
පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුන්වැනි වර කියවීමේදී තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් සම්මත වී ඇත. පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි. මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබුණු අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර වැළකී සිටි ඡන්ද සංඛ්‍යාව 44කි. ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකා බලා තෙවැනි වර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේ ය. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. මේ අනුව පෙනී යන්නේ යහපාලන ආණ්ඩුව සිය සම්මුතිවාදී දේශපාලන ස්ථාවරභාවය මොනවට ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.
කොට්ඨාස ක්‍රමය යටතේ 1977 වසරේ දී තරග කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් බියගම ආසනයට තේරී පත් වන විට වෙලගෙදර මහතා කුරුණෑගලටත්, එස්. බී. හේරත් මහතා හිරියාල ප්‍රදේශයටත්, අලවතුවල මහතාගේ පියා දොඩම්ගස්ලන්දටත්, ලයනල් ජයතිලක මහතා කුලියාපිටියටත් තේරී පත් විය. මේ සියලු දෙනා තේරී පත් වුයේ කොට්ඨාස ක්‍රමය යටතේය. මෙම මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට ආසන 51 ක් හිමි වූ අතර 5/6 ක බලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. එමගින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල අසාධාරණයක් සිදු විය. එහිදී එම පක්ෂය නැත්තටම නැති වී යන තත්ත්වයට පත් විය.
පෙර පැවති මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 47% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණු අතර, ඔවුන්ට 2/3 ක බලයක් හිමි විය. එවිට එක්සත් ජාතික පක්ෂයට ආසන 18කට සීමා වීමට සිදු විය. තවත් ආසන 1 ක් හෝ 2ක් අඩු වුයේ නම් චෙල්වනායගම් මහතාට විපක්‍ෂ නායකවරයා වීමට පවා හැකියාවක් තිබිණි. එනිසා විපක්‍ෂයට ද පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් හිමි වන ආකාරයට අනුපාත ක්‍රමයක් ඇති කර ඡන්දය පැවැත් වීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යෝජනා කළේය. පසුව 1987 දී අනුපාත ක්‍රමය පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවන බවත් සෑම ඡන්ද දායකයකුටම මනාප 03ක් ලබා දිය හැකි පරිදි එය වෙනස් කළ යුතු බවත් සියලුම දේශපාලන පක්‍ෂවල මතය විය. ඒ අනුව පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය නිර්මාණය වූ අතර පසුකාලීනව එමඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්කරන මනාප පොරය නිර්මාණය විය.
මේ මනාප පොරයත් සමඟ මන්ත්‍රීවරයකු තේරී පත්වීම සඳහා කෝටි ගණනින් මුදල් වැය කිරීමට සිදු වූ අතර මේ සඳහා ඔවුන්ට මුදල් ලබාදුන්නේ එම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ය. මේ නිසා ජනතාවගේ ඡන්දය ලබාගෙන තේරීපත් වන මන්ත්‍රීවරයා අවසානයේ සේවය කළේ ඡන්දය ලබාදුන් ජනතාව වෙනුවෙන් නොව මුදල් වැය කළ ව්‍යාපාරිකයන් වෙනුවෙන්ය. මේ අනුව සැබෑ දේශපාලන ක්‍රියාවලියක් තුළදී අප දකින ජනතාවට සේවය කරන මන්ත්‍රීවරයා වෙනුවට වෙෙ සිතැඟි ඉටු කරන වෙළෙඳ නියෝජිතයකු බිහි විය. මෙනිසා ජනතා අභිලාෂයන් මුළුමනින්ම අහෝසි වී, ඒවා දේශපාලන වේදිකා මත ගැයෙන හුදු ප්‍රලාප බවට පත් විය. කලක පටන් මේ තත්ත්වය වෙනස් විය යුතු බවට දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් හා සිවිල් සමාජය දිගින් දිගටම අදහස් දැක් වුවද එය යථාර්ථයක් බවට පත්නොවුණි. ඒ වෙනුවට රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙම දූෂණකාරී තත්ත්වය වැඩි වර්ධනය විය. සොරකමට නමගිය රත්තරන්ලා කුඩු සිල්වලා පාර්ලිෙම්න්තුව නියෝජනය කළේය.
මේ වෙළඳ මැතිවරණ ක්‍රමය ජනාධිපතිවරණය දක්වා ප්‍රසාරණය කළ රාජපක්ෂ ආණ්ඩුව, එය උච්චතම අවශ්ථාවට ගෙන ආවේ පසුගිය ජනාධිපතිවරණ සමයේය. 2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාගේ රුව රැගත් ප්‍රදර්ශන පුවරු රට පුරාම ලයිට් කණුවක් කණුවක් පාසා එල්ලෙමින් තිබූණි. පත්තර අතිරේක, අත්පත්‍රිකා, රූපවාහිනී නාළිකා වෙන්වී පැවතියේ ඔහුගේ ප්‍රචාරණ කටයුතු සඳහා පමණය.
එනිසා නව දේශපාලන සදාචාරයක් ඇති කිරීම සඳහා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් බවට පත් විය. ඒ අනුව යමින් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදෙමින් ජනතා අභිලාෂයන් නියෝජනය කළ හැකි මන්ත්‍රීවරයකු පත් කිරීමට අනපනත් සකස් කර සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කටයුතු කිරීම සිය දේශපාලන පාරිශුද්ධත්වය ප්‍රකාශයට පත් කිරීමකි. එසේම නිමල් සිරපාලද සිල්වා මහතා මේ මැතිවරණ ක්‍රමය සියලු මැතිවරණ සඳහා යොදා ගැනීමට යොජනා කිරීම ගැනද ස්තූති පිරිනමමු.
මෙරට නියොජිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය සලකා බලන විට ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය නියෝජනයක් දක්නට නොමැත. නිදසුන් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ නැඟෙනහිර කොළඹ හා බටහිර කොළඹ නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකු නොමැත. එසේම දොඩම්ගස්ලන්ද, පොල්ගහවෙල, දඹදෙණිය, නිකවැරැටිය, යාපහුව යනාදී ප්‍රදේශවලද ප්‍රධාන ධාරාවේ කිසිදු දේශපාලන නියෝජිතයකු නොමැතිය. එසේ නම් එම ප්‍රදේශවල ජනතාව සිය ගැටලු විසඳා ගන්නේ කෙසේද? ඔවුන්ගේ ඡන්ද බලයට සාධාරණයක් ඉටුවේද යන ප්‍රශ්නය මතුවේ. මෙම ප්‍රශ්න විසඳීම සඳහා රටට ජනතාවට ආදරය කරන සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස සාකච්ඡා කර ව්‍යවස්ථාදායක සභාවක් ඇති කර මෙහෙයුම් මණ්ඩලයක් හරහා අවසානයේ එකඟතාවකට පැමිණිම ජනතා ජයග්‍රහණයකි. අනෙක් පසින් දුන් පොරොන්දු ඉටු කිරීමකි. මෙය ගුණවත් දේශපාලන පූර්වාදර්ශයකි. එසේ කටයුතු කර තිබියදී මෙම මැතිවරණ ක්‍රමය විවේචනය කරමින් ඡන්දය කල්දැමීමට වත්මන් රජය පියවර ගන්නේ යැයි චෝදනා කිරීම මුග්ධ ක්‍රියාවකි.
රජයේ මුදල් අවභාවිතා කළ වුන්ට දඬුවම් ලබාදෙන සමයක, ඡන්දයකට යාමේ වැඩි වාසිය අත්වන්නේ වත්මන් රජයටය. එසේ තිබියදී කඩිමුඩියේ මැතිවරණ පවත්වා තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම වෙනුවට වඩා විධිමත්ව හා ක්‍රමවත්ව මැතිවරණ යන්ත්‍රණයක් සකස් කර ඉදිරි මැතිවරණ පැවැත් වීම සඳහා කටයුතු කිරීම ප්‍රඥාගෝචරය. සමහරක් පවසන ආකාරයට එය ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමකි. එසේ නම් වඩා ප්‍රජාතන්ත්‍රවාදී කුමණ පිළිවෙතද යන්න විමසිය යුතු වේ.
තම බලය හීන වන විට රාජපක්ෂ රජය නියමිත කාලයට පෙර මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් ලෙස හුවා දැක්වීම කරන උත්සාහය දේශපාලන බොළඳ කමකි. ව්‍යාජ ආර්ථික සංඛයා දත්ත වාර්තා පෙන්වමින් තමන් මවා පෑ ආර්ථික ප්‍රතිපත්තියට තව දුර යන්න නොහැකි බව ප්‍රත්‍යක්ෂ කරගත් රාජපක්ෂ ආණ්ඩුව සිය අන්ත පරාජයෙන් ගැලවීමට නියමිත කාලයට පෙර ඡන්දය පැවත්වූවා මිස, එය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගත් උත්සාහයක් නොවේ.
මෙනිසා වත්මන් ආණ්ඩුව නව මැතිවරණ ක්‍රමයක් ඇති කර ජනතාවට වගකියන මන්ත්‍රීවරයකු පත් කර ගැනිමට මෙන්ම කාන්තා නියෝජනය වැඩි කර ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම යහපත්ය. නව මැතිවරණ ක්‍රමය පළාත් සභාවල ක්‍රියාත්මක කිරීම සඳහා 20 වැනි සංශෝධනය ගෙනවිත් ඇති අතර ඒ අනුව ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ සියල්ල එළඹෙන අවුරුද්ද තුළ එකවර පැවැත්වීමට තීරණය කර තිබේ. 2015 වසරේ දී ලබාදුන් ඡන්ද පොරොන්දු වචනවලට සීමා නොකර එය යථාර්ථයක් බවට පත්කිරීමට මෙලෙස ආණ්ඩුව පියවර ගනිමින් තිබීම ප්‍රසංසනීය වේ. මේ අනුව ජනතාවට වගකියන මහජන නියෝජිතයකු පත්කර ගැනීම සඳහාත්, රටේ සුභසිද්ධියට බලපාන තීන්දු තීරණ ගැනීමේදී කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම සඳහාත්, වඩා ප්‍රජාතන්ත්‍රීය ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහාත් මේ පනත ඉතා වැදගත්ය. එනිසා මහජන සුබසිද්ධිය අනුමත කරන කිසිවකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකි වේ. මේ පනත සම්මත කර ගැනීමේදී විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය ජාතික වගකීම ඉටු කර තිබේ .
මීට විරුද්ධව අදහස් දක්වන ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කණ්ඩායම සමාජ ජාල වෙබ් අඩවි උපයෝගී කරගනිමින් පවසන්නේ, “ආණ්ඩුව ඉතා සූක්‍ෂම ව තවත් අර්බුදයක් රට තුළ නිර්මාණය කරමින් සිටින බවය. එනම් මැතිවරණ ක්‍රමය විකෘති කරමින් නව පනත ගෙනා බවය. ඒ, මහින්ද ආණ්ඩුව විසින් ගෙන ආ 70:30 අනුපාතය ප්‍රතිපක්ෂව 60:40 අනුපාතයට එය වෙනස්කර තිබීමය. ඔවුන් එය අර්ථ දක්වන්නේ ජනතා ඡන්දයෙන් පත්වන ප්‍රමාණය අවම කිරීමක් ලෙසය. එසේම පළාත් සභා තුළ 50:50 අනුපාතය හඳුන්වා දීමට ආණ්ඩුව එකඟ වී තිබෙන බවත්, එසේ වී ඇත්තේ, මුස්ලිම් කොන්ග්‍රසය හා රිෂාඩ් බදියුදීන්, ජවිපය ඇතුළු සුළු පක්‍ෂ කීපයක් කළ ඉල්ලීමට අවනත වීම නිසා බවත්ය. තවද මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වුවහොත් ලංකාවේ කිසිදු පළාත් සභාවක් ක්‍රියාත්මක කළ හැකි මට්ටමට ගෙන ආ නොහැකි බවත්. එනම් ස්ථාවර තීන්දු තීරණ ගත හැකි පාලනයක් පළාත් සභාවක් කෙදිනකවත් නිර්මාණය නොවන බවද පැවසෙයි. ඒ මන්ද යත්, පළාත් සභාවක පක්‍ෂය ද විපක්‍ෂය ද සමාන (50:50) වන නිසාය. කිසියම් පක්‍ෂයක් මැතිවරණයේ දී සියයට 50 ඡන්ද ප්‍රමාණයක් ගතහොත් විපක්‍ෂයේ අන් සියලු පක්‍ෂවලට ඉතිරි ප්‍රමාණය හිමි වේ. එහි අර්ථය වන්නේ, පළාත් සභාව නිරන්තරයෙන් ම අස්ථාවර එකක් වන බවත්, මේ නිසා වැඩිම ප්‍රතිශතය ගන්නා පක්‍ෂයට සිදු වන්නේ, තවත් පක්‍ෂයක් සමඟ සන්ධානගත වී සභාව පිහිටුවීමට බවත් ය.
මේ ප්‍රකාශයන් දෙස විචාර බුද්ධියෙන් බලන්නේ නම් රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ආ 70:30 අනුපාතය වත්මන් ආණ්ඩුව 60:40 අඩු කර පසුව සුළු පක්ෂවලට කන්දී 50:50 ලබා දීමට පියවර ගැනීමය. එසේ නම් එය වඩා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පියවරකි. මන්ද එවිට බලයේ සිටින ප්‍රධාන පක්ෂය ගෙන එන ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට වැට බැඳීමට සුළු පක්ෂවලට හැකියාව ලැබේ. එවිට අත්තනෝමතිකව තීන්දු තීරණ ගැනීම වෙනුවට සුළු පක්ෂවල මතයට ඇහුම්කම් දීමට බලයේ සිටින පක්ෂයට සිදුවේ. එය ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමට ගත් වටිනා පියවරකි. නමුත් රාජපක්ෂවාදීන් පවසන්නේ එය මේ ආයතන අස්ථාවර කිරීමට ගත් වැරදි පියවරක් බවයි. මෙනිසා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කර ආත්මාර්ථකාමී ඒකාධිපතියන් ලෙස හැසිරෙන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ඔවුන් විසින්ම ඔප්පු කර දෙමින් සිටිති.
අනෙක් කරුණ වන්නේ ඡන්ද බියයි. ඇත්තෙන්ම ඡන්දයට බිය වී නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයට ගියේ රාජපක්ෂලා ය. ඒ තෙවන වරටත් බලයට පැමිණීමේ සිය මුග්ධ ඒකාධිපති අරමුණ ඇතිව ප්‍රජාතන්ත්‍රවාදය වළදමා හැකි සෑම අයුරකින්ම රාජ්‍ය දේපල හා පෞද්ගලික දේපළ (තර්ජනයෙන්, බිය වැද්දීමේන්) තමන්ට රිසි අයුරින් යොදා ගනිමින්ය. කෙසේ නමුත් රටේ වාසනාවට ජනතාවගේ වාසනාවට ඔවුන් පරාජයට පත් විය. එසේ නොවන්නට ආර්ථික අවපාතයේ මළපුඩුවට සිර වී සිටි ලාංකාව අද සෝමාලියාවක් වීමට ඉඩ තිබුණි. එනිසා රාජපක්ෂ ජුන්ටාව ඡන්දයට ගියේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ උතුම් අරමුණින් නොවේ.
මෙරට බුද්ධිමත් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර පරාජයට පත් කළේ රාජපක්ෂ පාලනයෙන් ඇති විය හැකි පලවිපාක හොඳින් දන්නා නිසාය. එනිසා ස්ථාවර ඒකාධිපති පාලන ව්‍යූහයක් හදනවා වෙනුවට සැමට නියෝජනය විය හැකි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් නිර්මාණය කර වඩා ජනහිතවාදී පාලන ව්‍යූහයකට දොරටු විවර කිරීම රජයගත් යහපත් වෑයමකි .
19 වන ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැනගැනීමේ පනත, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියොජන 25% වැඩි කිරීම හා මැතිවරණ ක්‍රමය මිශ්‍රක්‍රමයකට පැවැත්වීම ආදී අනපනත් මේ වන විට තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සමිමත වී ඇත. එහෙත් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදය යථාර්ථවත් කිරීමට තවත් බොහෝ කරුණු කාරණා සිදු කළ යුතුව තිබේ. එවා කෙදිනකවත් තිරස්චීන අදහස් දරන දේශපාලන සංවිධාන විසින් ඉටු කරාවි යැයි කිසිසේත් විශ්වාස කළ නොහැකිය. එනිසා වත්මන් ආණ්ඩුව තමන්ට ලබාදුන් ජනවරම ප්‍රයෝජනයට ගෙන වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් රටතුළ ගොඩ නැගීමට වහා ක්‍රියා කරවි යන්න ජනතා පැතුමයි.
එසේම අන්තවාදීන්ට වුවත් ඔවුන්ගේ මතය දැරීමට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ විවර කර ඇති ආකාරයටම අන්තවාදී නොවන සැබෑ මානව දයාවෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් හා ස්වාධීන මතධාරීන්ට ඔවුන්ගේ මතයන් පුළුල් ලෙස ජනතා අවකාශයකට ගෙන යාමට සහය දිය යුතුය.