
ඔබගේ උපන් දිනය?
1940 ඔක්තෝබර් දහහතර වැනිදා.
උපන් ගම?
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නක්කාවත්ත. නමුත් උප්පැන්නයේ තියෙන්නෙ උඩුබද්දාව කියලා.
උප්පැන්නයේ නම?
ජයමහ ඉටිහාමිනේලාගේ සෝමතිලක
දෙමවුපියන්?
පියා ජයමහ ඉටිහාමිනේලාගේ උක්කුබණ්ඩා. මව හේරත් මුදියන්සේලාගේ රන්මැණිකා.
පවුලේ තොරතුරු?
මා සමඟ හයදෙනයි. මම පවුලේ හතරවැනියා.
මුලින්ම පාසල් ගියේ?
නක්කාවත්ත මහින්ද මහ විද්‍යාලයට. එහිදී මම ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වීමෙන් පසුව ලිපිකරුවෙක් විදිහට රජයේ සේවයට බැඳුණා.
මුල්ම පත්වීම?
කොළඹ ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ. එතකොට සංස්ථාවක් ලෙස පරිවර්තනය වී තිබුණේ නෑ.
ගුවන් විදුලියට පැමිණීම ඔබ ගායන ශිල්පියෙකු වීමට හේතුවක් වුණා?
නෑ! ඒක එහෙම්ම කියන්න බෑ. හැබැයි ගුවන් විදුලියේ මට පැවරුණේ ගායක ගායිකාවන් පිළිබඳ සංගීත අංශයේ රාජකාරි. මේ නිසා මට සංගීත ශිල්පීන් දැන හඳුනාගන්න ලැබුණා.
ගීත ගායනය සඳහා පෙලඹෙන්නෙ?
ඒක අහඹු සිදුවීමක්. අපේ පාසලේ සාහිත්‍ය සංගමයේ හිටපු ලේකම් සමරසිංහ කියන මිත්‍රයා. මේ කාලයේ ගුවන්විදුලියට රැකියාව සඳහා පැමිණියා.
එකම පාසලේ අකුරු කරලා එකම සේවා ආයතනයේ හමුවීම ජීවිතය වෙනත් මඟකට යොමුකළා?
ඔව්. ඒක තමයි මම කියන්න ආවේ. සමරේ හිටියේ ස්වදේශීය සේවයේ මම වෙළෙඳ සේවයේ. සමරේ දන්නවා මට සින්දු කියන්න පුළුවන් බව. ඒ මම පාසලේ සාහිත්‍ය සමිතියේ සින්දු කිව්ව නිසා.
ගුවන් විදුලියේ ගීත ගායනයට මිත්‍රයගේ මැදිහත්වීම කොහොමද සිද්ධ වුණේ...
ඔය කාලයේ ස්වදේශීය සේවයේ සරල ගී පරීක්ෂණයක් තිබුණා. එහි සම්බන්ධීකරණ කටයුතු කළේ සමරේ. දවසක් අපි කැන්ටිමේ තේ බොන ගමන් සමරේ මට කිව්වා, ‘සෝමේ ස්වදේශීය සේවයේ’ සරල ගී පරීක්ෂණයක් තියෙනවා පෙනී ඉඳපන් කියලා.
ඔබ පෙනී සිටියා?
ඔව්! මම සමත් වුණා.
පළමු ගුවන් විදුලි ගීතය?
‘හඳ මාමා’ වැඩසටහනට ගැයුවේ. එදා ඒ සඳහා ආරාධිත ශිල්පියා ඇවිත් සිටියේ නෑ. මට ඒ අවස්ථාව ලැබුණා.
පසුව?
‘නවක මඬල’ කියන වැඩසටහනට එක ගීතයක් ගායනා කළා.
ඔබ පාසල් සාහිත්‍ය සමිතියේ ගීත ගායනා කළේ පාසලේ සංගීතය විෂයක් විදිහට හදාරමින් සිටියදී?
නෑ! ඒ කාලයේ සංගීතය ගුරුවරු හිටියේ නෑ. අපේ පාසලේ සිටියා පුහුණු ගුරුවරයෙක්. ඔහු අපිට සංගීතය පිළිබඳ පුංචි පුංචි දේවල් කියලා දුන්නා. නමුත් ඔහු සංගීත ගුරුවරයෙක් නෙවෙයි.
ඔබ ගේය පද රචනාවට පිවිසෙන්නෙ?
ඒක දිග කතාවක්. මම ගීත ලියා ගැනීම සඳහා ඒ කාලයේ සුප්‍රසිද්ධ රචකයින් තුන්දෙනකු ළඟට ගියා. ඒත් මට ඒ වැඩේ කරවාගන්න බැරිව ගියා.
ඉන් පසුව?
මම හිතුවා මේ වැඩේ මමම කරලා බලන්න ඕනැ කියලා.
ඔබ අතින් බිහිවුණ මුල්ම ගීත රචනාව?
මගේ පළමු සරල ගී වැඩසටහනට එය ඇතුළු කළා.
ඒ මොකක්ද?
‘සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා...! එහි සංගීත නිර්මාණයත් මගේ.
එය අදටත් ජනප්‍රියයි. ඔබ ඒ ගීතය ගයා වසර පන හක්?
ඔව්! ඔබ කිව්වේ ඇත්ත.
ඔබේ ගීත රචනා තුළ අපට නවමු ආස්වාදයක් හා හෘදයාංගම බවක් දැනෙනවා...?
මා ඉතාමත් සරල සංසිද්ධීන් ගීතය සඳහා භාවිත කළා. ඔබට දැනෙන්නේ මේ සරලකම මත රචනා වීම නිසා විය යුතුයි.
උදාහරණයක් කියන්න...
මා පසුකාලීනව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙක්. මගෙ කාර්යාලයේ ඇතැම් නිලධාරීන් පාසල් ළමුන්ගේ විභාග කටයුතු සඳහා රාජකාරියේ යෙදෙනවා.
ඉතින්?
කොළඹ විශාඛා විද්‍යාලයේ විභාග කටයුතුවලට ගිය නිලධාරියෙක් මට ඇවිත් කිව්වා විභාගයේ අන්තිම දවසේ ළමයෙක් පන්තියේ කළු ලෑල්ලේ මේ වදන් පෙළ ලියලා තිබුණා කියලා.
මොකක්ද ඒ වදන් පෙළ
‘දෙපා වාරු නැත ඔබ හැර යන්නට’
මේ වචන පෙළ ඔබ තුළ කම්පනයක් ඇති කළා?
කම්පනයක් ඇති කළා ද කියන්නෙ! පාසල් එන අන්තිම දවසේ... පාසලෙන් සදහටම නික්මෙන්න තිබෙන අන්තිම නිමේෂයේ... මේ දරුවා තුළ ඇතිවුණ සංවේදනාව... පාසල් ගිය සෑම කෙනෙක් තුළම හට ගන්නක් නොවෙයිද?
ඔබ මේ සංවේදනාව ගීතයක් බවට පත් කරනවා?
ඔව්! පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්... ගීතය බිහිවන්නේ එදා ඒ වචන පෙළින් මා තුළ ඇති කළ කම්පනයයි.
ඔබ රචනා කැර සංගීතවත් කරමින් ගායනා කළ ගීත අතරින් කීපයක් මතක් කළොත්?
“සැඳෑ අඳුර ලොව නැඟෙන වෙලාවක...!”
“නව දැලි හේනක දෑව වැඳිරි රුව...!”
“වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා...!”
ඔබගේ ගී තනු හෝ ගී පද නොවන ඒත් ඔබ ගයන කැමැති ගීතයක් මතක් කළොත්...
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පබඳින ලද රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි... ගීතය නිතැතින්ම මතකයට එනවා.
තව එකක් කියන්න...?
සුනිල් සරතුන් රචනා කළ රෝහණයන් සංගීතවත් කළ මහා වර්ෂාවට පසුව නැඟුණ සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි...!
හෙට දිනයේ අපට ශ්‍රවණය කරන්න ලැබෙන ඔබගේ නව නිර්මාණ ගැන කතා කළොත්...?
නව නිර්මාණ ගැන කතා කැර පලක් නෑ අලුත් නිර්මාණ නම් කෙරෙන්නෙම නැති තරම්.
ඒ ඇයි?
කොහොමද කරන්නෙ අපි ලක්ෂ ගණන් වියදම් කරලා කිසියම් නිර්මාණයක් කළාම ඒ නිර්මාණය අපි දන්නෙවත් නැතිව අන්තර්ජාලයේ එහෙම නැත්නම් වෙනත් ආකාරයට කොල්ලකන පිරිසක් අද බිහිවෙලා.
ඒකට පිළියමක් නැද්ද?
මේ කොල්ලයට අපේ රටේ නීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන ආයතන ඒ බව අවබෝධ කැරගෙන නෑ. බුද්ධිමය දේපළ කාර්යාංශය තිබෙනවා. ඒ අය නිද්‍රාශීලියි.
මේක හරිම ඛේදජනක තත්ත්වයක්.
ඔව්! සමස්ත ජාතියේම අනාගතයට බලපාන ප්‍රශ්නයක්. අද යහපත් නිර්මාණ බිහිවුණොත් පමණයි ඊළඟ පරපුරට යහපත් නිර්මාණ බිහි කරන්න තිඹිරි ගෙය වෙන්නෙ.
ඒ කියන්නෙ?
බලන්න අපට පෙර පරපුර! අපි ඒ අයගෙන් ආභාසය ලැබුවා. ඒ අභාසයෙන් තමයි අපේ නිර්මාණ බිහිවන්නෙ. සුනිල් ශාන්තයන් ආනන්ද සමරකෝන් පණ්ඩිත් අමරදේවයන් වැනි දැවැන්තයන් අපිට බලපෑවා.
ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් ද නිර්මාණ කොල්ල කෑම?
නෑ! ඒ රටවල නීති-රීති සකස් කැර තිබෙනවා. ඒ නීති ක්‍රියාත්මක කරන ආයතන අපේ වගේ නිද්‍රාශීලී නෑ. බලවත්.
මේ නිසා ඔබ වැනි නිර්මාණකරුවන් කලකිරිලා?
ඇත්ත වශයෙන්ම ඔව්! අද එෆ්. එම්. නාලිකාවල ගායකයගෙ නමවත් ප්‍රචාරය කරන්නෙ නෑනේ. නිර්මාණ කොල්ලය පළමුව එතැනයි.
ඒ වුණාට ගීතයක් ප්‍රචාරය කිරීමේදී නිර්මාණකරුවාට කර්තෘ භාගයක් ලැබෙනවා?
කොහේද! කවුද කිව්වේ? කවදාවත් ඔය කියන කර්තෘ භාග අපට නම් ලැබිලා නෑ...!
ඒ කාලේ මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණේ ගායන ශිල්පීන්ට කර්තෘ භාග ගෙවනවා කියා?
ඒක බොරු සංදර්ශනයක් පමණයි. අපේ රටේ හැටි ඔහොමනේ.
ඔබ ප්‍රසංග වේදිකාවේ ගයන ගීතවලට ඒ රචකයන්ට හා සංගීත නිර්මාපකයාට ගෙවනව ද?
ඔව්! මා 2006 වසරේ පටන් ඒ කටයුත්ත නියමානුකූලව කරනවා.
විද්යුත් මාධ්‍ය කර්තෘ භාග නොගෙවීම පිළිබඳ නිර්මාණකරුවන් හැටියට නිහඬව සිටීම හරි ද?
නෑ! අපි නිහඬ නෑ කියන්න ඕනෑ හැම තැනටම කිව්වා. දැන් වත්මන් ජනපතිතුමා හෙට අනිද්දා මේ පිළිබඳ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. අපි ඒ පිළිබඳ ධනාත්මක බලාපොරොත්තු තබා තිබෙනවා.
පෞද්ගලික ජීවිතේ පිළිබඳ දැනගන්න කැමැතියි?
මා විවාහ ජීවිතයට ඇතුළු වුණේ 1989 වසරේ.
ඇය හමු වූ ආකාරය?
ඇයත් රාජ්‍ය සේවයේ. අප දැන හඳුනාගෙන විවාහ වුණා. ඇයත් දැන් විශ්‍රාමිකයි. අපි ඉතා සතුටින් ඉන්නවා. ඇගේ නම යසවතී අමුගොඩ. ගම මතුගම.
ගීත සීමිත ප්‍රමාණයක් පමණයි ඔබ වෙතින් නිර්මාණය වී තිබෙන්නෙ?
මා පළමුකොට සැලකුවේ රාජ්‍ය සේවයයි. 1979 ගුවන් විදුලි පරීක්ෂණයෙන් විශිෂ්ට ශ්‍රේණියට සමත් වුණේ 17 දෙනයි. ඒ 17න් කෙනෙක් මම.
ඒ කාලයේ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ශිල්පියෙ කුට වසරකට ගුවන්විදුලියේ අවස්ථා කීයක් ලැබෙනව ද?
අවස්ථා හතරයි. එක වැඩසටහනකට ගීත පහක් පමණ ගායනා කළ හැකියි.
ඔබ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තෙ?
නෑ! ප්‍රයෝජන නොගත්තා නොවෙයි. මා ඔබට කලින් කිව්වේ මා ප්‍රමුඛත්වය දුන්නේ රාජ්‍ය සේවයට.
එසේ නොවුණා නම් ඔබගෙන් මීට වඩා ගීත සංඛ්‍යාවක් බිහිවෙන්න තිබුණා.
ඔව්! සරල ගීත වැඩසටහන්වලට පමණක් ගීත ගායනා කළා නම් වසරකට ගීත විසිපහක් ගයන්න තිබුණා.
ඔබ ගයා ඇති සමස්ත ගීත සංඛ්‍යාව මතක ද?
ඔව්! ගීත එකසිය විසිපහක් පමණයි. ඒ කියන්නෙ වසරකටම ගීත හතරක් හෝ පහක් පමණයි මා ගයා තිබෙන්නෙ.
සංගීත ක්ෂේත්‍රයේ නව පරපුර ගැන යමක් කියන්න?
නව පරපුරේ දක්ෂයන් සිටිනවා. නමුත් ගී තනු රචනා පමණක් නොවෙයි හඬත් ඒකාකාරියි. ජීවිතයට යමක් ගන්නත් බෑ. දැනෙන්නෙත් නෑ