මානවහිතවාදී මිනිසකු වූ ජනතාවාදී සංගීතඥයා | සිළුමිණ

මානවහිතවාදී මිනිසකු වූ ජනතාවාදී සංගීතඥයා

‘මාස්ටර්’ නමින් ජනාදරයට පත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සංගීත සම්ප්‍රදායක් බිහි කළ මානව හිතවාදී සැබෑ මිනිසෙකි. ඔහු විසින් සංගීතඥයෙකු ලෙස සමාජ වගකීම නිවැරදිව තේරුම්ගෙන සමාජයත්, ඒ තුළ ජීවත් වන මිනිසාත්, සෑම විටම පවතින තත්තවයෙන් මඳක් ඉහළට ඔසවා තබන ලදී. ඒ තුළින් ‘තමා පිළිබඳවත්, සමාජය පිළිබඳවත් නැවත නැවතත් සිතා බැලිය යුතුයි’ යන විඥානය රසිකයාට තුළ ඇති වීමට ඉඩප්‍රස්තාව ඇති කරයි. ඔහු මෙම චින්තනය සමාජගත කිරීමට හැකි සෑම විටම සිය කලා කෘති තුළින් උස්සාහ ගත්තේය. ඔහු සංගීතය සංරචනා කළ ‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ගීතය එහි එක් ප්‍රතිඵලයකි.

“බ්‍රෙෂ්ට් නාට්‍ය නිශ්ප­ාදනය කළේ හිට්ලර්ගේ හමුදාව විසින් ඔහුව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරපු අවස්ථාවක. බ්‍රෙෂ්ට් තරම් කලාකරුවාගේ කාර්යභාර්ය තේරුම්ගෙන, එය භාවිතයෙන් ඉටුකළ තවත් කලාකරුවෙක් නැතිතරම්. මා මේ ළඟදී ඔහුගේ කවියක් කියෙව්වා. ඒ පුංචි කවියේ එන මේ කොටස ඇති අපිට බ්‍රෙෂ්ට් තේරුම් ගන්න.

“මිනිසා කවුද යනවග මිනිසෙකු ලෙසින් දැක,

පල්හොරු, අමනයන් එක්කර එකට බැඳී

වනසා දැමිය යුතු කාලය එළැඹ ඇත”.

මේවා තමයි සෑබෑ විරෝධාකල්ප කවි කියන්නේ. කලාකරුවාගේ නිර්මාණාත්මක ක්‍රියාවලිය සමාජ වගකීමත් එක්ක අනිවාර්යෙන්ම බැඳී පවතින දෙයක්”.

-ආචාර්ය ප්‍රේමසිරි කේමදාස-

(බර්ටෝල් බ්‍රෙෂ්ට් විද්‍යාත්මක සමාජවාදී නාට්‍ය සංකල්පය භෞතිකවාදී නාට්‍ය ප්‍රවේශය, පිදුම, ධර්මජීත් පුනර්ජීව 2012)

ජර්මන් ජාතික නාට්‍ය රචක බර්ටෝල් බ්‍රෙෂ්ට් රචනා කරන ලද, Hitler’s Cabinet of Ministers කවි පන්තිය, විජිත ගුණරත්න විසින් ‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’නමින් සිංහලට අනුවර්තනය කර ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මෙම ගීතය සඳහා සංගීතය සංරචනා කිරීමෙන් අනතුරුව ග්‍රැන්විල් රොද්‍රිගෝ, මාර්ෂල් ජනතා, අමරසිරි පීරිස්, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස්, ප්‍රමුඛ තවත් බොහෝ පිරිසක් ගායනයෙන් සහා රංගනයෙන් නිර්මාණ දායකත්වය සපයා ඇත. 1986 දී ‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ගීතය නිර්මාණයට ගායනයෙන් සහා රංගනයෙන් දායක වුණු නිර්මාණ ශිල්පී මාර්ෂල් ජනතා, කේමදාස මාස්ටර් පිළිබඳ සිය මතකය මෙසේ අවදි කරයි.

“අපි ගමේ ඉන්න මිනිස්සු හැටියට මාස්ටර්ව දැක්කේ ඝෘජුව කතා කරන වාමාංශික චින්තනය තියෙන මේ රටේ ඉන්න හොඳම නිර්මාණාත්මක සංගීතඥයා විදිහට. මම විශ්වාස කරපු දේශපාලනය තමයි වාමාංශික දේශපාලනය. ඒ දේශපාලනයට නැඹුරු කලාකරුවෙක් තමයි මම හෙව්වේ. ඒ නිසයි මම මාස්ටර්ව හොයාගෙන ගමේ ඉඳන් කොළඹ එන්නේ. ඒහි සුවිශේෂත්වය තමයි මාස්ටර්ගේ නිර්මාණ තුළ පවතින ගැඹුර අධ්‍යයනය කළ විට ඒ තුළ තිබුණේ දේශපාලනය. මේ රටේ කිසියම් දේශපාලන දැක්මකට අදාළ වන නිර්මාණකරණයක් තමයි වැඩිපුර අපට දක්නට ලැබුණේ.

‘අදුරු කුටිය තුළ- දොරගුළු ලා ගෙන

ගයන ගීතිකා යදින යාතිකා

දෙවියන් හට නෑසේ//

පොළොව කොටන තැන

පාර තනන තැන

ගිනියම් අව්වේ

මහ වරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ//

බලන් කඩතුරා හැර දෑසේ’.....

(පද රචනය :ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ, සංගීතය : ප්‍රේමසිරි කේමදාස, ගායනය: ටි.එම් ජයරත්න)

මේ වගේ ගීත අපි පොඩි කාලේ අපිට ඇහුණා. අපිට ඒ ඇහෙන දේ තුළ පැවතුණ දැක්ම තමයි මාස්ටර් ගාවට එන්න පොළඹවන්නේ. මාස්ටර් ගාවට එන විට එවකට ඔහු වටා කණ්ඩායම් වර්ග තුනක් සිටියා. මාස්ටර්ගෙන් ඉගෙනගෙන සංගීත අධ්‍යාපනය තුළින් ඉදිරියට යන්න ආ පිරිසත්, මාස්ටර්ගේ නිර්මාණ දැකබලා ගැනිමේ පිපාසයෙන් හිටිය පිරිසත්, ඒ වගේම මේ රටේ පැවති සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය කළ විවිධ තරාතිරම්වල ප්‍රබලයින්නුත් මාස්ටර් වටා සිටියා. සියලුම වාමාංශික පක්ෂ, කොම්යුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය, චීන පිල, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ දේශපාලනයට අදාළ පිරිස් මාස්ටර් වටා ගැවසුණා. කම්කරු අරගලවලදී සමාජ අරගලවලදී කැපී පෙනෙන නිර්මාණ ශිල්පියා වුණේ මාස්ටර්. ඒ නිසාම මාස්ටර් පිළිබඳ පැහැදිලි හැඟීමක් තිබුණා ඒ හැම කෙනෙක් තුළම. මෙවැනි පරිසරයක තමයි මම හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය සමඟ එකතු වෙන්නේ.

එම ගීතය ලංකාවේ සාම්ප්‍රදායික ගීත රචනා ගොන්නට අයිති නොවන එකක් . විජිත ගුණරත්න විසින් බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ කාව්‍ය අනුවර්තනය කරලා මාස්ටර් අතට පත්වුණාට පස්සේ ඒ තුළ පැවති කතාන්දරය ජාතික කාරණයක් වනවාට වඩා ජාත්‍යාන්තරකරණයක් තුළ සිට එම ගීතය මාස්ටර් නිර්මාණය කරන්න උස්සාහ කළා. එම කාව්‍ය හරහා ප්‍රකාශ කරන්නේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන. එහි වස්තු විෂය හුදු ජර්මන් ජාතික හිට්ලර් සහා ඔහුගේ ඇමතිමණ්ඩලය පිළිබඳ කතාන්දරය පමණක් නොවෙයි. ඒ තුළින් ලෝකය තුළ ජීවත්වන වෙනත් හිට්ලර්ලා සහා වෙනත් ඇමතිවරු පිළිබඳ කතාන්දරයේ ගැඹුරු සත්‍ය හෙළිවෙනවා. ඒත් එක්කම නිරන්තරයෙන් පීඩාවට පත්වන ලෝකවාසී නිර්ධන පාන්තික ජනතාවගේ කතන්දරයත් ඒ තුළින් හෙළි වෙනවා. එම සාරය එලෙසින්ම තියාගෙන දේශීය සංස්කෘතියට ගැළපෙන ලෙසත් විශ්ව සාධාරණීකරණය වන ලෙසත් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය නිර්මාණය කරනවා.

නිර්මාණයකට ශිල්පීන් යොදාගනිත්දී මාස්ටර් කවදාවත් කිසිම කෙනෙකුට බලපෑම් කරන් නෑ. හැබැයි මාස්ටර් දෙන හැම ස්වරයක්ම එයාට අවශ්‍ය විදිහට ගායනා කරන්න ඕනි. මාස්ටර්ගේ ඔළුව ඇතුලේ තියෙනවා ගායනා කරපු ස්වරයන් පිළිබඳ නිවැරදි සටහනක්. අපි අතින් බැරිවීමකින් හෝ ස්වරයක් මඟ හැරලා ගායනා වුණොත් ඒ ස්වරය ගැයුවේ මෙහෙම නෙමෙයි, කියන දේ මාස්ටර් එකපාරින් කියනවා. ආපසු ඒ ස්වරය නැවත නැවතත් ගායනා කළ යුතු වෙනවා. එවැනි තැන්වලදී මාස්ටර් තමන්ගේ අධිකාරී බලය පාවිච්චි කරලා ඔහුට අවශ්‍යයම හඬ තල පරාසයන් දක්වා අපේ කටහඬ දියුණු වන තුරු පුහුණුවීම් දිගින් දිගටම සිදු කරනවා.

හිට්ලර්ගේ ඇමතිමණ්ඩලය තුළින් ඉතා උපායශීලී ධනේශ්වර ක්‍රමය හරහා මහ ජනතාවගේ ශ්‍රමය සුරාකමින් මිනිසුන් මුලා කිරීමට පාවිච්චි කරන ක්‍රමවේදයේ ඛේදවාචකය හඬක් විදිහට එළියට ගේනවා. එම ක්‍රමවේදයන්ට මුළා වන සාමාන්‍ය ගැමියා එම ඛේදවාචකයෙන් මුදවලා උඹලා රැවටෙනවා කියන ඇත්තට සංවේදී කරන හඬත් එම ගීතය තුළම රඳවනවා. ගීතය ආරම්භයේදී අතිශය සංවේදී ලෙස සමාජගත කළ හඬ අවසානය වෙත ගලාගෙන යන්නේ දැඩි ආවේගයකින්.

අපි හැමෝම තකතීරුවෝ

අන්න ඒක නිසා තමයි

කෙස් පැ‍ෙළනා මොළකාරයෝ

අතළොස්සක් ඔන අපට//

සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම

ඇයි රට පාලනය මේ තරමට අසීරු

සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න

යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?

අපි හැමෝම තකතීරුවෝ

අන්න ඒක නිසා තමයි

කෙස් පැළෙනා මොළකාරයෝ

අතළොස්සක් ඕන අපට

මෙම ආවේගශීලී අවසානය ඇතුළේ එක් පැත්තකින් පහර දෙනවා ධනේශ්වර ක්‍රමයට. අනෙක් පැත්තෙන් පහර දෙනවා මෙම ක්‍රමය වටහා ගන්නට බැරි නිර්ධන පංතිය නියෝජනය කරන සාමාන්‍ය ජනතාවට. ඒ නිසාම ඒ තුළින් අපටත් පහරක් වදිනවා.

හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතයෙන් කියවෙන සත්‍ය තේරුම් ගන්න බැරි නම් පවතින ක්‍රමට අනුගත වෙන්න සිද්ධවෙනවා. ඒ අනුගතවීමේ ප්‍රතිඵලය තමයි වර්තමානය, වහල්කමින් ගෙවා දැමීමට සිදුවීම. එම යථාර්ථයෙන් එදා සමාජ ක්‍රමය වෙනස් කිරීමට සමාජවාදී අරගලයේ සිටි අයත් අද පවතින දේශපාලන ක්‍රමයට අනුගත වෙලා. සමාජවාදී අරගලයෙදී නිර්ධන පන්තියයි, ධනපති පන්තියයි කියන පන්ති දෙකයි පවතින්න පුළුවන් වෙන්නේ. නිර්ධන පංතියේ ජනතානවගේ පැත්තේ මාස්ටර් හැමදාමත් හිටියා. හැබැයි මාස්ටර් එක්ක හිටිය අනෙක් සගයන් මේ පංති දෙක අතර මැද්දේ නතර වෙනවා. ඒ තුළින් අපට නොදැනී ගොඩනැගෙන මධ්‍යම පංතිය අද වනවිට සම්පුර්ණයෙන්ම ධනේශ්වර ක්‍රමයට අනුගත වෙලා ඉවරයි. ඔවුන් සියලුදෙනා එකතුවෙලා තමයි මේ පවතින ක්‍රමය ගෙනි යන්නෙත්. මාස්ටර් දරපු වෑයම සමග මාස්ටර් මේ මොහොතේ හිටිය නම් අද අපට අහන්න වෙන කාව්‍යය වෙනම කාව්‍යයක්. සමහර විට මේ අවුරුදු තිහක අත්දැකීම් එක්ක එම කාව්‍ය දේශපාලනික සහ සෞන්දර්යාත්මක සංගායනාවක් බවට පත් වෙයි”.

Comments