රවි ග්‍රහයා තේජා­න්විත ය | Page 3 | සිළුමිණ

රවි ග්‍රහයා තේජා­න්විත ය

රවි යනු හිරුට කියන තවත් නමකි. කිසියම් පුද්ගලයකුගේ කේන්දරයේ ලග්න භාවයේ රවි තැන්පත් වීම සුබ ලකුණකි. මෙවැනි පුද්ගලයෝ මනා පෞරුෂත්වයකින් යුක්ත වන අතර සමාජයට ඉතා වැඩදායික ලෙස හැසිරෙයි.

යම් පුද්ගලයකුගේ කේන්දරයේ රවි ග්‍රහයා මේෂ රාශියේ තැන්පත් නම් රවි උච්ච යැයි කියයි. මෙවැනි පුද්ගලයන් ඉතා ආඩම්බරය, මාන්නාධිකය සමාජය ඔවුන් දෙස බලන්නේ මැඩගත් කෝපයෙනි. මේ රවි ග්‍රහයාම යම් පුද්ගලයකුගේ කේන්දරයේ තුලා රාශියේ තැන්පත් නම් ඔහු ඉතා නම්‍යශීලී පුද්ගලයෙකි.

යටහත් පහත්ව කාගේත් සිත් දිනාගෙන වැඩ කරයි. යම් පුද්ගලයකුගේ කේන්දරයේ තුන් වැන්නේ රවි තැන්පත් වූයේ නම් ඔහුට අසහනමය ගෙන දෙයි.

ප්‍රථිපල එකකට එකක් වෙනස් නම් ඉහත සඳහන් සෑම අවස්ථාවකදීම මුල් වූයේ එකම ග්‍රහයෙක් පමණි. එකම ග්‍රහයා තැන්පත් ස්ථානය අනුව විවිධාකාර ප්‍රථිපල ලබා දෙයි. මිනිසුන් වන අපිද එසේම වෙමු. උත්පත්ති ග්‍රහ බලය කුමක් වුවත් එම පුද්ගලයා ක්‍රියාත්මක වන ස්ථානය අනුව ගති ගුණ ද ප්‍රකාශයට පත් වන්නේ ඉන්නා තැන අනුවය. දාමරිකයෙකු වුවත් පන්සලට ගිය විට උපාසක වෙස් ගනී.

එහෙත් පුද්ගලයකු සතුව සහජයෙන්ම පිහිටන ගති ලක්ෂණ සහමුලින්ම වෙනස් වන්නේ නැත. රවි ග්‍රහයා උච්චව සිටියදී උපන් පුද්ගලයා කොහොමටත් ආඩම්බර කාරයෙකි. රවි ග්‍රහයා නීචව සිටියදී උපන් තැනැත්තා බොහෝ විට සූත්තරයෙන් තම කාර්ය ඉටුකර ගන්නා තැනැත්තෙකි.

සෑම සියලු දෙනෙක්ම තමාගේ සැබෑ ප්‍ර‍කෘතිය හදුනාගන්නේ නම් ඔහුට තමාගේම අඩු පාඩු කම් අවබෝධ කර ගත හැකිය. එය ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීමට ඇති හොඳම ආකාරය නම් ජ්‍යොතිෂය අධ්‍යයනය කිරීමයි. බොහෝ දෙනා කේන්දර බලන්නේ අනාගතයේ මිල මුදල් යාන වාහන උසස් තනතුරු දෑවැදි සහිත රූබර බිරිඳක් තමාට ලැබෙයිද යනාදිය දැන ගැනීමටය.

එහෙත් තමාගේ ප්‍රකෘති ස්වරූපය කුමක් දැයි හඳුනා ගැනීමට කේන්දරය පිරික්සන පුද්ගලයන් අතිශයින්ම දුර්වලය. ඇතැම් විට එවැනි පුද්ගලයන් නැතුවාම වන්නට පුලුවන.

එහෙත් කේන්දරයෙන් මුලින්ම පිරික්සා බැලිය යුත්තේ තමාගේ ප්‍රකෘති ස්වරූපය කෙබඳුද යන්නය. එය නොදැන අනෙක් කුමක් ලැබුණත් ඵලක් වේද? තමාට තමා හඳුනා ගත නොහැකිනම් අන් අය හඳුනා ගන්නේ කෙසේද? නුවනැත්තෝ සිහියෙන් විමසත්වා.

තමන් හිසට තම අතමය සෙවනැල්ල කී පරිදිම තමා ගැන නිසි අවබෝධයක් නැතිව ලෝකය ජය ගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් නොවන්නේද?

 

Comments