
ලෝකයෙහි ප්‍රේම කථා ගණයට ලංකා ඉතිහාසයෙන් කළ හැකි විශිෂ්ටතම සම්ප්‍රදානය නම් සාලිය - අශෝකමාලා කථාවයි. එය ප්‍රේමයේ ආශ්චර්යය විදහා ලන රමණීය පුරාවෘත්තයෙකි; ආදි අනුරාධපුර අවධියේ සිට මේ වන තෙක් ම රසවතුන් ගේ හද අලළමින් තුඬ තුඬ කියැවෙන පුවතෙකි.
ලංකා ඉතිහාසයෙහි ප්‍රධාන වංශ කථා සේ ගැනෙන මහාවංසයෙහි හෝ දීපවංසයෙහි හෝ මේ පුවත විස්තරාත්මක වැ නො එයි. ඉතා මැනැවින් මෙය විස්තර කැරෙනුයේ සද්ධර්මාලංකාරයේ ‘සාලි රාජ වස්තුවේ’ සද්ධර්මාලංකාරයට මුල් වූ රසවාහිනියේ ද එයටත් මුල් වූ සහස්සවත්ථුවේ ද සාලිය - අශෝකමාලා කථාව දැක්වෙන නමුදු සද්ධර්මාලංකාරයේ තරම් සවිස්තර වැ නොවේ.
සාමාන්‍යයෙන් ජනප්‍රවාදයේ එන පරිදි නම් දුටුගැමුණු රජතුමන් ගේ පුත් වූ සාලිය කුමර තෙමේ සැඬොල් ලියක වූ අශෝකමාලාව දැක පෙමින් බැඳී, රජ කිරුළ ද පිළිකෙව් කොට ඇය සරණ පාවා ගනී. ප්‍රේමය උදෙසා කළ මේ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය නිසා සාලිය කුමර තෙමේ ‘ප්‍රේම වීරයෙක්’ වෙයි. අශෝක මාලාව ද ඔහුට අභීෂ්ට භාර්යාවක් වෙයි. එ වුව ද මේ ‘වීරත්වයට’ සපුරා හිමිකම සාලිය කුමරුට නොදෙන ඇතැම් ඉතිහාසඥයන් ගේ මතය නම් රජකම වැඩිමහල් සොහොයුරා ගෙන් බාල සොහොයුරාට යන සම්ප්‍රදායයක් නිසා දුටුගැමුණු රජතුමන්ගෙන් පසුව සැදෑතිස් (සද්ධාතිස්ස) කුමරුට ලැබුණ විනා සාලිය කුමරු ‘හෙළ දිව කිරුළ’ ප්‍රතික්ෂේප කළ නිසා නොවේ.
ඒ කුමක් වතුදු සාලිය - අශෝකමාලා ප්‍රේමය එයින් අවප්‍රමාණ නො වේ. සාලිය කුමරු මුලින් ම අශෝකමාලාව දුටු කල්හි ඇති වූ ප්‍රේමය සද්ධර්මාලංකාරයෙ දැක්වෙන්නේ ඉතා මනහර යෙදුමෙකිනි.
“... සැඬොල් දුව දැක රාජ කුමාරයෝ එකෙණෙහි උපන්නා වූ බලවත් ස්නේහ ඇති වැ මහත් වූ ආශ්චර්යයන්ට පැමිණ පූර්ව වාසනායෙන් ඈ කෙරෙහි උපන්නා වූ ප්‍රේම ධරාගත නොහී මුඛයෙන් වමාරන්නා සේ ඈ හා සමඟ කථා කරන්නා හු....”
‘වතරත්නා’ යන වචනය මෙ බඳු සොඳුරු තැනකට නො ගැළැපෙති යි යමකුට සිතිය හැකි යි. එහෙත් හෘදයාභ්‍යන්තරයේ තබාගත්ත නොහැකි තරම් බලවත් සෙනෙහසක් ඇති වූ බව එයින් මැනැවින් කියැවෙයි.
මෙහි දු අනෙක් තන්හි මෙන් ම කියැවෙනුයේ අශෝක මාලාව සැඬොල් හෙවත් චණ්ඩාල කාන්තාවක බවයි. ඇය සැඬොල් කුලයේ ඉපැදීමට හේතු වූ පූර්ව කර්මය ද සද්ධර්මාලංකාරයේ සවිස්තර වැ දැක්වේ. එසේ වතුදු රසවාහිනියෙන් දැක්වෙන
සාමි! හෙල්ලෝලගාමස්මිං - ඉස්සරස්ස සුතා අහං
කම්මාරධීතා චණ්ඩාලි - ඉති මඤ්ඤන්ති මං ජනා
යන ගාථාව ද එය අරුත් දක්වමින් සද්ධර්මාලංකාරයෙහි ම දැක්වෙන ‘ස්වාමීනි මට හෙල්ලෝලි නම් ගම ප්‍රධාන නෑවැමියාගේ දූ වූ එක්තරා සැඬොල් දුවකිමි...”
යන පාඨය ද අනුව ඕ ලෝකුරුවකු (කම්මල්කරුවකු ගේ) නොහොත් නැවෑමියකු ගේ (කෙස් රවුළු කපන්නකු ගේ) දුවකි. මේ කරුණ මුල් කැරගෙන අශෝකමාලාව ගේ චණ්ඩාල භාවය ප්‍රශ්න කරමින් දශක කිහිපයකට පෙර පුවත්පත් වාදයකුදු ඇති විය.
දුටුගැමුණු රජතුමාණෝ ද මේ පුවත හා සබැඳෙති. එතුමන් යුද්ධ වීරයකු මතු ම නොවැ සංවේදී, බුද්ධිමතකු ද වූ අයුරු මෙහි දී විශද වැ පෙනේ. අන් කවර හෝ පියකු මෙන් මුල දී එතුමනුදු කරනුයේ මේ ‘චණ්ඩාල කෙල්ල’ අත් හරින්නැයි තම පුතු ගෙන් ඉල්ලා සිටීම යි. ඒ ඔහු කැමැති වෙනත් කවර හෝ රජ, බමුණු කුමරියක ලබාදෙන පිළිනය ද ඇති වැයි එහෙත් ‘මොවුන් ඇර මනුෂ්‍ය ස්ත්‍රියක තබා දිව්‍ය ස්ත්‍රියක පාවා දුන ද මාගේ මනෝරථය පිරෙන්නේ නොවෙයි” යනු සාලිය කුමරු කී කල්හි බමුණන් යවා අශෝකමාලාව පරීක්ෂා කරවති. ඇයගේ සූ සැටක් ස්ත්‍රී ලක්ෂණ දක්නා බමුණෝ විස්මය ප්‍රාප්ත ව රජතුමාට දන්වති. රජතුමාණෝ තුමූ ම මහ පෙරහරින් ගොස් ඇය සාලිය කුමරුට සරණ පාවා දෙති. එ මතු නො ව, කරුණු නො පිරික්සා ඇය සාලිය කුමරු ගෙන් වෙන් කිරීමට සිතීම ගැන දුක් වෙති. ඇය ගේ ගුණ ද වර්ණනා කෙරෙති. මෙයින් දුටුගැමුණු රජතුමන් ගේ බුද්ධිය. සංවේදී භාවය මෙන් ම අවංකත්වය ද මැනැවින් හෙළි වෙයි.
එතන් සිට සාලිය - අශෝකමාලා යුවළ ලෝක ඉතිහාසයට යුග යුග කියැවෙන අසිරිමත් පෙම් පුවතක් තිළිණ කරමින් නොයෙක් පින්කම්වල නිරත වෙමින් කල් ගෙවති. ඔවුන් අතර යම් හෝ බසින් බසක් වී නම් ඒ වඩා පින් ඇත්තේ කා හට ද යන්න ගැන පමණෙකි.
කලාවට වස්තු බිජ සපයන විෂය අතර ප්‍රේමය ප්‍රමුඛ වෙයි. සාලිය - අශෝකමාලා ප්‍රේමය ද කලාකෘති ගණනකට වස්තු වූයේ ය. දෘශ්‍ය කලා පක්ෂයෙන් ගත් කල්හි විශිෂ්ටතම වනුයේ ඉසුරුමුණි පෙම් යුවළ යි.
ඉසුරුමුණි පෙම් යුවළ කැටයමින් දැක්වෙන්නේ ශිව - පාර්වතී යුවළ යි ද මඤ්ජුශ්‍රී (බෝධිසත්ත්ව) ශක්ති යුවළ යි ද ආදි වශයෙන් නොයෙක් මත ඇත ද සෙනරත් පරණවිතානයන් දක්වන පරිදි ඒ සාලිය අශෝකමාලා යුවළයි. දැන් ඉසුරුමුණි කටුගෙයි ඇති නමුත් එය කලින් පැවැතියේ ඉසුරුමුණි වෙහෙරේ ප්‍රාකාරයකට වැද්දූ කැටයමක් ලෙසිනි. එ තැනට එය බැහැරින් ගෙන එන ලද්දකැයි එයින් හැඟේ. ළඟ ම ඇති රන්මසු උයනේ තිබී එය ගෙන එන්නට ඇතැයි ද සිතනු ලැබේ. කෙසේ වතුදු ප්‍රේමයේ නාමයෙන් විශිෂ්ට කලා කෘතියක් ලොවට තිළිණ විය.
කවීන්ට, ගීත රචකයනට ද මේ පෙම් පුවත අගනා වස්තුවක් විය. හියුබත් දිසානායකයන් ලියූ ‘මේ ගෝපලු වනයේ’ සුනිල් සාන්තයන් ගැයූ ඉතා මනහර ගීයෙකි. ථුම්රි සම්ප්‍රදායයේ පහාඩි රාගය ඇසුරු කොට තැනුණු තනුවෙකින් යුත් මෙ ගීය සුනිල් සාන්තයන්ගේ සුමියුරු හඬින් ගැයෙනුයේ සුළවතුන් රස මනස අලළමිනි. සාලිය ආලය ‘කිරි සේ පිරිසුදු වූ මහනෙල් මල් සේ සුනිමල් වූ’ බව එහි කියැවේ.
හක්මන බැන්ටිස් රණවිර කිවියා මේ පුවත පදනම් කැරගෙන පැදි පොතක් ම ලිවී ය. සිලෝ විරිත්, සුලබ වැනුම් සහිත එහි ඇතැම් තැන් ඕළාරික බව කිය යුතුයි.
කොළඹ කිවි ගණයෙහි ම ගැනෙන උඳුගොඩ නවරත්න කිවියා සාලිය - අශෝකමාලා පුවත පදනම් කොට ඉතා හොඳ පැදි පෙළක් ලියා ඇත්තේ ය. අශෝකමාලාව විසින් සාලිය කුමරු අමතා කියැවෙන පරිදි ලියැවී ඇති මෙහි ප්‍රේමය ගැන වදනකුදු නො කියැවේ. කොළඹ කිවියාට ආවේණික යැයි ඇතැම් විචාරකයන් දක්වන ‘සමනළ’ බස් වහර, බොල් පද, සක්ත පද, අටළොස් මත් නොහොත් සමුද්‍ර ඝෝෂ වෘත්තය, මුල - අග එළිසමය මෙහි දක්නා නො ලැබේ.
මගේ කොළපත් ගොලුව
රන් තැටිය බව දුලුව
ඉරූ ඉන් අමා පැණි
සුරූපී සුවාමිනි
රකීවිද ඔබ තුටුව
මගේ කොළ පත් ගොටුව
ඔබේ නෙත් අහසෙහිය
මගේ ඇස් පොළොවෙහිය
මම ගසක නැඟ උනිමි
ඔබට මල් ගෙන දිනිමි
මල් නෙළා දුන්නු මට
පල නෙළා දෙන්න ඔබ
අසෝක මල රතුය
එයට ඔබ ගෙල නතුය
මගේ රතු මල් දමෙහි
ඔබේ ගෙල සඟවන්න
ස්මරණයෙහි වූ පරිද්දෙන් ම ලියැවුණු හෙයින් මෙහි විසදෘශතා ද විය හැකි ය. මෙහිලා මෙ ගැන විවරණයක් නොකැරෙනුයේ සහෘදයනට රිසි සේ රස විඳින්නට ඉඩ දිය යුතු හෙයිනි.