පරි­සර සංර­ක්ෂ­ණයේ ගැට­ලුව විසඳා­ගමු | Page 3 | සිළුමිණ

පරි­සර සංර­ක්ෂ­ණයේ ගැට­ලුව විසඳා­ගමු

පරිසරය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඊට අදාල සංකල්ප සාධනය කිරීම ඉතා වැදගත් වෙනවා. අපේ රටේ පරිසරය රැක ගැනීම වෙනුවෙන් දරණ වෙහෙසට හා වියදමට සාපේක්ෂව පරිසරය ආරක්ෂා වන්නේ නැති තරම්. එන්න එන්නම පරිසර ගැටලු උග්‍ර වීම් මිස අඩු වීමක් නැහැ. විශේෂයෙන් යහපත් පරිසරයේ මිනිසුන්ට ලැබෙන සහ විඳින ප්‍රතිලාභ අඩු වෙමින්පවතින අතර ඒ නිසා ඇති වන සමාජ දේශපාලන සංස්කෘතික මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් වර්තමානයේ වර්ධනය වෙමින් පවතින අතර සමහර ගැටලු සෘජු හෝ වක්‍ර ලෙස පරිසරය සමඟ බැදී පැවැතීම විශේෂත්වයක්. උදාහරණයක් ලෙස ලංකාවේ වකුගඩු රෝගය සෘජුවම පරිසරය සමඟ බැඳී පවතින අතර ළමා අපයෝජන හෝ දූෂණ ඉහළ යාම සමඟ පරිසරය බැඳී පවතින බව පැවසුවහොත් එය තරමක් පිළිගැනීමට අපහසු දෙයක් වුවද සෑම විටම මානව පරිසරයේ වෙනස් වීම්වලට ස්වභාවික පරිසරයේ වෙනස් විම් බලපානු ලබනවා. පරිසරය පිළිබඳවද ගැටලු ඇතිවන්නේ අ‍ෙනක් ක්ෂේත්‍රවල මෙන් මිනිස් සිත තුළය. මිනිස් සිත වෙනස් කිරීම තුළින් පරිසරය රැකිය හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි. ලෝක මට්ටමින් පරිසර සංරක්ෂණ කාර්යයේ නියැළෙන ඒක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වැනි ආයතන වැඩි අවධානයක් යොමු කරන්නේ මිනිසුන් දැනුවත් කිරිම තුළින් පරිසර සංරක්ෂණය කිරීමටයි. එයට හේතුව වන්නේ නීතිය විසින් යම් සීමාවක් දක්වා මිනිසුන් පාලනය කළ හැකි වුවද නිතියට මිනිසුන් පෙළඹවිම සිදු කළ නොහැකි විම නිසා පරිසරය වැනි දැඩි ලෙස පද්ධතිමය ක්‍රියාකාරිත්වයකින් යුත් තැනක නීතියට කළ හැකි සීමාව එතරම් විශාල නැහැ. පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල් මැදිහත් වීමක් සිදු කිරීමට නම් ලෝකයේ සෑම පුරවැසියකුම පරිසරයේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීම අනිවාර්ය වනු ඇත.

අමෙරිකාවේ වර්තමාන සියටැල් නගරය ආසන්නයේ වාසය කල ඩුවාමිස් ගොත්‍රික රතු ඉන්දියානු නායකයකු වු සියැටැල් නායකතුමා විසින් සිදු කළ කථාවක් සියැටල් ප්‍රකාශනය නමින් එළි දක්වා ඇති අතර 1853 වැනි අතීතයක ඔහු පරිසරයේ ඇති පද්ධතිමය ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙසේ කරුණු දක්වා ඇත. මිහිකත අපගේ මව වේ. එසේම මිහිකතට සිදු වන කුමන හෝ අවාසනාවන්ත දෙයක් එහි දරුවන්ට සිදුවේ .මේ භූමි මිනිසුන් විසින් කෙලෙසා දැමුවහොත් ඉන් සිදු වන්නේ ඔවුන් තමන්ම කෙලෙසා ගැනීමක් බව සලකන්න . එම ලෙයකින් ඒ පවුලක සියලුදෙනා බැඳ තබන්නාක් මෙන් සියලු දේ එම හුයකින් බැදී පවතී. මිහිකත මත ඇති ජීව ජාලය මිනිසා විසින් ගෙතුවක් නොවේ. ඔහු එහි ඒ හුය පමණි. මේ ජිව ජාලයට ඔහු විසින් කරන සෑම දෙයක්ම ඔහු තමාට ද කරගන්නා දේ බව මතක තබා ගන්න.

සියටැල් විසින් කළ අනාවැකි වසර සියයක් යාමට ප්‍රථම සැබෑවෙමින් පැවතීම සියටැල් චින්තනයේ සදාතනික බව සහ අනාගත දැක්ම මනාව පැහැදිලි කරන්නකි. සියැටල් ප්‍රකාශයේ නොකියවුණු සත්‍යය නම් මිනිසුන් පරිසරය පිළිබඳව දැනවත් කිරීම තුළින් පරිසරය ආරක්ෂාකර ගත හැකි බවයි .දැනුවත් මිනිසුන් බිහිකළ හැක්කේ අධ්‍යාපනය තුළිනි. අධ්‍යාපනය තුළ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදය වන්නේ සංකල්ප සාධනයයි . පරිසරය පිළිබඳ සංකල්ප සියටල්ගේ පරම්පරාව පොතින් නොව භාවිතයෙන් උගත් අතර අපට සිදු වී ඇත්තේ මෙය පොතින් ලබා දීමටයි. විශේෂයෙන් සියවස් තුනක් බටහිර ආධිපත්‍යය විසින් අප සහ පරිසරය අතර තිබු බැඳීම විනාශ කළ බව අපි දනිමු .දේශිය වෛද්‍ය ආක්‍රමණය තුළ භාවිතයට ගත් අවට පරිසරයේ ශාක සහ පරිසරයේ අංග වෙනුවට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ බෙහෙත් පෙති භාවිතයට ගැනීමත් සමග පරිසරයේ ගහ කොළ කෙරෙහි වු අපගේ බල පෑම අවසන් විය .

ඉන්දියාවේ බුදුන් දවස විසූ ජීවක නම වෛද්‍යවරයාගේ ශිෂ්‍ය සමයේ ඔහුගේ ගුරුවරයා විසින් තමන්ගෙන ඉගෙන ගත් ශිෂ්‍යනයන්ට ලබා දුන් අවසාන පරික්ෂණය වුයේ හිමාලය වනයට ගොස් ඖෂධයක් ලෙස භාවිතයට ගත නොහැකි ශාඛ එකතු කරගෙන එන ලෙසයි. මේ අනුව එක් එක් ශිෂ්‍යයා විවිධ ක්‍රමවලට ගස් සහ පැළෑටි රැගෙන ආ බව පැවසේ. එක් අයකු කරත්තය පිරෙන්න ශාක රැ‍ෙගන ආ අතර තවත් අයෙකු ගොනියකටත් තවත් අයෙකු අතින් රැගෙන ආ ප්‍රමාණයත් රැගෙන ආ අතර ජීවක හිස් අතින් පැමිණි අතර ඔහු පැවසුවේ බෙහෙතකට ගත නොහැකි කිසිදු පැළෑටියක් නොමැති බවයි . ගුරුතුමා හොඳම ශිෂ්‍යයා ලෙස ජීවක හඳුන්වා දෙමින් එය සත්‍ය බව ප්‍රකාශ කර හොදින්ම ඉගෙන ගත් නිසා මෙය තේරුම් ගත හැකි වු බවත් පවසා ඇත. මේ කතා පුවතේ විස්තර කරන්නේ පරිසරයේ ඇති සෑම ශාකයක් හා පැළෑටියක්ම මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් වැදගත් වන බවයි .

ලංකාවේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් න්‍යායාත්මක ප්‍රවේශයක් හඳුනා ගෙන නැති අතර නා ගල් ගසන්නාක් මෙන් පරිසරය රැකීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසා මේ ක්ෂේත්‍රයේ තව දුරටත් අවුල් නිර්මාණය කර ඇත . මෙයට හොඳම උදාහරණය වන්නේ 1980 දී ජාතික පාරිසරික පනත සම්මත වීමත් 1981 දී මධ්‍යම පරිසර අධිකාරිය පිහිටු වීමත් 1982 දී ජාතික සංරක්ෂණ උපාය මාර්ග සැලැසුම් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමත් සිදු කළ ද වසර 25ක් ඉක්ම ගිය තැන පරිසර ගැටලු කීප ගුණයකින් වැඩි වු නමුත් සංරක්ෂණයක් සිදු නොවීමයි . අද දවසේ රාජ්‍යය නොවන සංවිධාන වල බල පෑම සහ බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය මත පරිසර ගැටලු සමහරක් සඳහා විසඳුම් ලබා ගත හැකි වුවද සමස්තයක් ලෙස පරිසර සංරක්ෂණය වෙනුවේන් රජය මැදිහත් වීම දැනුම ලබා දීම සඳහා වු වැඩසටහන්වලින් ඔබ්බට ගමන කර නැත . ඒ නිසා පරිසරය රැකීම වෙනුවෙන් මීට වඩා රජයේ මැදිහත් වීමක් සහිත ක්‍රමවේදයක් අවශ්‍ය වී තිබේ . දේශපාලන වුවමනාවන් සපුරාලන දූෂිත අකාර්යක්ෂම ආයතන වෙනුවට විධිමත්, කාර්යක්ෂම දැඩි කැපවීමකින් ක්‍රියාකරන සේවකයින් සහිත නව ආකෘතියක ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු විය යුතුය. ලංකාවේ සාමාන්‍යකරණය වී ඇති රාජ්‍යය සේවයේ අකාර්යක්ෂම ආයතන අතරට තවත් සුදු අලි මෙන් මුදල් ගිල දමන හෝ ආණ්ඩුවෙ රැකියාවක් දීම සඳහා ඇති කර පවත්වාගෙන යන ආයතන වලින් පරිසර සංරක්ෂණය වැනි සං‍ෙව්දී වුවමනාවන් ඉටු කරවා ගැනීමට යාම නිසා තව දුරටත් පරිසරය විනාශවෙමින් පවතී.

පරිසරය රැකීම සඳහා විවිධ නීති රෙගුලාසි අණ පනත් ඇති කර ඇති නමුදු තිබෙන ගැටලුව වනුයේ මේ නීති අනපනත් රෙගුලාසි නිවරැදිව ක්‍රියාත්මක නොවීමයි . 1984 දී සිට ක්‍රියාත්මක වන පාරිසරික බලපත් ලබා දීම සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම සහ ඒ සදහා රජයේ සියලු ව්‍යාපෘතිවලට සහ ජාතික සංවර්ධන සැලැසුම් සහ පරිසරය සම්බන්ධයෙන් අනුමැති අත්‍යවශ්‍ය බව 1987 සිට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය අතිශයින් තීරණාත්මක වුවද අද වන විට ක්‍රියාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා කිසිදු වගකීමකින් තොරව පාරිසරික බලපෑම් වාර්තා ලබා දී ඇත. මේ තුළින් 1980 දී ඇති කළ මධ්‍යම පරිසර අධිකාරියේ බලය අවලංගු වී ඇත. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය පෝට් සිටි ව්‍යාපෘතිය මෙන්ම දිවයින පුරා පරිසර විනාශයන් සිදු කරමින් ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති සියල්ල රජයේ දේශපාලන වුවමනාවන් මත පරිසර බලපෑම් වාර්තා ලබා දී ඇත .එසේම රජයේ සංවර්ධන ව්‍යාපෘති සදහා සැපයුම් කරන සහ උප කොන්ත්‍රාත්කරුවන් පමණක් නොව ලී මෝල් ,වැලි ගොඩදැමීම, වනාන්තර හෙළි කිරීම, මැණික් ගැරීම, පස් කැපීම, ගල් කැඩීම, වැනි කාර්යන් සෘජුවම දේශපාලන අධිකාරිය හරහා සිදුකරන බලපත් ලබා දීම් නිසාවෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම එනම් නිවරැදි අධ්‍යාපනයකින් තොරව බලපත් ලබා දීම සහ තක්සේරු වාර්තා ලබා දීම ලංකාවේ වර්තමාන පරිසරය තුළ ප්‍රබල ගැටලුවක් නිර්මාණය කර ඇත .

මේ අනුව පැහැදිලි වන්නේ මෙසේ අප පැමිණි මාවතේ අප කොතරම් දුරක් ඇවිද ගියද අප ගොස් ඇත්තේ වැරැදි මාවතක බවයි . වැරැදි මාවත්වල කොතරම් වේගයෙන් සහ වුවමනාවෙන් ඇවිද ගියද අප අපේක්ෂා කරන දෙය දැක ගැනීමට නොහැකිය. පරිසර සංරක්ෂණය තුළ අප වේගයෙන් ඇවිද ගිය අධ්‍යාපනය ප්‍රකාශනත් නීතිමය ප්‍රවේශයත් දෙකම තුළ අවසානය වංක ගිරියක් වී ඇත්තේ මේ නිසාවෙනි. දැන් අප කළ යුත්තේ ආපසු ගොස් හෝ නිවරැදි මාවතක් පරිසර සංරක්ෂණය වෙනුවෙන් තනා ගැනීමකි. 

 

Comments