ගිනි මැද සිනා මැවූ නායකයෝ | සිළුමිණ

ගිනි මැද සිනා මැවූ නායකයෝ

සිය 71 වන සංවත්සරය සමරන එක්සත් ජාතික පක්ෂය කීප වරක් අභ්‍යන්තර ගැටුම්වලට මුහුණ දුන් පක්ෂයකි.

1970 සමඟි පෙරමුණ බලයට පත්වීම සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ ගැටුම් මතු විය. පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක සහ නියෝජ්‍ය නායක ජේ. ආර්. ජයවර්ධන යන දෙදෙනා අතර ගැටුම උසාවියට යන තරම් දුර දිග ගියේය. කෙසේ හෝ වේවා අවසානයේ නායක දෙපොළ අතට අත දී සමාදානයට පත්වූයේ ජාඇළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීව සිටි පී. ජේ. පාරිස් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙනි. ඒ ඔහුගේ නිවසේදීය.

මේ සිද්ධිය එදා දවස පත්‍රයේ මහ පුවත ලෙස වාර්තා කෙළේ “ගිනි මැද මල් සිනා” යනුවෙනි. නායක දෙපොළ අත් අල්ලාගෙන සිනාවෙමින් සිටින දැවැන්ත ඡායාරූපයක් ද පත්‍රයේ මුල් පිටුවේ පළ විය.

මේ අතරතුර ඩඩ්ලි - ජේ. ආර්. මහජනයා අමතන එජාප රැස්වීමක් නුගේගොඩ දී පැවැත්වීමට සූදානම් විය. එහිලා ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කෙළේ 1960 මාර්තු මැතිවරණයෙන් කෝට්ටේ ආසනය ජයගත් ජිනදාස නියතපාල මහතාය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද තරුණ නායකයකු වූ ජිනදාස නියතපාල මහතා එම පක්ෂයේ තරුණ පෙළට නායකත්වය දුන් දක්ෂ කථිකයෙකි.

එදා ද සිරිකොත එජාප මූලස්ථානයයි. මේ කියන සිරිකොත මන්දිරය පිහිටා තිබුණේ කොල්ලුපිටියේය. ගාලු පාරේ සිට මුහුදුබඩ දුම්රිය මාර්ගය තෙක් විශාලත්වය දැරු ඉඩමක පිහිටි දැවැන්ත සිරිකොත මන්දිරය දෙමහල් මන්දිරයකි. උඩ තට්ටුව තේක්ක ලී අතුරා තිබිණි. ජිනදාස නියතපාල මහතා උඩ තට්ටුවේ වූ කාමරයක තරුණ පෙරමුණේ වැඩ කටයුතු රාජකාරි කළා මතකය.

එසේම එජාප නිල පුවත්පතේ සංස්කරණ කටයුතු සඳහා ද ඔහුගේ සහාය ලැබිණි. සියරට කර්තෘ ධුරය ද දැරුවේය. පසු කලෙක රිචඩ් විජේසිරි මහතා ද ඩේවිඩ් කරුණාරත්න මහතා ද සියරට කර්තෘ පුටුවේ වාඩි වූහ.

නුගේගොඩ රැස්වීමට සේනානායක ජයවර්ධන නායක දෙපොළ හයිලෙවල් පාරේ සිට පයින්ම ගමන් කළහ. රැස්වීම පැවැත්වුණේ වත්මන් පොදු වෙළෙඳ පොළ හා බස් නැවතුම් පොළ පිහිටි භූමියේය.

ඩඩ්ලි සේනානායක මහතා වේදිකාවට නඟින විට පැමිණ සිටි පිරිස් අමන්දානන්දයට පැමිණ මහ හඬින් කෑගැසු නමුත් ජේ. ආර්. ජයවර්ධන මහතා වේදිකාවට නඟින විට ඔවුහු නොසන්සුන් වූහ. ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහුගේ අත රැඳි කොළ පැහැති ලේන්සුව වනමින් මගේ ලේන්සුවත් කොළ පාටයි. මගේ ලේත් කොළ පාටයි යනුවෙන් කියමින් පක්ෂය අත්නොහරින බවට පාක්ෂිකයන් ඉදිරියේ පොරොන්දු වූහ. ක්‍රමයෙන් පිරිස සන්සුන් වූහ.

එක දුම්වැටියක් නිමා වෙත්ම තව දුම්වැටියක් දල්වා ගනිමින් ඩඩ්ලි සන්සුන්ව මේ සියල්ල නිහඩව බලා සිටියේය.

ඩඩ්ලි සේනානායක මහතාගේ මරණය සිදු වූයේ 1973 සිංහල අලුත් අවුරුදු දිනයේය. ඔහුගේ පාර්ලිමේන්තු ආසනය දැදිගමය. දැදිගම ආසනය සඳහා වූ අතුරු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කෙළේ ඩඩ්ලිගේ සොයුරු රොබට් සේනානායක මහතාගේ පුත් රුක්මන් සේනානායකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කෙළේ ධර්මසිරි සේනානායකයි.

මේ අතුරු මැතිවරණය ළංවෙත්ම ඡන්ද උණුසුම ද ප්‍රචණ්ඩ ක්‍රියා ද උත්සන්න විය.

එක්සත් ජාතික පක්ෂයේ අවසාන රැස්වීම පැවැත්වීමට සූදානම් කර තිබුණේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජේ. ආර්. ජයවර්ධන මහතාට වරකාපොළට එන්නට නොදෙන බවට තර්ජන ද කර තිබුණේ පිටස්තර කණ්ඩායම් විසිනි. මොන තර්ජන තිබුණ ද නියමිත වේලාවට ජේ. ආර්. වේදිකාවට ගොඩනැඟුණේ ඔල්වරසන් හඬ මැදිනි.

වෙනදා සන්සුන්ව කතා කරන ජේ. ආර්. එදා තරමක් වැරෙන් මෙසේ කීවේය.

“මට වරකපොළට එන්ඩ දෙන්නෙ නෑ කීවා. ඔන්න මං ආවා. පිරිසිදු ඡන්දයක් තියන්ඩත්, මහා මන්ත්‍රී තරගය සාමකාමීව නිම කරන්නත් අපිට උවමනායි. මේ මොන මුරුග වැඩ ද මං කියනවා මං ඩඩ්ලි නෙවෙයි. මං ජේ. ආර්.”

කවුරු මොනව කිව්වත් මේ අතුරු ඡන්දෙ දිනන්නෙ සේනානායක කෙනෙක් ඒක මතක තියාගන්ඩ.”

මේ කතාවේ සාමාන්‍ය තේරුමට වඩා ව්‍යංග වූ තේරුමක් ද තිබේ. තරග කෙළේ රුක්මන් සේනානායක සහ ධර්මසිරි සේනානායකයි. රුක්මන් සේනානායකගේ පියා රොබට් සේනානායක මෙන් ම මව වූ ස්වර්ණා සේනානායක මහත්මිය ද එකම සේනානායක පරපුරේ සාමාජිකයෝය. රොබට් සේනානායක, ඩී. එස්. සේනානායක මහතාගේ පුත්‍රයාය. ස්වර්ණා සේනානායක, එෆ්. ආර්. සේනානායක මහතාගේ දියණියයි. ඩී. එස්, එෆ්. ආර්. දෙදෙනා එක කුස ඔත් සහෝදරයෝය. සමගි පෙරමුණ බලයට පත්වූ පසු ජේ. ආර්.ට පක්ෂ නායකත්වය බාර දුන් ඩඩ්ලි දැදිගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය. ඔහුට කිසිදු තනතුරක් තිබුණේ නැත. 1973 සිදුවූ මරණයත් සමඟ ඩඩ්ලි සේනානායක යුගය නිමා විය.

ඩඩ්ලිගේ අවමඟුල පැවැත්වුණේ නිදහස් චතුරස්‍රයේය. චිතකය නිම කර තිබුණේ ඔහුගේ පියා වූ ඩී. එස්. සේනානායක පිළිරුවට පෙනෙන අයුරිනි.

“පියතුම දකී අද සිය පුතු දැවෙන හැටී” යන සිරස්තලය යටතේ ඩඩ්ලි සේනානායක චිතකය ඉදිවන අන්දම සහිත ඡායාරූපයක් පුවත්පතක පළ විය.

විශාල සෙනඟක් මැද සිදුවූ ඩඩ්ලි අවමඟුලට සහභාගි වූ පිරිස අතර නොසන්සුන්තාවක් ද ඇතිවූයෙන් ගුවන් විදුලියෙන් කතා කර සාමකාමී වන ලෙස ජනතාවගෙන් ආයාචනයක් කිරීමට ජයවර්ධන මහතා පියවර ගත්තේය.

අවමගුලේ දී කතා කළ ජයවර්ධන මහතා සිය කතාව අවසන් කෙළේ මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාටකයේ එන,

“සුබ රාත්‍රියක් ප්‍රිය කුමරුනි

සුර කුමරියෝ ඔබේ නින්දට

ගී ගයත්වා” යන පැදිය කියමිනි”

ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් හිස්වූ දැදිගම මන්ත්‍රී ධුරයට රුක්මන් සේනානායක මහතා වැඩි ඡන්ද 4508 කින් තේරී පත්වූයේ 1973 ජුලි 9 වන දින පවත්වන ලද අතුරු මැතිවරණයෙනි.

මීට පෙර ද ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ආර්. ජී. සේනානායක මහතා අතර ඇතිවූ ගැටුමක් නිසා ආර්. ජී. සේනානායක මහතා කැලණියට හා දඹදෙණියට 1956 මැතිවරණයේදී ස්වාධීනව තරග කෙළේය. ඔහු කැලණිය අසුන ජයගත්තේ ජේ. ආර්. ජයවර්ධන මහතා පරාජයට පත් කරමිනි.

සේනානායක පරපුරේ එ‍ෆ්. ආර්. සේනානායක මහතාගේ පුත්‍රයකු වූ ආර්. ජී. සේනානායක මහතා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කෙළේය.

ජේ. ආර්. තමා අතින් පරාජයට පත්වීම ගැන ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙළේය. “දත ගළවන්න ඕනැ කළා. ලෙඩා මළා” යන්න ඔහුගේ ප්‍රකාශයයි. ජේ. ආර්. පරාජය කරන්නට ගිය නමුත් එජාපයම පරාජය වුණා යන්න ඔහුගේ කතාවේ තේරුමයි.

ජේ. ආර්. කැලණිය අසුන අයිති කරගත්තේ සර් ඩී. බී. ජයතිලක මහතා ඉන්දියාවේ තානාපතිවරයා වශයෙන් පත්ව යෑමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා 1942 දී පවත්වන ලද රාජ්‍ය මන්ත්‍රණ සභා අතුරු මැතිවරණයෙන් ජය ලබමිනි. ඔහු අතින් පරාජයට පත්වූයේ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතාය. මේ මැතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අනුගාමිකයන් විසින් ප්‍රබන්ධ කළ කවි පද දෙකක් මෙසේ ය.

“රජ සබයේ තොල වෙව්ලන සීයට දැන් බෑ කතාව කැලණි පුරෙන් මෙදා යවමු ජයවර්ධන පොඩි පුතාව” 

 

Comments