මම කැමැතිම පෙම්වතා ටෝනි | සිළුමිණ

මම කැමැතිම පෙම්වතා ටෝනි

මෙරට රිදීතිරය හැඩ කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. සීටී නම් ඒ අතලොස්සක් පමණි. නමුත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයෙහි ශේෂව පවතී. එවන් නිර්මාණ දායාද කළ අධ්‍යක්ෂවරුන්, නළු-නිළියන්, ගායකයා ගායිකාවන් ගැන තොරතුරු බිඳක් හෝ දැන ගැනීමට ඇත් නම්, කොයිතරම් නම් අගේද.

ඒ අතීත සිහන මතකයන් එකින් එක අමුණමින් ගෙත්තම් කරන්න්නට ඈ මහත් අභිරුචියකින් අප හා එක් වූවාය. ඕ එතෙක් එමෙතෙක් බිහි වූ ආසියාවේ හොඳම නළු නිළියන් විසිපස්දෙනා අතරින් කෙනෙකි. ඒ වෙනකෙකු නොව අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය. ඈ මෙරට රිදීතිරයට හැඩ කළ ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා පිළිබඳව මෙසේ හඬ අවදි කළාය.

 

මම ටෝනි අයියව මුලින්ම දැක්කේ අපේ අයියා ගෙනාපු සිනමා පත්තර වලින්. මම එයාගේ පින්තුර පත්තරෙන් කපාගෙන එකතු කළා. මගේ පොතේ කවර ඇතුළෙත් එයාගෙ ෆොටෝ තිබුණ බව කාලෙකට පසුව මුණගැසුන පාසල් මිතුරියක් මට කිව්වා. කොටින්ම මම වැඩිවියට පත් වුණු කාලෙ ඉඳලම ටෝනි අයියට ආසාවෙන් හිටියා කියලා එයා කියනවා.

ඇත්තටම ටෝනි රණසිංහ කියන්නේ මම හරිම ආස නළුවෙක්. එයාට තිබුණේ හරිම අහිංසක පෙනුමක්. ඒ අහිංසක පෙනුමට වගේම එයාගෙ මුහුණටත් මම ආස කළා. ඒවගේම ඔහුගේ රංගනයටත් මම ආස කළා. මම සිනමාවේ ආසම කරපු පෙම්වතා ටෝනි අයියා. ඒ මම චිත්‍රපටයක රඟපාන්න හීනෙන්වත් හිතපු නැති කාලයක. මම වගේම අපේ ඉස්කෝලේ ගොඩක් ගැහැණු ළමයි ටෝනි අයියට හරිම කැමතියි.

මට ඔහුව මුලින් ම හමුවෙන්නේ අමරනාත් ජයතිලක මහත්තයා අධ්‍යක්ෂණය කළ “ආදරවන්තයෝ’’ චිත්‍රපටයෙදි. ඔහු එක්ක රඟපාන්න ලැබුණම මට අදහගන්න බැරි වුණා. හරිම පුදුමයි, කාලයක් මගේ ලෝකයේ පෙම්වතා වෙලා හිටිය කෙනා මට පෙම්වතකු ලෙස සිනමාවෙදි මුණ ගැහෙනවා.

ඉතිං ඒක ආශ්චර්යයක් නෙමෙයිද? මම එතකොට පාසලේ අන්තිම වසරේ හිටියේ, ඉතිං ටෝනි අයියත් එක්ක රඟපාල මම පාසලට ගියේ හරිම ආඩම්බරෙන්. ඒ අය මට එක එක කතා කියලා විහිළු කරනවා. මගේ යාළුවොත් හුඟක් කැමති වුණා මං රඟපානවට. මොකද ඒ අයට “අහවල් ෆිල්ම් එකේ ටෝනි රණසිංහ එක්ක රඟපාන්නේ මගේ යාළුව තමයි ’’ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්නෙ. පාසලේ හැමෝම වගේ මට ආශිර්වාද කළා. ඉරිසියා කරපු අයත් නැත්තෙම නැහැ.

ටෝනි රණසිංහගේ අයියා රැලෙක්ස් රණසිංහ අති දක්ෂ කැමරා ශිල්පියෙක්. එයා වැඩකළේ විසිතුර කියන සිනමා පත්තරයක. මම “ආදරවන්තයෝ’’ චිත්‍රපටයේ රෙද්දයි හැට්ටෙයි ඇඳන් ඉන්න ඡායාරූපයක් එයා විසිතුර පත්තරයේ කවර් පේජ් එකකට අරන් තිබුණා. ඒක හරියට ජනප්‍රිය වුණා. පින්තූරයක් පත්තරේක කවරයේ පළවෙනවවා කියන්නෙ අද වගේ ලෙහෙසි දෙයක් නෙමෙයි. අපි “ආදරවන්තයෝ’’ චිත්‍රපටයේ ලොකේෂන්වලට තෝරගෙන තිබුණේ උස්වැටකෙයියාව පැත්තෙ ගමක්.

මම ඔන්චිලි පැද පැද ඉන්න එක අවස්ථාවක් තියෙනවා. ටෝනි අයියා මං ළඟට ඇවිත් මගේ අතින් අල්ලලා, අත අරගෙන ඉඹල,, අත අතගාල “ඔයාගෙ අත හරිම සිනිඳුයි ’’කියන්න ඕන. ඇය ඒ සිදු වීමට මුහුණ දෙන්නෙ පළමු වතාවට. මගේ ජීවිතෙත් මම ආශාවෙන් හිටපු කෙනෙක් ඒ විදියෙ දෙයක් කරද්දි මට ඒ හැඟීම නිරායාසයෙන්ම එළියට ආවා. නමුත් පොඩි කාලෙ ඉඳලම මගේ අත හරිම ගොරෝසුයි.

දැන් මේ දෙබස දුන්න වෙලේ ඉඳල මට කර කියා ගන්න දෙයක් නැහැ. මට දහදිය දානවා. මට හරිම චකිතයක් දැනෙනවා. මම හෙමින් සැරේ ටෝනි අයියට පැත්තකට කතා කරල කිව්වා, “ටෝනි අයියෙ මගේ අත හරිම ගොරෝසුයි’’ කියල. “කෝ.. බලන්න.. කෝ.. බලන්න’’ කියල අත අරගෙන, අත අතගාමින් කියනවා “ නෑ...ඔයාගෙ අත ගොරෝසු නැහැ..සිනිඳුයි’’ ඒ වෙලාවේ මට පුදුමාකාර සතුටක් දැනුණා. මගේ හිතටත් හරිම හොඳයි.

මට ඒ වෙලේ හිතුණා මං හිතාගෙන හිටපු විදිහ වැරදි ඇති කියලා. ඒත් අපේ අම්මා මට නිතරම කිව්වේ “ඔයාගේ අත පුංචි දරුවා කාලෙ ඉඳල හරිම ගොරෝසුයි’’ කියලා. සමහර විට ඔහු මගේ හිත රිදෙයි කියලා ඇත්ත නොකියන්න ඇති. කොහොම වුණත් ඔහු කෙනකුගේ හිත බිඳන්න කැමති නැහැ. ඒ වෙනුවට කෙනකුගේ හිත හදන්න සතුටින් තියන්න ඔහු හරිම කැමති .

ටෝනි රණසිංහ චිත්‍රපට ක්ෂේත්‍රයට එන්න කලින් අති දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක්. මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමේ ඉහළ දක්ෂතාවයක්, හැකියාවක් ඔහු සතුව පැවතුණා. ඒ දක්ෂකමත් එක්ක ඔහු සිනමා නළුවෙක් විදියට ගොඩක් ජනප්‍රිය වෙලා හිටියා. ජනප්‍රිය දක්ෂ සිනමා නළුවෙක් වුණාට ටෝනි රණසිංහ කියන්නෙ නටන්න දක්ෂ නළුවෙක් නෙවෙයි. එහෙත්, මට දඟලල නටල එහෙම පුරුද්දක් තිබුණා. ඉතිං ටෝනි අයියා මට කියනවා “මාලනි මේ සින්දුවේ මට දුවන්න ඕන තැනක් එද්දී හයියෙන් අත මිරිකන්න“ කියලා.

ඉතිං මං ඒ විදියට සින්දුවේ දෙබස් ඉවර වෙද්දි එයාගෙ අත මිරිකනවා. එයා මගේ අතින් අල්ලන් දුවලා යනවා. එයා නටන්න දන්නෙ නැහැ. එක ඔහුට හරිම නුහුරුයි. “ඔන්න මාමෙ කෙල්ල පැනපි’’ කියලා කොමඩි ෆිල්ම් එකක් කළා. ඒකෙ හිටියෙ මම යි, නීටයි,ජෝ අයියි,ටෝනි අයියයි, ගීතා කුමාරසිංහයි. ගීතා විශ්වවිද්‍යාල සිසුවියක් ලෙස අපිත් එක්ක මුලින්ම රඟපෑවේ ඒ චිත්‍රපටියෙ. ඔහු එහිදිත් නටන දර්ශන මඟහරිමින් රඟපෑවේ.

ටෝනි අයියා පෙනුමින් හරිම අහංසකයි වගේ,පෙනුනට කරන්නෙ මහ පුදුම වැඩ( ඇය සිනාසෙයි). වෙලාවකට එයා හරියට පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නේ. හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්නේ, හැමෝවම හිනස්සනවා. ඔහු තමන්ට අවස්ථාව උදාකර ගන්න කාටවත් කැපිලි කෙටිලි කුමන්ත්‍රණ කරන්න ගියේ නැහැ. හැබැයි හැමෝටම ලණු දෙනවා. ඒකට නම් ඔහු තරම් දක්ෂයෙක් තවත් නැහැ. හිටිය නම් ඒ ඩොක්ටර් පීරිස් විතරයි. හැබැයි ටෝනි අයියා ඩොක්ටර් පීරිස්ට වඩා ලණු දෙන්න දක්ෂයි.

ඔහු තමයි සිනමා ක්ෂේත්‍රයේ හිටපු දක්ෂම ලණු දෙන්නා. වෙලාවකට මහ මිනිමරන, ගිනිතියන ලණු දෙන්නෙ. උදාහරණයක් විදියට අපි හිතමු චිත්‍රපටියක ෂූටින් නුවර එළියෙ හරි බණ්ඩාරවෙල හරි කඳු ආශ්‍රිත ප්‍රදේශයක තිබුණ කියලා. එහෙම ලොකේෂන්වලට යද්දි අපි ගෙදර අයට කියල එන්නේ, අද ලොකේෂන් තියෙන්නෙ අහවල් තැන කියලා. මෙයා කරන්නෙ ඒකට සම්බන්ධ නළු නිළියන්ගෙ ගෙවල්වල ටෙලිපොන් නම්බර්ස් හොයාගෙන ඒ අයගෙ ගෙවල්වලට කතා කරල ලණු දෙන එක. එහෙම කතා කරල හරිම හැඟීම් බරව කියනවා “ මම මේ අහවල් ලොකේෂන් එකේ ඉඳන් කතා කරන්නේ.

හැබැයි මේ කතාව අහලා කලබල වෙන්න එපා.( එතකොටම ගෙදර අය කලබල වෙලා ඉවරයි.) මේ දැන් එයා කන්ද අයිනෙ රඟපාමින් හිටියේ, ටික ටික එයා කන්ද අයිනටම ගියා.....(අනිත් පැත්තෙ පොන් එක තියාගෙන ඉන්න කෙනා විලාප දිදී අඬනවා කියල හිතන්න) හැබැයි වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අනූ නවයෙන් එයා බේරුණා. දැන් ඉතිං කලබල වෙන්න දෙයක් නැහැ . එයා හොඳින් ඉන්නවා. මං එයාට පොන් එක දෙන්නම් ටිකක් කතා කරන්න ’’. හිතා ගන්න පුළුවන්නේ එයා දෙන්නෙ කොහොම ලණුද කියලා. හාර්ට් පේෂන් කෙනෙක් පොන් එක ආන්සර් කළා නම් ඉතිං ඉවරයි. මෙයා ෆෝන් එක දීලා මහා හයියෙන් හිනාවෙනවා. අපි ඉතිං බනිනවා “මෙයාට නම් හිනා. ගෙදර ඉන්න මනුස්සයා හාර්ට් පේෂන් කෙනෙක් වුණා නම් එහෙම හිරේ විලංගුවේ වැටිල තමයි නතර වෙන්නෙ ’’ කියල.

“මැරෙන්න තරම් දෙයක් මං කිව්වෙ නැහැ නෙ. මං කිව්වෙ වැටෙන්න ගිහින් බේරුණා කියල නෙ’’ (ඇය සිනා සෙයි) ඔය වගේ මහ පුදුම වැඩ කරන්නේ. හරියට පොඩි ළමයෙක් වගේ. සහෝදර නළු නිළියො, අධ්‍යක්ෂකවරු කාර්මික ශිල්පීන් මේ හැමෝම එක්කම එයා හරිම විනෝදෙන් ඉන්නෙ. මෙයාගෙ මේ ලණු සෙල්ලම නිසා අපි කලින්ම ගෙවල්වලට කියල එන්නෙ, “අහවලා එක්ක අද ෂූටින් තියෙන්නේ, කෝල් එකක් ආවොත් ටිකක් කල්පනාවෙන් ඉන්න’’ කියල. එත් වැඩක් නැහැ,ඒ අය අහුවෙනවා. ටෝනි අයියා කතා කරලා, හැඟීම් බරව ඒ දේවල් කිව්වම කොච්චර කලින් දැනන් හිටියත් අහුවෙනවා. ඒ අතින් ටෝනි අයියා ලණු දෙන්න මාර දක්ෂයි.

මම ටෝනි අයියත් එක්ක “ප්‍රවේසම් වන්න’’, ‘සමනල කුමරියෝ’’, ‘‘ආදරේ හිතෙනව දැක්කම’’, “හොඳයි නරකයි’’,“උනනත් දාහයි මළත් දාහයි’’, “ඔන්න මාමෙ කෙල්ල පැනපි’’, “ආදරෙයි මං ආදරෙයි“, “සකුන්තලා“, “පෙම්බර මධූ“, “නුවන් රේණු“, “බැද්දේගම’’,“සයුරු තෙර’’, “සමුගනිමි මා සැමියනි’’,“සමනල සිහින’’,“කෝකිලා’’, ආදී චිත්‍රපට ගණනාවක රඟපෑවා. මින් කිහිපයකම අපි දෙන්නා ප්‍රධාන චරිත නිරූපණය කළා. ඒ කාලය මතක්වෙන කොටත් හරිම සුන්දරයි. ඔහු රඟපාන කෙනාට පුදුම සහයෝගයක් දෙනවා. අපිට රඟපානව කියල නොතේරෙන තරමට එය යථාර්ථවත්ව ඉදිරිපත් කරන්න ඔහු අනගි සහයක් ලබා දෙනවා. ඔහු සමඟ රඟපෑමට ලැබීම කෙනෙකු ලබන වාසනාවක්. බොහොදේ අපට එතුමාගේ රංගනයෙන් ඉගෙන ගන්න පුලුවන්.

ටෝනි අයියා හැමෝ එක්කම සහයෝගයෙන් කටයුතු කළා වගේම එයාගෙ හිතට මොකක් හරි නොසතුටක් දැනෙන දෙයක් කවුරු හරි කළොත් අවුරුදු ගණනක් යනකම් කතා නැතිව ඉන්නවා. මාත් එක්කත් එහෙම තරහාවෙලා ඉඳල තියෙනවා. යාළුවෙන්නත් කාලයක් ගතවෙනවා. ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්.

ඔහු හොඳ මාධ්‍යවේදියෙක්. ඉංග්‍රීසි, සිංහල භාෂා දෙක මැනැවින් දැනගෙන හිටියා. හොඳට පොතපත කියෙව්වා. නාට්‍ය පිටපත්,පොතපත් ලියන්න ඔහු හරිම දක්ෂයි. හොඳ ඇසූ පිරූ දැනුමක් ඔහු සතුව පැවතුණා. ඕනම දෙයක් ඔහු සමඟ කතා කළාම හිත සෑහැල්ලු වෙනවා. ප්‍රශ්නයක් තියෙනව නම් ඊටත් විසඳුමක් ලැබෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් ආවම දුවගෙන යන්නේ ටෝනි අයියා ළඟට. එයත් එක්ක කතා කරපුවාම හිත සැහැල්ලු වෙනවා.

රංගනය හොඳින් ඉදිරිපත් කළ හැකි චරිතයක් ලැබුණොත් ටෝනි අයියත් එක්ක කතා කරලා උපදෙස් ගන්න මම පෙළඹී සිටයා. එයා බර්ටෝල් බ්‍රෙස්ට් ගැන, ෂේක්ස්පියර් ගැන හොඳින් හදාරා තිබුණා. බටහිර නාට්‍ය හා සාහිත්‍ය පිළිබඳ පුළුල් දැනුමක් ඔහු සතුව පැවතුණා. ඔහුගේ වියෝව පුද්ගලිකවත් විශාල පාඩුවක්. ඒවගේම අපේ සිනමාවේ ඉදිරිය සඳහා ඔහු වැනි කෙනකුගෙන් ලබාගන්න තිබුණු දැනුම අති විශාලයි. ඉතිං එවැනි කෙනෙක් නැති විම රටට විශාල පාඩුවක්. 

 
 

Comments