බලය කියන එකේ අන්තිම විපාකේ නින්දාව විත­රයි ! | සිළුමිණ

බලය කියන එකේ අන්තිම විපාකේ නින්දාව විත­රයි !

කලංගොඩ ජයවීර ආරච්චි පරම්පරාව රජ කාලේ සිටම ගම්පතියෝ වූ අතර සුද්දාගේ කාලයේදී මුලාදෑනියෝ බවට ද ඉන් පසුව කළු සුද්දන්ගේ කාලයේදී රාළහාමි බවට ද ඊටත් පසුව ග්‍රාමසේවක බවට ද බලයෙන් බාලයෝ බවට පත් වූවෝ වෙති. එහෙත් කොයි කවුරුත් ඔවුන්ගේ මුහුණට කතා කෙළේ ග්‍රාමසේවක රාළහාමි යන ගරු නාමයෙනි. ඒ එසේ නමුත් කලංගොඩ ජයවීර ආරච්චිල්ලාගේ වික්ටර් ජයවීරට තම පරම්පරාවේ දේපළ බූදල් පාලනය හිමිවෙත්දී ග්‍රාමසේවක කෑල්ල ද උරුමයෙන් හැලී ගොස් තිබු නමුත් ඔහු එවකට සිටි ඇමැතිවරයකුගේ සමීප ආධාරකරුවකු වූ හෙයින් සාමදාන විනිශ්චයකාර පට්ටමක් හිමිවිය. ඊට අමතරව ඔහුගේ බිරිඳට ප්‍රදේශයේ විවාහ රෙජිස්ටාර් ධුරය ද ලැබිණ. ඊටත් අමතරව සමූපකාර සමිතියේ සභාපති නිලය මෙන්ම අලුතින් ඉදිකළ පොදු වෙළෙඳපොළේ කඩ කාමර හත අටක් ද ඉන්ධන පිරවුම්හලක් ද මත්පැන් බලපත්‍රයක් ද රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත් සමාගමක් ද ඇමැතිවරයාගේ අනුහසින් වික්ටර්ට ලැබිණ. බේබදුකම සහ සල්ලාලකම් නිසා වැලේ වැල් නැතිව තුට්ටු දෙකට වැටී ඉඩ කඩම් විකුණමින් ජීවත් වූ වික්ටර්ට ඉතිරිව තිබුණේ මහගෙදර පමණි. එහෙත් ඇමැතිවරයාගේ උදව් නිසා දැන් නම් ඔහු ගජ පෝසතකු බවට පත්ව සිටියා පමණක් නොව ගමේ මහ බලවතා බවට නැගී සිටියේ ප්‍රදේශවාසීන්ට ආණ්ඩුවේ රැකියාවක් හෝ වෙනත් ඕනෑම දෙයක් හෝ ලබා ගැනීමට වික්ටර් ජයවීරගේ අස්සන සහිත ලිපියක් නැතිවම බැරි වූ හෙයිනි. නම වික්ටර්ගේ වුවත් ඔහු වෙනුවෙන් ඒ බලය සහ නිලය භාවිතා කෙළේ ඔහුගේ බිරිඳ වූ රෙජිස්ටාර් නෝනා ය. ' ඔය වික්ටර්කාරයාට ඇති දෙයක් නෑ බං ..එයා දන්නේ බෝතලේ ගහන්න විතරයි. ඇමතිතුමා වුණත් සළකන්නේ රෙජිස්ටාර් නෝනාට නේ ' යි යන ප්‍රසිද්ධ රහස ගමේ සියලු දෙනා අතර පැතිර තිබිණ.

වික්ටර්ට සහ රෙජිස්ටාර් නෝනාට හිටියේ සුරූපී විසේකාර දියණියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම කොළඹ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ අතර පාසල නිමවී පැමිණෙන ලොකු දූ ජීන්ස් කලිසමකින් ද ටෙනිස් සපත්තු ජෝඩුවකින් ද සැරසී කාටත් පෙනෙන්නට ටෙනිස් පිත්තක් රැගෙන නිවෙසින් පිටත්ව යන්නේ මහමඟ මුහුණට මුණ ගැසෙන කිසිවකුත් මායිම් නොකරනසුලු ඇස් දෙක අහසේ රැදුණාක් වැනි ආඩම්බරයකිනි.

ඊට පැය භාගයකට පමණ පසු පොඩි දූ හොකී පිත්තක් රැගෙන කොට සායක් සහ ටෙනිස් සපත්තු හැඳ නිවෙසින් පිටත්ව යන්නේ අක්කාට නොදෙවෙනි හදිසියක් මවා පෙන්වමිනි. රෙජිස්ට්‍රාර් නෝනා විවාහ මගුල්වලට යමින් ද ප්‍රදේශවාසීන්ගේ නොයෙකුත් ප්‍රශ්න කරට ගනිමින් ද දිවා රෑ රාජකාරියට කැප වූ ඉතා වෙහෙසකර ජීවිතයක් ගත කළ මුත් ඇය කොයි කවුරුත් සමඟ පවත්වා ගෙන ගියේ ඉතා සුහද ළෙංගතු ඇසුරකි. මැදිවිය ඉක්මවා සිටියද ඇය තවමත් රූපශ්‍රීයෙන් බබළයි. සද්දන්ත කුලේ ඇතින්නක බඳු ගමන සහ දසන් විහිදුවාලූ ඇගේ පියකරු සිනහවට ඕනෑම බලවතෙක් වශී වෙයි. වික්ටර් සහ ඔහුගේ දියණියන් දෙදෙනා ගමට ම එපා වී තිබුණත් රෙජිස්ට්‍රාර් නෝනාගේ ජනප්‍රියත්වය නිසා ඒ කහට ද මැකී ගියේය.

වසර දෙකක් තුළදී වික්ටර්ගේ සභාපතිත්වයෙන් පැවති සමූපකාර සමිතිය හාල්මැස්සන් ඔලුවක්වත් ඉතිරි නොවන තරමට බංකොලොත් වූ අතර රුපියල් ලක්ෂ ගණනක මුදලක් අතුරුදන්ව තිබිණ. ' තමුසෙගේ අලුගුත්තේරු වැඩවල විපාක තමුසෙම තනියම විඳිනවා ...ඕන්න මාව හේම ඕවට ගාව ගන්නව නෙවෙයි .. මොනව කරලද මිනිහෝ ඔය තරම් සල්ලි කන්දරාවක් නාස්ති කෙරුවේ .. ' යි ඇමැතිවරයා වික්ටර්ට දෙහි කැපුවා පමණක් නොව ' තමුසේ ආයේ මාව මුණ ගැහෙන්න නාවට කමක් නෑ .. ' යි කියමින් ඔහු පන්නා ගත්තේය. මෙයින් සති දෙකක් ඇතුළත ඇමැතිවරයාගේ අනුග්‍රහයෙන් වික්ටර්ට ලබා දී තිබූ කඩකාමර ද ඉන්ධන පිරවුම්හල ද රටබීම බලපත්‍රය ද ඔහුට අහිමි විය. එහෙත් ඒ හිලව්වට වත් සමූපකාරයේ අතුරුදන් වූ මුදල පියවිය නොහැකි විය.

කටයුතු මෙසේ සිදුවෙමින් තිබෙන අතරතුර දිනක් රෙජිස්ට්‍රාර් නෝනා තම දියණියන් දෙදෙනා කැඳවා ඔවුන් වෙත දබරැඟිල්ල උරුක් කරමින් රතු වූ මුහුණින් යුතුව මෙසේ කීවාය. ' ..තමුන්ලා දෙන්නා දැන් කසාද බඳින වයසට ඇවිත් ඉන්නේ .. මීට පස්සේ ඔය ටෙනිස් පිති හොකී පිති පෙන්නගෙන ගමේ එවුන්ට පේන්න බොරු සෝබන ගමන් යන්න බෑ ... අඩු ගානේ උඹලා දෙන්නා ටෙනිස් ගහන්නවත් ඉගෙන ගෙන හිටියා නං තව කමක් නෑ ..මෙලෝ දෙයක් අතේ නැතුව උඹලා දෙන්නත් අර මහ මිනිහා වගේ බොරු පුරාජේරුවටමයි ජීවත්වෙන්න හදන්නේ ..තව ටික දවසක් යත්දී මේ ගෙදර පවා නැතිවෙලා පාරට බහින්න තමා වෙන්නේ .. ඕන්න තමුන්ලට තාත්තාගෙන් ලැබුණු එකම දෑවැද්ද .. ලැජ්ජාව නෙවෙයි ලැජ්ජාව නැතිකම ..' යි පුපුරා හැලෙන වේගයෙන් කී රෙජිස්ට්‍රාර් නෝනා පොඩි දුවගේ හොකී පිත්ත දෙකට කඩා ළිපට දැමුවාය.

මේ අතර වික්ටර් ජයවීර තමා පිළිබඳව කිසිම හෝඩුවාවක් නැතිව අතුරුදන්ව සිටි අතර ඒ පිළිබඳව විවිධාකාර කයිකතන්දර ගමේ පැතිර ගියේය. එහෙත් රෙජිස්ට්‍රාර් නෝනා කිසිදු වෙනසක් නොපෙන්වමින් පෙර ලෙස ම ඇගේ සුපුරුදු රාජකාරි කටයුතුවල නිරත වූවාය.

මේ සිද්ධියෙන් වසර දෙකක් ගත වූ තැන පැවති ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් ඉස්මතු වූ අතර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී අත් බෝම්බ සහ ගල්කටස් තුවක්කු සමඟ අත් අඩංගුවට පත් වූ කැරලිකරුවන් කණ්ඩායමක් අතර වික්ටර් ජයවීර ද සිටියේ ය. වසර හතරකට පසුව වික්ටර් බන්ධනාගාරයෙන් නිදහස් වී එනවිට ඉතා වේගයෙන් බොහෝ දේ වෙනස් වී තිබිණ. ඔහුගේ ලොකු දුව සහ මහගෙදර ප්‍රදේශයේ ගොඩනැගිලිද්‍රව්‍ය සැපයුම්කරුවකු ලෙස වේගයෙන් දියුණු වෙමින් සිටි තරුණ ව්‍යාපාරිකයකුට අයත් වී තිබිණ. පොඩි දුව මෙරට රෙදිපිළි ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවකු සමඟ විවාහ වී අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් සිටියා ය. රෙජිස්ට්‍රාර් නෝනා විශාල පොල්වතු යායක් මැද වූ බංගලාවක හුදෙකලාව පදිංචියට ගොස් සිටියා පමණක් නොව ප්‍රදේශයේ ජනප්‍රිය දේශපාලනඥවරියක ලෙස ඉතා කාර්‍ය බහුල ජීවිතයක් ගත කරමින් සිටියා ය. වික්ටර් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින බැව් මුල සිටම දැන සිටි ඇය ඒ පිළිබඳව කිසිවක් කිසිවකුට නොකීවා පමණක් නොව කිසි දිනෙක වික්ටර් බැලීම සඳහා බන්ධනාගාරයට ද නොගියා ය. එහෙත් ඔහු හිරෙන් නිදහස්ව එන දිනය පිළිබඳව විමසිල්ලෙන් සිටි ඇය නියමිත දිනයේදී තනිවම වාහනය පදවා ගෙන ගොස් කිසිවකුටත් නො දැනෙන ලෙස හොර රහසින් ඔහු තම නිවෙසට කැඳවා ගෙන පැමිණියා ය.

වසර හතරක් පහක් වැනි කෙටි කාලයකදී වික්ටර් කිසිවකුට පහසුවෙන් හඳුනාගත නොහැකි ලෙස ඇදී පැදී මහල්ලකු බවට පත්ව සිටි අතර ඔහුගේ පෙනුම ඉතා දුක්මුසු විය. දියවැඩියා රෝගයෙන් බලවත් ලෙස පීඩා විඳි වික්ටර් තව වැඩිකල් ජීවත් නොවනු ඇතැයි ඔහු දුටුමතින්ම රෙජිස්ට්‍රාර් නෝනාට පසක් විය. ' වික්ටර් දැං තමුන්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ ... නමුත් කරන්න එකම දෙයක් තියෙනවා .. ඒ තමා තව දුරටත් ළමයින්ටයි මටයි අවනම්බු නොකර ඉන්න එක .. ඒ නිසා මෙතන ඉඳන් තමුන් ජීවත් වෙන්න ඕනේ මැරිච්ච මිනිහෙක් හැටියටයි... ' යි කී රෙජිස්ට්‍රාර් නෝනා පිළිකුල් සහගතව ඉවත බලා ගත්තාය.

මෙයින් පසුව වික්ටර් නිවෙසේ ඇතුළු කාමරයක කිසිවකුත් නොදන්නා ලෙස හුදෙකලාව සිරකරුවකු ලෙස ජීවත් වූ අතර ඔහුට කිසි දිනෙක එයින් පිටතට පැමිණීමට අවසරයක් නොවීය. මෙසේ කාලය ගතවෙමින් තිබියදී එක් දිනෙක ඔහු නිවෙසින් එළියට පැන ගත්තේ ය. ඒ වනවිට අන්ධකාරයට ම හුරු වී තිබුණු ඔහුගේ දෙනෙත් ඉතා දුබල වී තිබුණෙන් වැඩිදුර යෑමට පෙර පය පැකිලී බිම ඇද වැටිණ. මේ සිද්ධියෙන් පසුව මහ මග ද බස් නැවතුම්පොළවලද අගුපිල්වල ද කිලිටි මහලු උමතු යාචකයකු ලෙස ජීවත් වූ ඔහු ඉඳහිට දවසක කඩපිළේ යන එන මිනිසුන් අමතා මෙසේ කෑගැසුවේය. ' .. තොපි මාව අඳුනන්නේ නැති ගානට යන්නේ මොකෝ ... මං හිඟන්නෙක් නෙවෙයි යකෝ .. මේ හංදියේ කඩ සේරම මගේ .. ඔය ඉඩම් සේරමත් මගේ .. ඔය පැට්‍රෝල් ෂෙඩ් එක .. අරක්කු තැබෑරුම විතරක් නෙවෙයි යකෝ සමූපකාරෙත් මගේ ..ඔය ඔක්කොම මගේ .. යක්කෝ මගේ .. මේ පළාතේ මන්ත්‍රී නෝනාගෙන් ගිහිං අහපිය මං කවුද කියලා .. ' යි ඔහු විකාරයෙන් මෙන් දොඩවන්නට විය.

මේ අතර මැතිවරණයක් ප්‍රකාශයට පත් වූයෙන් ජන්ද සටන උණුසුම් විය. රෙජිස්ට්‍රාර් නෝනාගේ දේශපාලන විරුද්ධවාදීන් වික්ටර්ගේ සිද්ධිය උපරිමයෙන් ඇයට එරෙහිව පාවිච්චියට ගත් අතර ජන්දය ඉල්ලීමට තබා පාරට බැසීමටවත් නොහැකි අවමානයකට ඈ පත් වූවාය. ඒ පිටටම තවත් බලවත් පහරක් වදිමින් ඇගේ දේශපාලන පක්ෂය පවා කියා සිටියේ ඇයට නාමයෝජනා ලබාදිය නොහැකි බවයි. බොහෝ දෙනා සිතුවේ ඇය පරාජය බාරගෙන නිහඬවනු ඇතැයි යනුවෙනි. නාමයෝජනා බාර දෙන දිනය දක්වා නිසොල්මනේ සිටි රෙජිස්ට්‍රාර් නෝනා අවසන් මොහොතේදී ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ජන්දයට ඉදිරිපත් වූයේ සියලු දෙනා විමතියෙන් විමතියට පත් කරමිනි. ඉතා අසීරු අවදානමකට පත්ව සිටියදී සහ බලවත් ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රබල අපේක්ෂකයන්ට එරෙහිව මේ තනි ගැහැනිය තරග වදින්නට තීරණය කෙළේ උමතුවකින් වන්නට ඇතැයි බොහෝ දෙනා ප්‍රසිද්ධියේ කීවෝය. ඒ කී ලෙසම ජන්ද ප්‍රතිඵලය අනුව ඇය තෙවැනියා බවට පත්ව පරාජය වූවාය. ඒ පරාජයෙන් පසුව පවා දිරිබිද නොගත් ඇය පෙර මෙන්ම සිනාමුසුව ගමේ ගොඩේ සැරිසරමින් කටයුතු කළාය. මේ අතර වික්ටර් මියගිය අතර ජන්ද පෙත්සමක් නිසා අතුරු මැතිවරණයක් පවත්වන්නට සිදුවිය.

මේ සමඟ ම පුදුමයක් සිදුවිය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුනකින් ම අපේක්ෂත්වය බාර ගන්නැයි රෙජිස්ට්‍රාර් නෝනාට ඇරියුම් පමණක් නොව බලකිරීම් පවා මතුව ආවේ ඒ වනවිට ඇය මුළු ප්‍රදේශයේ ම කීර්තියට සහ ජනප්‍රියත්වයට පත්ව සිටි හෙයිනි. පසුගිය කාලයේ ඇගේ නුහුගුණ කියමින් අපහාස උපහාස කළ විරුද්ධවාදීන් පවා දැන් රෙජිස්ට්‍රාර් නෝනාගේ ගුණ වයන්නේ ප්‍රසිද්ධියේමය. මෙවර ජන්දය ඇයට සටනකින් තොරවම ජයගත හැකි බැව් කවුරුත් පිළිගත්තෝය. ජන්දයට ඉදිරිපත් වන්නැයි ලැබුණු ඇරියුම් සහ බලකිරීම් සියල්ල ප්‍රතිකේෂප කළ ඇය අවසානයේ මෙසේ කීවාය. ' දැනටත් මම මේ මිනිස්සුන්ගේ හොඳ හිතයි විශ්වාසයයි දිනාගෙන ඉවරයි .. ඒ හින්දා මට මන්ත්‍රී බලය ඕනේ නෑ .. ඔය බලය කියන එකේ අන්තිම විපාකේ නින්දාව විතරයි .. මේ ජිවිතේ ගෑනියෙක් හැටියට මම ඒ අපලය ගෙවලා හමාරයි. ' 

 

Comments