සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් පසු පූර්ණ වෘත්තීය, තාක්ෂ­ණික පාඨ­මා­ලා­වක් | සිළුමිණ

සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් පසු පූර්ණ වෘත්තීය, තාක්ෂ­ණික පාඨ­මා­ලා­වක්

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුවත් සියලු ශිෂ්‍යයන්ට දිගටම පාසලේ රැඳී සිටිමින් ඵලදායි අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා පහසුකම් සැපයීමට රජය කටයුතු කරමින් සිටින බව විටින් විට ප්‍රකාශ වේ. මෙය ඉතාමත් කාලෝචිත, ප්‍රයෝජනවත් හා අගය කළ යුතු ව්‍යාපෘතියකි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සියලු ශිෂ්‍යයන් පාසලට ගෙන්වා ගැනීමෙන් පමණක් රජය අපේක්ෂිත අරමුණු ඉටුවන්නේ නැත. එසේ පැමිණෙන ශිෂ්‍යයන්ට ඉගෙන ගැනීමට සලස්වන විෂය ක්ෂේත්‍රය මත අරමුණු ඉටු වීම හෝ ඉටු නොවීම බොහෝ විට රඳා පවතී. උසස් අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය වන පදනම් ඥානයක් ද රැකියාවක් ලබාගැනීම සඳහා උපකාරී වන නිපුණතා සංවර්ධනයන් ද එම සිසුන්ට අවශ්‍ය වේ. තව ද ඉගෙනීමේ ක්‍රම ශිල්ප යොදා ගැනීම ගැන ද ඉගෙනීමේ තාක්ෂණික උපකරණ හා මාධ්‍ය භාවිතය පිළිබඳව මනා හැකියාවක් ද ඔවුන් ලැබිය යුතු ය.

අලංකාර නූතන නම්වලින් දවටන ලද සාම්ප්‍රදායික විෂයයන් ඉගැන්වීමෙන් දැන් ප්‍රයෝජනයක් නැත. කාර්මික සහ ප්‍රායෝගික පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබා දෙන කාර්මික විද්‍යාල ද නොවිධිමත් අධ්‍යාපන ආයතන ද පාසලෙන් බැහැරව අවට සමාජයේ බොහෝ පවතී. විශාල කාලයක්, ධනයක් හා පරිශ්‍රමයක් වැය කොට දියත් කරන ව්‍යාපෘතියේ ප්‍රතිඵල ඩිජිටල් - සයිබර් ලෝකය පරාවර්තනය කිරීමට සමත් විය යුතු ය. ශිෂ්‍යයන් අතර ජනප්‍රිය ක්ෂේත්‍ර හා විනෝදාංශ ඵලදායි විෂය බවට පත් කොට පසුව ඒවා සුපිරි වෘත්තීන් බවට පරිවර්තනය කළ හැකි ය. වෙබ් නිර්මාණය, මෘදුකාංග නිර්මාණය, ඇප්ස් නිර්මාණය, ග්‍රැපික් නිර්මාණය, රූපවාහිනී සේවා නිර්මාණය, 3D ඇනිමේෂන්, ඡායාරූප ශිල්පය උදාහරණ කීපයකි.

විශ්ලේෂණාත්මක හා විවේචනාත්මක චින්තනය, සිද්ධි අධ්‍යයනය හා ගැටලු විසඳීම, සමීක්ෂණ හා පර්යේෂණ තවත් ඵලදායි විෂයය ක්ෂේත්‍ර වනු ඇත.‍ ඉගෙනීමට සලස්වන ක්ෂේත්‍ර විෂයය වශයෙන් නොව අංගසම්පූර්ණ හය මසක හෝ අවුරුද්දක පාඨමාලා වශයෙන් සංවිධානය කිරීම වඩාත් යෝග්‍ය වේ. එවිට පාසලෙන් පසුව කාර්මික විද්‍යාලයකට නොගොස් ම රැකියාවකට හෝ උසස් අධ්‍යාපන පාඨමාලාවකට ඇතුළත් වීමට අවස්ථාවක් ලබනු ඇත. මෙවැනි සමහර Tailor made පාඨමාලා නිපුණතා සංවර්ධන හා පුහුණු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති වැඩසටහන්වලින් ද හඳුනා ගත හැකි ය.

මෙම ව්‍යාපෘතියෙහි දුෂ්කරම කාර්යය වන්නේ යටිතල පහසුකම් සැපයීම ය. 2016 දී සා.පෙ. ප්‍රථම වරට (පාසලින්) පෙනී සිටි සංඛ්‍යාව 2,86251‍ කි. මෙයට තරමක් වැඩි සංඛ්‍යාවක් රජයේ යෝජනාවෙන් ප්‍රයෝජන ගැනීමට අනාගතයේ දී ඉදිරිපත් වනු ඇත.

අවම වශයෙන් විනෝදය, අත්හදා බැලීම සඳහා වත් ඔවුන් ජනවාරි මාසයේදී පාසලට රොක් වනු ඇත.

මේ අයට පන්ති කාමර ඉඩකඩ, ඩෙස්ක්, පුටු, නිල ඇඳුම්, ගුරුවරු, ගමනාගමන පහසුකම් සැපයීමට සිදුවේ.

අදාළ යෝජනාව 13 වැනි ශ්‍රේණිය තෙක් ම දීර්ඝ කළහොත් මෙහි දුෂ්කරතාව දෙගුණ වනු ඇත. (තවමත් 12 සහ 13 වැනි ශ්‍රේණිවල ශිෂ්‍යයන් පාසල අරක් ගෙන සිටින බව මතක තබාගත යුතු වනු ඇත.) මෙම දුෂ්කරතාව ඉතා පහසුවෙන් ඉවත් කර ගැනීම සඳහා මගේ තවත් යෝජනාවක් උපකාරී වනු ඇත.

දැනට 11 වැනි ශ්‍රේණියේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේ දී පැවැත්වීම සුදුසු ය. එවිට 11 වැනි ශ්‍රේණියේ සිසුන්ගෙන් පාසල තොර වේ. නිර්මාණය වන ඉඩකඩ හා පහසුකම් රජයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට උපකාරී වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් නිපුණතා සංවර්ධන සහ පුහුණු කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීම යෝග්‍ය වේ. එම අමාත්‍යාංශය සතු විෂයය නිර්දේශ සැකසීමේ හැකියාව උපදේශන සේවය, තාක්ෂණික ඥානය, උපකරණ, කාර්මික විද්‍යාලවල හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ඇති ඉඩ කඩ සහ අසීමිත විදේශ ආධාර සහිත දීර්ඝ කාලීන පළපුරුද්ද හා අත්දැකීම් අසලකටවත් පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයට ළඟා විය නො හැකි ය.‍ (තවද 1966 වන තුරුත් කාර්මික අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයය පථයට අයත්ව තිබුණ බව අපට මතක ය.)

රජයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මගේ යෝජනා දෙකක් වන 10 වැනි ශ්‍රේණියේ දී සා.පෙළ පැවැත්වීමෙන් ද 11 වැනි ශ්‍රේණිය පූර්ණ කාලීන වෘත්තීය තාක්ෂණික පාඨමාලාවක් කිරීමෙන් ද අඩසිය වසකටත් වැඩි කාලයක් තිස්සේ රජය දුටු සිහිනය සැබෑවක් වනු ඇත. එමඟින් අනාගත රැකියා ලොවට අවශ්‍ය හසුරු කෞශල්‍ය වර්ධනයක් ද, ඩිජිටල් - සයිබර් අධ්‍යාපනයක් ද ඇති සුපිරි දේශයක් බිහි වනු ඇත. 

Comments