හෙට ලෝකය අද මතු­වෙයි ! | සිළුමිණ

හෙට ලෝකය අද මතු­වෙයි !

2.5 X 12 සහ 7 X 12 හෙවත් ලෝකය පෙරළන තිහේ අසූහතරේ ගණිත සූත්‍රය

පසුගිය අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා වසර 84 කට පසුව විශ්ව කේන්දරයේ ලග්නය වූ ගිනි බලැති මේෂ රාශියට පිවිසිණ. එතැන් සිට වසර 7 ක් මේෂ රාශියේම ගමන් කරන යුරේනස් ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකය ම පියවරින් පියවරට වෙනස් කරනු ලැබේ. මෙතෙක් පැවති සමාජ දේශපාලන ආර්ථික රටාව පමණක් නොව විද්‍යාව තාක්ෂණය සහ විශේෂයෙන්ම බලශක්තිය සම්බන්ධයෙන් විප්ලවකාරී වෙනස්කම් සිදු කිරීමට මූලික වන්නේ යුරේනස්‍ ය. එහෙත් ඔහු ඒ සඳහා ක්‍රියාත්මක වන්නේ සාමකාමී මාර්ග ඔස්සේ නොව යුද්ධ සහ සන්නද්ධ විප්ලවයන් ඔස්සේය. පරමාණු බෝම්බයට සහ දෙවැනි ලෝක යුද්ධය සඳහා ලෝකය සූදානම් කළ යුරේනස් ඒ සියල්ල සඳහා උත්තේජනය ගෙන දෙන්නේ මේෂ රාශියෙනි. මෙවර යුරේනස් මේෂ රාශියට පිවිසෙන්නේ ද එබඳුම අරමුණකිනි. මෙය ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයට බලපාන ආකාරය පිළිබඳව සිදුකළ සම්භාව්‍ය ටොලමියානු ජ්‍යොතිෂ විග්‍රහයක් මතු දැක්වේ. ]

ක්‍රිස්තු වර්ෂ 2017 ලෝක ඉතිහාසයේ නව යුගයක ආරම්භයකි. විශ්ව කේන්දරයේ 08 වැන්නේ ගමන් කළ සෙනසුරු 2017 ජනවාරි 26 දා රාත්‍රී 07.40 ට විශ්ව කේන්දරයේ 09 වැන්න වූ ධනු රාශියට පිවිසිණ.අනතුරුව නැවත වෘශ්චික රාශියටම වක්‍ර වූ සෙනසුරු ලබන ඔක්තෝබර් 26 දා නැවත ධනුවටම එයි. සෙනසුරු මෙසේ ධනු රාශියට පැමිණෙන්නේ ආසන්න වශයෙන් වසර 30 කට පසුව යි. දෙවනුව පසුගිය සත්වසරක් තිස්සේ විශ්ව කේන්දරයේ 12 වැන්නේ ගමන් කළ යුරේනස් 2017 අප්‍රේල් 08 දා සිකුරාදා අලුයම 01.55 ට විශ්ව කේන්දරයේ ලග්නය වූ මේෂ රාශියට පිවිසිණ. යුරේනස් මෙසේ මේෂයට පිවිසෙන්නේ ආසන්න වශයෙන් වසර 84 කට පසුව යි. මේ ග්‍රහ මාරු දෙක ම ශ්‍රී ලංකාවට මෙන් ම සමස්ත ලෝකයට ම අති මහත් පෙරළිකාර අවස්ථාවකි.

ඕනෑ ම කේන්දරයක 08 සහ 12 වැන්න දුෂ්ට ස්ථාන බව ඔබ දනී. ඒ අනුව විශ්ව කේන්දරයේ 08 සහ 12 වැන්නේ තැන්පත්ව සිටි පෙරළිකාර ම ග්‍රහයන් දෙදෙනා වන සෙනසුරු සහ යුරේනස් එකී දුෂ්ට ස්ථානවලින් නිදහස් වීම සමස්ත ලෝකයට ම අස්වැසිල්ලකි. එසේ නිදහස් වූ යුරේනස් සහ සෙනසුරු ඊ ළඟට තැන්පත් වන්නේ විශ්ව කේන්දරයේ 1 සහ 9 යන අති ප්‍රබල ත්‍රිකෝණස්ථාන දෙකෙහි ය. සියලු ග්‍රහ දෘෂ්ටි අතර අග්‍ර සුබඵල දෙන අංශක 120 ත්‍රිකෝණ දෘෂ්ටියෙන් මේ ග්‍රහයෝ දෙදෙනා සංයෝග වෙති.

මෙතෙක් සෙනසුරු තැන්පත්ව සිටියේ රාශි චක්‍රයේ දුෂ්ටත ම ස්ථානය ලෙස සැලකෙන උග්‍ර විෂ දියර සහිත අඳුරු පාතාලය වූ වෘශ්චිකයේ ය. මේ රාශියේදී කිසිම ග්‍රහයෙක් උච්ච නො වන්නා සේම කිසිම ග්‍රහයෙක් මෙහිදී යහපත් ලෙස ක්‍රියාකරන්නේ ද නැත. සිත සහ චින්තනයට අධිපති සඳු නීච වන්නේ ද වෘශ්චිකයේදී ය. සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේදී වෘශ්චිකය කුජ ග්‍රහයාට හිමි කැර දී තිබුණත් නූතන බටහිර ජ්‍යොතිෂ පිළිගැනීම අනුව වෘශ්චිකය හිමි වන්නේ ග්‍රහලොව යම පල්ලා ලෙස සැලකෙන ප්ලුටෝ ග්‍රහයාට ය. 2017 ජනවාරි 26 දා සෙනසුරු ඉවත්ව ගියේ එබඳු නරකාදියකිනි. එතැන් සිට ඔහු ඉදිරි වසර දෙකහමාරක කාලය ගෙවන්නේ ධාර්මික සහ යුක්තිගරුක සුබ ග්‍රහයා වන ගුරුට අයත් ධනු රාශියේ ය.

එමෙන් ම පසුගිය සත් වසර පුරා ම යුරේනස් ග්‍රහයා තැන්පත්ව සිටියේ රාශි චක්‍රයේ බෙලසුල් ම ස්ථානය වූ මීනයේ ය. සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේදී මීනය ගුරු ග්‍රහයාට හිමි කැර දී තිබුණ ද බටහිර ජ්‍යොතිෂය අනුව මීන රාශියේ අධිපති නෙප්චූන් ය. කෙසේ නමුත් 2017 අප්‍රේල් 08 දා සිට යුරේනස් ඉදිරි සත් වසරේ ම තැන්පත්ව සිටින්නේ සටන්කාමී කුජට අයත් මේෂ රාශියේ ය.

මේෂය අභීත තේජෝ බලයෙන් ද නිර්මල රජස් ගුණයෙන් ද චර අධි වේගයෙන් ද සමන්විත ය. ධනුව අභීත තේජෝ බලයෙන් ද උත්තම සත්ත්ව ගුණයෙන් ද අවස්ථාවෝචිත උභය වේගයෙන් ද සමන්විත ය. මේෂය සහ ධනුව එකිනෙකට ප්‍රතිපෝෂක රාශීන් වන අතර ඒ දෙක ම තේජෝ රාශි ත්‍රිත්වයේ බලවත් ම ස්ථාන දෙක වෙයි. ඊටත් අමතරව මේ රාශි දෙකෙහි අධිපතියන් වන කුජ සහ ගුරු සංයෝගය ද ඉතා විශිෂ්ට ය. මේ දෙදෙනා එක් වූ විට යුක්තිය සඳහා වූ සටන්කාමීත්වය ඔප් නැංවෙයි.

මේ පසුබිම මත යුරේනස් සහ සෙනසුරු යන ග්‍රහයන් දෙදෙනා ම ඉදිරි කාලයේදී අති ප්‍රබල තේජෝ රාශි දෙකක ගමන් කරන බව ඔබට පෙනෙයි. භෞතික ලෝකයේ සියලු දෙය ම උඩු යටිකුරු කරන මහා විප්ලවයන්ට මුල පුරන යුරේනස් වායු බලයෙන් යුතු වෙයි. නො පසුබට වීර්යය දැඩි ආත්ම ශක්තිය සහ ආධ්‍යාත්මික පවිත්‍රකාරක ග්‍රහයා වන සෙනසුරු ද වායු බලයෙන් යුතු වෙයි. සම්භාව්‍ය උසස් ජ්‍යොතිෂයේ එන පංච බල මූලධර්මය අනුව ලෝකය වෙනස් කරවන විශිෂ්ටතම සංයෝගය හට ගන්නේ තේජෝව සහ වායෝව අතර ය. දැන් සෙනසුරු ධනුවේ ද යුරේනස් මේෂයේ ද ගමන් කරන කාලය පුරාම විශ්වයේ අසම සම තේජෝ + වායෝ බල සංයෝගය සමස්ත ලෝකය පුරා පැතිරෙයි.

මේ කාලයේදී විද්‍යාව තාක්ෂණය බලශක්තිය සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික යන ක්ෂේත්‍රයන් ද රාජ්‍ය පාලන ක්‍රමයන් ද ලෝක බල තුලනය ද යන සියල්ල අංශක 360 කින් උඩු යටිකුරු වෙයි. දැනට පවතින සියල්ල ම එකක් නෑර විනාශයට පත්වන අතර අලුත් ම අලුත් ලෝකයක් නිර්මාණය වෙයි. තව ලෙසකට කිවහොත් පවතින මානව ශිෂ්ටාචාරය මුළුමණින් ම පාහේ බිඳවැටී නව ශිෂ්ටාචාරයක් ගොඩනැගෙයි. ඒ සමඟ ම මෙතෙක් පැවති සමාජ දේශපාලන සහ සංස්කෘතික මිණුම් දඬු මෙන් ම ඒ ආශ්‍රිත අධිපතිවාදී දැනුම් පද්ධතිය සහ මතවාදී ලෝකය ද මුළුමණින් ම පාහේ අභාවප්‍රාප්ත වෙයි. ඒ සඳහා වූ එක් නිදසුනක් කියන්නේ නම් දැන් පවතින බටහිර විද්‍යාවේ ස්වරූපය පවා විප්ලවීය වෙනසකට පරිවර්තනය වෙයි. ඉදිරි වසර 84 ඉක්ම යෑමට පෙර පොසිල ඉන්ධන යුගය හමාර වන අතර බලශක්ති ජනනය අති දියුණු තත්ත්වයකට පත්වෙයි.

අනාගත අලුත් ලෝකය කෙබදු ස්වරූපයකට පරිවර්තනය වන්නේ ද යන්න පිළිබඳ පූර්ව නිමිති සැපයීම ඉතිහාසයේ තවත් එක් කාර්‍ය භාරයකි. ඒ සඳහා වූ ප්‍රබල ම දූතයන් තිදෙනා නම් සෙනසුරු යුරේනස් සහ නෙප්චූන් යන මන්දගාමී ග්‍රහයන් තිදෙනා ය. පිළිවෙලින් වර්ෂ 30 - 84 - 116 යනුවෙන් ඔවුන්ගේ ඉතිහාස චක්‍ර අලුත් වෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ අභිනව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වන්නේ යුරේනස්ගේ වසර 84 ක අලුත් චක්‍රය ආරම්භවීමත් සමඟ ය. මේ පිළිබඳව මා විසින් පළ කරන ලද ' තුරුම්පුවාගේ වික්‍රමය ' නම් කෘතියේ තෝරා ගත් කොටස් කිහිපයක් මතු දැක්වේ. එමගින් යුරේනස් විසින් නුදුරු අනාගතයේදී ලෝකයට ඇති කරනු ලබන පරිවර්තනයන් පිළිබඳව සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කෙරේ.

අමෙරිකා එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි ආන්දෝලනාත්මක සිද්ධි මාලාවකට මැදිව රට පාලනය කරමින් සිටියදී අභිරහස් මරණයකට ගොදුරු විය. වරෙක ඔහු දේශපාලන රැළියක මහජනතාව අමතමින් මෙසේ කීවේය.

'' මිත්‍රවරුනි, හරි පුදුම සතෙක් හිටියා. පුදුමයි කියන්නේ ඌ හිතා ගන්න බැරි තරම් දිගයි. අන්න ඒ නිසා උගේ ශරීරයේ මුහුණට දැනෙන සංවේදනයක් ශරීරයේ පසුපස කොටසට දැනෙන්නේ සෑහෙන කාලයක් ගත වුණාට පසුවයි. ඔන්න එක දවසක් ඔලුවට ම වැදුණු මරු පහරක් නිසා මුහුණ රතුවෙලා ඇස්වලින් කඳුළු වැටෙත්දී දරා ගන්න බැරි වේදනාවෙන් උගේ ඉදිරිපස කොටස මැරෙන්න වැටිලා හිටිත්දී ඊට බොහෝ කාලයකට පෙර ලැබුණු රසවත් ආහාරයක් නිසා උගේ වලිගය සතුටින් වැනෙමින් තිබුණා ලු. ''මෙසේ කී කෙනඩි මොහොතකට දෙනෙත් වසා ගෙන සිනාසුණේ ය. ඊට ටික කලකට පසු ඔහු අභිරහස් මරණයකට ගොදුරු වූයේ ඔහුගේ උපමා කතාවට ඔහුම නිදසුනක් වෙමිනි.

කෙසේ නමුත් කෙනඩි උපමාවට ගත් පුදුම සතා දැන් නම් අප හැමට ම උවමනා නම් දැකිය හැකිය. අප ජීවත්වන මේ කාලය සහ මේ යුගය අර පුදුම සතාට හැමතින් ම සමාන ය. මේ යුගය ඊට අයත් සියල්ල ද සමඟින් මිය යමින් තිබේ. ඒ බව කල් තබා දකින ඇතැම්හු තැති ගනිති. ඇතැම්හු සතුටු වෙති. ඒ බෙදීම අනාගත යුගයේ හැඩ රුව කෙසේ වේද කියා ය.එහෙත් අති බහුතරයක් දෙනා මේ දෙකොටසට ම අයත් නොවෙති. ඔවුහු යුගයේ අවසානය නො දකිති. එහෙයින් ඔවුන්ගේ සතුට හෝ වේදනාව යන දෙකෙන් කුමක් වූවත් එය නිසැකයෙන් ම විහිලුකාරී වීම නො වැළැක්විය හැක්කේ මොළේ මිය ගිය ශරීරයක දෙපාවලට සපත්තු පැළඳිම සිනාවට නිමිත්තක් වන හෙයිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන්නේ යුගයක අවසානය සනිටුහන්ව තිබියදී ය. අති බහුතරයක් දේශපාලන පුරෝකතන - ජනමත සමීක්ෂණ සහ ජ්‍යොතිෂ අනාවැකි පමණක් නොව අමෙරිකා එක්සත් ජනපදයේ බහුතරයක් ජන්දදායකයන්ගේ විශ්වාසය ද අනාථ කරමින් ඔහු ජය ගත්තේ යුගය මතු නොව ඊට අයත් අධිපතිවාදී දැනුම් හා මතවාද ලෝකය ද මිය ගොස් ඇති බව මොනවට ඔප්පු කරමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අහම්බයක් හෝ ඉතිහාසයේ වැරදීමක් හෝ නොවේ. නුදුරු අනාගතයේ ට්‍රම්ප් ලා ලෝකයේ සෑම තැනෙකින් ම හිස ඔසවන්නට ගන්නා අතර ඔවුන් එකිනෙකා සමඟ මිතුරුව හෝ පසමිතුරුව හෝ ඔවුනොවුන් ගැටී මේ යුගය විනාශ කරනු ඇත. අනතුරුව එන ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් නව යුගය නිර්මාණය කරනු ලැබේ. නාශක - ජනක යන චක්‍ර ද්විත්වය යොදා ගනිමින් ඉතිහාසය සෑම විට ම ක්‍රියා කැර ඇත්තේ එකම නියාමයක් අනුව ය. අපි එයට ඉතිහාසයේ දෛවය යැයි කියමු. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයේ දෛවය විසින් සිතාමතා ම තෝරා ගන්නා ලද්දෙකි.

ඉතිහාසය කිසි විටෙක ආපසු ගමන් කරන්නේ නැති බව සැබෑ නමුත් අතීතය අනාගතය දෙසට ප්‍රක්ෂේපණය කළ හැකි ය. එවිට එක ම සිදුවීම යළි යළි සිදුවන බව පිළිගන්නට සිදුවේ. කෙනඩි සහ ට්‍රම්ප් අතර ඇති අසමානකම් අති විශාල ය. එහෙත් එක ම එක සිද්ධියක් සම්බන්ධයෙන් පමණක් ඔවුන් දෙදෙනා පුදුමාකාර ලෙස සමානවන ලකුණු විද්‍යමාන වෙයි. එය සොයා ගත හැක්කේ ඉතිහාසයේ දෛවයෙනි.

1946 ජුනි මස 14 දා පෙරවරු 10: 54 වන විට සිංහ ලග්නයේ අවසන් අංශකය උදා වී තිබිණ. ඒ බටහිර ප්ලැසිඩස් භාව කේන්දරය අනුව ය. මේ කේන්දරයේ රවි ග්‍රහයා වායු රාශියක් වූ මිථුනයේ සිටියදී එයින් 7 වැන්න වූ තේජෝ රාශියක් වූ ධනුවේ සඳු තැන්පත්ව සිටියේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට නම් මෙදින පුර පසළොස්වක පොහෝ දිනයකි. ප්ලැසිඩස් භාව කේන්දරය අනුව ම ගත්විට මේ මොහොතේ උපන් පුද්ගලයාගේ කේන්දරයේ ගිනි සහ වායු රාශි ඉතා බලවත් ය. එහෙයින් ඔහු ඉතා ක්‍රියාශීලී වේගවත් සහ අන් අය අභිබවා යන ජීවන ශෛලියකට උරුම කියයි.

මොහු යුරේනියන් කාණ්ඩයට අයත්වන හෙයින් උන්නතිකාමියෙකි. දැඩි සිත් ඇත්තෙකි. යටත් නොවන්නෙකි. ආඥාදායකයෙකි. ඔහු උපන් ලග්නය තේජෝ බලයෙන් යුත් සිංහ රාශිය වන අතර එහි ගිනි කාරක සටන්කාමී කුජ තැන්පත්ව සිටී. අහස මුදුනේ රවි සහ යුරේනස් ය. මොහු විසින් යම් දෙයක පෙරළියකට මුල පුරන්නේ නම් එය දැවැන්තව මහා පරිමාණයෙන් ම සිදු කරයි. එහෙත් ඔහු නම්‍යශීලීව කටයුතු කිරීමට ද අන් අයට සීමාසහිතව සවන් දීමට ද අත ගැසූ කටයුත්ත අවසානය දක්වා ම අත නො හැරීමට ද හපනෙකි.

මොහුගේ කේන්දරයේ තේජෝ බලය 42. 7 % ක් වන අතර වායූ බලය 30.1 % කි. එනම් සමස්ථයක් වශයෙන් ඔහුගේ චරිතයේ 72. 8 % ක් ම වෙන් වන්නේ අධි ක්‍රියාකාරීත්වය සහ සටන්කාමීත්වය උද්දීපනය කිරීම සඳහා ය. එකී ස්වභාවය පාලනය කිරීම සඳහා ඇති ජල සහ පඨවි බලය ඒ දෙකෙහිම එකතුවක් ලෙස ගත් විට 27.2 % කි. මොහු කෙබදු පුද්ගලයෙක් ද යන බව මෙයින් මොනවට පෙනේ. රවි - කුජ - යුරේනස් යන ග්‍රහයන් සමඟ රාහු ග්‍රහයාගේ ඇති සම්බන්ධය දකින විට තරමක් තැති ගන්වන සුළු ය. මේ ඔබ කියවමින් සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කේන්දරයෙන් කියැවෙන ඔහුගේ චරිතයේ ස්වභාවය යි.

කෙනෙකු උපන් කේන්දරයෙන් කුමක් නිවේදනය කෙරුණත් ඒවා ප්‍රායෝගික වීමට නම් ඒ සඳහා උචිත ගෝචර ග්‍රහචාරය සකස් වීම අනිවාර්‍ය වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගන්නා විට නිර්මාණය වන ග්‍රහචාරය කෙසේ දැයි බලමු. 2017 ජනවාරි 27 දා වන විට සෙනසුරු තම තිස් වසරක දුෂ්ට චක්‍රය හමාර කරමින් වෘශ්චිකයෙන් ධනු රාශියට පිවිසීම ලෝකයට ඉතා සුබදායක පරිවර්තනයකි.

එහෙත් වසර 7 ක කාලයක් මීන රාශියේ තැන්පත්ව සිටි යුරේනස් 2017 අප්‍රේල් 08 දා වන විට ගිනි කාරක මේෂ රාශියට පිවිසෙයි. මේ සිද්ධිය හට ගන්නේ ආසන්න වශයෙන් වසර 84 කට පසුවයි. මේෂය විශ්ව කේන්දරයේ ලග්නය වේ. එනම් මීට පෙර අවසන් වරට යුරේනස් මේෂයට පැමිණියේ 1932 වසරේදී ය. ජර්මනියේ නාසිවාදය බලවත්ව ඉස්මතු වන්නට ගත්තේ 1932 දී වන අතර 1933 වන විට හිට්ලර් ජර්මනියේ ආඥාදායකයා ලෙස බලයට පත්විය. යුදෙව් සංහාරයට පසුබිම සකස් වූ අතර අයින්ස්ටයින් පරමාණු බෝම්බය පිළිබඳව මූලික ශක්‍යතා අධ්‍යයන ආරම්භ කෙළේ ද යුරේනස් මේෂ රාශියේ සිටියදී ය. යුරෝපය පුරා යුදමය පරිසරයක් නිර්මාණය වූ අතර ඒ ඉතිහාසය නිර්මාණය කිරීමට මූලික වූයේ මේෂයට පැමිණි යුරේනස් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති ධූරයට පත් වන්නේ යුරේනස් නැවත වරක් මේෂ රාශියට පැමිණෙමින් සිටියදී ය. ජ්‍යොතිෂය අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ද යුරේනියන් කාණ්ඩයේ බලවත් පුද්ගලයෙකි. මෙබඳු පසුබිමක දෛවය විසින් එවැන්නෙකු ලොව සුපිරි බලවත් රාජ්‍යයේ නායකත්වයට ඔසවා තැබුවේ ඇයි? අතීතයේදී හිට්ලර්ගේ නාසිවාදයට එරෙහිව රුසියාව සහ අමෙරිකාව අත්වැල් බැඳ ගත්තේ ය. අද ඩොනල්ඩ් ට්‍රම්ප් ද රුසියාව වෙත සුහද හස්තය දිගු කරමින් සිටී. ඉතිහාසය පුදුමාකාර ය. යුරේනස් මේෂ රාශියේ ගත කරන වසර හතක කාලය ගිනි අවි පුපුරණ ද්‍රව්‍ය සහ මහ පරිමාණ යුදමය සූදානමක් පිළිබඳ ප්‍රබල නිමිත්තකි. එහෙත් එය සමස්ථ ලෝකයේ සුබ සිද්ධිය පිණිස සිදු වන්නකි.

මානව ශිෂ්ටාචාරයේ යහ පැවැත්ම විනාශ කරන්නා වූ අති අමානුෂික අන්තවාදය මූලධර්මවාදය කුමන ස්වරූපයකින් හිස ඔසවනු ලැබූවත් ශිෂ්ට සම්පන්න ලෝකය ඊට එරෙහිව අත්වැල් බැඳ ගනී. ඉතිහාසයේ දෛවය විසින් ඒ සඳහා උචිත ම පුද්ගලයන් තෝරා ගනී. ඩොනල්ඩ් ට්‍රම්ප් ද එසේ තෝරා ගත් ලෝක නායකයෙක් බව ජ්‍යොතිෂය අනුව ඉතා පැහැදිලිව ඔප්පු කෙරේ. ඔහු පිළිබඳව කුමන අදහස් පැතිර තිබුණ ද ඉතිහාසයේ දෛවය විසින් යථාවාදී තථාකාරී නියාමය අනුව සියල්ල පැහැදිලි කර දෙනු ලැබේ.

(මතු සම්බන්ධයි )

 

Comments