සොඳුරු ආඥා­දා­ය­ක­යෙ­කුගේ ගැඹුරු හැඩ­තල | සිළුමිණ

සොඳුරු ආඥා­දා­ය­ක­යෙ­කුගේ ගැඹුරු හැඩ­තල

‘මාස්ටර්’ නමින් ජනාදරයටපත්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මේ පොළොවේ මිනිසුන්ගේ ජීවිතයේ සැබෑ රිද්මය සිය දෑඟිලි තුඩට ගෙන පෙරළා එය මහා සංගීතයක් බවට පත් කර මිනිසා වෙත රුගෙන ගියේය. ඒ සංගීතයෙන් මේ මොහොතෙදිත් නින්නාද දෙන්නේ කලාවේ ගැඹුරු දේශපාලනයයි. ඔහු නිර්මාණය කළ සුවහසක් විශිෂ්ට සංගීතය නිර්මාණ අතරින් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය සර්ව කාලීන වටිනාකමකින් යුතු ගීතයකි. සමාජයක අධ්‍යාත්මික සංස්කෘතිය පෝෂණය සිදුකරන කලාත්මක නිර්මාණයක් වශයෙන් එම ගීතය යුග මෙහෙවරක් ඉටු කරයි.

ජර්මන් ජාතික නාට්‍ය රචක බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචනා කරන ලද, Hitler’s Cabinet of Ministers කවි පන්තිය විජිත ගුණරත්න විසින් ‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ලෙස සිංහලට අනුවර්තනය කරන ලදී. එම අනුවර්තිත කවි පෙළ, සංගීතය සහා රංගනය යොදා ගීතයක් ලෙසින් ප්‍රතිනිර්මාණය සිදු කරයි. කේමදාස මාස්ටර් සමඟ සිදු කළ එම නිර්මාණ කාර්යයේදී තමා ලැබූ අත්දැකීම් ප්‍රවීණ නාට්‍යෙව්දී විජිත ගුණරත්න මෙසේ සිහි කරයි.

ඇත්ත වශයෙන්ම හිට්ලර්ගේ ඇමති මණ්ඩලය කවිය අනුවර්තනය කරන්න මම කල්පනා කළේ 1986 දී. එම වර්ෂයේ දී පළවෙනි වතාවට මැයි දිනය තහනම් කරනවා. ඒ මොහොතෙ අපිට විකල්ප වැඩසටහනකට යන්න සිද්ධ වුණා. මේ වෙනුවෙන් සෑහෙන්න කැපවීමක් කළා සුනිල් විජේසිරිවර්ධන, රංජිත් පෙරේරා ඇතුළු තව බොහෝ පිරිසක්. ඒ අය යෝජනාවක් ගෙනාවා මැයි දිනය වෙනුවෙන් කලා භාවිතයන් ඔස්සේ විකල්ප වැඩසටහනකට යමු කියලා. ඒ කලා ප්‍රසංගය තමයි “නිදි නැති නදියේ නාදය”නමින් අපි රාජකීය විද්‍යාලය රඟහලේදී වේදිකා ගත කරන්නේ.

මේ සඳහා සුදුසු රචනාවන් කීපයක් කරන්න මං බාරගත්තා. ඒ වන විට බ්‍රෙෂ්ට් ගැන කියවමින්, හදාරමින්, ඔහුගේ නිර්මාණ ගැන විශාල අවධානයකින් ඉන්න වෙලාවක්. ඒ සොයායෑම්වල ප්‍රතිඵලයක් විදිහට තමයි මට හම්බවුණේ “හිට්ලර්ගේ ඇමති මණ්ඩලය”කවි පෙළ. ඉතිං මම හිතුවා මේක හොඳටම ගැළපෙනවා අපේ වැඩේට කියලා. එම කවි පෙළ උචිත පදමාලා යොදා ලංකාවට ගැළපෙන ලෙස අනුවර්තන සිදු කළා.

මැයි දිනය තහනම් කළ නිසා යම් හඬක් ගෙන යන්න සෑම කෙනෙකුටම අවශ්‍ය බව දැනෙන්න පටන් ගත්තා. ඒ නිසාම ඒ මොහොතේ ලංකාවේ හිටිය වාමාංශික නැඹුරුවක් තියෙන කලාකරුවන් බොහෝ පිරිසක් නිදි නැති නදියේ නාදය කලා ප්‍රසංගය සමඟ සාමුහිකව එකතු වුණා. එහිදී විවිධ කාව්‍යමය සංකල්පනාවන් ගොනු වුණා. ඒ ඔස්සේ කලාව තුළින් ගොඩනැගුනු සාමුහික හඬ සමාජය වෙත ගෙන ගියා. සුනිල් විජේසිරිවර්ධන, රංජිත් පෙරේරා සහා ගාමිණී හත්තොටුවේගම වැනි රැඩිකල් කලා භාවිතයන් ඔස්සේ සමාජ ශෝධනය වෙනුවෙන් හඬක් නගපු විශාල පිරිසකගේ සාමුහික ප්‍රයත්නයෙන් මෙම කලා ප්‍රසංගය පැවැත්වුවා.

එදා මෙම ගීතය මුල් වරට ගායනා කළ අවස්ථාවේ දේශපාලන ඥානයසේම, කලා ඥානයෙනුත් ඉස්තරම්ම මට්ටමක තිබුණු ප්‍රේක්ෂකයන් හිටියා. මෙරට ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි එවැනි ගායනයක් සහ සංගීත රටාවක් ප්‍රේක්ෂකයන්ට රසවිඳීමේ අවස්ථාව ලැබුණේ. එතනදී මාස්ටර් කරපු කැපකිරීම අති ශ්‍රේෂ්ඨයි. මොකද එය ගායනා කළ ගායන ශිල්පීන්, ශිල්පිනියන් විශේෂ ගෙවීම් කරලා එක්කාසු කරගන්න පුළුවන් අය නෙමෙයි. නමුත්, මාස්ටර් බොහෝ වෙලාවට තකහනියක් ගිහිල්ලා ඒ අය එක්කාසු කරගෙන ඇවිල්ලා පුහුණුවීම්වලට ඒ අය උනන්දු කරවලා වැඩකරන්න පටන් ගන්නේ.

එහෙම වැඩ කරන විට ඒකේ තියෙන අපූර්වත්වය හැමෝටම දකින්න හම්බවුණා. ප්‍රේක්ෂකයෝ නිර්මාණය අත්දැකලා අපූර්වත්වය වින්දා වගේම ඒකට සහාභාගී වූ අනෙක් පිරිස වන ගායක ගායිකාවන්ට, වාදන ශිල්පීන්ට, මේ හැම කෙනෙකුම නිර්මාණ කාර්ය සිද්ධ වෙමින් යන කාලයේදී එය අපූරූ අත්දැකීමක් වුණා.‍

මාස්ටර් සංගීතයෙන් සරල ගායනා තුළට ඇතුළත් කරලා තියෙන්නේ ඉතාම ගැඹුරු උත්ප්‍රාසාත්මක සමාජයේ ඇස් ඇහැරවන සංගීතයක්. මාස්ටර් ඇරෙන්න ඒ විදිහේ සංගීතයක් ඒ වගේ පද පෙළකට ඇතුළු කරන්න බෑ ලේසියෙන් මනුස්සයෙකුට. බ්‍රෙෂ්ට්ගේ එලියනේෂන් රංග සිද්ධාන්තය මත සිට මාස්ටර් මේ ගීතය නිර්මාණය කරනවා. ඒ ඔස්සේ මාස්ටර්, ගීතයේ එන හැම සිදුවීමක් දිහාම විවෘතව බලන්න මිනිස්සුන්ව සංගීතය තුළින් අවදියෙන් තියනවා. කාව්‍යයේ පවතින උත්ප්‍රාසයත්, හාස්‍යයත් තුළින් ගොඩනැගෙන ද්විඝටනය ඉසිමතු කරන්න භාවාතිශය සංගීතය පමණක් නොසෑහෙයි.

ගීතයක සංගීතයේ පවතින ධ්‍යානයකට සමවැදුණු හැඟීමකින් මෙය කළ නොහැකි. ඒනිසා සංගීතයයි, ගායනයයි සමඟ රංගනය යොදා ගැනීමට අපි තීරණය කළා. ඒ ඔස්සේ පවතින සමාජ තත්තවයේ විවරණය දකින්න පුළුවන් විවේකය ලබා දෙමින් මෙය රසවිඳිමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට අත් කර දෙනවා. ගීතය ඇස්දෙක පියාගෙන අහන තැනට පත්කරලා නෑ. ඒකයි ඔය ගීතයේ තියෙන වෙනස. මේ දූෂිත සමාජය ගැන අපි ඇස් දෙක පියා ගෙන ඉඳිය යුතු නැහැ කියන පණිවුඩය තමයි ඒ තුළින් කලාත්මකව යෝජනා කරන්නේ. ඒ යෝජනාව අදටත් වලංගුයි.

මාස්ටර්ගේ තියෙන විශේෂත්වය තමයි, අනෙකාට ඉතා හොඳට ඇහුම්කම් දීම. හැබැයි මාස්ටර් ගන්න තීරණවලදී මාස්ටර් එතැන ඉතාමත් දැඩි විදිහට හිටියා. සමහර වෙලාවට මාත් එක්ක ඉතාම තද, දීර්ඝ සාකච්ඡා කළා. මතවාදීව ගැටුණා.මොකද හේතුව බ්‍රෙෂ්ට් යෝජනා කළ සමහර ගද්‍ය සහා පද්‍ය නාට්‍යානූසාරීව ඉදිරිපත් කිරීම තුළ ඇතිවෙන සමාජ විග්‍රහය එක්තරා සිද්ධාන්තයක් පදනම් කරගෙන ඔහු ඉදිරිපත් කරලා තිබුණේ. සමහර වෙලාවට මම සිද්ධාන්තයට ගිහිල්ලා මාස්ටර් එක්ක කථා කරන්න ගියහම ඔහු සිද්ධාන්තය තියෙන තැනට එන්නේම නැහැ. මොකද මාස්ටර් ඉතාමත් ප්‍රායෝගිකයි.

මම පොතපත කියවලා බ්‍රෙෂ්ගේ සිද්ධාන්ත දැන ගත්තට වඩා මාස්ටර් හරිම ප්‍රායෝගිකව කියනවා “ නෑ විජිත ඔය මේක නේද කියන්නේ කියලා”. ඉතිං ඒක මං හිතන්නේ ජීවිත පරිඥානය තුළින් ලැබිච්ච දෙයක්. ඒ සංවේදීත්වය මාස්ටර් ළඟ පුදුම විදිහට තිබුණා. ඒකට හොඳම උදාහරණය තමයි, මේ ගීතය තුළ එන ග්‍රැන්විල් රොද්‍රිගෝගේ කට හඬ. ගීතයේ සමහර පද පේළි ග්‍රැන්විල් ලස්සනට කියන්න ගියා. මං ග්‍රැනිවිල්ට සිද්ධානන්තමය විදිහට කියලා දෙනවා න්‍යායාත්මක කරුණු මත උපදෙස් දෙනවා විය යුත්තේ මේ ආකාරයෙන් කියලා. නමුත් ඒ වෙලාවෙදි මාස්ටර් කිව්වා “ග්‍රැන්විල්, ඕක ඔහොම නොමෙයි, නිකං කට හැකර විදිහට බජව් දාලා කියනවා වගේ කියන්න කියලා”.පස්සේ ග්‍රැන්විල් කට ඇද කරලා, ඇඟ නටෝලා කිව්වා. ඒ තුළින් අපි අපේක්ෂා කළ දේ ගොඩනැගෙන්න පටන් ගත්තා.

අන්න ඒකයි මට අත්දකින්න පුළුවන් වුණේ. මාස්ටර් හරි පුදුම ඉවකින් ඒ හැම දෙයක්ම හසුරවන්නේ. ඒවගේ ප්‍රායෝගික හැසිරීම් සාමාන්‍යයෙන් සංගීතඥයෝ ළඟ නෑ. මං ඒකට මාස්ටර්ට ගොඩක් ගරු කරනවා. මාස්ටර් එක්ක එන වාදනය කරන අනෙක් පිරිස ඒ අය බොහෝ දෙනෙක් මාස්ටර් කියපුවහම අහගෙන ඉන්නවා විතරයි. ඒ අයට යෝජනාවක් කරන්නවත් හැකියාවක් තිබුණ් නෑ. බොහෝ වෙලාවට මාස්ටර් කියනවා,“ මේ යක්කු මම කියනදේ අහගෙන ඉන්නවා විතරයි මට මොකුත් කියන් නෑනේ කියලා”. හැම වෙලාවෙම ඔවුන්ගේ දායකත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒක ඒ ඉල්ලන මොහොතේ ආවොත් විතරයි මාස්ටර් ඒක දියුණු කරලා අරගන්නේ. එහෙම කරන්න පුළුවන් අය අතර කිහිප දෙනෙක් හිටියා. ඒ අතර ග්‍රැන්විල් රොද්‍රිගෝ එහෙම අති ශ්‍රේෂ්ඨයි. ඒ ඉල්ලන තැනට කිවූ සැනින් නිරූපණය කරනවා. අනෙක් අය වැනි වැනි ඉන්නවා. අන්න ඒ වගේ නිර්මාණයක් කිරීමේදී විවෘතව සහා ප්‍රායෝගිකව සංගීතය සැපයිමේ ඥානයක් සහා හැකියාවක් මාස්ටර්ට තිබුණා.

මම නිෂ්පාදනය කළ සාක්කි නාට්‍ය සඳහා සංගීතය නිර්මාණය කළේ මාස්ටර්. සාක්කි නාට්‍ය කලාට පස්සේ මට ලංකාවේ ඉන්න දුන්නෑ. නාට්‍ය නතර කරන්න කියලා මට වෙඩි තිබ්බා. ඒකයි මම ලංකාව දාලා ආවේ. මට මතකයි සාක්කි නාට්‍යයේ සංගීතය සඳහා සහාභාගි වුණු ශිල්පීන් මට කිව්වා ඔන්න අපි සංගීතය කළා විතරයි, බයිසිකල් චේන් පාරවල් වැදුණොත් අපිව බේරගන්න කියලා. එහෙම තත්තවයක් එවකට තිබුණා. පසු කාලීනව නිෂ්පාදනය කළ නිදි නැති නදියේ නාදය ප්‍රසංගයේ ගීත ඇතුලත් කැසට්පටයට “කිලර්” කියන නම මාස්ටර් යොදන්න ඇත්තෙත්, මර්දනය ඉතා දරුණු මට්ටමක පැවති සමාජ වාතාවරණයක මෙම කලා කෘති නිර්මාණය කිරීම නිසා කියලයි මගේ හැඟීම. අපි නිදි නැති නදියේ නාදය වෙනුවෙන් කලා කෘති නිර්මාණය කළේ එක තැනක තියන්න නෙමෙයි. ජනතාවගේ භාවිතය සඳහා ඕනෑම ආකාරයකට භාවිත කරන්න. ඒක මං අදත් විවෘතව කියන්නේ. මට ඒක අදත් භූක්තියට තියා ගන්න අවශ්‍යය නෑ. “හිට්ලර්ගේ ඇමති මණ්ඩලය”, පෙළ(Text) ජනතාව වෙනුවෙන් තියෙන කවි පෙළක්. ඒක අනිවාර්යෙන්ම එසේ විය යුතුයි.

‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ගීතය කවදාවත් පරණ වෙන්න බෑ. මොකද පවතින ක්‍රමය ක්‍රියාත්මක වෙන අසාධාරණය, දුෂණය, සමානාත්මතාවය තුළ පවතින තත්තවයන්, පවතින ක්‍රමයේ නෛතික තත්වයන්, පවතින තාක්කල් මේ ගීතය පවතිනවා. මං හිතන්නේ අදත් ලංකාවේ පවතින තත්තවයට මේ ගීතය ගැළපෙනවා. අදත් ලංකාවේ මැති ඇමතිවරු අතළොස්සක් සාකච්ඡා පවත්තමින් කාලේ නාස්තිකරමින් මේ ගෙනියන සටකපට ක්‍රියාවලීන් ඉවර වෙන්නේ කවද ද අන්න එදාට තමයි ඔය ගීතයේ තියෙන අවසාන ඵලය අපි භුක්ති විඳින්නේ.

අසූවේ දශකයේදී මේ ගීතය සඳහා භාවිත කළ උපමා රූපක විසිඑක් වන සිවසේ මේ ගෙවෙන අද දවසටත් වලංගුයි. මේ මොහොතේ සිදුවෙන සිද්ධීන් සිතේ මවාගෙන අපිට අද දවසේත් මේ ගීතය රසවිඳින්න පුළුවන්. ඒ වගේම සමාජ සංශෝධනය සඳහා පෙරගමන් කරුවෙකු ලෙස පවතින ගීතයක් ලෙස හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය හඳුන්වා දෙන්න පුළුවන්. ලෝකය තුළ පවතින සමාජවාදී යථාර්ථය කවදා හරි සැබෑවක් වෙනකම්ම ඒක එහෙමමයි. 

Comments