හිත් පොජ්ජ නැව­තුණ... වන්නි­යැ­ලැත්තෝ... | සිළුමිණ

හිත් පොජ්ජ නැව­තුණ... වන්නි­යැ­ලැත්තෝ...

‘ආදි මානව සංස්කෘතිය’ ගැන කතා කිරීමේදී; ‘වැද්දන්’ යනු ගෝත්‍රික සමාජවාදී කොට්ඨාසයකි. මේ නිසා මොවුන්ගේ විශ්වාස ඇදහිලි, විවාහ සිරිත්, කතා විලාසය, ඇඳුම් - පැළඳුම් යනාදිය සුවිශේෂී ස්ථානයක් ගත්හ.

සාමාන්‍යයෙන් ‘වැද්දන්’ යනු අප; ව්‍යවහාරයේ අදහස් ගන්වන්නේ දඩයමෙන් පෝෂිත වූ ජන සමූහයක් ලෙසයි. මේ අනුව, ‘ව්‍යාධ’ යන පාලි භාෂාවෙන් බිදී පැමිණි සම්මතයක් ලෙස ‘වැද්දා’ යන්න සඳහන් කළ හැකි ය.

වැද්දන් ගැන කරුණු දැක්වීමේදී; ‘පැලඩියස්’ නැමැති දේශාටකයා සඳහන් කරන පරිදි වැද්දන් ගැන අදහස් දැක්වූයේ ඔවුන්ගේ ශරීර හැඩයම උකහා ගනිමින් ය. මේ නිසා ඔහු පෙන්වා දෙන්නේ ‘හිස මහත මිටි සිරුරුවලින් යුක්ත අවුල් හිස කෙස් වලින් පිරුණු මිනිස් සමූහයක්’ ලෙසට ය.

වර්තමානය වනවිට ආදි මානවයන් හෙවත් වැද්දන් අඩු වෙමින් පවතින බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. මේ නිසා ආදි වාසී ජනයා; තාක්ෂණික මෙවලම් සමඟ එකතුව ඇත.

සිංහල සංස්කෘතියේ ‘කුල බෙදීමක්’ දක්නට ඇති විට; වැදි ජනයා අතර ද මේ සමානව ‘කුල බෙදීමක්’ පැවතුනි. නමුත් සිංහල කුල සංස්කෘතිය තරම් ‘කුල ව්‍යාප්තියක්’ වැදි ජනයා අතර නොතිබුණි මොවුන් ‘කුල’ වෙනුවට භාවිතා කළේ ‘වරිග’ යන්නයි. මේ අනුව; වැදි පරම්පරාවේ ‘වැදි වරිග’ පහළොවක් පමණ දක්නට ලැබේ. ඌරු වරිගය, බණ්ඩාර වරිගය, තලා වරිගය, මොරාණ වරිගය මෙයින් කිහිපයකි.

“වැද්දෙක් වගේ බලන්නකො කැත...?”

සමහර අවස්ථාවන් වලදී; ඔබට ද මෙවැනි උපමා සමහරුන් පවසනවා ඇත. මෙහිදී වැද්දා යන්න; ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ රූපයට ඇතුල් කර ඇත. රැවුල නොකපන; කොණ්ඩය නොකපන; ශරීරය පුරා ලොම් වවා ගත් පිරිසක් ලෙස පවසන අතර මොවුන්ගේ කෙස් ‘බොකුටු’ ස්වභාවයක් ගනු ලබයි.

ඇඳුම් ගැන සඳහන් කිරීමේදී අඟල් හයක් තරම් පළල් වූ ‘අමුඩ තීරුවකින්’ සකසා ගන්නා අතර; වැදි කාන්තාවන් ඇඳ ඇත්තේ රිටි සුඹුළු ය.

“පරෙවි සංදේශය” (59 වන කාව්‍යයේ) සඳහන් පරිදි ‘රිටි සුඹුළු’ විස්තර කර ඇත්තේ මෙසේ ය.

“තළා අවුල් හැර රිටි සුඹුළු ඇඳ ගනී”

“පොතුපිටිය පුර වැනුමෙන්” වැදි කාන්තාව විස්තර කොට ඇති ආකාරය අපූරු ය.

වැද්දන්ගේ ආහාර රටාව ද විචිත්‍ර ය. ප්‍රධාන වශයෙන් ‘දඩමස් පුළුස්සා ගැනීම’ දක්නට ලැබේ. මේ අතර; මෙම මස් වර්ග විවිධ ආකාරයෙන් සාදා ගනු ලබයි. මස් මැල්ලුම, පුරු මස් සම්බෝලය, වියළි මස් බැදුම... ආදී ලෙසින් විවිධ ය.

අමු දඩ මස් ගින්නෙන් පිළිස්සීමේදී සිදු කරනුයේ තෙල් හා ලේ තැවරුණු මස් කුට්ටි ලී උල්වල රඳවා, ගිනි මැලයේ ගිනි අඟුරු මන අතුරා; දෙපැත්ත ගින්නෙන් රත් කරමින් පුළුස්සා ගැනීමයි. වර්තමානයේ ‘බාබුකිව්’ ලෙසින් ව්‍යවහාර වන්නේ; මෙම ‘පුළුස්සන මස්’ විශේෂයන්ටයි.

මස් වර්ග පමණක් නොව; ස්වභාවිකව නෙළාගත්; ඇට වර්ග තම්බා ආහාරයට ගැනීම, කුරක්කන් කැඳ ආදිය සකසා ගැනීම මෙන් ම, ඇටි කෙසෙල්, ගල් සියඹලා, කොතලංගා, බලු දන්... ආදී පලතුරු වර්ග ද, වැදි ජනතාවගේ ආහාර රටාවේ අංගයන් විය.

වැද්දන්ගේ ‘කතා විලාසය’ හරි අපූරු ජනකය. ඔවුන් බොහෝ විට ‘පොජ්ජ’ යනුවෙන් වාග් නිරූපණය උකහා දක්වයි.

“අහවල් පොජ්ජට ගව්වනවා”

“පොත් පොජ්ජ කතා දමන්නට මේ තැනට මං ගව්වනවා”

(පොත ගැන කතා කරන්නට මෙතනට එනවා)

“කරු කුරු ගව්වන උල් පොජ්ජ; ඇත්ත මං ගව්වනවා”

(‘පෑන’ අරන් යනවා)

‘වැදි නැටුම්’ අපූරු සුන්දරත්වයක් ලබාදෙන සංස්කෘතික අංගයකි. මෙහිදී; පට්ටා යක් නැටුම, හැද්මෙ නැටුම, දොළයක් නැටුම, බඹර යක් නැටුම; ඔවුන්ගේ නැටුම් අතරින් සුවිශේෂත්වයක් ගනු ලැබීය. ගැබිනි කාන්තාවන්ට උවදුරක් නොමැතිව දරුවන් ලැබීමේදී ‘පට්ටා යක් නැටුම’ ඔවුන්ට විශේෂ සැනසීමක් ලබා ගැනීමට හැකි විය.

වර්තමානයේ ගීත ඕනෑතරම් අසන්නට ලැබේ. මෙම ගීතවල අර්ථය සමහර අවස්ථාවන් වලදී ශුන්‍ය වන අවස්ථා ද නැතුවාම නොවේ. මේ නිසා ‘හරසුන් ගීත’ පිරිහෙමින් පවතින බවක් දක්නට ලැබේ.

නමුත්; වැදි ජන ගී සැසඳීමේදී මෙම ගීතවල අර්ථ රසය හා ශබ්ද රසය මනාව ඉස්මතු කොට ඇත.

“හේ බොල මා මිනි මා මිනි මා දෙයියා...

මා මිනි මා මිනි මා දෙයියා...

නා කොළ ඇල්ලේ බැඳි වියනයි

බෝ කොළ ඇල්ලේ බැඳි වියනයි

දෙමටන් ඇල්ලේ බැඳි වියනයි

ගෑනිට බැඳ... පු කොළ වියනයි

ගෑනිට බැඳපු මල් වියනයි

මා මිනි මා මිනි මා දෙයියා

මාලුන් මැලී වැටෙන් නා

කොළ පත් කඩා වැටෙන් නා

තාරා වෙල් පිට යක් ගම්වල්

අපටත් කියලායි නටාන් නේ

මාමිය කොටේ පෙති කණවේ

කොටා කන්ටයි අපි ආවේ...//

මා මිනි මා මිනි මා දෙයියා

මා මිනි මා මිනි මා දෙයියා...”

මෙම වැදි ගීතය තුළ; අනුභූතිය කොට ගෙන ඇත්තේ ‘මධුසමය ගත කරන වැදි පෙම් යුවලක්’ ගැනයි. මෙහිදී පරිසර වර්ණනය ඉතා අපූරුවට පෙන්වා දී ඇත. වචනයෙන් වචනය කියා ගන්නේ; පෙම්වතුන්ගේ සුන්දරත්වයයි.

මෙතෙක්; සංෂිප්තව ඔබට සමීප කර ගත්; ‘වැදි ජන සංස්කෘතිය’ තුළ ඔබටද පැන නැ‍ඟෙන ගැටලු ඇතැයි මම සිතමි. එනම්; වර්තමානය වනවිට; මෙවැනි සංස්කෘතික සම්බන්ධතා පවතී ද යන්නයි. කාලයාගේ වියපත් වීමෙන් අද වනවිට දක්නට ඇත්තේ; වැදි සමූහයාගෙන් තරමක් දුරට ගිලිහුණු සමාජ පරිණාමයකි. මහියංගණය, දඹාන ආදී ස්ථාන; ඔබ නැරඹුම් මධ්‍යස්ථානයක් කොට ගන්නා අවස්ථාවන්වලදී; එහි ආලේපිත සංස්කෘතිය’ ඉදිරියටත් සටහන් කර ගනු ඇතැයි සිතීම සාර්ථකත්වයක් ලෙස මම දකිමි. 

 

Comments