ලක්දිව ඈත ඉතිහාසයේ හාසය බොහෝ නොවේ. එහිලා හාස්‍යජනක සිද්ධි දක්නා ලැබෙනුයේ කලාතුරෙකිනි. එ බන්දක් සිහි කරන කල්හි කාගේ වුවත් මනස එක් වර ම දිව යනුයේ යස ලාලක තිස්ස රජු වෙතයි. යස - සුබ සිදු වීම අපගේ ඉතිහාසයේ මහත් ම හාස්‍යය යි. එ නමුදු ඒ හුදු හාස්‍යයක් ම නො ව හාස්‍ය ෙඛ්දාන්තයෙකි. කවර හෙවින් ද යත්, සෙල්ලම ලෙල්ලමක් වී යස රජුට පර ලෝ සුව සොයන්නට හැකි වූ බැවිනි.
අප කවුරුනුත් දන්නා සැටියට නම් යස ලාලක තිස්ස රජුට සුබ නම් දොරටුපල්ලෙක් සිටියේ ය. හේ රජු හා රූපයෙන් ඉතා ම සමාන ය. එහෙයින් විහිළුවක් කරනට සිතූ රජ තෙමේ ඔහු රජ සළු පිළියෙන් සරසවා සිහසුනෙහි හිඳුවා තෙමේ දොරටු පලු වෙසින් දොරටුවෙහි සිටියේ යි.
ඇමැතියෝ පැමිණ සිහසුනෙහි හුන් දොරටුපල්ලාට දොහොත් මුදුන් දී වඳිති. දොරටුපල් වෙසින් සිටුනා රජ තෙමේ සිනා සෙයි. කිහිප දිනක් මේ විහිළුව දිගටම කැරිණි. අසරණ ඇමැතියන් රවට රජ බොහෝ සෙයින් සතුටු විය.
උස් තැනෙක සිටින්නකුට, තමා එ තැනට නිසැක වැ ම යළි යන බව දනිතොත් තාවකාලික වැ පහළට බැස සිටීම ද එක්තරා සොම්නසෙකි. රජ තෙමේ එ සොම්නස ද වින්දේ ය. එහෙත් ඉතා කෙටිකලකට පමණෙකි.
උස් අසුන්හි තාවකාලිකව හිඳ ගන්නෝ එහි සැප දැනුණු කල සදාට ම එහි සිටින්නට තැත් දරනු පුදුමයක් නොවේ. රැවැටී තමාට වඳන ඇමැතියන් ගෙන් සැබෑවට ම වැඳුම් ගන්නට සුබ දොරටුපාලයා සිතුවා විය හැකියි. එහෙයින් හෙතෙමේ, දිනක් සුපුරුදු කවට කම කොට ඇමැතියන් රවටා සැබෑ රජු සිනා සෙන කල ඔහු මරන්නට අණ දිනි. වරද, දොරටුපාලකයකු වැ සිට මහරජු ඉදිරියේ සිනා සීමයි. සැබෑවක් නොසැබෑවක් වටහා ගන්නට නොහැකි වූ රාජ පුරුෂයෝ සැබෑ රජු ගේ යස ලාලක තිස්ස ගේ හිස ගසා දැමූහ. සුභ සැබැවින් ම රජ විය.
මේ අප කුඩා කල සිට අසා දන්නා කතාව යි. ලක්දිව මහා වංස කථාව වන මහාවංසයේත් සඳහන් වන්නේ මෙ පුවත ම ය.
කිනම් දොරටු පල්ලකු රජ ඇඳුම් ඇඳගෙන ඔටුන්නක් දාගත් පමණින් ඔහුට රජකම් කළ හැකි ද? ඔහු රජු නොවන බව හඳුනාගත් කල රාජ සභාව දිගටම රජකම් කරන්නට ඉඩ දේ ද? කවර නීචයකු වුව ද සටන් කොට රජු මරා රජ වීම එකෙකි. මෙ සේ විහිළුවෙන් රජ වීම අනෙකෙකි.
මෙහිලා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් දක්වන අදහස ඉතා වැදගත් ය. එ තුමන් පවසන්නේ මෙසේ රජු දොරටු පල් වෙස් ගෙන සිටීම හුදු විහිළුවක් ම නොව පෙර දා පැවැති සිරිතක් බවයි මහාවංසයේ ම කියැවෙන පරිදි, ශ්‍රී මහා බෝධි ශාඛාව සමඟ එහි සේවාව සඳහා අටළොස් කුලයෙක ජනයා ලක්දිවට පැමිණියහ.
දේවානම් පියතිස්ස රජතුමාගේ ශ්‍රද්ධාව කො තරම් බලවත් වී ද යත් හෙ තෙමේ ඔවුනට රජ සළු පිළී හඳවා තමා දොරටු පලු වෙස් ගෙන ඔවුන් තාවකාලික වැ රජ කැරවීය. මෙ අනුව බලන කල්හි මෙය කලිනුදු රජවරුන් කළ කාර්යයක් වන්නට ඇතැයි පරණවිතානයෝ සිතති.
පරණවිතානයන් ගේ අදහස නිවැරැදි විය හැකියි. දොරටුපල්ලා වනාහි ආරක්ෂකයා වෙයි. එ හෙයින් දේවානම් පියතිස්ස රජු තමා මහාබෝධියේ ආරක්ෂකයා බවට පත් වී එයට සේවා කරන්නට පැමිණියවුන් තාවකාලික වැ හෝ රජ කොට තමා මහාබෝධියට දක්වන ආදරය, ගෞරවය විදහාලීම අර්ථාන්විත ක්‍රියාවෙකි. එය ඔහුගේ අදෘෂ්ට මිත්‍ර ධර්මාශෝක මහාධිරාජයාට සැළ වූ කල්හි ඔවුහුදු බොහෝ සතුටු වන්නට ඇතැයි සිතිය හැකි ය. එ වුව ද, යස ලාලක තිස්ස රජුගේ ක්‍රියාව එ බන්දක් නොව, හුදු විනෝදය සඳහා ම කරන ලද්දක් බව වංස කථා අනුව පෙනේ.
දොවාරිකස්ස දන්තස්ස - පුත්තො දොමාරිකො සයං
රඤ්ඤා සදිස රූපෙන - අහොසි සුභ නාමන
සුභං බලත්ථං තං - රාජා රාජභූසා භූසිය
නිසීදා පිය පල්ලංකෙ - හාසත්ථං යස ලාලකො
යි මහාවංසයෙහි දැක්වෙන පරිදි මෙය හුදු සිනාව පිණිස, කෙළි කවට කම් පිණිස කරන ලද්දෙකි.
එ සමඟ ම මහාවංස කියමනින් තවත් කරුණු කිහිපයකුදු මතු වැ පැනේ.
දොරටුපාලයා පාලිගෙන් හැඳින්වෙනුයේ ‘දෝවාරික’ නමිනි. සංස්කෘතයෙහි ඒ ‘දෞවාරික’ වෙයි. පරණවිතානයනුදු ඉඟි කරන අන්දමට මෙය රජයෙහි වැදැගත් තනතුරක් වැ තිබුණා විය යුතු යි. සැබැවින් ම දොරටු පල්ලා රාජ මන්දිරයෙහි ආරක්ෂකයා වෙයි. එහෙයින් එ බඳු තනතුරකට රජුට ඉතා හිතවත් වූවකු හෝ බලවත් තැනැත්තකු හෝ පත් කළ යුතු යි. ඒ ඇතැම් විට පරපුරින් පරපුරට උරුම වන තනතුරකුදු විය හැකි බවට මහාවංසයෙන් ම ඉඟියක් සැපැයේ. සුභ වනාහි දත්ත නම් දෝවාරිකයා ගේ පුත් වෙයි. රජු ඔහු ඉතා මැනැවින් හඳුනන්නකු බවට ඒ මහා සාධකයෙකි. බියෙන් සැකින් තොර වැ ඔහු රජ කරවා රජු විනෝද වන්නට ඇත්තේ එහෙයිනි.
සුභ අතින් මරණයට පත් මේ යස ලාලක තිස්ස රජ තෙමේ කවරෙක්ද? ඉළනාග රජුගේ කනිටු පුත් ය. සැබැවින් ම රජ වැ සිටියේ ඔහු ගේ වැඩිමහලු සොහොවුරු චන්ද මුඛ තිස්ස යි. යසලාලක තිස්ස රජ වූයේ තිසා වැවේ දිය කෙළිනා විටෙක දී ඔහු මරා දැමීමෙකි. ඔහුට ඒ කර්මය දිට්ඨ ධම්ම වේදනීය ව ම ගෙවන්නට වූයේ ය.
චන්දමුඛ තිස්ස ද කවට කමට ලොල් වූවෙකි. ඔහු වරක් රහත් හිමි නමකට ද කවට කමක් කළ අයුරු අටුවාවෙක දැක්වෙයි. එ සේ වතු දු ඔහුත් ඔහුගේ බිසොව වූ දෙමළ දේවියත් බුදු සසුනට බොහෝ ළැදි වැ උපකාර කළ බව මහාවංසාදියෙහි පැවැසෙයි.
යසලාලක තිස්ස නම් එ බන්දක් කළ බව නො කියැවෙයි. නමින් ම පැවැසෙන පරිදි, හුදු කෙළි කවට කම්හි යෙදුණා විනා සත් අවුරුදු අට මසක් රජ කම් කොට සසුනට හෝ රටට හෝ ඔහු වැඩක් කළ බව නො පෙනේ. එ බන්දකු මරා දැමීම එතරම් රටට ද නො දැනෙන්නට ඇතැයි සිතිය හැකි ය.
අයථා ක්‍රමයෙන් රජ වූ නමුදු සුභ නම් බොහෝ පින්කම් කළ බවට මහාවංසයෙහි කියැවේ. එ බඳු බොහෝ රජුන් මෙන් සංඝයා ගේ හිතවත් බව රැක ගැන්මේ වටනාකම ඔහු මැනැවින් වටහාගෙන සිටින්නට ඇත. වසභ නැඟී නො ආයේ නම් ඔහු තව බොහෝ කලක් රජකම් කරනු ඇත.
මේ සුභ - යස පුවතෙහි දේශපාලන අර්ථය අතිමාත්‍රයෙන් ගෙන සයිමන් නවගත්තේගම ‘සුබ සහ යස’ නාට්‍යය නිමැවිය. ඔහුගේ අර්ථකථනය කෙසේ වතුදු මෙ පුවත හුදු කවට කමකට වඩා ගැඹුරු වූවක් බව නිසැකින් ම පෙනී යයි.
ඉතිහාසය චක්‍රාකාර වැ සිදු වෙතියි ද කියැවේ.