මහා­නාම හිමි­යන් නොදුටු දස බෑයෝ | සිළුමිණ

මහා­නාම හිමි­යන් නොදුටු දස බෑයෝ

වෙන බොහෝ දෙනට නැති දෙයක් අපට ඇත් නම් අපි ඉතා සතුටු වෙමු. එ වුව ද එ බඳු දේ ඇත්නම් ඉතා ටිකෙකි. අපේ අතිදීර්ඝ, අඛණ්ඩ ඉතිහාස ලේඛනය හෙවත් මහාවංස ඉනුදු ඉතා අගනා උරුමයෙකි. ප්‍රාචීන ලෝකයේ ප්‍රමුඛයා මෙන් වැජැඹෙන භාරතයට හෙවත් ඉන්දියාවට වත් එ බඳු උරුමයක් නැත. එහි දු ඉතිහාසයෙහි ගැට තැන් පසිඳ ගන්නට උදවු වූයේ අපේ මහාවංසය යි.

අපේ උරුමය මහාවංසය මතු ම නොවේ. තවත් වංස කථා සමූහයක් ද අභිලේඛන නමින් ගැනෙන සෙල්ලිපි ඇතුළු තවත් ලියැවිලි ගණයක් ද අප සතු වැ ඇත්තේ ය. අපේ ඉතිහාසය කොපමණ සංකීර්ණ ද යතහොත් එ තරම් මහා ඉතිහාස ලේඛනය වන මහාවංසයෙහි දු නොදැක්වෙන ඓතිහාසික කාරණා එහිලා දැකිය හැක්කේ ය. යට කී වෙනත් වංසකථා, අභිලේඛන ආදිය එබඳු තැන් හෙළි පෙහෙළි කැරගන්නට පිහිට වෙයි.

රුහුණේ දස බෑ හෙවත් දස භාතික පාලනය ද මහාවංසයෙන් ගිලිහී ගිය ඉතා වැදගත් කරුණෙකි. එ වුව ද අප ගේ භාග්‍යයට, ධාතුවංසයෙන් හා ඇතැම් ශිලා ලේඛන මඟින් ඒ ගැන ඉතා මැනැවින් තොරතුරු දැනගැන්මේ හැකියාව ඇත.

මේ දස බෑයෝ වනාහි කතරගම දස බෑයන් නමිනුදු හැඳින්වෙති. එයට නම් හේතු වනුයේ මහාවංසයෙහි දැක්වෙන කරුණෙකි.

දෙවන පෑතිස් රජුගේ බෝධිරෝපණ උත්සවයට පැමිණි පිරිස අතුරෙහි රෝහණයෙහි කාජරගාමයෙහි (කතරගම) ද චන්දනගාමයෙහි (සඳුන්ගම) ද ක්ෂත්‍රියයන් වූ බව මහාවංසය කියයි. ඔවුහු වනාහි අනුරාධපුර පාලක පරම්පරාවට අයත් නුවූවෝ යි.

දස බෑයන් ගේ පාලනය ද කතරගම අවට පැතිර තුබුණෙන් ශිලාලේඛනවල සඳහන් දස බෑයනුදු මොවුනුදු එක ම පිරිස යැයි ගෙන කතරගම දස බෑයන් නමින් හැඳින්වුණහ.

මහාවංසයේ කියැවෙන පරිදි, අනුරාධපුරයෙන් රුහුණට පැමිණි පළමු වන පාලකයා මහානාග යි.

මහානාග වනාහි දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා යි. ඒ රජු ගේ බිසොව අඹ ගෙඩියකට විෂ යොදා ඔහු මරන්නට ගත් තැත හෙළි ව‍ූ කල්හි හෙතෙමේ අනුරාධපුරය හැර දමා, බිය පත් වැ, රෝහණයට වනි. ලංකා ඉතිහාසයේ පසු කලෙක දක්නා ලැබෙන පරිදි මෙන් ම මෙ කල ද අනුරාධපුරයේ බියක් ඇතිවූ කල්හි එහි පාලකයාට අභය ස්ථානය වූයේ රෝහණයට බව මෙයින් පෙනේ.

මෙසේ රුහුණට වන් මහානාග බාධාවෙකින් තොර වැ එහි පාලනය ගෙන ගිය බව සිතිය හැකි ය‍. මෙ කල රුහුණේ පාලකයා වැ සිටියේ යට කී දස බෑයන් ගේ පියා වූ ගමණි යි.

ගමණි දස බෑයන් ගේ පියා වූ බව ‘ගමණි පුත දශබතිකන...’ යන බෝවත්තෙගල සෙල් ලිපි පාඨයෙනුදු මනා වැ පෙනේ. මහානාග වෙත ගමණි කැමැත්තෙන් ම පාලනය බාර දුන්නේ ද බලයෙන් එය ලබා ගැනුණේ යනු නොපැහැදිලි ය.

කෙසේ වතු දු, අනුරාධපුරයේ සිට මුළු ලක්දිව පාලනය කළ සේ ගැනෙන දෙවන පෑතිස් රජුගේ ආධිපත්‍යයයෙන් ම මහානාග ද රුහුණ පාලනය කළ බව ඔහු උපරාජ නාග යනුවෙන් හඳුන්වා තිබීමෙන් පෙනේ. මෙයට නො බිඳිය හැකි සාක්ෂ්‍යයක් මොට්ටයක්නල්ලු සෙල් ලිපියෙනුදු ලැබේ. ‘දශබතිතර ඣවක නය උපරඣ නග...’ යනු එහි දැක්වේ. දශ භාතිතයන් ගේ රාජ්‍යයේ ජාවක නායකයා වූ උපරාජ නාග යනුවෙන් එහි අරුත් පහදන මහාචාර්ය පරණවිතානයෝ මේ උපරාජ නාග නම් මහානාග ට යැ යි පවසති.

පරණවිතානයන් ගේ ජාතික නායක මතය අතිශයින් විවාදාපන්න වුව ද උපරාජ නාග හඳුනාගැන්ම පිළිගැනීමට එයින් බාධාවක් නො වේ.

මහානාග හෙවත් උපරාජනාගත් ගමණිත් අතර බල අරගලයක් වූ බවත් නො පෙනේ. මහානාග පුත්‍ර යට්ඨාලය තිස්ස හෙවත් යටාල තිස්ස කල ද රුහුණේ බල අරගලයක් වූ බවත් නො කිය හැකි ය. යටාල තිස් කැලණියේ සිට මාගමට පැමිණි බව කියැවේ. එ කියන කැලණිය කොළඹ අසල් කැලණිය ද ඈත රුහුණේ වූ වෙනත් කැලණියක් ද යන්න ද ඉතිහාසකාරයන්ගේ මත භේදයට බඳුන් වැ පවතී.

ඒ කුමක් වුව ද, යටාලතිස් තෙමේ වෙහෙර විහාර කරවා දැහැමෙන් සෙමෙන් රජය කැරවී ය. එ වුව ද ඔහුගේ පුත් වූ (පරණවිතානයන් කියන සේ ඔහුගේ සොහොයුරු වූ) ගෝඨාභය තෙමේ එසේ නොවී ය. ඔහුට ගමණි පුත් දස බෑයන් සමඟ සාමයෙන් පාලනය ගෙනයා නොහැකි විය. එහෙයින් හෙතෙමේ මේ සුප්‍රකට දස බෑයන් මැරැවී ය.

දස බෑයන් මරවා අත පිස දා ගන්නට ඔහුට හැකි වූ බවක් නො පෙනේ. එයට එරෙහිව මහජන උද්ඝෝෂණය නැඟ එන්නට ඇත. එ හෙයින් ගෝඨාභය රජ (බොහෝ පාලකයන් කරන්නාක් මෙන්) වෙහෙර විහාර තනවා එයින් ගැළැවෙන්නට තැත් ගනී‍. ධාතුවංසයෙහි නියැලෙන ලෙසට මහවැලි ගඟ දෙපස වෙහෙර පන්සියය බැගින් තැනැවී ය.

මෙ ද වහල් කැරගෙන දසබෑ පරපුර පිළිබඳ එක්තරා මතයක් ඇති කළ හැකි ය. යට කියැවුණු සේ ඔවුහු අනුරාධපුර බෝධි රෝහණ උත්සවයට ගිය හ. මහාබෝධියෙන් හටගත් අෂ්ටඵල බෝධීන් ගෙන් එකක් සිය පෙදෙසේ රෝපණය කළ හ.

ඔවුන් වැනැසූ පව ගෙවනට කළ යුතු වූයේ ද බෞද්ධ විහාර ගොඩ නැංවීමයි. මෙ සියල්ල එකට ගෙන සලකන කල මේ දස බෑ පරපුර බෞද්ධයන් වූහයි යන මතය ඉපැදැවිය හැකි ය.‍ බුදුන් ලක්දිවට වැඩි වරෙක කතරගමට වැඩ කිහිරි වනයෙන් (කිරි වෙහෙර බිමෙහි) සමවත් සුවයෙන් වැඩ සිටි බව වංස කථාවල කියැවෙයි.

එ නැව මහාඝෝෂ නම් පාලකයෙක් කතරගම වූ හයි කියැවේ. මේ දස බෑයෝ ඔහු ගේ පරපුරින් පැවැතෙන්නෝ ද, මිහිඳු හිමියන් මෙහි වඩිනට පෙර ම බෞද්ධයන් ව සිටියෝ ද යනු දැන් ඉතිහාස කාරයන්ගේ විමැසුමට බඳුන් වැ පවතී.

කොටාදැමූහෙල සෙල්ලිපිවල සඳහන් පරිදි දස බෑයන් අතුරෙහි ධමරජ නම් පාලකයෙක් විය. ඔහුගේ දූ ශංවර නම් ව‍ූවා ය.

අනුරාධපුරයෙන් ආ පාලක පරම්පරාවෙහි (ගෝඨාභය පුත්) අයතිශ (පසු වැ මහතිශ) ශංවර සරණ පාවාගති. මෙසේ අනුරාධපුර - ‍රෝහණ පාලන පරම්පරා දෙක එක් විය. මේ දෙපළට උපන් දෙටු පුත් තෙමේ රුහුණේ සිට සේනා සංවිධානය කොට අනුරාධපුරයට ගොස් එහි වූ විදෙසි බලය වනසා මුළු සරිලකට රජ වී බුදු සසුන බබළවා මෙ රට මහා වීරයා විය.

ශංවර කවරක් ද? විහාර මහා දේවියයි. මහතිශ කවරෙක්ද? කාවන්තිස් රජ යි. ඔවුන්ගේ දෙටුපුත් අන් කවරෙකු හෝ නොව දුටුගැමුණු මහ රජයි.

මහානාම හිමියන් නොදුටු දස බෑ පරපුර ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු ද වූ රැ. තෙන්නකෝන් කවියා මෙසේ දුටුයේ ය.

 

මාගමැ රැඳුම් පත් හැරැ ගොස්

කැලණි පුර

නිරිඳා යටලු තිස් රැකි පියහු පරපුර

දම් හල් සෙල් අබා මාදම්පල් වෙහෙර

කැරැවී මහ පියා සේ වී පිනට බර

ඔහු පිත් දැඩි ගුණේ වැඩි ගොළු

අබා රද

ලද රට පියා මළ පසු වී සිතට මඳ

කරවා කතරගමැ දස බෑ රජුන් වඳ

කැරැවී තත් වෙහෙර ගෙවෙනට

එ පව් කඳ

සුරැතිස් නිරිඳු විලසින් පෙරැ අනුරපුරේ

දහසක් වෙහෙර මා වැලි

නදියෙහි දෙතෙරේ

කැරැවූ හයි කියති මෙ නිරිඳු

එයින් නිරේ

නො වැටී ඔහු දකින්නට ඇති

තුසී ප‍ුරේ 

 

Comments