මුතුමිත්තන්ගේ සවිය | සිළුමිණ

මුතුමිත්තන්ගේ සවිය

මිනිසා තම ජීවන රටාව - ආගමික චාරිත්‍ර හා ආහාර රටාව සකස් කර ගන්නේ තම වයසට - පරිසරයට ගැළපෙන ආකාරයට නොවේ. ආකල්ප - ඉගැන්වීම් - සම්ප්‍රදායන් හා වැඩි දෙනා කරන්නන් වාලේ ලෙසටය. විචාර බුද්ධියෙන් නොවේ. සම්මතය හා සම්මුතිය අනුකරණය කෙරෙන භාවිතාවන්, ත්‍රිත්වයක් ඇත.

රතු කැකුළු පමණක් ආහාරයට ගැනීම - කිරිපිටි භාවිතය හා සෝයා පිටි (අයිස් ක්‍රීම් - විකන් රස - කිරි) ශරීර ශක්තිය වර්ධනය කරන පෝෂ්‍යදායී කෑම ඉමහත් අභිරුචියෙන් තම ආහාර වේලට එක්කර ගනිත්.

ස්වයංජාත සහලින් අතීතයේදී ආරම්භ වූ අපගේ ප්‍රධාන ධාන්‍ය ආහාරය වූ “වී”. නමුත් කල්ප විනාශය සිදුවන කාලය වන විට මිනිසාට කෑමට ඉතිරි වන්නේ “කුරක්කං” ධාන්‍ය පමණි.

අපගේ ආදිතම මුතුන් මිත්තෝ වී ආහාරය සඳහා සකස්කර ගන්නේ තම්බා කෙටීමෙන් පසුවය. කැකුළට ගැනීමේ පුරුද්දක් නොතිබිණි.

වී ඇටයේ මතුපිට පවතින පෝෂ්‍ය ගුණය තැම්බීම නිසා ඇටය තුළට කිඳා බහී. වී නොතම්බා කැකුළට සකස් කරන විට නිවුඩ්ඩ සහ පෝෂ්‍යදායි කොටස් වී මෝලේ ඉතිරි වේ.

මිනිසුන් සහල් ලෙසට ආහාරයට ගන්නේ ගුණයක් නැති රොඩ්ඩ පමණි. (මෙවැනි සංසිද්ධියක් තිරිඟුවලට ද සිදු වේ. එම ධාන්‍යයෙන් මතුපිට පෝෂ්‍යදායි කොටස යන්ත්‍රානුසාරයෙන් වෙන්කර පරලු පාන් ලෙසට සකස් කරති. පාන් පිටි හදන්නේ බොහෝ රසායනික දේ මිශ්‍ර කරමින් ගුණයක් නොමැති ඉතිරි පිටිවලිනි) නොතම්බන ලද කැකුළු හාල්වල කිසිදු ගුණයක් නොමැත. රතු කැකුළු හාල්වල ඇත්තේ රතු පාට පමණි.

තම්බන ලද සම්බා - හීනටි - ඇල්වී - පච්චපෙරුමාල් - සුවඳදැල් - කුරුලු තුඩ වැනි පැරැණි දේශීය වී වර්ග (පෝෂ්‍ය ගුණයෙන් ආඪ්‍ය) ආහාරයට ගැනීම නැවත ආරම්භ කළ යුතු ය පාන් පිටි භාවිතයට ජනතාව පුරුදු කිරීම බටහිර ජාතීන්ගේ වෙළඳ අරමුණු ඉටු කර ගැනීමකි.

නොතම්බන ලද රතු සහල් භාවිතයේ ආරම්භය සහ භාවිතයට විද්‍යාත්මක පදනමක් නැත. වෛද්‍යවරු සහ ජනමාධ්‍ය ද කිසිදු විද්‍යාත්මක නිගමනයක් නොමැතිව “රතු සහලේ” මිත්‍යාව අස්වද්දති.

සෝයා පිටි භාවිතයේ මිත්‍යාව පැමිණ ඇත්තේ ද දියුණු යයි සම්මත රටවල වෙළඳ අරමුණ වෙනුවෙන් හා බහු ජාතික සමාගම්වල ඩොලර් කුට්ටිවලට ගැතිවුණ වෛද්‍යවරුන්ගේ උපදෙස් නිසාය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ 1960 දී ස්වභාවික හේතුන් නිසා මත්ස්‍ය සම්පත විනාශ විය. ඒ වෙනුවට පේරු රාජ්‍යයේ මත්ස්‍ය ව්‍යාපාරය ආරම්භ කර ඇත. එය ද අසාර්ථක වීම නිසා ආදේශක ආහාරයක් ලෙසට චීනයේ වැඩෙන සෝයා භෝගය මත්ස්‍ය ආහාරයක් ලෙසය (ගුණය - රසය) ඇමෙරිකා බහුජාතික සමාගම් විසින් ලොව පුරා ප්‍රවර්ධනයක් හා ප්‍රචාරණයක් ‍කර ඇත.

සත්ත්ව ආහාරයක් ලෙසට භාවිත කිරීමට සෝයාවලට පේටන්ට් බලපත්‍රය ද ඇමෙරිකාව විසින් ලබා ගෙන ඇත. ලංකාවේ කොතල හිඹුටු - මිනී මල් වැනි වර්ග කීපයක ද විදේශ රටවල් පේර්ටන් බලපත්‍ර ලබා ගෙන ඇත. එයට අමතරව සෝයාවල විවිධ පෝෂක පදාර්ථ අඩංගු බවට වෛද්‍යවරුන් මඟින් (මුදල් හා විවිධ වරදාන දී) ලොව පුරා ප්‍රචාරය කරමින් සිටිත්. නවතම වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වී ඇත්තේ සෝයා පිටිවලට විවිධ රසායනික - රසකාරක දේ මිශ්‍ර කරන බවය.

දරු ඵල ඇතිවීම වැළැක්වීම - බුද්ධි වර්ධන හීන වීම - පේශි වර්ධනය අඩාළ වීම වැනි ශරීර ශක්තිය අඩපණ කිරීමේ ද්‍රව්‍ය කළවම් වන බවය. එයින් අතුරු අබාධ - අක්මාව - වකුගඩු අක්‍රීය වීමේ අනාගත අවධානයක් ද ඇතිවිය හැක. සෝයා ඇට ගුණදායක වුවන් වෙළෙඳපොළේ ඇති සකස් කළ පිටි - අයිස්ක්‍රීම් - කිරිවල ඇත්තේ වස විස වර්ගය.

පැණි බීමවලට දරුවන් හුරු කරන ලෙඩ කරන අම්මලා අවිචාරවත්කම නිසා “සෝයා හට්”වලට ඇබ්බැහි වී ඇත. මස් (මලකුණු රසයට) ගිජුව ඇති පිරිමින් ද තලු මර මරා සෝයා ව්‍යංජනයක් ලෙසට භක්ෂණය කරමින් බහුජාතික වෙළඳ සමාගම්වල ලාභාංශය වැඩි කරති.

කඩල - මුංඇට - පරිප්පු - කුරක්කන් - මෙනේරි - කව්පි වැනි දේශීය ධාන්‍ය වර්ග වෙළෙඳපොළේ සහ ගම්බද පොළේ සුලභව තිබිය දී ශරීරය හා මනස ඔත්පල කරන සෝයා රස විඳින්නන්ගේ පරමායුෂ ද ක්ෂණිකවම ක්ෂය වනු ඇත. 

Comments