙලින් විහිදුණ රේඛාවක් අග පුරුක දක්වා විහිදී ගොස් ඇත්නම් විවිධ අංශයන් පිළිබඳ දක්ෂතා ඇති පුද්ගලයෙකි.

මේ ඇඟිල්ලේ මුල පුරුක අනෙක් ඇඟිලිවලට වඩා දිගින් වැඩිනම් ඉතා බුද්ධිමත් තැනැත්තෙකු වේ. මුල් පුරුකේ කතිර සටහනක් වේ නම් එතරම් ඇසුරට සුදුසු නොවන අතර සොරකම් වැනි අකටයුතුවල නිරත වන්නෙකි.

අත්ල විහිදූ විට සුළැඟිල්ල මඳක් හෝ පිටුපසට නැමෙයි නම් එවැනි අය අන්‍යයන්ගේ යහපතට කටයුතු කරයි.තම කෑම වේල පවා අන් අයෙකුට ලබා දෙන අයෙකි.

ඇඟිල්ලේ මැද පුරුක අනෙක් පුරුක් වලට වඩා දිගින් වැඩි නම් ව්‍යාපාර සඳහා නැඹුරුවන්නෙකි. ව්‍යාපාරවලින් දියුණු වෙයි.මේ පුරුකේ කෙලින් රේඛා දෙකක් වෙයි නම් සැඟවුණු දේවල් පිළිබඳ සොයා බලන්නෙකි.

මැද පුරුක අනෙක් ඒවාට වඩා මහතින් යුක්ත නම් ගණිතයට දක්ෂය. පුරුක් තුනම එක සමාන මහතින් යුක්ත නම් උනන්දුවෙන් අධ්‍යාපනය හදාරයි.

සුළැඟිල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා නම් බුද්ධියෙන් අනූන බව වටහා ගන්න.

වෙදැඟිල්ලේ උඩ පුරුකට සමාන උසකින් යුක්ත නම් වාසනාවන්තයෝය. අධ්‍යාපනය නිසි ලෙස කරයි.

මේ ඇඟිල්ලේ අග පුරකේ කුරුසයක සළකුණක් වේ නම් ආර්ථික අපහසුතා ඇති වෙයි.

සුලැඟිල්ල වෙදැඟිල්ලේ උඩ පුරුකට පහලින් පිහිටියේ නම් සහකරුට/සහකාරියට යටත්ව ජීවත් වේ. මේ ඇඟිල්ල පැතලිව රවුම්ව පිහිටා ඇත්නම් කරන කටයුතු සිතට එකඟව සාර්ථකව කරයි.

ඇඟිල්ල උල්ව පිහිටියේ නම් අන් අයට උපදෙස් දෙන ගුරුවරයෙකි. මේ ඇඟිල්ල රවුම්ව පිහිටා කෝණාකාර හැඩයෙන් යුක්ත වී නම් අධ්‍යාපනය වෛද්‍ය අංශයෙන් කිරීමෙන් ඉතා උසස් තත්ත්වයකට පත්වීමට හැකියාව ඇත‍.

කාන්තාවකගේ සුළැඟිල්ල උල් හැඩැති නම් ඇය නැටුමට දක්ෂ නර්තන ශිල්පිනියකි.

මේ ඇඟිල්ල වෙදැඟිල්ල හා සමාන දිගින් යුතු නම් ඉතා බුද්ධිමත් වෙයි.

ඇඟිල්ල තද ගතියෙන් යුතු නම් නැවීමට ද අපහසු නම් අනෙක් ඇඟිලිවලට සාපේක්ෂව හැඩය අසමාන නම් එවැනි පුද්ගලයා පිළිබඳ වැඩි විශ්වාසය නොතබන්න.

එම තැනැත්තා ඕනෑම නීති විරෝධී කටයුත්තක් කිරීමට පෙලඹෙන තැනැත්තකු ද වේ. ප්‍රමාණයට වඩා ඇඟිල්ල නැමී පවතින්නා වූ තැනැත්තා ද උපායශීලී තැනැත්තෙකි.

Comments