
ලංකා සමසමාජ පක්ෂයේ තරුණ සමිති සම්මේලනය එවර පැවැත්වුණේ රුවන්වැල්ලේ දීය. ඒ වෙනුවෙන් සමරු කලාපයක්ද නිකුත් විය. පක්ෂයේ කැපී පෙනෙන තරුණ නායකයන් වූ අතාවුද සෙනෙවිරත්න සහ වාසුදේව නානායක්කාර මහත්වරු ද සමරු කලාපයට ලිපි ලියා තිබුණි.
සමසමාජ තරුණයෝ “වාසු” යන සුරතල් නමින් වාසුදේව නානායක්කාර මහතා හැඳින්වූ අතර “අතා” යන සුරතල් නමින් අතාවුද සෙනෙවිරත්න මහතා හැඳින්වූහ. එසේ අමතනු ද අසා ඇත්තෙමි.
මේ තරුණ සමුළුව අමතා කතා කළ කතිකයෙක් තුන්කෝරලයේ සමසමාජ පක්ෂයේ වර්ධනයට එන්.එම්. පෙරේරා මහතා විසින් කරන ලද සේවය අගය කෙළේය. ඔහු කීවේ මැලේරියා වසංගතය සමයේ එන්.එම්. ප්‍රමුඛ සමසමාජ නායකයන් පරිප්පු බෙදා දෙමින් රෝගීන් සුවපත් කළ බවයි. එහෙයින් තුන් කෝරල වාසින් එන්.එම්. පෙරේරා මහතා හැඳින්වූයේ පරිප්පු මහත්තයා යනුවෙන් යැයි ද කී එම කතිකයා බජිරි නමින් හැඳින් වූ ධාන්‍ය වර්ගයක් බජිරි නෝනා නම් සුදු ජාතික කාන්තාවක් විසින් බෙදා දුන් බව ද කීවේය.
එන් එම් පෙරේරා මහතාගේ බිරිය වූ සෙලිනා පෙරේරා මහත්මිය ද සමසමාජයේ දියුණුවට ඇප කැප වී කටයුතු කළ බව ඔහු කීවේය. එන්.එම්. ගේ බිරිය සහ බජිරි නෝනා ගැන සොයා බැලීමට සිතුවේ ඉන් පසුවය.
රුවන්වැල්ල සමසමාජ තරුණ සමුළුවට පෝරේ - අතුරුගිරිය ගම් කාර්ය සභාවේ සභිකයකු වූ කේ.ඒ. ප්‍රේමතිස්ස පෙරේරා ද ඔහුගේ පුත් කේ.ඒ. ආනන්ද තිස්ස මහතා ද සහභාගි වූහ. ඔවුන් දෙදෙනා ම පසු කලක බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරු ලෙස කටයුතු කළහ.
එන්.එම්. පෙරේරා මහතාගේ බිරිය වූ සෙලිනා පෙරේරා මහත්මිය ගැන විමසා සිටි අවස්ථාවේ ප්‍රේමතිස්ස මහතා කීවේ සෙලිනා පෙරේරා මහත්මිය බදුල්ලේ ඉතා ධනවත් පවුලකට අයත් බවයි. විවාහයට පෙර ඇගේ නම සෙලීනා පීරිස් බව ද ලංකාව අතහැර ඉන්දියාවට ගොස් එහි පදිංචි වූ බව ද ඔහු කීවේ ය.
පැරැණි නළුවකු ලෙස ප්‍රසිද්ධියට පත් ඊ.සී.බී. විජේසිංහ මහතා එන්.එම්. පෙරේරා මහතා ගැන සන්ඩේ ඔබ්සෝවර් පත්‍රයට ලිපියක් ලියා තිබුණි. එහි සඳහන් වූයේ රාජකීය විද්‍යාලීය රංග ශාලාවේ පවත්වන ලද නාට්‍යයක රැජන ලෙස සෙලිනා ප්‍රධාන චරිතය නිරූපණය කළ බවයි. එම ඉංග්‍රිසි නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟපෑවේ තමා විසිනැයි ද විජේසිංහ මහතා ලියා තිබුණි. නාට්‍යය නිමවූ වහාම තරුණ එන්.එම්. පෙරේරා වේදිකාවට ගොඩ වී වහා සෙලීනාට සුබ පැතූ බව ද ඔවුනගේ ප්‍රේමයට මේ හමුවීම ආරම්භක සිද්ධිය වූ බව ද විජේසිංහ මහතා සඳහන් කර ඇත.
එන්.එම්. බිරිය ගැන තව තොරතුරු හමුවූයේ ලංකා වාමාංශික ව්‍යාපාරයට උරදුන් කාන්තාවෝ මැයෙන් ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවකිනි. එහි කියැවුනේ සෙලිනා පීරිස් කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියට පිවිසි බවත් ඒ අතරතුර වාමාංශික දේශපාලනයට යොමුව එන්.එම්. පෙරේරා සමඟ ආවාහ වූ බවත්ය.
ඔවුන් දෙදෙනා එක්ව දේශපාලනයේ යෙදුණ අතර යුද්ධය උත්සන්නව සමසමාජය තහනම් කළ පසු ඉන්දියාවේ යුරෝපයේ ට්‍රොට්ස්කිවාදි දේශපාලනයට සම්බන්ධවූ සෙලිනා පෙරේරා මහත්මිය ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ඉන්දු ආර්ය භාෂා පිළිබඳව හැදෑරූ බවද පාලි හා සංස්කෘත භාෂා පිළිබඳව උසස් අධ්‍යාපනයක් හා හැදෑරීමක් කළ එතුමිය ඉන්දියාවේ ට්‍රොස්කිවාදින් සමඟ එක්ව ක්‍රියා කාරී දේශපාලනයේ නියැළි බවද කුමාරි ජයවර්ධන කියයි.
එන්.එම්. පෙරේරා මහතාගේ නිවස පිහිටියේ බොරැල්ලේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය ඉදිරිපිටය. දැන් එම නිවසේ පුස්තකාලයක් ද වෙයි. එන්.එම්. ජීවත්ව සිටි සමයේ එම නිවෙසේ කුදු මහත් සියලු කටයුතු කරන ලද්දේ ජේමිස් සහෝදරයා නම් සමසමාජ පක්ෂ ක්‍රියාකාරිකයෙකි. අමුත්තන් පිළිගෙන සියලු කටයුතු බලාකියාගෙන සිටි ඔහු දිනක් කීවේ එන්.එම්. පෙරේරා නිවෙසේ සියලු වියපැහැදම් ඉතා පිළිවෙළට ඉටු කළ බවයි. නිවෙසේ වියදම් ලේඛනයක් පවත්වා ගෙන ගිය බවද වියදමට දෙන මුදල් සටහන් කරන පොත තුළ සියලු වියදම් ලියා තබන බව ද වියදම් ලේඛනය කියවා බලා ඒ පොත තුළට අලුතින් මුදල් දමනවා විනා මුදල් ගැන කිසිදින ප්‍රශ්න නොකළ බව ද ජේමිස් සහෝදරයා දිනක් මාධ්‍යවේදිනට පැවැසීය.
මීළඟට බජිරි නෝනා ගැන විමසමු.
ලයනල් සරත් වෘත්තියෙන් ගුරුවරයෙකි. නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ ජීවත් වූ ඔහුට සිය දේශපාලන මතය නිසා විවිධ අතෝරයනට මුහුණ දීමට ද සිදුවිය. ඇත්ත පත්‍රයට වේගවත් ශෛලියකින් ලිපි ලියූ ඔහු බජිරි හටන නමින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්‍රයක් පළ කෙළේය. මෙය තනිකරම උපහාසය සහ විහිළුව පිරි පත්‍රයකි.
එකල පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට උපහාසයෙන් ප්‍රහාර එල්ල කළ ලේඛකයෝ තිදෙනෙකි කේ.සී.බී. අදිකාරම් සීයා ඔහුගේ කවටමුත්තා පත්‍රය සහ ලයනල් සරත් ඔහුගේ බජිරි හටන එළි දැක්වූහ. පී. මලල්ගොඩ කවියා ද උපහාසාත්මක ප්‍රකාශන එළි දැක්වීය. මොවුහු බිය නැතිව ම සිය අදහස් කියා පෑහ.
බජිරි හටන පුවත්පතට ඒ නම යොදා ගත්තේ කවර කරුණක් නිසා දැයි විමසූ විට ඇත්ත පත්‍රයේ හෙන්රි පමුණුව කීවේ බජිරි නෝනාගේ නම මතක්වීමට ඒ නම යෙදූ බවයි.
බජිරි නෝනාගේ සමාජ මෙහෙවර අඩංගු සටහනක් ද ඔහු මට දුන්නේය. ඒ අනුව බජිරි නෝනා යුදෙව් ජාතික කාන්තාවකි. ලංකාවේ විනිශ්චයකාරවරයකුගේ පුත්‍රයා වූ පීටර් කේනමන් සමඟ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උගත් බජිරි නෝනාගේ නම හෙඩි සයිමන්ය. වියානාහි උපන් ඈ සිය මව වූ හෙඩිවිග් මග්දලේනා සමඟ රටින් පිටවූයේ හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් බේරීමටය.
ශ්‍රී ලංකාවේ පීටර් කෙනමන් සමඟ ඈ පෙමින් බැඳුනාය. ලන්ඩනයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක වූ ඇගේ සහ පීටර් කෙනමන්ගේ විවාහය 1939 දී ස්විට්සර්ලන්තයේ දී සිදුවිය. පසුව ඔහුවු ලංකාවට ආහ. කෙනමන් ලේක් හවුසියේ ඩේලි නිව්ස් පත්‍රයට බැඳුණු අතර පසුව පූර්ණ කාලීනව වාමාංශික දේශපාලනයට එක්විය. හෙඩී කොළඹ විශ්වවිද්‍යාලීය අධ්‍යාපන ආයතනයේ ආචර්ය මණ්ඩලයට එක්ව පසුව දේශපාලනයට සම්බන්ධ වූවාය.
මැලේරියා වසංගතයට ගොදුරු වූ රෝගීනට බජිරි නම් ධාන්‍ය වර්ගය බෙදා දීමට ඇය විසින් ඇරැඹූ ව්‍යාපාරය ජනප්‍රිය විය. ඇයට බජිරි නෝනා යන නම ලැබුණේ ඒ අයුරිනි.
1945 නැවත යුරෝපයට ගිය හෙඩීට පීටර් ස්ට්‍රැඩ්ලන් නම් සංගීත පර්යේෂකයා හමුවූවාය. පසුකලෙක ඔවුහු විවාහ වූහ. ඔවුනට දරු දෙදෙනෙකි. එක් දරුවෙක් බ්‍රිතාන්‍ය අධිකරණයේ විනිශ්චයකරුවෙක් වූ අතර අනෙක් දරුවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්විය.