
රිචඩ් ගොඨාභය සේනානායක හෙවත් ආර්. ජී. සේනානායක සිය දේශපාලන ජීවිතය ආරම්භ කෙළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙනි. නාරම්මල ආසනය සඳහා 1944 දී පවත්වන ලද අතුරු මැතිවරණයෙන් ජය ලැබු ඔහු 1970 දක්වා වූ කාලය තුළ දී පාර්ලිමේන්තුවේ පෙරළිකාර චරිතයකි.
ඔහුගේ පියා වූ එෆ්. ආර්. සේනානායක මහතා ඩී. එස්. සේනානායක මැතිදුන්ගේ සහෝදරයෙකි. ආර්. ජී. ට දේශපාලනයට ඒමට සිදු වූයේ සිය නැගණිය වූ නෙඩ්රා සේනානායකගේ සැමියා වූ නාරම්මල රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී සිරිපාල සමරක්කොඩි මහතාගේ අකල් මරණය නිසාය.
ආර්. ජී. සේනානායක 1947, 1952 යන මැතිවරණවලට එජාපයෙන් තරග කොට ජය ගත්තේය. එහෙත් 1956 දී ඔහු ස්වාධීනව තරග කර කැලණිය හා දඹදෙණිය ආසන දෙකම ජයගෙන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ වෙළෙඳ ඇමැතිවරයා බවට පත් විය.
ශ්‍රී ලංකාවෙන් රබර් චීනයට යවා චීනයෙන් ඒ වෙනුවට සහල් ගෙන්වා ගැනීම සඳහා චීන - ශ්‍රී ලංකා ගිවිසුමක් ඇති කර ගැනීමට ආර්. ජී. සේනානායක මහතා පුරෝගාමී ව ක්‍රියා කළ දේශපාලනඥයෙකි.
ඔහුගේ දේශපාලන ජීවිතයේ තවත් විශේෂ සිදුවීමකි. ඔහු 1956 මහ මැතිවරණයේදී කැලණිය සහ දඹදෙණිය යන පාර්ලිමේන්තු ආසන දෙකම ස්වාධීනව තරග කළේය. එම ආසන දෙකම ජය ගත්තේය. එසේම 1970 මහ මැතිවරණයේදී දඹදෙනිය සහ ත්‍රිකුණාමලය ආසන දෙකම ස්වාධීනව තරග කර ආසන දෙකෙන්ම පරාජයට පත් විය. ඒ මහතාගේ බිරිය වූ එරින් සේනානායක මහත්මිය 1977 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැලණිය අසුනට තරග කළ නමුත් පරාජයට පත් වූවාය.
ආර්. ජී. සේනානායකට එක්සත් ජාතික පක්ෂය එපාවීමට හේතුව ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ තිබූ අමනාපයකැයි කතාවක් තිබිණි. ජේ. ආර්. ට එරෙහිව කැලණියට තරග කළ ආර්. ජී. සේනානායක එම තරගයෙන් ජේ. ආර්. පරාජයට පත් කෙළේය.
ඔවුන් දෙදෙනාගේ අමනාපය මොනතරම් තදබල එකක්දැයි කතා පැතිර ගිය ද දැඩි සේ රෝගාතුරව සිය අවසන් කාලය ගත කළ ආර්. ජී. සේනානායක මහතාගේ සුවදුක් විමසීමට ජයවර්ධන මහතා සිය බිරිය ද සමඟ ගියේ බුලත් හුරුල්ලක් ද අරගෙනය. පැරැණි ලංකාදීප පුවත්පත් එම පුවතට විශේෂ ස්ථානයක් දී පළ කර තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ ආර්. ජි. සේනානායක මහතාගේ අභාවය සිදු වූයේ 1970 මැයි මස අග සතියේය. එම අවමඟුලේ දී කතා කළ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අභාවප්‍රාප්ත ආර්. ජී. සේනානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් පුද්ගලයෙකැයි කීවාය.
අගමැතිනියගේ කතාවට එවෙලේම පිළිතුරු දුන් ඩඩ්ලි සේනානායක මහතා මෙසේ කීවේය.
අපි දෙදෙනා එකට හැදුණා, වැඩුණා. මගේ අම්මගෙන් ඔහු කිරි උරා බිව්වා ඔහුගේ අම්මගෙන් මං කිරි උරා බිව්වා. එකම අම්මෙකුගෙන් එකවර අපි දෙන්නා කිරි උරා බිව්වා.
අපි එකට සාන්ත තෝමස් විද්‍යාලයට ගියා. වැඩිදුර ඉගෙන ගන්න එකම නැවෙන් එංගලන්තයට ගියා. එකම කාමරේ නැවතිලා පාඩම් කළා. එකට උපාධි ලබාගත්තා. එකම නැවෙන් ආපසු ලංකාවට ආවා.
මම දැදිගම ආසනෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වුණා. අල්ලපු ආසනයෙන් නාරම්මලින් එයා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වුණා. එක පක්ෂයක එකට වැඩ කළා. පසුව පක්ෂ දෙකකට ගියත් ඔහු මා ගැන සොයා බැලුවා. පවුලේ සියලු වැඩට ඉදිරිපත් වුණා. ආර්. ජී. පක්ෂයකට අයිති නෑ. එයා අයිති සේනානායක පවුලටයි.
ගම්පහ හිටපු මන්ත්‍රී එස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ කෘතියේ කියැවෙන අන්දමට ආර්. ජී. සේනානායක මහතාගේ මව ඇලන් ආටිගල මැතිනියයි. ඇලන් ආටිගලට සහෝදරියෝ දෙදෙනෙකි. එක සහෝදරියක් ජයවර්ධන පවුලේ කර්නල් ටී. ජි. ජයවර්ධන මහතා සමඟ ද අනෙක් සහෝදරිය කොතලාවල පවුලේ ජෝන් කොතලාවල මහතා (හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ පියා) සමඟ ද අවාහ වී සිටියහ.
ඩඩ්ලි සේනානායක මහතාගේ මව මොලී දුනුවිලය. ඇගේ වැඩිමහල් සහෝදරිය ආවාහ වූයේ චාල්ස් සේනානායක මහතා සමඟය. ඔහු ඩඩ්ලි සේනානායක මහතාගේ පියා වූ ඩී. එස්. සේනානායක මහතාගේ වැඩිමහල් සහෝදරයාය.
දේශපාලන පක්ෂ භේදය ඉක්මවා සහෝදරත්වය ඉස්මතු වූ අවස්ථාවක් 1965 මහ මැතිවරණයේ දී සිදු විය.
පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන යනු සහෝදරයෝය. ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන භූමියට පිවිසි ඔවුහු වාමාංශික දේශපාලනයේ රණකාමී චරිත බවට පත් වූහ.
වාමාංශික දේශපාලකයන් අත්අඩංගුවට ගෙන බෝගම්බර සිර ගෙදර රඳවා තැබීමට ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රියා කෙළේ දෙවන ලෝක මහා යුද්ධ කාලයේය. මේ සිරකරුවන් අතර පිලිප් ගුණවර්ධන ද විය. සිය සහෝදරයා ඇතුළු සෙසු කණ්ඩායම සිර බාරයෙන් මුදා ගැනීමේ මෙහෙයුමකට නායකත්වය දුන්නේ රොබට් ගුණවර්ධනය.
සූක්ෂම මෙහෙයුමකින් පසු මුදාගත් මේ සිරකරුවන් රැගත් මෝටර් රථය කොළඹ දක්වා පදවාගෙන එන ලද්දේ රොබට් ගුණවර්ධන විසිනි.
1965 වන විට අයිය - මලෝ දෙන්නා දේශපාලන වශයෙන් පක්ෂ දෙකකය. පිලිප් සිය පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණෙන් අවිස්සාවේල්ල ආසනයට තරග කළ අතර පැරැණි අවිස්සාවේල්ල ආසනයෙන් කොටසක් වූ කඩුවෙල ආසනයට රොබට් ගුණවර්ධන මහතා තරග කෙළේ වාමාංශික එක්සත් පෙරමුණෙනි. පිලිප් ගුණවර්ධන යනු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියතුමාය.
මැතිවරණ ව්‍යාපාරය අතර කිසිම විටෙක ඔවුන් දෙදෙනා එකිනෙකාට එරෙහිව මැතිවරණ වේදිකාවට ගොඩ නොවීම විශේෂ සිද්ධියක් විය.
පිලිප් - රොබට් දෙදෙනාටම හිතවත් පිරිස් දෙදෙනාටම උපකාර කළහ. ඇතැම් කථිකයෝ ආසන දෙකටම ගොස් කතා පැවැත්වූහ. උඩහමුල්ලේ චන්ද්‍රලෝක හිමියෝ එවැනි එක් කථිකයෙක් වූහ.
මාම්පේ - කැස්බෑව ගම් කාර්ය සභාවේ සභාපතිව සිටි අසෝකා පරණවිතාන, සෝතර් අතුරුගිරිය ගම් සභාවේ කේ. ඒ. ප්‍රේමතිස්ස ප්‍රකට කවියෙකු වූ වික්ටර් පී. ලියනගේ පිලිප්ටත්, රොබට්ටත් එළිපිටම සහාය දෙමින් වේදිකාවල දී කතා කළහ.
මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න එකල රට පිළිගත් කථිකයෙකි. ඔහුගේ දේශපාලන කතා ඇසීමට විශාල ලෙස පිරිස් රොක් වූහ. රොබට්ගේ වේදිකාවේ ප්‍රබලම කථිකයෙක් වූවත් ඔහු ද පිලිප් ගුණවර්ධනට ද සහාය දුන්නේය.
වික්ටර් පී. ලියනගේ ලංකාදීප සහ ලේක්හවුස් ආයතනයන්හි සේවය කළ පුවත්පත් කලාවේදියෙකි. පිලිප්ගේ වේදිකාවේ කතා කළ ඔහු සවස් වරුවේ රොබට්ගේ වේදිකාවේ කතා කිරිමට නියමිත බව පිලිප් ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය.
“මොකක්ද රොබට්ගෙ තත්ත්වය” පිලිප් විමසුවේය.
“රොබට්ට අමාරුයි” වික්ටර් පිළිතුරු දුන්නේය.
“මිස්ටර් ලියනගේ කඩුවෙලට යන්න. මෙහෙ එන්ඩ එපා දිගටම රොබට් ළඟ ඉන්න. පිලිප් ගුණවර්ධන ඒ අයුරින් තව කීප දෙනෙකුටම පවසා ඇත. මේ කතාව මට කීවේ ද ඔහුමය.
මේ මැතිවරණයෙන් පිලිප් ගුණවර්ධන වැඩි ඡන්ද 11,327 කින් ජයගත් අතර රොබට් ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂයේ එම්. ඩී. එච්. ජයවර්ධනට පරාජය විය.
රොබට් චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර පිලිප් - රොබට් දෙදෙනාගේ මරණ ද එක ළඟම සිදු විය. රොබට් ගුණවර්ධන මහතා අභාවයට පත්ව හරියටම මාස තුන ගෙවුණ දා පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවය සිදු විය.
රොබට්ගේ අවමඟුල සිදු වූයේ අවිස්සාවේල්ල බොරලුගොඩය. පිලිප්ගේ අවමඟුල සිදු වූයේ කොළඹ කනත්තේදීය.
පිලිප් ගුණවර්ධන අවමඟුලේ උද්වේගකර අවස්ථා ද නොතිබුණා නොවේ. සමසමාජ පක්ෂයේ තරුණ නායකයකු වූ වාසුදේව නානායක්කාර මහතා බන්ධනාගාරයේ සිට දැඩි රැකවල් මැද පිලිප් දේහය තැන්පත් කර තිබූ කිරුළපොන නිවස වෙත කැඳවාගෙන ආ අවස්ථාව එක සිද්ධියකි.
දේහය ළඟ දණින් වැටී වාසුදේව නානායක්කාර මහතා මේ වාමාංශික නායකයාට සිය උපහාරය පුද කළේය. පිලිප් දේහය රැගත් අවමඟුල් පෙරහර ජාවත්ත පාර ඔස්සේ ඉදිරියට එන විට ලංගම බස් රියක රියැදුරා රියැදුරු ආසනයේ වාඩිවී සිටියේය. පිලිප්ගේ දැඩි අනුගාමිකයෙක් වූ වරාය ඩොක් කම්කරු සමිතියේ ආවිස් සිංඤෝ සහෝදරයා නම් කම්කරු නායකයා ලංගම බස් රියේ ඉදිරිපසින් ගොඩ වී බස් රියැදුරා බෙල්ලෙන් ඇදගෙන විත් ලංගමය හදන්නට මහන්සි ගත් නායකයාට මෙහෙම ද සලකන්නේ යැයි ඇසු විට එම රියැදුරා අවමඟුල් පෙරහර නිමා වන තුරු මහ පාරට වී හිටගෙන සිටියේය.