
( “ මිනිස් කටහඬ, සංගීත භාණ්ඩයක්”, යන මැයෙන් මෙහි මුල් කොටස ඉකුත් සතියේ දී පළ විණි.)
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජීවය හතිලන පොළොවක් සංගීතයෙන් අස්වැද්දූ සැබෑ මිනිසෙකි. ඔහු නිර්මාණය කළ ටෝන් පොයම් (Tone Poem) සංගීතමය භාවිතය තුළින් මිනිසාත්, ඔහුගේ ජීවන පැවැත්මත්, ස්වභාවධර්මයත් පිළිබඳ කවදාවත් පරණ නොවන කතාවකට කටහඬක් දෙනවා. ඒ හඬින් ඇහෙන්නේ මිනිසාගේත්, ස්වභාවධර්මයේත් හදගැස්මේ රිද්මයයි. ඒ රිද්මයෙන් කාලයට හසු නොවුණු සත්‍යයේ ගැඹුරු දෝංකාරය පිළිබඳව ගැයෙනවා. ඒහි නිදන්ගත රිද්මයේ කිසිදු සීමාවකින් තොරව මහ පොළොවේ ජීවත් වෙන මානව සංහතියේම ආත්මය සුවපත් කිරීමේ ජීවගුණයක් පවතිනවා. ඒ සංගීතමය නින්නාදයෙන් රසිකයා තුළ ජීවත් වන මිනිසා ඇහැරවා මිනිසාත්, ලෝකයත් පිළිබඳ හිතන්න පුරුදු කරනවා. ඒ තුළින් ඉපදෙන ප්‍රඥාවෙන් එදත්, අදත් හෙටත් ලෝකය ගොඩනැගීමට තමන් මැදිහත් විය යුත්තේ කෙසේ ද? එය පටන් ගත යුත්තේ කොතනින් ද? යන සොයායාම වෙත මිනිසා රුගෙන යනවා.
හෙළයේ මහා ගාන්ධර්වයන් වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, 1980 දශකයේ දී ටෝන් පොයම් (Tone Poem) සංගීත ශෝනරය (Genre) මේ පොළොව වෙත ගෙන එනවා. ඉන් වසර 36 කට පසුව එනම්, 2016 වසරේ දී ගයත්‍රී කේමදාසයන් ටෝන් පොයම් (Tone Poem) නිර්මාණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීන් සමග යළි මේ පොළොව මත ප්‍රතිනිර්මාණය සිදු කරනවා.
ටෝන් පොයම් නිර්මාණය පිළිබඳ ගයත්‍රී කේමදාසයන්ගේ කටහඬ මෙසේ අවදි විය. මෙතන දී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා, ටෝන් පොයම් (Tone Poem) හෝ ඇකපෙලා (a capella) යන සංගීත භාවිතයන්ගේ ඉතිහාසයක් නොමැති රටක ඒ ආභාෂය ලබා ගත්තේ කෙසේ ද? යන්න. තාත්තා හැම වෙලාවෙම පවතින දේ තුළින් පර්යේෂණාත්මකව අලුත් දෙයක් නිර්මාණය කළා. ඒ හුරුව මත තමයි මෙම ටෝන් පොයම් සංගීත ශෝනරය (Genre) බිහි වෙන්නෙත්. කිසිදු සංගීත භාණ්ඩයක් නැතිව කටහඬ විතරක් පාවිච්චි කරන ඇකපෙලා (a capella) සංගීතමය ශෛලියත්, සංගීත භාණ්ඩ යොදාගෙන සංගීතයෙන් පමණක් කතාවක් කියන ටෝන් පොයම් (Tone Poem) යන සංගීත ශෛලියත් පර්යේෂණාත්මකව තමන්ට තිබුණු සම්පත්වලින් අත්හදා බලනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මෙය නිර්මාණය වෙන්නේ.
තාත්තට අවශ්‍යය වුණේ, ‘කටහඬ සංගීත භාණ්ඩයක් කරගෙන ඒ ඔස්සේ සංගීතයෙන් කතාවක් කියන්න’. කිසිම සංගීත භාණ්ඩයක් භාවිත නොකර කටහඬ තුළින් පමණක් යම් භාව ප්‍රකාශනයක් සිදු කරන්න. අන්න ඒ හේතුවෙන් තාත්තා මෙම සංගීත භාවිතය සඳහා ටෝන් පොයම් (වර්ණ කාව්‍යය) කියන අදහස භාවිත කළා.
ජීවය හතිලන පොළොවේ හුස්මයි...
කාලය එම සුවදේ හිස් සුසුමයි
සොඳුරු බවේ....ලේ කඳුළක් නොම සලනා.
සොඳුරු බවේ....රුස් කිරණක් නොම දැනෙනා.
පිනට උපන් මිනිසුන් සිටිනා රට නියම කලට
වසිනා....වැහි කුමකට?
කුමකට? කුමකට? වැහි කුමකට?
පද රචනය - ආචාර්ය ධර්මසේන පතිරාජ.
මෙම ටෝන් පොයම් (වර්ණ කාව්‍යය) තුළ සුප්‍රාණු, ඇල්ටෝ, ටෙනා, බේස් යන විවිධ හඬ තලයන් ඔස්සේ යම් කතාවක් කියවෙනවා. ඒ කියවෙන කතාවෙන් මතුවෙන නොයෙක් අර්ථයන් ඔස්සේ රසිකයාව හිතන්න පුරුදු කරනවා. මේ කතාවෙ අන්තර්ගත එක් අර්ථයක් තමයි, එයින් කියවෙන්නේ, පිනට උපන් මිනිසුන් ගැනවත්, කාලෙට වහින වැහි ගැනවත් නෙමෙයි. මෙයින් කියවෙන දේ තමයි අපි අපිම වෙනස් වුණේ නැත්තම්, ලෝකයට අපිට කළ හැකි දේ කුමක්දැයි සොයාගෙන ඒ සඳහා සිය අභ්‍යන්තරය වෙනස් කරගත්තේ නැත්නම්, වෙන දෙයක් කලට වෙලාවට සිදු වුනාට එයින් ඵලක් නැති බව.
ටෝන් පොයම් (වර්ණ කාව්‍යය) ආරම්භක මොහොතේ සිට අවසානය දක්වාම වස්තු විෂයෙන් කියැවෙන සමාජ, දේශපාලනික, සංස්කෘතික කතාවේ යථාර්ථය, විවිධ හඬ තලවල රිද්මයෙන් නිරන්තරයෙන් පුල පුලා කියැවෙනවා. එහි පවතින සැඟවුණු යටිපෙළ අර්ථයන් සුප්‍රාණු පාට් එකෙන් අපිට ඇහෙන්න පටන් ගන්නවා. අනෙක් හඬවල් ඔස්සේ යටිපෙළ අර්ථයේ විවිධ දිශානතීන් ප්‍රේක්ෂකයට දැනෙන්න පටන් ගන්නවා.
විටක ඉතාමත් සියුම් ලෙස ඇසී නෑසී යන තලයක සිට තවත් විටක උස්, වේගවත් තලයක සිට ඒ කටහඬවල් නින්නාද දෙනවා. ඒ අතර එක හඬක් සැරින් සැරේට අනෙක් පිරිසෙන් වෙනස් තැනක ඇහෙනවා.
හරියට හදවත විනිවිදිමින් ඇතුළු අභ්‍යන්තරයේ සිට එන හඬක් මොහොතක දී කතා කරන්න පටන් ගන්නවා වගේ හැඟීමක් එහි රිද්මය තුළ පවතිනවා. ඒ තුළින් අනෙක් හඬවල් ඔස්සේ ගොඩනගන සමස්ත අර්ථයේ සැඟවුණු යථාර්ථය පිළිබඳ දෝංකාරයක් ඇහෙනවා. ඒ හැම කටහඬකටම එකිනෙකාට ආවේනික කතාවක් පවතිනවා. හැබැයි ඒ හැම කතාවකම නොවෙනස් වන වෙනස්කමක් තියෙනවා. ඒ හේතු නිසාම සාමාන්‍ය ගීතයක් අහලා රසවිදින තැනින් එහාට රසිකයා අරන් යනවා.
සොඳුරු බවේ....ලේ කඳුළක් නොම සලනා.
සොඳුරු බවේ....රුස් කිරණක් නොම දැනෙනා.
ලම් ලම් ලම් ල ල ලම් ලම් ලම් ලම් ල ල ලම් ල ල ලම් ල ල ලම්
එතැන රිද්මය ඉතාමත් සුවිශේෂී. එම ‘ලම් ලම් ලම් ල ල ලම්’ හඬ තලයන්ගේ රිද්මය මගින් කිසියම් දැහැනකට සමවැදිලා ඒ තුළ යම් මොහොතක් ඉන්න වෙලාවක අපිව ඇහැරවලා අවධාරණයෙන් යම් කිසිවක් ප්‍රකාශ කරන්න අපිව මානසිකව අවදි කරනවා. එතැනදි වෙනස් වෙන රිද්මයෙන් ඊළඟට වචනයෙන් කියන්න යන දේ තුළ පවතින ගැඹුර වෙත අපිව අරන් යනවා. ඉන් පසුව කියවෙන්නේ,
“පිනට උපන් මිනිසුන් සිටිනා රට නියම කළට වහිනා වැහි කුමක ට”?
සමස්ත වස්තු විෂය තුළ යටි පෙළ අර්ථය, “පිනට උපන් මිනිසුන් සිටිනා රට නියම කළට වහිනා වැහි කුමකට”? යන වාක්‍යයෙන් මතු වෙනවා. කටහඬ තලයන් ඔස්සේ ගොඩනැගෙන රිද්මය මගින් වචනාර්ථයේ පවතින ඉතා සියුම් අර්ථයන් සහා හැඟීම් ඉස්මතු වෙනවා. කටහඬ නැමති වාදන භාණ්ඩයෙන් වාක්‍යයේ සෑම වචනයක්ම වැයෙන්න පටන් ගන්නවා. ඒ තුළින් රසිකයා අර්ථ රසයේත්, ශබ්ද රසයේත් පවතින ගැඹුරු අභ්‍යන්තරය වෙත ගෙනයනවා.
කුමකට ? කුමකට ? වැහි කුමකට ? යන ප්‍රශ්නය නැවත නැවතත් ඇහෙනවා. එය ප්‍රශ්නාර්ථයක් ලෙස අවසන් කරනවා. ඒ ප්‍රශ්නේ අපි ළඟ ඉන්න අනෙකාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නොව එය තම තමන් තනිවම තමාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් බව අපට දැනෙනවා. නැවත නැවතත්, කුමකට ? කුමකට ? වැහි කුමකට ? යන වචන ඔස්සේ ඉතා සියුම් ලෙස අප තුළ සිටින මිනිසාව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. විවිධ හඬ තලයන් තුළින් භාවමයන් ප්‍රතිනිරූපණය කර අප තුළ සංවාදයක් ඇති කරනවා. වචන කැඩපතක් වෙලා කටහඬ තුළින් හැම මනුස්සයෙකුටම තමාට තමාව මුණ ගස්සනවා. ඒ නිසාම අපේ හෘදය සාක්ෂිය හොයන්න අපි කොතනින් පටන් ගත යුතු ද? යන ප්‍රශ්නය තුළින් අපි අපිව හොයන්න පෙළඹෙනවා.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දයාබර බිරිඳ ලතා කේමදාසයන්, ටෝන් පොයම් නිර්මාණය පිළිබඳව සිය මතකය මෙසේ අවදි කරයි.
“මාස්ටර් හැමදාම ජනවාරි මාසයේ එයාගේ උපන් දිනය කිට්ටු කරලා අලුත් අලුත් සංගීත නිර්මාණ රසිකයින් වෙත ගෙන යනවා. ඒ කරපු නිර්මාණයක් අතරින් එකක් තමයි මේ නිර්මාණය. මෙය සංගීතය නැතුව කියන හින්දා මම නම් හිතුවා මිනිස්සු මේක පිළිගනී ද නැද්ද කියලා. ඒ වුණාට 1980වෙදී පළවෙනි වතාවට ගායනා කරන වෙලාවෙදී ඇල්පෙනෙත්තක් බිම දාන තරම්වත් සද්දයක් නැතුව මිනිස්සු මේකට ඇහුන්කන් දීගෙන හිටියා.”
තාත්තා පර්යේෂණාත්මක අත්හදා බැලීම් ඔස්සේ ඉදිරිපත් කළ නිර්මාණයන් එක්ක හැමදාමත් මිනිස්සු හිටියා. නමුත් ඒ නිර්මාණ දිහා විවෘතව බැලීමට සංගීත ක්ෂේත්‍ර යේ හිටියේ ඉතාමත් සුළු පිරිසක්. ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකට ඒ විවෘත බව තිබුණ් නෑ. ඒත් එදත්, අදත්, රසිකයින් මෙතන ඉන්නවා. හැකි සෑමවිටකම අපි හිර නොවී විවෘතව ඉන්න තැනකදී තමයි වෙනස් වෙනස් සංගීත ශෛලීන්ගේ අත්දැකීම් සියයට පන්සියයකටත් එහා අත්විඳින්න පුළුවන් වෙන්නේ.
ගයත්‍රී කේමදාසයන් ටෝන් පොයම් නිර්මාණය පිළිබඳව සිය කට හඬ එසේ අවසන් කළ ද, ඇගේ හඬ මේ මොහොතේදීත් සංගීතය තුළින්, මිනිසා වෙනුවෙන් නොනැවතී වැයෙමින් පවතී.
ඇය මේ වන විටත් ශ්‍රී ලංකාව පුරා ජීවත් වෙන විවිධ සමාජ තලයන්ට අයත් සෑම භූමියකම මිනිසුන් නියෝජනය වන පරිදි මිනිස් කණ්ඩායම් පුරුදු පුහුණු කරමින් ඔවුන් සමග සංගීත නිර්මාණ සිදු කරමින් සිටින්නීය. ඒ ඔස්සේ මේ මහ පොළොව සංගීතයෙන් අස්වැද්දූ සිය පියා වන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ නොනිමි මෙහෙවර ගයත්‍රී කේමදාසයන් මේ වන විටත් ඉදිරියට ගෙන යමින් සිටී. ඒ තුළ ජීවය හතිලන පොළොවක් ජීවයෙන් පුරවන්න තමන්ගේ භූමිය සැබෑවට සොයා යන සංගීතවේදිනියකගේ සැබෑ ගමනක ආත්මය සැරිසරනු පෙනේ.