කෙනෙකු තමාට කිසියම් උපකාරයක් කළ විටකදී ඊට ස්තුති කිරීම විශිෂ්ට වූ මානව ධර්මතාවකි. එම උපකාරය ඉතාම සුළු විය හැකි ය. එහෙත් එයට ස්තුති කිරීම මහ මෙරටත් වඩා බරින් වැඩි ය. එයම මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ ඵලදායි ක්‍රියාමාර්ගයක් ලෙස ද ස්තුතිය වැදගත් ය.
අනුන් තමන්ට කළ උදව්ව හොඳින් මතක තබා ගත යුතු අතර තමන් අනුන්ට කළ උදව්ව හැකිතාක් අමතක කළ යුතු ය. බොහෝ අය අනුන්ට සුළු උපකාරයක් කොට විශාල වශයෙන් කියව කියවා සිටීම පුරුද්දකි. අනුන් තමන්ට කළ උපකාරය ඉතා හොඳින් මතක තබා ගෙන ස්තුති පතකින්වත් අගය කරනුයේ නම් එය ඔහුට උපස්ථම්භයකි.
මිත්‍රපාල ශිෂ්‍යයා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වූ විට ඔහුගේ ගුරුවරෙයකු වූ ජයපාල මහතා පහත සඳහන් කවිය තැපැල් පතක ලියා යැවීය.
විභාගයෙන් ඔබෙ දස්කම් හෙළි වූවා
මා සිත සතුට ඉන් හොඳටම නැඟ ආවා
පුද දෙන්නට නැතත් මා ළඟ හොඳ ඒවා
ආසිරි පතමි මෙය එහි ලකුණක් වේවා
දැනට අවුරුදු 45 කට පෙරාතුව සමත් වූ විභාගයට ලැබුණු මෙම ආශිර්වාද තැපැල්පත මිත්‍රපාල රාමුකොට තමාගේ කාමරයේ තබාගෙන ඇත. ඔහු ඉන් ලැබූ වින්දනය අදත් සිහි කරනුයේ සතුටු කඳුළු වගුරුවමිණි. ඔහු පසුකලකදී ආචාර්ය උපාධිය පවා ලබා ගත්තේ ගුරුතුමා යැවූ තැපැල්පතේ ධෛර්යයනි.
“සුළු දෙයකට ස්තුති නොකරන්නා විශාල දෙයකට වුව ද ස්තුති කිරීමට සමත් නොවේ” යන එස්ටෝනියානු පිරුළ කවුරුත් ධෛර්යමත් කරන්නකි.
සේවාලාභීන්ට, මිතුරන්ට, සේවා ප්‍රධානීන්ට හා සමාජයේ තමා නොදන්නා කවර කෙනෙකු ගේ විශේෂ අවස්ථාවකට වුව ද තුතිපතක් යවන්නේ නම් ඉන් ලැබෙන ප්‍රතිඵලය ද විශ්මිත වනු ඇත. තුති පත ලබන්නේ මහත් උද්දාමයට පත්ව දිවි මග ද සරු කර ගනිති.
ස්තුතියේ අවසාන ප්‍රතිඵලය සිත හා කය නිරෝගී වීම ය. නිරෝගී ශරීරයක් තුළ නිරෝගී මනසක් පිහිටයි. නිරෝගී මනස ඇතිව නිරෝගී ශරීරයක් ද නිර්මාණය වෙයි. මිලට ගත නොහැකි සතුටෙන් පිරෙන ඔබ සතුටින් ම මිය යනු ඇත. නිරෝගී බවට උත්තේජනය ලබා දෙන තුති පත අපූර්ව හාස්කම් නිර්මාණය කරයි.
අවුරුදු සුබ පැතුම්, වෙසක් ප්‍රාර්ථනා, උපන් දින ආශිර්වාදාත්මක පැතුම්, උත්සව පැතුම්, ජීවිත සැමරුම් සඳහා තුතිපත් ලැබෙන තරමට ප්‍රසාද සිතිවිලි ගලා විත් රළු ගති ඉවත් වී යනු ලැබේ. එවිට ප්‍රබෝධාත්මක ව සිතන්ට පටන් ගැනීමෙන් ඔහු නිර්මාණශීලී වනු ඇත.
අනුන්ගේ හොඳ දකින්න පුරුදු වන්න. මහා දුශ්චරිත මිනිසෙකු තුළ වුව ද යහපත් ලක්ෂණයක් තිබිය හැකිය. එය අගය කොට තුති පතක් යවන්න. ඉන් ඔහු ද පරිපූර්ණ මිනිසෙකු වනු ඇත.
උත්සවයකට ආරාධනාවක් ලැබුණු විට යා නොහැකි නම් එහි සාර්ථකත්වයට ආශිර්වාද කරමින් ලිපියක් යවන්න. එය ගමේ අවමංගල්‍යාධාර සමිතිය, තරුණ හා කාන්තා සමිතියක් ද විය හැකි ය. ඔබට අනුපමේය පිළිගැනීමක් ගොඩ නැඟෙනු ඇත.
ඔබට කෑම සකස්කර දෙන සූපවේදිනියක් සිටී නම් කෑම රසවත් බව ප්‍රකාශ කොට ස්තුති කරන්න. ඇය උද්දාමයට පත් වනු ඇත. ඔබගේ දරුවන්ගේ හා ශිෂ්‍යයින් ගේ දක්ෂතා අගය කරන්න. කුඩා පැවැත්මකට වුව ද ස්තුති කරන්න. ඉන් ධනාත්මක ආකල්ප ඇති වී ආකර්ෂණීය දියුණුවක් තුති කරන්නාට මෙන් ම ලබන්නාට ද ලැබේ.
තමාගේ ආදරණීය මාපියන්ට ස්තුති කොට දිගාසිරි පතා තුතිපත් යවන්න. මාපිය ගුණ වනා කවියක් තනන්න. තුති පූර්වක වැකියක් ලියන්න. ඔවුන්ට සුවදායක අභිමානයක් ඇති වේ.
මෙසේ වන විට ඔබගේ ගති සිරිත්, ධනාත්මක සංකල්පනා බවට පත්වී විශ්මිත දියුණුවක් ඇති වේ.