
සිංහල සිනමාවේ පසුබිම් ගායනය ශ්‍රී ලාංකික අප වෙත ම සමීප කැර ගත් පුරෝගාමී රන් ස්වරය ඇයම වන්නීය. යුග යුග රසික දනමන පොබ කළ ඒ මධුර මෝහිණීය හඬ අද ද, ඔබ අප සනහාලයි. හැත්තෑ එක් වසක් පුරාවට සිංහල සිනමාව සිය රිදී සීනු හඬින් ඔපවත් කරන ඇය අපේ ගී ලොව අග රාජිණියම වේ. ලොව එවන් දුලබ වාසනාවක් ලද මේ අනභිභවනීය කලා ශිල්පිනිය අද අප ‘පැහැසර හමුව’ට කැඳවන්නෙමු. ඇය කලාශූරී ලතා වල්පොලයන් ය.
උපන් දිනය -
1934.11.11
උප්පැන්නයේ නම?
මාතරගේ රීටා ජෙනට් ප්‍රනාන්දු
උපන් ගම?
කොළඹ, බම්බලපිටිය
දෙමවුපියන්?
ජෝශප් ලීනස් මගේ පියා, එලිසබෙත් මියුරියෙල් මව.
පවුලේ සහෝදර සහෝදරියන්?
දෙදෙනයි. අයියා ග්‍රොඩ්ප්‍රී, අක්කා විනිප්‍රීඩා.
පාසල් ගියේ?
ශාන්ත අන්තෝනි මහ විදුහල, ගල්කිස්ස.
ඔබ පාසල් වියේ සිටම ගායනයට කුසලතාවන් දැක්වූවා?
අපොයි ඔව්! අපි කතෝලික. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ, ත්‍යාග පවා දිනල තිබෙනවා.
ප්‍රසිද්ධ ගීත ගායනයට පිවිසීමේ මුල් පියවර තබන්නේ?
මගේ ගායනා කුසලතාව දැකපු අපේ පවුලේ හිතවතෙක් වූ විල්මන් යන අය මාව සී.ඒ. පොන්සේකා කියන සංගීතවේ දියා ළඟට යොමු කළා.
එහිදී සංගීතය හදාරනවා?
නෑ! මම ඔහුගේ නාට්‍යවල අත්වැල් ගායනා ඉදිරිපත් කළා. එහිදී මගේ ගායනා කුසලතා දුටු විල්සන් ද අල්විස් ශිල්පියා ඔහු සමඟ යුග ගීතයක් ගායනය සඳහා තෝරා ගන්නවා.
එය ඔබගේ ගායනා දිවියේ සුවිශේෂි කඩඉමක්?
ඔව්. මා ඔහු සමඟ ‘කඳුළු දෙනෙතේ වෑහෙන’ යන යුග ගීතය ගායනා කළා. එය තමයි ප්‍රථම ගුවන් විදුලි ගීතය.
එතකොට ඔබ ළාබාල පාසල් ශිෂ්‍යාවක්?
මගේ වයස එතකොට 13 යි. මා පාසල් ගිය විට ප්‍රධාන කන්‍යා සොයුරිය මට එන්න කියල පණිවිඩයක් එව්වා.
ඔබ ගියා?
ඔව්! ගිය ගමන් මට කම්මුල් පහර කීපයක් දුන්නා.
ඒ ඇයි?
මම කිසිවක් දන්නේ නෑ! පසුව එතුමිය කිව්වා සින්දු කිය කියා ඉන්න නෙමෙයි තියෙන්නේ හෙදියක් වෙන්න ඉගෙන ගන්න කියලා!
ඔබ මෙයින් අධෛර්ය වුණා?
අම්මගේ උනන්දුව නිසා අධෛර්ය වුණේ නෑ. පසුව මා සුසිල් ප්‍රේමරත්නයන් ළඟට වැටෙනවා.
එහි තවත් කඩ ඉමක්?
එහිදී ඔහු මගේ හඬින් ගීතයක කොටසක් අහල ඔබ ලතා මංගේෂ්කාර් වගෙයි කිව්වා.
එහේම කියලා?
මගෙන් නම ඇහුවා. ඊට පසුව ඔහු කිව්වා ඔබට ඔය නම නොවෙයි ගැළපෙන්නේ ලතා කියන නම කියලා.
එදා සිට ඔබ ලතා වුණා?
එදා සිට මම ලතා ප්‍රනාන්දු!
ඔබ සුසිල් ප්‍රේමරත්නයන් සමඟ යුග ගීයක් ගයනවා.
‘මිහිරි සුවඳ විහිඳුවා...’ යන සරල ගීයයි ඒ. සරත් විමලවීර රචනා කළ සංගීතවත් කළේත් සුසිල් ප්‍රේමරත්නයන්.
ඉන් පසුව?
සුසිලුත් සමඟ යුග ගී රාශියක් ගයනවා. පසුව සී.ටී. ප්‍රනාන්දු, මොහිදින් බෙග්, ක්‍රිස්ටි ද මැල්, හර්බට් ඇම්. සෙනෙවිරත්න ආදීන් සමඟ වෙළෙඳ තැටිවලට ගීත ගායනා කළා.
ගීත ගායනය සඳහා ඔබට ගෙදරින් විශාල උත්තේජනයක් ලැබෙනවා?
ඒ අම්මගෙන් පමණයි. තාත්තා විරුද්ධ වුණා.
ඇයි තාත්තා විරුද්ධ වුණේ?
ගෙදරින් පිටත යනවට ඔහු කැමැති වුණේ නෑ මගේ ගමනට. ප්‍රදීපස්ථම්භය වුණේ අම්මා.
ඒ කියන්නේ?
ඒක දිග කතාවක්.
දැන ගන්න කැමැතියි?
මගේ ගීත ගායනයට තාත්ත කොයි තරම් විරුද්ධ වුණාද කිව්වොත් අම්මට විවාහ දිවිය පවා අහිමි වුණා.
ඒ කොහොමද?
චිත්‍රපට ගීත පටිගත කිරීමට ඉන්දියාවට ගිය නිසා තාත්තා අපව අතහැරලා ගියා.
මහ ඛේදවාචකයක්?
ඔව්.
ඔබේ පළමු චිත්‍රපට ගීතය ගායනා කළේ?
ශාන්ති කුමාර්ගේ ‘එදා රෑ’ චිත්‍රපටයට.
එය තිරගත වුණේ?
1953 පෙබරවාරි 14 එය සිංහල සිනමාවේ 17 වැනි චිත්‍රපට යයි.
ඊට පසුව ‘ප්‍රේම තරගය’ චිත්‍රපටය ඔබේ ජීවිතයේ වෙනස් කළා?
ඔව්! එය නිෂ්පාදනය කළේ එස්. එම්. නායගම්. එය ප්‍රදර්ශනය වුණේ සිංහල සිනමාවේ 18 වැනි චිත්‍රපටය ලෙස 1953 මාර්තු 27.
මගේ ප්‍රශ්නයට පිළිතුර එය නොවෙයි?
ආ... ඔව්! මා එහි ගීත හයක් ගායනා කළා. ගීත සංගීතවත් කළේ ආර්. මුත්තුසාමි රචනා කළේ ප්‍රවීණ රංගන ශිල්පී හියුගෝ ප්‍රනාන්දු.
එපමණ ද එහි විශේෂත්වය?
නෑ... නෑ... මට ධර්මදාස වල්පොල හඳුනාගන්න ලැබෙන්නෙත් ප්‍රේම තරගයෙන්.
ඒ කොහොමද?
ඇයි මම ඔහු සමඟනේ යුග ගීත ගායනය කළේ.
එදා මෙදාතුර ඔබ රිදී තිරයේ නිළියන් කී දෙනෙකුට පසුබිම් ගීත ගායනය කැර තිබෙනවද?
නිළියන් අනූවකට පමණ! ක්ලැරිස් ද සිල්වා ගර්ලි ගුණවර්ධන ඉඳලා චතුරිකා පීරිස්, අනර්කලී දක්වා.
ඔබ භාරතීය නිළියන්ටත් පසුබිම් ගීත ගායනා කළා?
වෛජයන්තිමාලා, නිම්මි, මීනාකුමාරි, මධුබාලා ඇතුළු දස දෙනෙකුට පමණ (සිංහලෙන් හඬ කවන ලද භාරතීය චිත්‍රපට සඳහා)
ඔබ පසුබිම් ගායනා කළ චිත්‍රපට සංඛ්‍යාව?
පන්සිය විසිපහ ඉක්මවලා ඇති.
ඔබ චිත්‍රපට පසුබිම් ගායනයට පිවිස ටික කලකින් විශාල චිත්‍රපට සංඛ්‍යාවකට ගීත ගායනය කරනව?
ඔව්! පළමු වසර හතේ පමණක් චිත්‍රපට තිස් පහක් පමණ.
එතකොට සිංහල චිත්‍රපට පසුබිම් ගීතයට අරක්ගෙන සිටි ඉන්දීය ශිල්පිනියන්ගෙන් ඔබට ආරෝවක් ඇති වුණේ නැතිද?
මොකද නැත්තේ.
කවුද මේ ශිල්පිනියන්?
යමුනා රාණි, ජික්කී, කේ. රාණි වගේ අය.
සිංහල චිත්‍රපට පසුබිම් ගායනා කරන්න මේ අය සිංහල දැන සිටියද?
මම හිතන්නේ නෑ! හරියට වචන උච්ඡා රණය නොවීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.
ඔබයි ප්‍රථම සිංහල චිත්‍රපට පසුබිම් ගායනා කළ සිංහල ශිල්පිනිය.
ඔව්!
ඔබ සංගීතය විෂයක් හැටියට හදාරා තිබුණ ද?
නෑ!
ඔබට තිබෙන චෝදනාවක් තමයි හින්දි හා දෙමළ ගීත අනුකරණය කළා කියා?
ඒක අසත්‍යයක්! ලංකාවේ සිටි දක්ෂ සංගීතඥයන්ට කරන අවමානයක් ඒක. එහේම අනුකරණය කළ ගීත තිබෙනව නම් පෙන්වන්න. මෙවැනි චෝදනා නිසා අපි කලකිරීමට පත් වෙනවා.
දැන් අපි ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැනගන්න කැමැතියි?
මා ධර්මදාස වල්පොල සමඟ විවාහවන්නේ ප්‍රේම තරගය චිත්‍රපටයේදී දැන හැඳින ගැනීමෙන් පසුව 1956 දී. ධර්මදාස සංගීත විෂය හදාරපු කෙනෙක්.
දරුවන්?
පුතාල තුනයි. එක දුවයි! සුනෙත් ලොකු පුතා සංගීතය හදාරල සමස්ථ ලංකා ජයග්‍රහණ අත්කැරගත් කෙනෙක්. අමිත් සහ ධම්මිකාත් ඉතිං සංගීත ක්ෂේත්‍රයනේ. පොඩි පුතා චමින්ද ඇමෙරිකාවේ පදිංචියි.
පියාගේ ගීත පුතාල ගායනා කිරීම අද මෝස්තරයක් වෙලා?
පියාගේ ගීත ඉතාමත් මැනවින් ගායනය කළ හැකි දෙදෙනෙක් හැටියට සුනෙත් සහ අමිත් හැඳින්විය හැකියි. ඒක දුර්ලභ වාසනාවක්.
ඇයි මේ පුතාලට ඔවුන්ගේ නිර්මාණ සමඟ ක්ෂේත්‍රයට එන්න බැරිකමක් තියෙනවද?
බැරිකම නොවෙයි රසික ජනතාව පැරැණි දෙයට ආදරෙයි. අද මා ප්‍රධාන නිළියට චිත්‍රපට පසුබිම් ගායනය කරන විට මගේ පුතාල ප්‍රධාන නළුවට පසුබිම් ගායනය කරනවා. ඒකත් මම ලද භාග්‍යයක්.
නව පරපුර ගැන ඔබේ කියැවීම?
ඉතාම දක්ෂයෝ ඉන්නවා. ඔවුන් රැක ගැනීමයි කළ යුත්තේ. සැබෑ දක්ෂයන්ට මම කවදත් ආදරෙයි.
නව පරපුර ප්‍රවීණයන්ට ගරු සරු නෑ කියන කතාව?
මා ඒවා ගණන් ගන්නේ නෑ. ඇතැම් විට සිත් රිදවීම නොවෙනවා නොවෙයි. ඒක ඒ අයගේ නොදැනුවත්කම. අපි සැලෙන්න අවශ්‍ය නෑ.
අද බිහිවෙන නිර්මාණ රසිකයන් අතරින් ඉක්මනින් වියැකී යනවා?
ඒකට හේතුව සැබෑ ලෙස කැපවී කටයුතු නොකිරීමයි.
ඒ කියන්නේ?
දැන් බලන්න 1950 දශකයේ මුල් භාගයේ ගැයූ මගේ ප්‍රථම තනි ගීතය නමෝ මරියනි... අදටත් ජනතාව අතර පවතිනවා... ඇයි...! රැජින මමයි අපේ රාජ්‍යයේ... ගීතය.
ඔබ ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර අප්‍රමාණයි, ඒ වෙනුවෙන් ඔබට රටෙන් ලැබුණ දේ?
රසික ආදරය පමණයි! හැබැයි අපි ඉන්දියාවේ ඉපදිලා හිටියනම්.
ඇයි එහේම කිව්වේ?
බලන්න එහේ ලතා මංගේෂ්කර් වගේ අයට සලකන්නේ ජාතික වස්තුවක් ලෙසයි.
ඉතිං?
ඉතිං! මෙහේ... ජාතියට මහ මෙහෙයක් කරපු කලාකරුවන්ට එහේම සැලකීමක් නෑ. හැබැයි මැරුණ දවසට කතා පවත්වන්න කී දෙනෙක් පොරකයිද?
ඔබ තවමත් එදා දිනාගත් ආකර්ෂණයෙන්ම අදත් ගීත ගායනා කරමින් ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා?
ඔව්! මගේ ගායන දිවියට දැන් වසර 71 යි.
මොකක්ද මෙහි රහස?
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මගේ සිතේ නෑ. සිත පිරිසුදුයි. ඒකයි රහස.