කලාකරුවා නරියකු මෙන් කපටි විය යුතුද? | සිළුමිණ

කලාකරුවා නරියකු මෙන් කපටි විය යුතුද?

මගේ මතකයේ තරමට දේශපාලනඥයා නරියකු මෙන් කපටි විය යුතු බව මකියාවලී කියා ඇත. කලාකරුවා නරියකු මෙන් කපටි විය යුතු බව ඔහු කියා නැත. රුක්මණී දේවිය මිය යන විට තමන්ට කියා නිවසක්වත් තිබුණේ නැත. ඈ ඉතා ජනප්‍රියව සිටි සමයේ ඇය වාසය කළේ දැවැන්ත මන්දිරයකය. ගමන්කළේ සුපිරි මෝටර් රථවලිනි. එහෙත් ධනය ගොඩ ගසා ගැනීම හා රැස්කිරීම ඇය දැන සිටියේ නැත. ජනප්‍රියතාවය හරහා නිරායාසයෙන් ලැබෙන මුදලින් ජීවත්වූවාය. එම මුදල් බිස්නස්වල ආයෝජනයකර අනාගතය සඳහා රැස්කිරීමට උත්සාහ නොකළාය. නොදත්තාය. ඒ අනුව ජනප්‍රියත්වය හීන වනවිටම ලැබෙන ආදායම අඩුවෙන විට දිළිඳු වුවාය.

මෙහි දී ඇත්තේ ඇය කලාව පමණක් දැන සිටීමයි. ගායනය හා රංගනය තමන්ගේ එකම දක්ෂතාවකොට සැලකීමයි. එම දක්ෂතාව පමණක් තමන්ගේ ජීවිතයට ප්‍රමාණවත් යැයි සිතීමයි. මේ කලාකරුවකු සතු අහිංසකකමයි.

උත්තම ගණයේ නිර්මාණශීලීත්වයක් යුග ගණන් රැව්දෙන නිර්මාණශීලීත්වයක් හිමි කරගන්නේ එවන් කලාකරුවන් යැයි සිතමි. එනම් කලාව හැර වෙනත් කිසිදු දක්ෂතාවක් ප්‍රගුණ කිරීමට නොසිතීමයි. කලාව හා ජීවිතය අතර වෙනසක් නොදැකීමයි.

එහෙත් මේ යුගය දැන් ගෙවී ගොස් ඇතැයි සිතමි. ජෝතිපාල ගැන ද කියන කතාවක් නම් අද එතරම් ජනප්‍රිය හා දක්ෂ නොවන ගායකයන් ගායිකාවන් හම්බකරන විදිහට ජෝතිපාලයන් ද තමන්ගේ සින්දුවලින් හම්බ කළා නම් ඔහුට බෝයිං අහස් යානා පවා හිමිකර ගැනීමට තිබූ බවයි. එහෙත් ජෝති ව්‍යපාරිකයෙක් වූයේ නැත. සැමදා ගායකයකු පමණක් විය. ඒ නිසාම ඔහු ගැයූ ගීත නමැති ධනයෙන් ජාතිය පොහොසත් වී ඇත. ඔහු සිතා මතා එසේ කළේ යැයි නොකියමි. එහෙත් ගීතයෙන් මිහිර ලැබීමට වඩා වැදගත්කොට සැලකුණු වෙනත් අරමුණක් ඔහුගේ ජීවිතයේ නොවිණි. ඔහුට වඩා ජාතිය පොහොසත් වූයේ ඒ නිසාය.

උඩරට දක්ෂ නැටුම් ශිල්පියකු ගතහොත් බොහෝ විට ඔහු හිතන්නේ අතපය ලස්සනට තාලයට හසුරුවන හැටි ගැන පමණය. සල්ලි ගැන සිතන්නට ඔහුගේ සිතේ ඉඩ මදිය. ඒ හැකියාවට ලැබෙන මුදලක් බාරගැනීමෙන් පමණක් ඔහු සෑහීමට පත්වන්නේ ඒනිසාය. ජීවිත කාලයක් පුරා නර්තනය හැදෑරූ ජීවිත කාලයම නර්තනයට කැප කළ නර්තන ශිල්පීන් තමන් ගේ ගමන බිමන පයින් යන විට දවසෙන් දෙකෙන් කොන්ත්‍රාත්වලින් පොහොසත් වූ අය මාළිගා හදා වාහනවලින් ගමන්කිරීම සිදු වන්නේ ඒ අනුවය.

මට සිතෙන අන්දමට ජී. බී. සේනානයක අද්වීතිය ලේඛකයෙකි. ඔහුට ලැබිය යුතු අගැයීම ලැබී නැත. ඔහු ස්වකීය ජීවිත කාලයම කැප කළේ ලේඛන කලාවටය. ඔහුට ගුරුකුලයක් තිබුණේ නැත. ගෝලයන්පිරිසක් හිටියේනැත. කල්ලියක් තිබුණේ නැත. ඔහු සතු වූ එකම හැකියාව ලේඛන කලාව වූ අතර ඔහු සිතුවේ ද ඒ ගැන ම පමණි. ඔහුට ඉන් යම්තමින් ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබිණි. ලේඛන හැකියාවෙන් ජී.බී. අසමසම වුවත් ධනයෙන් ඔහු ලේඛකයන් අතර අසමසම නොවිණි.

එහෙත් අද වන විට එය එසේ ම යැයි කිව හැකි නොවේ. කලාකරුවන් එදා මෙන් නොව අද ධනවතුන් වී ඇත. එය නරක යැයි මම නොකියමි. එය හොඳය. එහෙත් ඒ අතරම මට සිතෙන්නේ කලාකරුවන් සාපේක්ෂ වශයෙන් ධනවත් වන අතර කලාව දුප්පත් වී ඇතිබවය. එදා මෙන් මහා කලාකරුවන් අද බිහි නොවන බවය. චිත්‍රපටය, ගිතය, සාහිත්‍යය, නාට්‍යය, ආදී සියලූ අංශයන්හි එදා දකින්නට ලැබුණු මට්ටමේ අද්විතීය නිර්මාණ අද බිහි නොවන බවය. කලාකරුවන් ධනවත් වී කලාව දුප්පත් වී ඇතැයි මට සිතෙන්නේ ඒ අරුතිනි.

හුදකලාවටම කැපවීමෙන් කලාව ම තුළින් කලාක්ෂේත්‍රයේ ඉහළට යාම වෙනුවට වෙනත් උපක්‍රමික භාවිතාවන් පවතින බව පෙනෙයි. උපක්‍රමශීලී නොවන එනම් හුදු කලාවම පමණක් ප්‍රගුණ කරන අහිංසක කලාකරුවන්ට මතුවීමටඅපහසු බව පෙනේ. එදා ඒ තත්ත්වය තිබුණේ නැත. රුක්මණී දේවී වැනි අති අහිංසක අව්‍යාජ ශිල්පීන්ට නිළි රැජිණ වීම දක්වා යාමට මාර්ග විවර වී පැවතිණි. ජෝතිපාල පසුකාලයක බැට කෑ නමුත් ඔහුට ගීත දහස් ගණනක් ගැයීමට අවස්ථාව ලැබිණි. එය අවහිර කිරීමට නොහැකි විය. එහි දී උපක්‍රමඋපාය අවශ්‍ය නොවිණි. එනම් ගායන හැකියාව මපමණක් ප්‍රමාණවත් විය. එහෙත් අද ඒ තත්ත්වය එලෙසින්ම ඇතැයි මට සිතෙන්නේ නැත.

කලාවට යම් හැකියාවක් සමඟ ඊට වඩා අලෙවිකරණ හැකියාවන්ගෙන් යුක්ත පිරිස්වලට තම නිර්මාණ හොඳ වුවත් නැතත් බලෙන් පේ‍්‍රක්ෂකයන්ට පිළිගැන්වීමටත් ප්‍රේක්ෂකයන් ලවා බලෙන් එම නිර්මාණ හොඳ යැයි සැලකුම් ලැබීමටත් හැකි අවස්ථාවන් නිර්මාණය වී ඇත. මේ තත්ත්වය තුළ මර්දනය වී ඇත්තේ කලාවයි.

සැමදාම වාණිජ බලපෑම කලාවට තිබිණි. එහෙත් කලාකරුවන් මුදලාලිලා වූයේ නැත. ජෝතිපාල රුක්මණි සැමග අහිංසක කලාකරුවෝ පමණක් වූහ. එහෙත් අද අහිංසකකලා පමණක් කලාව තුළ මතුවීමට නොහැකි වාතාවරණයක් පවතී යැයි සිතේ.

ව්‍යාපාර සංවිධානය වන්නාක් මෙන් කලාකරුවන් කල්ලි වශයෙන් සංවිධානයවීම ද දැකිය හැකිය. කලාකරුවන් මුදලාලිලාට ද උපදෙස් දෙන තත්ත්වයට පත්ව ඇත. එනම් සමහරවිට මුදලාලිලා තුළ කලාව ගැන තිබෙන ගරුත්වයවත් කලාකරුවන් තුළ නොපවතින අවස්ථා දකින්නට ලැබේ. සරස්වතිය වෙනුවට මැකියාවලී කලා ක්ෂේත්‍රය තුළ රජකරනු පෙනේ.

නිර්මාණ බිහිවිය යුත්තේ කලාකරුවන්ගේ හදවත පත්ලෙනි. නැතිනම් අධ්‍යාත්මයෙනි. අභ්‍යන්තරයෙනි.

එහෙත් අභ්‍යන්තරයේ ඇත්තේ කාසියක් නම් ඉන් බිහිවෙන දෙයට කලා නිර්මාණ යැයි කීමට අපහසුය. එහෙත් එසේ බිහිවන දේ නිර්මාණ වශයෙන් පිළිගැනීමත් අගැයීමත් සිදුවනවිට කලාව තුළම ජීවත්වන අහිංසක කලාකරුවන් වෙතින් බිහිවන නිර්මාණවලට යන එන මං නැති වේ. කලාවේ අනන්‍යතාව ද වටිනාකම ද අහෝසිවේ. එවන් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් රට තුළ මෝදු වෙමින් පවතියි.

රුක්මණීලාගේ ජෝතිලාගේ කරුණාසේන ජයලත්ලාගේ හදවත වෙතට අපට ආපසු යාමට හැකිද? එසේ වුවහොත් පමණක් එවන් නිර්මාණ යළිත් මෙබිමින් උපදිනු ඇත. කලාවෙන් මැකියාවලී පලවා හැරීමට හැකි එවන් හදවත් ඇති කලාකරුවන් බිහිවීමට හැකි වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

Comments