
1954 වසරේ සෝවියට් කිර්ගීසියාවේ ටොක්මොක් උපත ලද හමීඩ් ඉස්මායිලොව් උස්බෙක් මාධ්‍යවේදියෙකු කවියෙකු සහ ලේඛකයෙකු ලෙස කටයුතු කළ අතර සෝවියට් දේශය බිඳී ගිය පසුව ඔහුට 1992 වසරේ දී උස්බෙකිස්ථානයෙන් පිටුවහල්වීමට පාලකයන් විසින් බල කරනු ලබයි. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ඔහු තුළ ඇති පිළිගත නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතාවන්ය. ස්වකීය ජීවිතයද අනතුරේ වැටෙන තත්ත්වයක් හමුවේ ඒ අනුව එක්සත් රාජධානිය කරා පැමිණෙන ඔහු එහි දී ලන්ඩන් බීබීසියට සම්බන්ධ වී, අද වන විට එහි පුරවැසිභාවය ලැබ ජීවත්වෙයි. ඔහුගේ නිර්මාණ දිගටම උස්බෙකිස්ථානයෙහි තහනම්ව පවතින නමුදු රුසියානු බසින් සහ උස්බෙක් බසින් රචිත ඔහුගේ කෘති රුසියාවෙහි පළවෙයි. මේ වන විට ජර්මන්, ප්‍රංශ, තුර්කි ඇතුළු යුරෝපීය භාෂාවන් ගණනකටම ඔහුගේ කෘති පරිවර්තනය වී තිබේ. ගාඩ්න් සහ ඩෙසර්ට් යන කාව්‍ය ග්‍රන්ථ ඇතුළුව රේල්වේ, අන්ඩර්ග්‍රවුන්ඩ්, පොයෙට් ඇන්ඩ් බින් ලාඞ්න් සහ ඩෙඩ් ලේක් යන නවකතා පළ කර ඇති ඔහුගේ නවතම නවකතාව වන ඩෙවිල් ඇන්ඩ් ද ෆීස්ට් කෘතිය එළඹෙන නොවැම්බරයේ දී එළි දැක්වීමට නියමිතය. අද වන විට විචාරකයෝ ඔහු ගොගොල්, සහ අන්ද්‍රෙයි ප්ලැටනොෆ් සමඟ මෙන්ම සල්මන් රුෂ්ඩි සමඟද සංසන්දනය කරති. විශ්ව සම්භාවනාවට පත් ලේඛකයකු වන ඔහුගේ ඩෙඩ් ලේක් කෘතිය මියැදුණු විල නමින් චූලානන්ද සමරනායක විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලදුව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රකාශක සංගමයෙහි ප්‍රදර්ශනයේ දී එළි දැක්වේ. ඒ අවස්ථාව උදෙසා ලංකාවට පැමිණෙන හමීඩ් ඉස්මායිලොව් සැප්තැම්බර් 23 දින උදය වරුවේ දී සුභාවි පොත් කුටියේ දී (H205) පාඨකයන් හමුවීමට නියමිත විය. එසේම සැප්තැම්බර් 25 දින සවස 3ට එකී කෘතිය අරභයා කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ දී චාම් උත්සවයක් පැවැත්වෙයි.
මේ ලේඛිකාවක වන මෙලඩි නික්සන් හමීඩ් ඉස්මායිලොව් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.
මෙලඩි නික්සන්-ඔබේ කෘතීන් වන රේල්වේ සහ අන්ඩර්ග්‍රවුන්ඞ් කෘති ද්විත්වයම මගේ පොත් රාක්කය සරසනවා. ඒ සෑම කෘතියකම කතාව දිගහැරෙන්නේ වදන් සිත්තම්, අධ්‍යාත්මික චින්තාවන් සහ සාංදෘෂ්ටිකවාදී සන්තාපයන් තුළින්. ඔබේ කෘතීන් මධ්‍යම ආසියානු කතන්දර කීමේ සෞන්දර්යය සංකේතවත් කරන්නෙ කොහොමද?
හමීඩ් ඉස්මායිලොව්- මං හැකි තරම් ඒ අද්විතීය බව රැක ගන්න උත්සාහ කරනව. ඒත් මේ කෘති රචනා කිරීමේ දී මට අවශ්‍ය වුනේ යථාර්ථය නියෝජනය කරන්න. ළමා වියේ පටන්ම ඉදිරියට සෝවියට් යුගයේ පාඨකයෙක් සහ ලේඛකයෙක් හැටියට මා වටා තිබෙන යථාර්තයේ නිරූපණය මට අහිමි වුණා. මං ජීවත් වුණේ සෑම ආකාරයකම ජාතීන්, සංස්කෘතීන්, විශ්වාසයන්, ඇදහිලි, සහ ශිෂ්ටාචාරයන් දියව, අතුරුදන්වන ස්ථානයක. හැබැයි මේ අත්දැකීම්වල පොහොසත්කම සෝවියට් සාහිත්‍යයෙන් නිරූපණය වෙනව මට දකින්න ලැබුෙණ නෑ.
මෙ.නි.- ඔය කියන බහු සංස්කෘතික සාරවත්භාවය ඔබ බටහිර සාහිත්‍ය කෘතිවල දකිනවද?
හ.ඉ.- ඉතා කලාතුරකින් හැර ප්‍රධාන දහරාවෙ ඉංග්‍රීසි සාහිත්‍ය තුළ ඔබට ඔය කියන බහු ජාතික එහෙමත් නැත්නම් අනෙක් යථාර්ථයන් දකින්න ලැබෙන්නෙ නෑ. සෝවියට් සංගමය තුළ පැවැති තත්ත්වයත් ඒකම තමයි. බටහිර ලෝකයට පැමිණීමත් සමඟම මට එක්වරම වැටහී ගිය දේ වුණේ සෝවියට් සාහිත්‍යයටත් වඩා මේක බටහිර සාහිතය තුළ බරපතළ ප්‍රශ්නයක් නේද කියන එකයි. උදාහරණයක් හැටියට කියනව නං බ්‍රිතාන්‍ය සාහිත්‍ය තුළ, අපි මෑත කාලය තුළ වඩාම ප්‍රසිද්ධියට පත්වුණ පොත් අරං බලමු. ඒ හැම කෘතියක්ම වාගේ ඒක ජාතික සහ ඒක වාර්ගික පසුබිමක ලියැවුණ කෘති. ඒක හරියට ඔවුන් ලියන්නෙ තමන්ගෙ ජාතියට වගේ. ඒක එහෙම තමයි. ඉයන් මැක්වින්ගෙ ප්‍රසිද්ධ කෘතිවල දී ඔබට කළු ජාතිකයන්, කැරිබියානුවන් එහෙමත් නැත්නම් චීන ජාතිකයන් හමු නොවෙන ගානයිනෙ. අපි අර අසිරිමත් ලේඛක කසුවෝ ඉෂිගුරෝ අරන් බලමු. එයා ඇවිල්ල උපතින්ම ජපන් ජාතිකයෙක්නෙ. හැබැයි එයාගෙ හැම පොතක්ම වාගෙ ඉංග්‍රීසි ජාතිකයො ගැන. ඒ නිසා ඉතා කලාතුරකින් හැර ප්‍රධාන දහරාවෙ සාහිත්‍ය තුළ ඔබට බහු සංස්කෘතික එහෙමත් නැත්නම් අනෙක් යථාර්ථයන් දකින්න ලැබෙන්නෙ නෑ. සෝවියට් සංගමයෙ තත්ත්වයත් ඒකම තමයි. මං මේ ගැන හරිම අසතුටකින් හිටියෙ. මොකද සැබෑ යථාර්ථය මීට වඩා මුළුමනින්ම වෙනස්.
මෙ.නි.- මං කවමදාවත් උස්බෙකිස්ථානයට ගිහින් නෑ. හැබැයි ඒ වුණාට ඔබේ කෘති මට මොන්ගෝලියාව සහ දකුණු සයිබීරියාව ගැන අත්දැකීම් අරන් එනව. විශේෂයෙන්ම සයිබීරියාවෙ විවිධ වාර්ගික කණ්ඩායම් වගේම විවිධ සංස්කෘතීන් එකට මුහුවෙනව- සුදු රුසියානු සංස්කෘතිය අනේකවිධ ස්වදේශික සංස්කෘතීන් සමඟ මුහු වෙනව. මධ්‍යම ආසියානු මිනිසුන් දේශසීමා හරහා වෙළඳාමෙ යෙදෙන උතුරු දිග චීනුන් සමඟ මුහු වෙනව. ඔර්තඩොක්ස් පල්ලියෙ ලබ්ධිකයන් මුස්ලිම් අය සමඟ. මේ හැම කණ්ඩායමක්ම එකිනෙකා මුහු වෙමින් ඉන්නෙ. හැබැයි බටහිරදි අපට පෙර පැවැති සෝවියට් සංගමය ගැන දෙනු ලබන ආඛ්‍යානය ඒක ඇවිල්ල ඉතාම සමජාතීය දේශයක් කියන එකයි. හැබැයි ඔබ ගේ කෘති අපට ඉතා සියුම් වෙනස්කම් සහිත චිත්‍රයක් ඉදිරිපත් කරනව.
හ.ඉ.- මං හිතන විදිහට සෝවියට් යුගය තුළ මධ්‍යම ආසියානු ශිෂ්ටාචාරය පිළිබඳ යථාර්ථය චිත්‍රණය කළ පළමු නවකතාව වෙන්නෙ රේල්වේ කෘතිය. මං යථාර්ථය ඒ තියන හැටියටම, ඒ පොහොසත්කම සමඟම ඉදිරිපත් කරන්න තීරණය කළා. මං හුදෙක් මගෙ ජාතිය උදෙසා ඒ කියන්නෙ උස්බෙක්වරුන් උදෙසා පමණක් වන, එහෙමත් නැත්නම් රුසියානුවන් උදෙසා පමණක් සීමා වන කෘතියක් නෙමෙයි නිර්මාණය කරන්නෙ. එහෙ ජීවත් වෙන හැම අයම ඒ කියන්නෙ කොරියානුවො, යුදෙවුවො, අහිගුණ්ඨික ප්‍රජාව, චීන ජාතිකයකන්, තතාරයන් වගේ සියලුම අය වෙනුවෙන් මං නිර්මානය කරන්නෙ. මං හැම දෙනාගෙම හඬට ඉඩක් දෙනව. ඔවුන් කවුරු වුනත් ඔවුන්ට හඬක් තියෙනව. මං ගැන ගත්තහම මට නම් ශිෂ්ටාචාරය සහ සෞන්දර්යය කියන්නෙ ඒක තමයි.
මෙ.නි.-එතකොට මේ නියෝජනය ඔබට කිසියම් දේශපාලන මූලයක් ලබා දුන්නද?
හ.ඉ.- මෙතන දාර්ශනික මූලයක් තියෙනව කියල ඔබට කියන්න පුළුවන්. අපි ලෝකය පිළිබඳව ඒක වාර්ගික සහ ඒක පාර්ශවික දැක්මක් ගැන කතා කරනකොට -අපි ලෝකය දිහා බහු වර්ණයන්ගෙන් නොව කළු සුදු කෝණයන්ගෙන් බලන කොට- ඒක දාර්ශනික වශයෙන් ප්‍රශ්නකාරීයි. මොකද ඒක යොමු වෙන්නෙ අති සරලකරණයකට. අපි සාකච්ඡා කළ විදිහට බටහිර ලෝකය සෝවියට් සංගමය දිහා හෙළපු බැල්ම ඒක වර්ණ බැල්මක්. මුස්ලිම් ලෝකය සම්බන්ධයෙන් බටහිර දැක්මත් දැන් මේ වගේමයි. මොන තරම් වෙනස් සහ විවිධත්වයක් තිබුණත් එය දකින්නෙ ඒකීය, තනි දෙයක් හැටියටයි. සෝවියට් සංගමයේ ජීවත්වුණ මුස්ලිම් වරයෙක් වශයෙන් මම ඉස්ලාමයේ මාදිලි 1001ක් දැකල තියෙනව. ඒ හැම එකක්ම හඳුනාගන්න බැරි තරම් දුරට මුළුමනින්ම වෙනස්.....ශාමනික්, සුෆී, ඔය ආදී වශයෙන්-
රේල්වේ නවකතාවෙදි මම උත්සාහ කළේ මේ පොහොසත්භාවය පෙන්නන්න. ඒ කොමියුනිස්ට්වාදයේ නැතිනම් දෘෂ්ටිවාදයේ පමණක් නොව සෑම ආකාරයකම විශ්වාසයන්ගේ සාරවත්භාවය පෙන්නුම් කරන්න. මේ දෘෂ්ටිවාදයන් සහ විශ්වාසයන් -කොමියුනිස්ට්වාදය, ඉස්ලාමය, මාක්ස්වාදය, ප්‍රොයිඩියානුවාදය- මේවා තනි, ඒකීය දේවල් නෙවෙයි. මේ හැම එකක්ම විවිධ අංශ තියෙනව. මොකද මානව ස්වභාවය එහෙමයි. අපිට ආඥා පැනවෙද්දි වුනත් එහෙම එක අංශයකින් අපිව ඒකාධිකාරයකට යට කරන්න බෑ.
මෙ.නි.- මේ පොත් හිඟය ඔබ තුළවූ ලිවීමේ ආශාව වර්ධනය කළාද? ඔබට පොත් ඉතා වටිනා මායාවී වස්තු වගේ පේන්න ගත්තද?
හ.ඉ.- ඒකෙන් එක විදිහකට මාව පෙළඹවීමකට ලක් වුණා. සාහිත්‍යය කියන්නෙ එක් ආකාරයක මැජික් ලන්තෑරුමක්. සාහිත්‍යය මට යමක් ලබා ගැනීම සඳහා දැරිය යුතු වෙහෙස ගැන ඉගැන්නුවා.
මෙ.නි.- බටහිරත් ඇත්තටම වාරණයෙන් තොර නෑ. අපේ සංස්ථාගත ප්‍රකාශක මාදිලිය තුළ වාරණය මෙහෙයවෙන්නෙ සමහර වෙලාවට සෝවියට් සංගමයෙ තිබුණ සෘජු රාජ්‍ය උපකරනයක ආකාරයට වඩා දේශපාලන ආර්ථික විද්‍යාවෙ සියුම් උපක්‍රම හරහයි. මේ තත්ත්වය හැම රටකම එහෙමම නෙවයි. වාරණය ම්බන්ධව ඔබේ අත්දැකීම් අපට විස්තර කරන්න පුළුවන්ද?
හ.ඉ.- මම ඇවිල්ලා වාරණයේ ගොදුරක්. මොකද පසුගිය අවුරුදු විස්ස පුරාවටම මගෙ පොත් උස්බෙකිස්ථානය තුළ තහනම්. ඒවා තහනම්ව නොතිබුණ කාලෙදි පවා ඒවා තහනමට ලක් වීමේ තත්ත්වයක් නොතිබුණ කාලෙදි පවා මට දැණුන තත්ත්වෙ අයහපත්. මොකද රේල්වේ නවකතාවෙ පරිච්ෙඡ්දයක් පල කරපු සඟරාවක මුළු සංස්කාරක මණ්ඩලයටම දඬුවම් කෙරුණා. මට ඒක දැණුන. සමහරුන්ට තමුන්ගෙ වැටුප අහිමි කෙරුණා. රස්සාව නැතිවුනා. ඒ මගෙ ලියවිලි නිසා. ඒ අනුව බලනකොට මං ඇවිල්ලා හුදෙක් වාරණයේ ගොදුරක් විතරක් නෙවෙයි. එක ආකාරයකට මං චූදිතයෙකුත් වෙනව. ඒක මහ භයානක තත්ත්වයක්.
මෙ.නි.- වාරණය පිළිබඳ අත්දැකීම ඔබව ලේඛකයෙක් හැටියට හැඩ ගැස්වුවෙ කොහොමද? ඔබට තමුන් කරන දේ ගැන සැකයක් දැනුනද? එහෙමත් නැත්නම් ඔබ වඩා අදිටන් සහගත වුණාද?
හ.ඉ.- උස්බෙකිස්ථානයෙ අන්තිම දරුණු ඉරණමට ලක් වුණ පුද්ගලය මම නෙවෙයි. අවාසනාවට මගෙ සමහර සගයන්ව සිරගත කෙරෙනව. ඉන් එක් අයෙක් ඒ කියන්නෙ මමාඩාලි මහ්ක්මුදොව් ලේඛකයෙක් වීම නිසාම දහ හතර අවුරුද්දක්ම සිරගත කෙරුණා. දිල්මුරාද් සයිද් වගේ තවමත් හිරගතව ඉන්න කවියන් ඉන්නව. තම ලියවිලි නිසා ඇතැම් ලේඛකයන්ව මරා දැමුණා. මට විඳින්න වුණ එකම දේ උස්බෙකිස්ථානයෙන් පිටුවහල් කිරීම විතරයි- ඒක ඛේදවාචකයක්, වේදනාබර දෙයක්. ඒත් මට හිතෙන්නෙ තත්ත්වය ඊට වඩා ඉතා නරක අතට හැරෙන්න ඉඩ තිබුණ කියලයි.
මෙ.නි.- ඔබට ආපසු එහෙ යන්න පුළුවන්ද?
හ.ඉ.- බෑ. මට බ්‍රිතාන්‍ය පුරවැසියෙක් හැටියට ඔන්නං සංචාරයකට යන්න පුළුවන්. හැබැයි ඉතිං එහෙදි යම් දෙයක් වුණොත් මට තනියෙම ඒකෙ ප්‍රතිඵල භුක්ති විඳින්නත් වෙනව කියල මං දන්නව.
මෙ.නි.- පිටුවහලෙ උන්නත් ඔබට තවමත් දැනෙන්නෙ ඔබ උස්බෙක් ලේඛකයෙක් කියලද?
හ.ඉ.- ඔව්. හුඟක් වෙලාවට එහෙම තමයි. ඔබ දන්නවනෙ මං මගෙ අන්තිම නවකතා තුනම රචනා කළේ උස්බෙක් භාෂාවෙන්. ඒ කියන්නෙ මං ලියන්නෙ ජාත්‍යන්තර පාඨකයන්ට නෙවෙයි. ආරම්භයේ දී මම ලියන්නෙ උස්බෙක්වරුන්ට. එහෙමත් නැත්නම් සමහර වෙලාවට රුසියානු පාඨකයන්ට.
මෙ.නි.- දැන් ඔබ තමුන්ගෙ ලේඛන ගැන ආපසු හැරී බලන විට ඔබ දකින විශාලම අභියෝග මොනවද?
හ.ඉ.- මං කියන්නම්. මං වගේම මට සමාන අනෙක් බොහෝ ලේඛකයන්ට තියෙන විශාලම ප්‍රශ්නෙ මේකයි. මම චීන නැත්නම් ඉන්දියානුවෙක් හැටියට උපන්න නම් මට වේදිකාවක් තියෙනව. මං එහෙම නං මේ වන විට මීට වඩා බොහෝ ඇගයීමට ලක් වෙලා ඉන්න තිබුණා. කෙනෙක් නිතරම විශාල ප්‍රජාවකට අයිති වෙලා ඉන්න ඕනැ. කුඩා ජාතීන්ට අයත් වෙලා ඉන්න මං වගේ අයට තමුන්ගෙ දක්ෂකම් මොන තරම් වුණත් ධාරිතාව මොන තරම් වුණත් ඉරණම් කෙටිල තියෙන්නෙ අවධානය නොලබන්නයි. යමකු පිටිපස්සෙන් විශාල ජනතාවක් ඉන්න ඕනැ. මං හිතන්නෙ මං ඉංග්‍රීසි ලේඛකයෙන් වුණා නම් මට මීට වඩා ප්‍රසිද්ධියක් ලැබෙන්න තිබුණ. මේක ඇවිල්ලා ලෝක සාහිත්‍යයේ හෙජමනිය. මං ඒකෙන් අදහස් කරන්නෙ ලෝකයම ග්‍රහණයට අරන් තියෙන්නෙ සාහිත්‍යයන් තුනක් විසින් කියන එකයි. ඉංග්‍රීසි, ප්‍රංශ සමහර විට අර්ධ වශයෙන් ස්පාඥ්ඥ සාහිත්‍යය.
මෙ.නි.- යටත්විජිතවාදී බලවේග.
හ.ඉ.- ඔව්. මානව වර්ගයා හැටියට ආඩම්බර විය යුතු තරමටම අතිශය බලවත් ලේඛකයන් ගැන මං දන්නව. හැබැයි ඒ අය ගැන කවුරුවත් දන්නෙ නෑ. මොකද ඒ අය අයිති වෙන්නෙ කුඩා ජාතීන්ට. ජෝර්ජියානුවො, ආර්මේනියානුවො, තජික්වරු, ඔය වගේ තවත් අය. මොල්දාවියානු ලේඛක ඉයොන් ද්රූට්ස්. ජෝර්ජියාවෙ ඔටාර් චිලාද්සේ. බොස්නියානු ජාතික මෙසා සෙලිමොවික්. ඒ අය ඇවිල්ලා විශ්ව මට්ටමේ ලේඛකයො.
මෙ.නි.- කෙනකුට ඔබ ගැනත් ඒකම කියන්න පුළුවනි. අපි ඔබේ ලේඛන ගැන වඩා ගැඹුරින් කතා කරමු. ඔබේ කෘති තුළ ඔබටම පමණක් විශේෂිත වූ බලවත් රචනා මාදිලියක් තියෙනව. ඔබේ කෘති අවසානය දක්වාම එකිනෙක ඉතා වෙනස්. අඛණ්ඩව පර්යේෂණයේ යෙදෙන්න ඔබට බල කරන්නෙ කුමක්ද?
හ.ඉ.-ලියන හැම දේකදිම මම නව මාදිලියක් සහ තානයක් හදා ගන්නව. 2006 අවුරුද්දෙ මම අන්ඩර්ග්‍රවුන්ඞ් කෘතිය රචනා කරන්න ගත්තහම මම උමතුවෙන් වගේ පිටු පණහක් හැටක් ලියාගෙන ගියා. එතකොට මට ඒක ලස්සන පඨිතයක් කියල දැණුුනා. හැබැයි ප්‍රශ්නය වුනේ තානය මගේ ඊට පෙර කෘතියෙ විදිහමයි කියල මට දැනුනා. මම ඒකෙන් මොන තරම් අසතුටට පත්වුනාද කිවුවොත් මම ලියන එක වහාම නතර කළා. අර පිටු සියල්ලම ඉරල දාල වෙනස්ම ආකාරයට මුල ඉඳලම ආයෙ ලිවුවා. ඒක තමය් අන්ඩර්ග්‍රවුන්ඞ් නවකතාව වුණේ. ඔබ මගෙ කෘති එකිනෙක සංසන්දනය කළොත් ඒවායෙ රචනා මාදිලිය සහ තානය මුළුමනින්ම වෙනස් කියල ඔබට පෙනෙයි. මං දැනටමත් හොයාගත් දෙයක් පුනරුච්ඡාරණයට කැමති නෑ.
මෙ.නි.- ඇයි ඒ?
හ.ඉ.- නිර්මාණශීලීත්වය ‘පරම නිර්මාණශීලීත්වය’ විය යුතුයි. එය පාලනය විය යුත්තෙ ඔබ ලියන විශේෂිත දෙයින්මයි. ඒ වගේම ඒ විශේෂිත දෙය මගින් පෙර ලියවුණ දේ නැවත ඉදිරිපත් නොවිය යුතුයි. අවාසනාවට බොහෝ ලේඛකයො තමන් වරක් සොයා ගත් දෙය අන්තිමටම සූරා ගන්නව. අන්තිමේ ඒ අය තමන්ගෙ ලේඛන ශෛලියෙ වහලූන් බවට පත්වෙනව. මං සම්බන්ධයෙන් ගත්තහම මට නම් නිර්මාණශීලීත්වය හැම අලූත් නිර්මාණයක් සමඟම අලූතින් මතුවෙන්න ඕනැ.
මෙ.නි.- බටහිර, විශේෂයෙන්ම එක්සත් ජනපදයෙ ලේඛන කලා වැඩසටහන්වල පවත්වාගෙන යන අදහස ගැන ඔබ මොකද හිතන්නෙ? ඒ කියන්නෙ ඔබ ඔබේ හඬ සොයා ගත යුතුය කියන එක? වරක් ඔබ ඔබේ හඬ සොයා ගත් පසුව එහෙමත් නැත්නම් හඬවල් දෙකක්, උපරිමයෙන් තුනක් සොයාගත් පසු ඔබ අවසාන ස්ථානයකට පැමිණිලා ඉන්නවය ඒක ඔබ මුළු ලේඛක දිවිය පුරාම පවත්වාගත යුතුය කියන අදහස ගැන ඔබ මොකද හිතන්නෙ?
හ.ඉ.- ඔය ඇවිල්ලා පාරිභෝජනවාදය විසින් පවත්වාගෙන යනු ලබන අදහසක්. පාරිභෝජනවාදයේ සාහිත්‍යය. ඔබ ජේ.කේ. රෝලින්ග් නම් ඔබ තමුන්ගෙ ජීවිතේ අවසානය දක්වාම හැරි පොටර් මුද්‍රාව තියා ගත යුතුයි. වෙන කිසිවක් බෑ. මම එකහෙලාම ඊට විරුද්ධයි. මොකද මේ පාරිභෝජනවාදී සාහිත්‍යය දැනටමත් ලෝක සාහිත්‍යයට හානියක් කරල ඉවරයි.
මෙ.නි.- ඒ කොහොමද?
හ.ඉ.- අපි පෙත්ත්ක ගිලල සියල්ලම අවබෝධ කරගන්න බලා ඉන්න පාඨක පංතියක් නිර්මාණය කරලයි තියෙන්නෙ. ‘ඒකතානමය’ සාහිත්‍යය මේ ජාතියෙ පාඨකයො තනමින් ඉන්නෙ. මට දුක, මට බය, බැරිවෙලාවත් කෆ්ක හරි ජොයිස් හරි තමුන්ගෙ කෘති අද රචනා කළා නම් කවුරුවත් ඒව පළ කරන්න නිර්භය නොවේය කියලයි. කවුරුවත් ෆිනගන්ස් වේක් කෘතිය පළ කරන්න ඉදිරිපත් වෙන එකක් නෑ. මොකද කවුරුවත් ඒක කියවන එකක් නෑ. ඒක එක පාරටම කියවල තේරුම් ගන්න ඉතා අමාරු කෘතියක්.
මෙ.නි.- ඔබ කියන විදිහට පාරිභෝජනවාදයේ සාහිත්‍යය ලේඛකයාගේ සහ පාඨකයාගේ නිර්මාණශීලීත්වය විනාශ කරනව. නිර්මාණශීලීත්වය කියන්නෙ අත්පත් කරගන්න පුළුවන්, ඒ වගේම ස්ථිතික දෙයක් වගේ පේන්න පටන් අරන් තියෙන්නෙ ඒ නිසාද?
හ.ඉ.- මම ඔය ‘සොයාගත්’ නිර්මාණශීලීත්වය විශ්වාස කරන්නෙ නෑ. ඒක දැනටමත් සොයා ගෙන නම් ඒක ප්‍රයෝජනයට අරගෙන නම් ඒක තවදුරටත් නිර්මාණශීලීත්වය නෙවෙයි. ඒක දැනටමත් මුල් ඇදල ඉවරයි. නිර්මාණශීලීත්වය පෙන්නුම් කරනු ලබන්නෙ විය හැකියාව සහ අභියෝගය තුළ. සෑම නිර්මාණශීලී ක්‍රියාවක්ම ඊට පෙර ක්‍රියාවට පටහැනියි. එය අැවිල්ල පෙර තිබූ දෙයෙහි නීති බිඳ දැමීමක්. අවාසනාවට නවීන බටහිර ගුරුකුලය මෙහි දී කරමින් ඉන්නෙ ‘නිර්මාණය කරන ලද නිර්මාණශීලීත්වය’ ඇතුළු කිරීම.
උදාහරණයට අපි මුරකාමිගෙ කතා වින්‍යාසය ගොඩනැගීම අධ්‍යනය කරනව නං අපිට එක්කො ඒක අනුගමනය කරන්න පුළුවන්. නැතිනම් නෑ මං ඒක අනුගමනය කරන්නෙ නෑ මොකද එයා දැනටමත් ඒක කරල ඉවරයි. මං එයාගෙ නීති බිඳිනව කියන තැනට එන්න පුළුවන්. අන්න ඒක තමයි නිර්මාණශීලී ක්‍රියාව. ඒත් නවීන ලෝකය තුළ මේ ආකල්පය දිගටම පවත්වා ගැනීම ඉතා අසීරුයි. මොකද ඔබ මේ අවදානම ගන්නව කියන්නෙ තමුන්ගෙ පාඨක ප්‍රජාව අහිමි කර ගැනීමේ අනතුරට මුහුණ දීම කියන එක නිසයිි. තමුන්ගෙ හඬ සන්නම හැටියට අරන් එක්තරා සන්නමක් බවට පත්වීම ඉතා පහසුයි. එතකොට මේ පොත් මොන වගේද කියල දන්න නිසා හැම දෙනාම පොතක් පොතක් ගානෙ මිලට ගන්න එනව.
මගෙ වැෙඩ් ඊට වඩා තරමක් වෙනස්. මං කරන හැම දේකම නිර්මාණශීලීත්වය තියෙනව. ඒ වගේම මං නිර්මාණයක් කරනකොට නිර්මාණශීලීත්වය අලූත් වෙනව.
මෙ.නි.- ඔබව ලේඛකයෙක් හැටියට මෙහෙයවන්නෙ නව නිර්මාණශීලීත්වයක් පිළිිබඳ ඔබේ විවෘතභාවය සහ උනන්දුව කියලද ඔබ හිතන්නෙ?
හ.ඉ.- ඔව්. එක දෙයක් තමයි නිර්මාණශීලීත්වය. හැබැයි ඒකම නෙවෙයි එකම අරමුණ. පොදුවේ ගත්තහම පළමු පෙලඹවීම එන්නෙ කුතුහලය තුළින්. ඔබට තමුන් ගැන යමක් දැන ගන්න අවශ්‍ය වුණහම එහෙමත් නැත්නම් තමුන් ඉදිරියේ ජීවිතය දිස්වන ආකාරය නැතිනම් එය අනාවරණය වන ආකාරය එහෙමත් නැත්නම් චරිතවල වර්ධනයේ තාර්කිකභාවය ගැන දැනගන්න අවශ්‍ය වුණහම ඔබ මෙහෙම අහනව- ඇයි මේක වෙනත් ආකාරයකට නොපෙනි මේ විශේෂිත ආකාරයට දිස්වෙන්නෙ? ඊට පස්සෙ ඔබ ඒ ගැන විමර්ෂණය කරන්න අවබෝධ කරගන්න පටන් ගන්නව. ඒ එක්කම ඔබ තමුන්ට පළමු අවස්ථාවෙ නොපෙනුන සහේතුකභාවය පේන්න ගන්නව.
ඊට පස්සෙ ඔබ පටලැවිල්ල ලෙහන්න පටන් ගන්නව. ඔබ සාවද්‍ය අදහස්්, මුසාවන්, හණමිටි අදහස් වගේම ප්‍රචාරක ව්‍යාපාර බිඳිමින් යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන්න විසංයෝජනය කරන්න පටන් ගන්නව. අන්න ඒ නිසා තමයි ඒකාධිපතියො ලේඛකයන්ට බය වෙන්නෙ.