වැඩි­හිටි සමා­ජය අද! | සිළුමිණ

වැඩි­හිටි සමා­ජය අද!

එක් යුගයක උසස් සමාජ මෙහෙවරක යෙදුණු, ජාතියේ සඳුන් අරටු ටිකක්වත් වැඩිහිටියන් ඊළඟ යුගයේ මැදිවියේ ගත කරන අය විසින් ජාතියට බරක් සේ සලකනු ලැබේ නම්, මේ මානව වර්ගයා තමාට ම නින්දා කර ගැනීමක් වන්නේ ය. මේ වැඩිහිටියන්ගේ ජවසම්පන්න තරුණ වියේදී ඔවුන්ගේ වැඩිහිටියන් ජාතියට බරක් වුණේ නැත. වැඩිහිටියනට සැලකීම ඔවුන් රැක බලා ගැනීම, ඔවුන් ජීවත් කැරැවීම, තමන් සතු වගකීමක් බවත්, තමන්ට ආශිර්වාදයක් බවත් එදා මැදිවියේ අය සිතූහ. වර්තමානයේ පවත්නා සමාජ ක්‍රමය අනුව වැඩිහිටි ජීවිත සමාජ අර්බුදයක් බවට පත්ව ඇත.

එදා හා අද සමාජ පරතරය ගැන කතා කරන්නට මේ අවස්ථාව නොවේ. වැඩිහිටි සමාජය පත්ව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම අපේ අරමුණයි. පැරැණි ජන සමාජයේ ගමේ හැමදෙනා අතරත් පවුලේ සාමාජිකයන් අතරත් ඒකාබද්ධතාවක් එකමුතු කමක් දක්නට ලැ‍බිණි. අද පවුලේ සාමාජික පිරිස අතරවත් මේ ඒකාබද්ධතාව නැත. පවුලේ මවුපියන් හා දරුවන් අතරවත් සුහද කතාබහකට ඉඩ හසරක් නැත.

මවට ඇති වැඩ කන්දරාව බැලූ විට ඇයට දවසේ පැය විසි හතර මදිවේ. පියාට ද එසේ ම ය රැකියාවලට යන දු පුතුන් ඇතොත් ඔවුනට ද එසේම ය. ඉගෙනීම කරන දරුවනට පාසල් යාමටත් පන්ති යාමටත් කාලය මදිවේ. ඇතැම් දරුවන් අලුයම හතරේ සිටත් රාත්‍රි නවය පමණ වනතුරුත් පන්තිවල ය. ඔවුන් පන්තිවලට හා පාසලට ඇරලවන්නටත් ආරක්ෂාව සලසන්නටත් කාලය යෙදීම මවුපියනට තවද ප්‍රශ්නයකි. කිසිම පවුලක කාර්ය භාරයක් නැතිව නිකම් ඉන්නා කිසිවෙක් නොවෙති. අතපය වලංගු නැති මාපියන් හෝ වෙනත් වැඩිහිටියන් ගෙදර රැ‍ඳෙතත් ඔවුනට කළ හැකි දෙයක් නැත. ඇතැම් පවුල්වල ගෙදර සියලු බැල මෙහෙවරකම් කළ යුතු වන්නේ වැඩිහිටියන් විසිනි. ඒ වැඩිහිටියන් අකර්මන්‍යව හෝ රෝගීව නිවෙසේ රැ‍ඳේ නම් තවත් ප්‍රශ්න රාශියකි. පවුලේ සාමාජිකයන් සියලු දෙනා වැඩිහිටියනට ආදරේ නැතුවා නොවේ. ඔවුනට ද කළ හැකි දෙයක් නැත.

පවුලේ සාමාජිකයන් කවුරුත් අධ්‍යයන කටයුතු හා රැකී රක්ෂා සඳහා නිවෙසින් බැහැර යා යුතු ය. ඒ සඳහා ගෙදර දොර වසා පිටත්ව යන්නට ඇත්නම් සිතට සහනයකි. අකර්මන්‍ය හෝ රෝගී වැඩිහිටියන් ගෙදර සිටිතොත් එය අසහනයකි.

දිළිඳු, පොහොසත් ඇති හැකි, නැති බැරි හැම පවුලකට ම මේ තත්ත්වයේ වෙනසක් නැත‍. ඇතැම් වැඩිහිටියෝ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවෝ වෙති. ඔවුන්ගේ යැපීම් සහ නඩත්තුව ප්‍රශ්නයක් නොවන නමුත්, ඔවුන් ගෙදර රැඳීම ඇතැම් අයට අසහනයක් කරදරයක් වනු ඇති. අපේ කාලයේ මේ රටේ පවුල්වල සාමාජිකයන් අතර හොඳ සන්නිවේදනයක් තිබිණි. එක් එක් අයගේ හැඟීම් දැනීම් අවශ්‍යතා, හැකියාවන්, නොහැකියාවන් පිළිබඳ අනෙක් අය ද දැනුම්වත්ව සිටියහ. අද පවුලේ සාමාජිකයන් නිවෙසට එක් රොක්වන්නේ හැන්දෑවට ය. ඒත් ඔවුන් අතර සන්නිවේදනයක් නැත. අධ්‍යයන කටයුතු, ගුවන්විදුලිය, රූපවාහිනිය පරිගණකය. අන්තර්ජාලය යන මෙවලම් හා ආයතන වටා එක් එක් අය සිරවී සිටිති.

වැඩිහිටියන් ගෙදර සිටියත් ඒ අය යම් යම් කායික වූ ද මානසික වූ ද අවශ්‍යතා ඇති පිරිසක් බව සලකන කෙනෙක් නැත. ඒ වැඩිහිටියන් සමඟ වචන කීපයක් හෝ කතා කරන්නට කෙනෙක් නැත. සමහර වැඩිහිටියන් අකර්මණ්‍ය නොවී ගෙදර සිටියත් ඒ අය එම නිවෙසේ සිරකාරයන් වී සිටින අවස්ථාවන් ඇත‍. ඇතැම් මවුපියවරු තමා වෙසෙන, තමාගේ අණසක පැවැති නිවෙසේ බැළ මෙහෙවර කරමින් සිටිති. පිරිසක් ඇසුරු කරන්නට, අන් නිවෙසකට යන්නට අවශ්‍යතාව ඇතත් ඒවා තහංචි වී ඇත. දූ පුතුන් නොරිසි තැනකට යාම, ඔවුන් නොරිසි යමක් කිරීම වැඩිහිටියනට සපුරා තහනම් ය.

අපේ කාලයේ දරුවෝ, පැසුණු අත්දැකීම් ඇති වැඩිහිටියන්ගෙන් උපදෙස් ලබාගත්හ. එහෙත් අද දූ පුතුනට දත් ගිළිහුණු කටින් දෙන උපදෙස් වලංගු නැත. වයස්ගත වන විට බොහෝ වැඩිහිටියෝ බූදල් පාලනය අපහසු නිසාත්, තමන්ගෙන් වියයුතු යුතුකම් ඉටුකරලීම සඳහාත් දේපළ වස්තුව දරුවනට පවරා දෙති.

මාපියවරුන් නිවාස ඉදිකරනුයේ තමන්ටත් පවුලේ හැම දෙනාටත් නිවී සැනසිල්ලේ විසීමට ය. නිවාස ඉදිකිරීමට ශ්‍රමය ධනය වැය කළ ඔවුනට එ නිවාසයේ වටිනාකම නිම්හිම් නැත. එම නිවාසයේ සිටින විට ඇති සැනැසිල්ල අපරිමිතය. එහෙත් ඔවුන්ගේ දරු මුණුපුරු පිරිසට එහි කිසි වැදගැම්මක් නැත. ඒ අයගේ කැමැත්ත මහගෙදර කීයකට හෝ විකුණා දමා නගරයෙන් පර්චස් පහක් වත් ගෙන ඔවුන්ගේ ම නිවසක් තනා ගැනීම ය. ඉඩම පුතාට හෝ දුවට පවරාදී තිබුණත් ජිවමාන මවුපියනට ප්‍රාණභුක්ති අයිතිය ඇතොත් එම අදහස ඉටු නොවේ.

මේ පසුබිම යටතේ අපේ වැඩිහිටියෝ අසරණ වී තනිවී කොන් වී සිටිති. මේ සමාජ අර්බුදය තේරුම්ගත් ලක් රජය මේ වැඩිහිටි පිරිස, දෙටු පුරවැසියන් සේ සම්මානිතව සලකා 2005 වසරේදී දෙටුපුරවැසි සංවිධාන (වැඩිහිටි සමිති) ගම් මට්ටමින් පිහිටුවා කරනු ලබන සේවාව අපි ඉතා අගේ කොට සලකමු. අද වැඩිහිටියනට අසරණව මූණු එල්ලාගෙන ජීවත් වීම අවශ්‍ය නැත. ඔවුනට අද වැදගත් සමාජයක් ඇත. මසකට වරක් හෝ නානා තරාතිරමේ වැඩිහිටියන් එකට රැස්වී කතාබහ කරන්නට සතුටු වන්නට අවස්ථාව සැලසී තිබේ. එතැනදී වැඩි වැදගත් අයත් නැත. නොවැදගත් අයත් නැත. කවුරුත් එකවල්ලේ පොල් බඳු ය.

වැඩිහිටි සමිතියකදී වයෝවෘද්ධ කාන්තාවකට කවියක් හෝ ගීතයක් ගයන්නට අවස්ථාව සැලැසෙතියි සිතමු‍. ඒ අවස්ථාවේ ඇය ගයන්නේ

මා වැනි බිලින් දා

වරවර ළඟට කැන් දා

දුක් සැප කුමන් දා

අසන නිරි‍ඳෝ වෙන කොයින්දා

යන කවිය විය හැක. ඒ ගැයුම අගයමින් කවුරුත් අත්පොළසන් නාදය පවත්වන විට ඇය ලබන සතුට, සැනැසුම කොතරම් ද? කියා නිම කළ නොහැක. පවුලේ දරු මුණුපුරන් එක්ව කරන විනෝද චාරිකාවට ඇතැම් විට ගෙදර තනිවූ මහලු මව නුසුදුසු වුව ද, තමා අයත්වන වැඩිහිටි සමිතියේ චාරිකාවකට ඇය ඉතාම සුදුසු විය හැකි ය.‍ අප මේ කියන්නේ වැඩිහිටි සමිතිවලින්, වැඩිහිටියන්ගේ මනස සුවපත් කිරීම සඳහා උසස් සේවාවන් කළ හැකි බව ය. 

 

Comments