සිංහ ලග්න හිමියෝ රස බොජුන් වැළ­ඳී­මට රුසි­යෝය | සිළුමිණ

සිංහ ලග්න හිමියෝ රස බොජුන් වැළ­ඳී­මට රුසි­යෝය

මෘගපති හරී ආදී නම්වලින් ද හඳුන්වන මේ රාශිය සිංහයකුගේ ස්වරූපය අනුව විහිදුනු තාරකා මණ්ඩළයකින් යුතු රාශියකි. රවිට අයත් එකම රාශිය සිංහය.රාශි මණ්ඩලයේ ප්‍රධානියා ලෙසද ගණන් ගැනේ. සූර්යයා මෙන්ම සිංහ ද ගිනි රාශියකි.තේජෝ රාශියකි. වඳ රාශියකි.නිරක්ෂයට උතුරින් පිහිටා ඇති ස්ථිර වූ පුරුෂ රාශියකි.

මේ ලග්නයෙන් උපන් අය සතු විශේෂ ලක්ෂණය වන්නේ ස්ථිර ගති පැවතුම් ඇතිවීමයි. එමෙන්ම යම්කිසි අරමුණකට සිත යොමු කළොත් එය කෙසේ හෝ ඉටුකර ගැනීමට ඔවුන් දනී. උණුසුම් සිරුරකට හිමිකම් කියයි. සිංහ ලග්නයෙන් උපන් ස්ත්‍රිය බොහෝ විට සැමියා යටපත් කර ගැනීමට උත්සහ කරයි. ඇය සෑම විටම මූලිකත්වය ගැනීමට තැත් කරයි.

සිංහ ලග්නයෙන් උපන් පුරුෂයා ස්ත්‍රීන්ටත් වඩා අරපිරිමැසුම් බව හා සැකසුරුවම් බවෙහි දක්ෂයෝ වෙති.

ප්‍රේමය විවාහය හා සමාඩ සම්බන්ධතා පැවැත්වීමේ දී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මොවුන් පටු සීමාවක කටයුතු කරයි. තේජවන්ත රවිට අයත් ‍තේජෝ ගතිය සිංහ රාශිය සතුය. සිංහ ලග්න හිමියාට මේ ගතිගුණ පිහිටයි.

මේ රාශියේ උපන් අය නායකත්වයට මුල් පුටුවලට කැමැත්තෝය. පසුපස අසුන් නොගනී.එතරම් ප්‍රතාපවත් ය. පිටතට නොපෙන්නුවද ඉත‍ා අහංකාරය. එයට ගැලපෙන ගැඹුරු අධිෂ්ඨානවත් කථාවට හිමිකම් ඇත්තේය.

ලයාන්විතව තාලයට කථාකරයි. නමුත් අධිෂ්ඨානශීලී ප්‍රතාපවත් කතා ඇත්තෙකි. ආඩම්බරය. කිසිවෙකුට බිය නැත. තදින් දැනෙන හිතවත්කම් ඇත.සිංහයෙකු මෙන් සටනට එළඹෙන සුලු කථාබහක් ඇත්තේය. සටනට සූදානම් වුවද බාහු බලයට වඩා මොලය පාවිච්චි කරයි. එහෙයින් අනුනට හිරිහැර නොකරයි.

එහෙත් තමන්ට හිරිහැර කළ අයට ඊට සුදුසු හිරිහැරයක් අච්චුවක් නොකර කරබාගෙනද නොසිටියි. එහෙත් තමන් ට තරම් නොවන අයත් සමඟ සටන් නොකරයි. හවුල් කටයුතු මෙන්ම සමාගම් ද නොපවත්වයි. කිසිවෙක් තමන්ගේ හෝ පවුලේ කටයුතු වලට ඇඟිලි ගසනවාට හෝ මැදිහත් වනවාටවත් අකමැතිය. තමාගේ මෙන්ම පවුලේ ඇදපලුදු වෙනත් අය සොයනයා‍ටද අකමැතිය.

සිංහ රාශියේ අය හෘද සාක්ෂියෙන්ම රජුන්ට පක්ෂපාතීය. ස්ථිර අඩිතාලමක් ඇතිව සිහි බුද්ධියෙන් ක‍ටයුතු කරයි. නමුත් පමණට වඩා වැඩකිරීමට අකමැතිය. අධික ආත්ම විශ්වාසය ඇත.බිය නැතිව ඕනෑම කටයුත්තක් කිරීමට බාරගනී. අලුත් දේ අත්හදා බැලීමට නොව තමන්ට හුරු පුරුදු දේ හොඳින් කිරීමට උත්සාහ කරයි.

සිංහයේ උපන් අය රසවත් ආහාර බුදින්නට අලංකාර සැපවත් ඇඳුම් අඳින්නට කැමතිය. ප්‍රතාපවත්ව උදාර ලෙස ජීවත් වීමට කැමතිය. තිබෙන තරමට වඩා පෙන්වීමට කැමතිය. කලාවට චිත්‍ර ඇඳීමට වඩාත් කැමතිය. ගේ දොර පිරිසිදුව තබාගැනීමටත් මල් වැවීමටත් ප්‍රිය කරයි. නවීන පන්නයට වඩා පැරණි තාලයට සෑදූ නිවෙස් වලට කැමැතිය.

ලෝබ නැතත් අරපරිස්සමෙන් වියදම් කරයි. බොරු නොකියයි. ගමන් බිමන් ගියද ස්වාමිපුරුෂයා/ බිරිය හා දරුවන් සමඟම යයි. සාමූහික වාසයට වඩා පවුලේ අය සමඟ වාසයට ප්‍රියකරයි. තමන් ගත් පැත්ත හරි හෝ වැරදි හෝ වේවා එය අත් නොහැරීම මේ රාශියේ උපන්නවුන්ගේ අඩුපාඩුවකි. කිසිවෙකුගේ බහට කන් නොදීම ස්වාධීනත්වය මෙන්ම පෞද්ගලිකත්වයට ඉහලම ස්ථානය දී කටයුතු කරයි.

තමාට පාඩු වුවද තමාට වඩා පහත් අයගෙන් උදව් ගැනීමට අකමැතිය.නොනැමෙයි. රවි හා අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම හා නෛසර්ගික බලය අනුව බව මතක තබා ගත ගන්න. සිංහයේ ඉතා හොඳ ශුභ ග්‍රහයා කුජ හෙවත් අඟහරුය.කුජ ලැබීම් කාරකයාය. වඩාත් කෲර ග්‍රහයා ශනිය.

“අර්ථ ශනෛස්වරඃ සදා වෛරඃ” කීවේ එහෙයිනි. අනෙකුත් ග්‍රහයින් සිටින ස්ථාන හා ලබා ඇති බලය අනුව සුබාසුබ දෙයි. හෘද වස්තුව ආශ්‍රිත රෝග,උෂ්ණාධික රෝග ,කොඳු ඇ‍ට පෙළේ රෝග ආදිය සෑ‍දීමට ඉඩ ඇත. වයසට යෑමේදී මුත්‍රාශය ආශ්‍රිත රෝග වලට ගොදුරු විය හැක. ස්ත්‍රී පාර්ශවයට විශේෂයි.

Comments