මොහු කාගේ කවු­දැයි හඳුනා ගැනී­මට පොලී­සිය මහ­ජන සහය බලා­පො­රොත්තු වෙයි.! | සිළුමිණ

මොහු කාගේ කවු­දැයි හඳුනා ගැනී­මට පොලී­සිය මහ­ජන සහය බලා­පො­රොත්තු වෙයි.!

කල්දේරා ඇන්ඩ් ද කැලිප්සෝ ඒක පුද්ගල ගායන වාදන වෘන්දය කොළඹ ක්ලබ් 191 අවන්හලේ අඩ අඳුරේ මේසයෙන් මේසයට සංචාරය කරමින් සිටි අතර සියලු තාල අනු නාද නැගුණේ අබලන් බේස් ගිටාරයකිනි. ' කැලිප්සෝ රෝස් - සිඟින් සැන්ඩ්‍රා යන ජනප්‍රිය ගායිකාවන් දෙපළ සහ වින්ස්ටන් ඇන්තනි හෙවත් මයිටි ෂැඩෝ ' යන නාමයෙන් ප්‍රකටව සිටි ගායකයාගේ ගීත නිතරම පාහේ ගායනා කළ කල්දේරා විකාර රූපී බටකොළ තොප්පියකින් සහ ඊට කිසිසේත් ම නො ගැලපෙන විසිතුරු වර්ණ බතික් කමිසයකින් ද ඔහුගේ තරමට වඩා ඉතා විශාල බෙල් බොටම් වර්ගයේ කළු පැහැති දිගු කලිසමකින් ද යුතුව හැමවිටම පෙනී සිටියේය. දිළිඳු පෙනුමකින් යුතු වූවත් මේ කැලිප්සෝ ගායකයාගේ පිරිසුදු බව සහ ආචාරශීලී බව සියලු දෙනාගේ පැසසුමට ලක්විය. ඊට අමතරව ඔහුට භාෂා හයකින් ගී ගැයිමේ හැකියාවත් තිබිණි.

අවන්හලේ සියලු දෙනා ඔහුගේ සංගීතයට සවන් දෙමින් කිසියම් මිහිරි රසයක් විඳි අතර බොහෝ විට ඔහුට මධුවිත තොලගාන්නවුන්ගේ විශේෂ ඉල්ලීම් අනුව ගී ගැයිමට ද සිදුවිය. එහෙත් දවස අවසානයේ මධ්‍යම රාත්‍රියත් ඉක්ම ගිය පසුව ඔහු තම පංචිකාවත්තේ බෝඩිම් කාමරය වෙත යන්නේ සොච්චම් මුදලක් පමණක් අතේ ඇතිවය. පසුදින උදේ ආහාරයත් දිවා ආහාරයත් ගත් පසුව ඔහු සතු අන්තිම සතයත් හමාර වෙයි.

එක් සති අන්තයක රාත්‍රියේදී ඔහු ක්ලබ් 191 අවන්හලේ ගී ගයමින් මේසයෙන් මේසයට යමින් සිටියදී මැදිවියේ විදේශික සංචාරක යුවළක් යාබද මේසයක අසුන් ගෙන තමා දෙස උනන්දුවෙන් බලා සිටිනු දැක ඔවුන් සමීපයට ගියේය.

කල්දේරාගේ අබලන් ගිටාරය දුටුමතින් දෙතොල් උල්කොට දෙවුර හැකිලූ විදෙස් කාන්තාව පළමුව තමා හඳුන්වා දෙමින් ' මං ක්‍රිස්ටියන් මේ මගේ සැමියා විලියම් ..අපි දෙන්නම හොඳ කැලිප්සෝ ලෝලීයෝ .. යි කියද්දී ඒ බැව් තදින් තහවුරු කරන්නාක් මෙන් ස්ථිර ලීලාවෙන් හිස සැලූ විලියම්; කල්දේරාගේ දකුණත අල්ලා ගත්තේය. ' ඔබ දන්නවද කැලිප්සෝ සංගීතය උපන්නේ කොහෙද කියලා ' යි ඔහු අසන විටම ' ඔව් සර් .. ටුබැගෝ ..ට්‍රිනිඩ්‍රෑඩ් වහල් කම්කරුවෝ තමා මේ සංගීතය ලෝකෙට දුන්නේ ' යි කල්දේරා වහාම පිළිතුරු දෙන විට විමතියට පත් වූ බවක් පෙන්වමින් විලියම් තම දෙනෙත් විහිදා නළල රැලි ගැන්වූයේය. ' ඔව් හරියට හරි ..මේක මුලින්ම වහල්ලු තමන්ගේ වේදනාව තුනී කර ගන්න හැදුවා වුණත් අද මේක විනෝදයට තාලෙට නටන්නම කියාපු සංගීතය වෙලා. ලෝකේ පුරා කැලිප්සෝ බෑන්ඩ් තිබුණත් ඒ බොහෝ දෙනෙක් මේකේ මුල්කතාව දන්නෑ. නමුත් ඔබ මේ ඉතිහාසය දැනගෙන හිටිය එක ගැන මට බොහොම සතුටුයි ' යි විලියම් කීවේය. ' බොහොම ස්තුතියි සර් ! ' යි තමාට සුපුරුදු ආචාරශීලී ස්වරයෙන් කී කල්දේරා ' සර්ට වෙලා තියෙනව නං ටිකක් හොයලා බලන්න ග්‍රීක දේවකතාවලත් හෝමර් රචනාවලත් කැලිප්සෝ කියලා චරිතයක් තියෙනවා ' යි කී අතර ඒ සමඟම තමා විසින් නුහුමනා පණ්ඩිත කතාවක් කීවේදැයි වහා සිහි වූවාක් මෙන් සමාව භජනය කරන්නාක් වැනි ඉරියව්වක් පෙන්වූ කල්දේරා ; ' ඔබ කැමතිම ගීයක් තිබේනම් කියන්නැයි ' කී අතර ' මයිටි ෂැඩෝගේ කිං ඔෆ් ද හෙල් ' ගීය ගයන්නැයි ක්‍රිස්ටිනා කීවාය.

ක්‍රිස්ටිනා සහ විලියම් අවන්හලෙන් නික්ම යෑමට පෙර ඔවුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේ ලිපිනය කල්දේරාට දුන් අතර එහි පැමිණෙන ලෙස ඔහුට ආරාධනාවක් ද කෙළේය. ඊටත් අමතරව ක්ලබ් 191 අවන්හලේ කළමනාකාරතැන හමු වූ ඔවුන් දෙදෙනා කල්දේරා පිළිබඳව ප්‍රශංසාවක් ද කෙළේ ' කල්දේරා ඔබේ අවන්හලට වටිනා සම්පතක් ' බැව් ද සඳහන් කරමිනි.

පසුදින හැන්දෑවේ සුපුරුදු ලෙස ම තම ගිටාරයත් රැගෙන අවන්හලට පැමිණි කල්දේරාට ලැබුණේ එතරම් හොඳ පිලිගැනීමක් නොවූ නිසා ඔහු තරමක් විපිළිසරව සිටි අතර වෙනදාට පසුපස්සේ පන්නා ගෙන විත් බලෙන් මෙන් තමාව කතාවට ඇද ගන්නා සිකුරිටි බර්ටි පවා දැන් පෙන්වන්නේ කල්දේරාව ගණන් නොගන්නා සෙයියාවකි. අනෙක් මිතුරු වේටර්වරුන් ද හිතාමතාම තමාව මග හරිමින් සිටින බැව් ඔහුට පසක් විය. මේ හදිසි විපර්යාසය වටහාගත නොහැකි තැන ඔහු වේටර්වරයකු පසුපස හඹා ගොස් ' මල්ලී මොකද මේ හැමෝම අද අමුතු වෙලා මොකක් හරි ප්‍රශ්නයක් දැයි ' ඇසුවේය.

කල්දේරාගේ මුහුණවත් නොබැලූ වේටර් මහා හදිසියක් පෙන්වමින් ඔහු මග හැර යන්නට තැත් කරමින් ' ප්‍රශ්නේ ..ප්‍රශ්නේ තමා ප්‍රශ්නේ .. අපි නං ඕවා ගැන කියන්න දන්නෑ ...ඔයත් එක්ක කතා කරනවා මැනේජර් සර් දැක්කොත් මටත් ප්‍රශ්නයක් වෙයි ..' යි කී ඔහු අඩියට දෙකට ලිස්සා ගියේය.

අවන්හලේ රවුම් පියගැට පෙළ නැග කළමනාකරුගේ කාර්යාලයට ගිය කල්දේරා ඔහු හමුවේ පෙනී සිටිනවාත් සමඟම යක්ෂාරූඪයෙන් මෙන් වෙවුලන්නට වූ කළමනාකරු කල්දේරා දෙසට කඩා පැන්නේ ය. ' අයිසේ තමුසෙලා වගේ ගුබ්බෑයම්වල ලගින රස්තියාදුකාරයන්ට මේ වගේ තැන්වල පස් පාගන්න දුන්නෙකේ වරද තමා මේ වෙලා තියෙන්නේ ... තමුසෙට මං අනුකම්පා කරලා සිංදුවක් කියලා කීයක් හරි හොයා ගන්න ඉඩ දුන්නම තමුසේ මෙතනට එන වැදගත් නෝනලා මහත්තුරු එක්ක තර්ක දාන්න යනවා ... ඕයි තමුසේ ..මොනවද ඕයි හෝමර් ගැන දන්නෙ .. හෝමර් ! මං ශේක්ස්පියර් කියෙව්වේ ස්කෝලේ ගිය කාලේ හොඳ ඉංග්‍රීසියෙන් ... හරිද අන්නේක මතක තියාගන්නවා .. තමුසෙට පුළුවන්ද ඕයි මෙතන මටත් වඩා ඉහළිං යන්න ඈ ... ' යි කලමනාකරු වේගවත්ව කියමින් සිටියදී ඒ කතාවේ අගමුල වටහාගත නොහැකිව කල්දේරා තුෂ්නිම්භූතව බලා සිටියේය. ' තමුසේ මින් මනතේ මෙහේ එන්න ඕනේ නෑ .. හරිද ..මං හැමෝටම නියෝග කරලා තියෙන්නේ තමුසෙට මෙහෙ එන්න දෙන්න එපා කියලා .. ' යි කළමනාකරු එක එල්ලේ කල්දේරාගේ නාසයට කෙලින් දබරැඟිල්ල උරුක් කරමින් අඩි පොළොවේ හැප්පුවේය. ' මේක හරි පුදුමයක්නෙ සර් .. ඔය තරං කෑගහන්න මං මොකක්ද කරල තියෙන වරද ? ' යි ඔහු ඉඩ ලද සැණින් ඇසුවේය. ඒ සමඟ ම වේගයෙන් නැගී සිටි කළමනාකරු කල්දේරාගේ කමිස කොලරයෙන් අල්ලා ඔහු ඉවතට තල්ලු කෙළේ ය. ' යකෝ ඒ සැරේ මූ මගෙන් හරස් ප්‍රශ්නත් අහන්න එනවනේ ' යි කියමින් කළමනාකරු බෙරිහන් දෙමින් සිටියදී අන්ත අසරණ විලාසයට පත්වූ කල්දේරා අසිහියෙන් මෙන් තරප්පුව බැස අවන්හලෙන් නික්ම ගියේ අචේතනිකවය.

කල්දේරා 191 අවන්හලෙන් නික්ම බේබෘක් වීදීය ඔස්සේ සිහිමද විලාසයෙන් ගමන් කරමින් සිටියද ඔහුගේ සිත ඊටත් වඩා කම්පනයකට ලක්ව තිබිණි. ' ඊයේ රෑ හමුවූ විදේශික ජෝඩුව තමාට එරෙහිව කිසියම් පැමිණිල්ලක් කර තිබේ.

ඔවුන් මූනිච්චාවට හොඳ හිත පෙන්වූවත් හිත යටින් කිසියම් නොරිස්සුමකට ලක්වන දෙයක් තමාගෙන් කියවෙන්නට ඇත. ඔවුන් සමඟ කතාවට නොගියා නම් මෙවැනි තත්ත්වයකට තමා පත්වන්නේ නැත .. ඊටත් තමා විසින් කිසිසේත් හෝමර්ගේ රචනා වැනි පණ්ඩිත කතා නොකිව යුතුව තිබිණ. 'යැයි සිතමින් කල්දේරා ඉබාගාතේ යමින් සිටියදී ක්‍රිස්ටියන් සහ විලියම් 191 අවන්හලට පැමිණියේ කල්දේරාව නැවත හමුවිය යුතුය යන බලාපොරොත්තුවෙනි. එහෙත් කල්දේරා පිළිබඳව කිසිම හෝඩුවාවක් කිසිම වේටර්වරයකුගෙන් දැනගත නොහැකි වූ තැන ඔවුන් දෙදෙනා ගොස් කළමනාකරු හමුවිණි. ' ඔය මිනිහට විරුද්ධව ගෙස්ට්ලා හරියට පැමිණිලි කරලා තියෙනවා. ඒත් ඉතිං දුප්ප්තානේ කියලා මං මිනිහට ඒ හැම වතාවකම සමාව දුන්නා .. නමුත් අද හැන්දෑවේ ඔය මිනිහා ගෙස්ට් කෙනෙකුගේ පර්ස් එකක් හොරකම් කරලා අතටම අහුවුණා .. පොලීසියට බාර දෙයි කියලා බයවෙලා මිනිහා පැනලා දිව්වා .. ආයේ නං මේ පැත්තේ එන එකක් නෑ .. ' යි කළමනාකරු නාට්‍යානුසාරයෙන් කී විස්තරය අසා විමතියට පත්වූ ඔවුහු දෙදෙනා ඒ බැව් අදහාගත නොහැකිව ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්තෝය. ' ඒ වුණාට ප්‍රශ්නයක් නෑ .. ඔය මිනිහට වඩා බොහොම දක්ෂ කැලිප්සෝ බෑන්ඩ් එකකට මං කතා කළා .. එයාලා හෙට එනවා .. ' යි කළමනාකරු උද්යෝගයෙන් කීවේ ඒ අසා විදේශික ජෝඩුව සතුටුවනු ඇතැයි සිතමිනි. ' විශ්වාස කරන්නත් බෑ .. කොහොම නමුත් ඔහු හොඳට පොතපත කියවපු කෙනෙක් .. අපිටත් ඔහුගෙන් අහගන්න ඉගෙන ගන්න දේවල් තියෙනවා .. ඊයේ ඔහු කිව්වා කැලිප්සෝ කියලා චරිතයක් පුරාණ ග්‍රීක රචනාවල තියෙනවාය කියලා .. අපිත් ඒක දැන ගත්තේ ඊයේ රෑ .. නමුත් අපිට පුදුම හිතෙන්නේ ජන සංගීතය ගැන පර්යේෂණ කරන අපිටත් මග හැරුණු තැනක් කල්දේරා වගේ කෙනකුට අහුවුණේ කොහොමද කියලයි .. ' යි කී විලියම් තමා චෙකොස්ලොවැකියානු විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු බැව් කළමනාකරු අමතා කීවේය. ' සිදුවුණු දේ හරිම කනගාටුදායකයි මහත්මයා ..කොහොම නමුත් ඔහු පදිංචි ස්ථානය අපට ඔබගෙන් දැනගත හැකිදැයි ? ' ක්‍රිස්ටියන් ඉතා ආචාරශීලීව කළමනාකරුගෙන් ඇසූ අතර තොල්පිට පෙරලූ ඔහු තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බැව් පළ කෙළේ කෝපයෙන් රතු වූ මුහුණින් යුතුවය.

බේබෘක් වීදීය ඔස්සේ පා ගමනින් ස්ලේව් අයිලන්ඩ් මංසන්ධිය දක්වා පැමිණි කල්දේරා නානාගේ තේ කඩය අසල නතර වූයේ කහට උගුරක් සහ ස්පෝට්ස්මන් දුම්වැටියක් මිලට ගත යුතුය යන සිතිවිල්ලෙනි.

ඔහු තම බාජූ බෙල් බොටම් කලිසමේ සාක්කූ හතරේම පතුල පිරික්සූවත් ඒ එකකවත් ශතයක්වත් ඉතිරි වී නැති බැව් පසක් වූ හෙයින් කරබාගෙන ඉදිරියට පියවර මැන්නේ ය. ' තමාට වින කැටූ විදේශික ජෝඩුව නවාතැන් ගෙන සිටිනවා යැයි කී සංචාරක හෝටලය තිබෙන්නේ මෙතැන් සිට සමීප දුරකින් බැව් වහා සිහිපත් වූයෙන් ඔවුන් හමුවිය යුතු යැයි ක්ෂණිකව තීරණය කළ කල්දේරා රේල්පාරට ගොඩවී කොල්ලුපිටිය දෙසට ගමන් කෙළේ ය.

පසුදින ටැබ්ලොයිඩ් වර්ගයේ සන්ධ්‍යා පුවත්පතක ඇතුළු පිටුවක සිංගල් කොලම් ප්‍රවෘත්තියක් පළ වී තිබිණ.

‘දුම්රියේ ගැටී අයෙක් මරුට !

ඊයේ සවස් භාගයේදී කොල්ලුපිටියට ආසන්න දුම්රිය මාර්ගයේදී නාඳුනන අයෙකු දුම්රියේ ගැටී මියගොස් තිබේ. දුම්රිය නළාව කොතෙක් නාද කළත් මේ පුද්ගලයා ඒ නොතකා දිගටම රේල්පාරේ ගමන් කරමින් සිටියේ දිවි තොරකර ගැනීමේ අදහසින්ම වන්නට ඇතැයි දුම්රිය රියදුරු පොලීසියට පවසා ඇත. දුම්රිය මාර්ගයේ පයින් ගමන් කිරීම නීතී විරෝධී සහ දැඩි අවදානම් කරුණක් බව තවදුරත් පෙන්වා දෙන දුම්රිය දෙපාර්තමේන්තුව එසේ නොකරන ලෙසට මහජනතාවට අවවාද කරයි.

මරණකරු කළු පැහැති බෙල්බොටම් කලිසමකින් සහ බතික් කමිසයකින් සැරසී සිට ඇති අතර ඊට යාර කීපයකට ඈතින් වැටී තිබූ ගිටාර් සංගීත භාණ්ඩයක් සම්භවී ඇති නමුත් එය මේ මරණකරුට අයත් එකක්ම දැයි තහවුරු වී නොමැති බවත් පොලීසිය පවසයි.

මොහු කාගේ කවුදැයි හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය බලාපොරොත්තු වෙයි. එමෙන්ම මේ පුද්ගලයා සතුව මුදල් පසුම්බියක් හෝ ඔහුගේ අනන්‍යාතාව පෙන්වන කිසිදු ලේඛනයක් නොතිබීම පිළිබඳව සැක පළකරන පොලීසිය ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව කියයි. ‘ 

 

Comments