මිත්‍යා­වෙන් තොර ජාති­යක් බිහි කරන තුරු අපිට අනා­ගත­යක් නෑ | සිළුමිණ

මිත්‍යා­වෙන් තොර ජාති­යක් බිහි කරන තුරු අපිට අනා­ගත­යක් නෑ

පුරා දශක පහකට අධික කාලයක් හෙළ කලාකෙත පෝෂණය කරන ඔහු අපේ රටේ අපට පුංචි කාලිදාස නම් වේ.

1960 දී හෙතෙම පාසල් වේදිකාවෙන් ඇරැඹි මේ ගමන් සැරිය සම්මානනීය රංගධරයකු නාට්‍යවේදියකු ගේය පද නිබන්ධකයකු සාහිත්‍යධරයකු යන

එකී නොකී භූමිකාවන් තුළින් සුපූජිත විය. සුභාවිත ගීත කලාවක් උදෙසා

ඔහු වෙතින් ඉටු වූ යුග මෙහෙවර මෙරට රසික දනන් හට සුඛාස්වාදයක් ම විය. අද අප පැහැසර හමුව ට කැඳවන්නේ මේ සොඳුරු මිනිසා ය.

ඔහු ලූෂන් බුලත්සිංහලයන් ය.

• උපන් දිනය?

1942 මැයි කොළඹ ද සොයිසා රෝහල.

• උපන් ගම?

රත්මලාන

• උප්පැන්නයේ නම

රයිගම බුලත්සිංහලගේ ලූෂන් පෙරේරා

• දෙමවුපියන්?

රයිගම් බුලත්සිංහල‍ගේ මාටින් පෙරේරා මගේ පියා.‍ සෙනරත්ගොඩගේ ජේන් නෝනා මගේ මව.

• පවුලේ විස්තර?

අපේ පවුලේ හය දෙනයි මම වැඩිමලා.

• මුලින්ම අකුරු කළේ?

රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය උසස් පෙළ සඳහා දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළු වුණා.

• පාසල් කාලයේ ඔබ කොයි වගේ චරිතයක්ද?

කාටවත් කරදරයක් නැති චාම් චරිතයක්.

• පාසල් කාලයේ තිබුණ අනාගත බලාපොරොත්තුව?

කලාකරුවෙක් වීමට.

• ඒ ඉලක්කය ඔබ ජයගත්තා?

ඔහුගේ මුවඟට සිහින් සිනහවත් එක්වේ.

• උසස් අධ්‍යාපනය ලැබුවේ?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.

• පාසල් වේදිකාවෙන් පසුව ප්‍රථම වේදිකා නාට්‍යය?

1961 දී ‘මන්නඩිය’ ඒක ධීවර කතාවක් මං අධ්‍යක්ෂණය කරමින් රඟපෑව. රචනා කළේ මම නොවෙයි.

• ඊට පසුව?

‘නොනිවෙන ගිනි’ ඒ 1964 දී.

• රාජ්‍ය සම්මානයක් ලැබුණු ප්‍රථම නාට්‍යය?

1966 බන්දුල ජයවර්ධනගේ ‘බිහිවනු බෝසතාණෝ’ රංගනය සඳහා රාජ්‍ය සම්මාන උලෙළේ කුසලතා සම්මානය.

• පසුව ඔබ 1974 ‘රතු හැට්ටකාරි’ නිෂ්පාදනය කරන තෙක් නිහඬව සිටියා?

නෑ. ඒ කතාව වැරැදියි මම රංගන ශිල්පියෙක් විදිහට දිගටම සිටියා. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායති සෝකෝ’ නාට්‍යයේ වාදක මඩුල්ලේ බටනලා වාදකයා හැටියටත් කටයුතු කළා.

• ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ?

1969 ගුවන් විදුලියේ සහන නිවේදකයින් සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියා.

• සමත් වුණා ද?

ඔව්! ප්‍රතිඵල ආවේ 1971

• ඔබේ තීන්දුව?

මා එවකට කළ රජයේ රැකියාවෙන් ඉවත්ව ගුවන් විදුලියට සංක්‍රමණයවීමට තීන්දු කළා.

• ගුවන් විදුලි දෙපාර්තමේන්තුව 1971 වෙන විට සංස්ථාවක් බවට පත්වෙලා?

ඔව්! මා තව මාස කීපයක් රජයේ රැකියාවේ සිටියා නම් අද විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා.

• විශ්‍රාම වැටුප අහිමිවීම පිළිබඳව පසුතැවිලි වෙනවද?

මා කිසිවක් පිළිබඳව පසු තැවෙන්නෙවත් උදම් අනන්නෙවත් නෑ.

• ගුවන් විදුලියේ අත්දැකීම් කෙබඳු ද?

පළමුවෙන් ම අපට ක්‍රමානුකූල පුහුණුවක් ලබා දුන්නා. ඉන්පසුව තමයි රාජකාරි පැවරුණේ.

• පුහුණු කළේ?

සිරිල් රාජපක්ෂ ඇග්නස් සිරිසේන වැනි ඒ කාලයේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්.

• ඔබේ ‘නොනිවෙන ගිනි’ නාට්‍ය රාජ්‍ය සම්මාන උලෙළෙන් හැදෙනවා?

ඔව් ඒ විනිශ්චය මණ්ඩලයේ සිටි එච්.ජේ. පෙරේරාගේ දෝෂ දර්ශනයට ලක්වීමෙන්.

• ඒ මොකක්ද?

ඔහු වැරැදි විදිහට මේ නාට්‍ය දෙස බලා පුද්ගලික ප්‍රශ්න වේදිකාවට ගේන්න එපා යැයි කෑගැහුවා.

• පසුව?

මේ නාට්‍ය පසුකාලීනව කෙතරම් ජනප්‍රියත්වයට පත්වුණා දැයි කිව්වොත් පේරාදෙණිය වළෙත් පෙන්නුවා. ඉන් පසුව 1966 රාජ්‍ය නාට්‍ය උලෙළේ ආරාධිත නාට්‍ය ලෙසත් රඟදැක්වූවා‍.

* එදා රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළ සම්පූර්ණයෙන් වෙනස්?

ඔව්! නාට්‍ය උලෙළ නියෝජනය කළ හැක්කේ කිසිම දවසක වේදිකාගත නොකළ නාට්‍යය.

• ඒ කියන්නේ?

ප්‍රථමයෙන් තෝරන්නේ පිටපත පිටපත තේරුණොත් විනිශ්චය මණ්ඩලය විසින් පුහුණුවීමේ දර්ශනයත් බලනවා.

• ඊට පස්සේ?

එතනින් තේරුණොත් ඇඳුම් පැළඳුම් සහිතව පුහුණුවීමේ දර්ශනයක් බලනවා.‍ ඒකට පොඩි මුදලක් ගෙවනවා.

* ඉන් අනතුරුව?

ඒ වටයෙනුත් තේ‍රුණොත් තවත් මුදල් ටිකක් දෙනවා එහිදී අපි පරිපූර්ණ නාට්‍ය පෙන්විය යුතුයි. ඒ වටයෙන් තමයි සම්මාන ලබාදෙන්නේ.

• ඔබ කියන්නේ මේ ක්‍රමය සාර්ථකද?

ඔව්! විනිශ්චය මණ්ඩලය හැර සම්මාන ලබන නාට්‍ය ඉන්පෙර කිසිවකු දැකල නෑ.

• අද ක්‍රමයට වඩා බොහෝ වෙනස්?

ඔව්‍. අද සම්මාන ලබාදෙන්නේ අදාළ වර්ෂයේ වේදිකා ගත කරන ලද නාට්‍ය අතුරින් තෝරලා. මේ ක්‍රමය නිසා තමයි රාජ්‍ය සම්මානවලින් පස්සේ එක එක ගැටලු පැන නඟින්නේ.

• අද රාජ්‍ය නාට්‍ය සම්මාන ලබාදීමේ ක්‍රමවේදය අසාර්ථකයි?

ඔව්! මට නොයෙක්වර ආරාධනා ලැබිල තිබෙනවා විනිශ්චය මණ්ඩලයට එන්න කියලා. මම කවදාවත් ඒ විනිශ්චය මණ්ඩලයට ගියෙත් නෑ යන්නෙත් නෑ. මොකද මේ ක්‍රමය වැරැදි නිසා.

• ඔබ පසුකාලීනව රූපවාහිනිය ආරම්භක සේවක මඩුල්ලට එක්වෙනවා. ඒ ගැන යමක් දැනගන්න කැමැතියි.

ආ.... රූපවාහිනියේදී මගේ දෙවතාවක් වැඩ තහනම් කළා. එක වරක් වැඩ තහනම් වෙනකොට මගේ ගේ ඉඩම උගස් තියලා ලැබෙන වැටුපෙන් තමයි ඒ ණය ගෙවමින් හිටියේ. ගේ උගස් තිබ්බේ දුවගේ විදේශ අධ්‍යාපන කටයුතු සඳහා.

• හේතුව?

දන්නේ නැද්ද අපේ ර‍ටේ ඇතැම් දේශපාලනඥයන්ගේ හැටි.

• ඔබ එහිදී ටෙලිනාට්‍යය කීපයක් කළා?

ඔව්. ‘තාරාදේවි’, ‘එකමවකගේ දරුවෝ’ 1986 වසරේ රූපවාහිනී සම්මාන උලෙළේ සම්මාන එකොළහෙන් නවයක්ම ගත්තේ ‘තාරාදේවි’.

• ටෙලි නිර්මාණ කිරීම නතර කළේ?

නතර කළා නෙමෙයි, නතර කෙරෙව්වා. ඒක තමයි අපේ රටේ හැටි.

• ඔබගේ ගේය පද රචනා භූමිකාව?

මා වෙතින් පළමු ගුවන් විදුලි ගීතය බිහිවුණේ 1967.

• එදා මෙදාතුර ඔබ වෙතින් බිහිවූ ගීත සංඛ්‍යාව?

ගණන් කරලා නම් නෑ කියල ලියන්න.

• අද බිහිවෙන ගේය පද රචනා පිළිබඳ ඔබේ අදහස?‍

අනේ මගේ ඒ පිළිබඳ අවධානයක් නෑ‍.

• අද මේ රටේ මාධ්‍ය ගැන යමක් කියන්න?

අද මාධ්‍යයෙන් කරන්නේ තනිකර මිත්‍යාව වැපිරීම.‍ අපේ කාලයේ වෙළෙඳ දැන්වීමක් පවා ප්‍රචාරය කළේ වගකීමෙන්.

• ඒ කියන්නේ?

බලන්න මේ දවස්වල පාසල් දරුවන්ට විභාග පැවැත්වෙනවා. විභාගයට යන්න නැකත් පවා මාධ්‍යයෙන් ප්‍රචාරය කරනවා. කොයි තරම් මිත්‍යාවක්ද? පුවත්පත් බැලුවත් එහෙමයි. පිටු ගණන් බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන තමයි තිබෙන්නේ.

• මෙකෙන් අප ගැලවිය යුතුයි?

අනිවාර්යයෙන්ම. මිත්‍යාවෙන් තොර ශ්‍රී ලාංකේය ජාතියක් බිහිකරන තුරු අපිට අනාගතයක් නෑ.

• ඒ සඳහා කුමක්ද කළ යුත්තේ?

රටේ මූලික නීතියෙන් ම මේකට මුල් පියවර තැබිය යුතුයි.

• මූලික නීතිය කිව්වේ?

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම

මේකට පදනම දැමිය යුතුයි එහේම නැතිව මේ අගාදයට යන ගමන නවත්වන්න බෑ.

• ඔබගේ පුද්ගලික ජීවිතේ අද දවස ගැන දැනගන්න කැමැතියි.

මම සිතේ සතුට ඇතිව නිදහස්ව කාලය ගත කරනවා.

 

Comments